දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, May 2, 2016

මුස්සැන්ද [Mussenda] (Mussaenda frondosa)

ගැමි ව්‍යවහාරයෙහි වෙල් බුත්සරණ යනුවෙන්ද හඳුන්වන මුස්සැන්ද මීටර් 2 ක් දක්වා උසට වැඩෙන බහුවාර්ෂික පඳුරු ශාකයකි. මදක් ඔවාලාකාර හැඬයෙන් යුතු පත්‍රවල සියුම් බූවක් දක්නට ලැබේ. මෙහි හටගන්නා කුඩා මල් දීප්තිමත් තැඹිලි පැහැයකින් යුක්තය. ප්‍රකටව පෙනෙන විශාල සුදු පැහැති මණිපත්‍ර පිහිටා ඇති අතර ඒවා කීප ආකාරයකට සකසා ආහාරයට ගත හැකිය. මෙම සුදුපැහැති පත්‍ර පොල්කිරි මිශ්‍ර හාල් පිටිවල බහා පොල්තෙලෙන් බැද සකසා ගන්නා පපඩම් වැනි ආහාරය කුඩා දරුවන්ගේ ධාරණ ශක්තිය වඩවන බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" සඳහන් වේ. කොළ පැහැති ගෙඩි බූව සහිත වන අතර පොකුරු වශයෙන් දක්නට ලැබේ. මුස්සැන්ද Rubiaceae කුලයට අයත් ශාකයකි.

සෙංගමාලය, දැවිල්ල, වණ, ඇදුම, උණ, උදරාබාධ, ඇස් රෝග, මකුළු දෂ්ට කිරීම්, ස්නායු පද්ධතියේ රෝග, සුදු ලාඳුරු, උන්මාදය, ක්ලාන්තය, ශීර්ෂ රෝග, පිපාසය, සෙංගමාලය, පාණ්ඩුව, කල්ගතවූ තුවාල ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකය භාවිතා කරන බව සඳහන් වේ. මෙහි කොළ,මල්, මුල්, ඇට සහ සම්පූර්ණ ශාකයමත් ඔසු සඳහා ගනී. ධාරණ ශක්තිය වර්ධනය සඳහා මුස්සැන්ද මුල් ක්වාතය හෝ මුස්සැන්ද ඇට චූර්ණය මී පැණියෙන් දීම, දිවි මකුළු විෂට මුසුසැන්ද ශාකය සහමුලින් ගෙන කොටා ගත් ඉස්ම උදෑසන තුනක් බොන්නට දී එම රොඩු මලවා සතා කෑ තැනට බැඳීම, සෙංලමාල රෝගය සඳහා මුස්සැන්ද කොළ කැඳ කිතුල් හකුරු සමඟ බීමට දීම, පහසු ප්‍රතිකාරයන්ය. මුස්සැන්ද කමොද්දීපක, මුත්‍රකාරක, ධාරණ ශක්තිය වඩවන ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 


Share:

Wednesday, April 20, 2016

පුස්වැන්න [Puswenna] (Uraria picta)


සංස්කෘත භාෂාවෙන් පෘෂ්ණපර්ණි යනුවෙන් හඳුන්වනු ලබන පුස්වැන්න ඉන්දියාවේ සහ ලංකාවේ වැවෙන කුඩා පැළෑටියක් වන අතර ලංකාවේ දුර්ලභය. මීටරයක් දක්වා ඉහලට වර්ධනය වන මෙහි සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන්ගේ මැද ඉරමුසු පත්‍රයට සමාන සුදු පැහැති පැල්ලමක් දැක ගත හැකිය. ශාකයේ අග්‍රස්ථයෙන් හට ගන්නා පුෂ්ප මංජරිය ඉතා අලංකාරවත් වන අතර මල් සුදු රෝස පැහැතිය. වියළි කළාපීය වනාන්තර තුල දුර්ලභව හමුවන පුස්වැන්න ශාකය Fabaceae කුලයට අයත්ය.

අතීසාරය, රක්ත අර්ශස්, ග්‍රහණි රෝග, හෘද රෝග, වාත රෝග, ක්ෂය රෝගය, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නිපදවීමේදී පුස්වැන්න ශාකයේ විශේෂයෙන් මල් ද අමතරව සම්පූර්ණ ශාකයමද භාවිතයට ගන්නා බව සඳහන් වේ. දේශීය වෛද්‍යවරු පුස්වැන්න ශාකය සොයා ගැනීමට නොමැති කල ඒ වෙනුවට පොල්පලා ශාකය භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති


Share:

Monday, April 11, 2016

බුත්සරණ [Butsarana] (Canna indica)


බුත්සරණ මීටර් දෙකක් දක්වා උසට වැඩෙන සිනිඳු සෘජු කඳක් සහිත බහුවාර්ෂික පැළෑටියකි. තිවෘ අග්‍රයක් සහිත පත්‍රයක් සෙ.මි 30-40 පමණ දික් වන අකර සෙ.මි 10 පමණ පළලය. සුලබව හමුවන වර්ගයේ පත්‍ර දම් පැහැයට හුරු වන අතර පත්‍ර කොළ පැහැති වර්ගයක්ද හුමුවේ. පුෂ්පමංජරියක හටගන්නා මල් දීප්තිමත් රතු පැහැයකින් යුක්තය. පත්‍ර කොළ පැහැති වර්ගයේ මල් කහ පැහැති ය. ඵලය දම් හෝ කොළ පැහැතිය. අමු බීජ සුදු පැහැති වන අතර වියළුණු පසු කළු පැහැයක් ගනී. මෙම අල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ගත් විට රසවත් ගුණවත් ආහාරයකි. අලවලින් ලබා ගන්නා පිටි කිරි හා සීනි සමඟ මිශ්‍ර කර රසවත් අතුරුපසක් වන තලප සාදා ගත හැකිය. ලංකාවට හඳුන්වාදෙන ලද සහ ඉන්දියාවට දේශීය වන බුත්සරණ ශාකය Cannaceae කුලයට අයත් ය.

බුත්සරණ අල ආහාරයට ගත් විට එහි ඇති කෙඳි නිසා ආහාර මාර්ගය පිරිසිදු වේ. එමෙන්ම මල බද්ධය නැති කිරීමට උපකාර වන අතර අලවල පිටි ශරීර ශක්තිය වර්ධනය කරයි. සෙංගමාලය, රතපිත් රෝගවලට බෙහෙවින් ගුණදායකය. සර්ප විෂ, සෙංගමාලය, බාහිර ලේ ගැලීම්, පිළිකා, සෙම්ගෙඩි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම ශාක කොටස් යොදා ගනී. බුත්සරණ ශාකයේ කොළ, මල් සහ අල ඖෂධ සඳහා භාවිතා කරයි. බුත්සරණ කොළ , පුපුල කොළ කොටා මිරිකා ඇඟ ගෑම හෝ කැඳ සාදා දීම නයි විෂට ප්‍රතිකාරයකි. ගවයින්ට විෂ සහිත කොළ වර්ග කැවුනු විට ඖෂධ සෑදිමට බුත්සරණ මුල් භාවිතා කරයි. බුත්සරණ ස්වේදකාරක, මුත්‍රකාරක ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්

Share:

Friday, April 1, 2016

පොල්පලා [Polpala] (Aerva lanata)

පොල්පලා සිංහලෙන් පොල්කුඩු පලා යනුවෙන්ද හඳුන්වයි. මෙය අඩි 2 දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ශාකය පුරා සුදු පැහැති සියුම් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටා ඇති පත්‍ර ගෝලාකාර සිට ලන්සාකාර ඉලිප්සීය හෝ අණ්ඩාකාර ඉලිප්සීය වේ. සෑම පත්‍ර නටුවක් අසලින්ම පාහේ හට ගන්නා පුෂ්ප මංජරිය ශුකියකි. ඉතා කුඩා සුදු පැහැති පුෂ්ප ද්වීලිංගිකය. ඵලය ආශයකි. පොල්පලා පළාවක් ලෙස මෙන්ම ඔසු කැඳ සෑදීම සඳහා ද භාවිතා කළ හැකිය. මෙය Amaranthaceae කුලයට අයත් ශාකයකි.

මෙරට ජනයා බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත් මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීමට පුරුදුව උන්හ. මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්‍රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණපොල්පලා ශාකයම භාවිතා කරයි.

මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි. වියළි පොල්පලා මල් හා කොළ ගිණිඅඟුරු මතට දමා එම දුම් ආග්‍රහණය කිරීම ඇදුම සඳහා ප්‍රතිකාරයකි. හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි. වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි. පොල්පලා මුත්‍රකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:

Tuesday, March 22, 2016

තරණ [Tarana] (Tarenna asiatica)

තරණ දේශීය වෛද්‍ය ක්‍රමයට අනන්‍යවූ ඖෂධීය ශාකයකි. පඳුරක් හෝ මීටර් 10 දක්වා උසට වැඩෙන කුඩා ශාකයක් ලෙස දැක ගත හැකිය. පොත්ත ඇලි සහිත හෝ පතුරු ගැලවෙන ස්වභාවයක් ගනී. පත්‍ර ඉලිප්සාකාර සිට ඉලිප්සීය-ආයත හෝ ප්‍රතිලංසාකාර වේ. දිළිසෙනසුළු පත්‍රයක් සෙ.මි. 15 ක් දක්වා වර්ධනය වේ. සෙ.මි. 6 ක් පමණ දිග පුෂ්ප මංජරිය සියුම් බූවක් සහිතය. මල් ළා කහ හෝ සුදු පැහැතිය. මල් හටගන්නේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හා සැප්තැම්බර් මාසවලදී බව මූලාශ්‍රවල සඳහන් වූවත් මහනුවර ප්‍රදේශයේ ජනවාරි මස මුල සිට මල් දැක ගත හැකි විය. තරණ Rubiaceae  කුලයට අයත් ශාකයකි.

ඉදිමුම්, ගෙඩි, වණ, පිළිකා, සන්ධි ආබාධ, කැඩුම් බිඳුම්, උදරාබාධ, කැපුම් තුවාල, චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී තරණ ශාකයේ කොළ, දළු, පොතු, මුලේ පොතු, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.

ඉදිමුම් සඳහා තරණ කොළ කැඳ පිස දීම හා කොළ තම්බා ඉදිමුණු ස්ථාන තැවීම සිදු කරයි. අවහන්ධියට, වේදනාවට හා තැල්මට තරණ කොළ පොතු කොටා එයට ජලය වත්කර තබා පසුවදා මිරිකා පෙරා ලණු පතක් දමා කකාරා ආලේප කිරීම ප්‍රතිකාරයකි. මස් හිරවීමට තරණ කොළ, පොතු මඩතිය කොළ, පොතු කරඳ කොළ, පොතු අට්ටික්කා කොළ, පොතු කොටා මිරිකා යුෂය සහිඳ ලුණු දමා පත්තු සිඳ ආලේප කරයි. කැපුණුවිට තරණ පොතු, පොල් කිරෙන් පස් කුළුබඩු යොදා තෙල් සිඳ ආලේප කිරීම ආදී ලෙස තරණ ශාකය භාවිතාකරන ප්‍රතිකාර රැසකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Thursday, March 10, 2016

වැල් කහඹිලියා [Wel Kahabiliya] (Tragia involucrata)

මෙය ශාකය පුරාම බූවක් සහිත බහුවාර්ෂික ලතාවකි. මෙම වැල ගස්වල එතෙමින් අඩි 3-4 පමණ දිගකට වර්ධනය වේ. මෙහි ඇති බූව මිනිස් සිරුරට ආසාත්මික වන අතර වේදනාකරී කැසීම් ඇති කරයි. කහඹිලියා යන නම යෙදෙන්නටද එය හේතුවකි. සරල ඒකාන්තර පත්‍රයක් සෙ.මි. 7.5 පමණ දිගු වන අතර පත්‍ර අග්‍රය තිවෘ වේ. පුෂ්ප මංජරිය ඒකාක්ෂයකි. මල් කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. පුල්ලි සහිත බීජ අළු පාටට හුරු දුඹුරු පාටය. ගැමියන් ධාන්‍ය වර්ග කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම කොළ භාවිතා කරයි. වැල් කහඹිලියා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.

ඇදුම, ක්ෂය රෝගය, ස්වාසනාලිකා ප්‍රදාහය, කුෂ්ඨ රෝග, වණ, ගෙඩි, හිසේ රුදා, ලේ ගෙඩි, ස්වරතන්ත්‍ර ප්‍රදාහය, සන්නිපාත උණ, උපදංශය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වැල් කහඹිලියා මුල්, ඇට, කොළ ආදිය භාවිතා කරයි. සුලභව ඖෂධ සඳහා භාවිතා කරනුයේ මෙහි මුලයි. වැල් කහඹිලියා මුල් අඹරා සකස්කර ගත් ප්‍රලේපය කුෂ්ඨ රෝගයට ප්‍රතිකාරයකි. හිසරදයට වැල් කහඹිලියා මුල් අමු ඉඟුරු සමග අඹරා හිසෙහි ආලේප කරයි. වැල් කහඹිලියා ගෙඩි ඇල් දියෙන් අඹරා ආලේප කිරීමෙන් ලේ ගෙඩි පැසවා පිපිරී යාම සිදුවේ. එමෙන්ම එය උඳුගොව්වා කෑමටද ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:

Monday, February 29, 2016

රත්හඳුන් [Rathhadun] (Pterocarpus santalinus)


රත්හඳුන් දේශිය වෛද්‍ය කර්මයෙහි භාවිතා වන ඉතා ප්‍රකට ඖෂධයක් ලෙස සැලකිය හැකිය. පුරාතනයේ සිටම රත් හඳුන් එදිනෙදා භාවිතයට ගන්නා අත් බෙහෙතක් ලෙස ද බොහෝ ජනප්‍රියව පවතී. අතීතයේ විසූ කුමාරිකාවන්, රජ බිසෝවරුන් ප්‍රමුඛ කාන්තාවන් සිය ශරීරයේ රූ සොභාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම සම පවිත්‍ර කාරකයක් ලෙස ද සලකා ස්නානයේදී සඳුන් ගලගා ශරීරයේ ගල්වනු ලැබූ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. රත්හඳුන් මීටර් 7-8 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍ර ඒකාන්තරයි, ත්‍රිපත්‍රිකයි, උපපත්‍ර රහිතයි. රත්හඳුන් සහ ගම්මාළු ශාක බොහෝ දෙනෙක් පටලවා ගන්නා අතර ගම්මාළු වල පත්‍රිකා 5, 7, 9 ලෙස දක්නට ලැබීම එය රත්හඳුන් ශාකයෙන් වෙන්කර හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණයකි.  පුෂ්ප මංජරියක හට ගන්නා දිවීලිංගික පුෂ්ප කහ පාටය. ඵලය බීජ දෙකක් සහිත කරලකි. මෙම ශාකය ඉන්දියාවේ ස්භාවිකව වැවෙන අතර ලංකාවේ වගා කර ඇත. රත් හඳුන් Fabaceae කුලයට අයත් ශාකයකි.

ඉදිමීම්, වමනය, දැවිල්ල, අක්ෂි රෝග, අධික පිපාසය, හිසරදය, අතීසාරය, උණ, රක්ත අර්ශස්, චර්ම රෝග, පණු රෝග, රක්තපිත්ත, වාතආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රත්හඳුන් ශාකයේ ඵලය සහ අරටුව භාවිතා කරයි. බුද්ධරාජ කල්කය, දෙ සඳුන් කල්කය, රත්හඳුන් කල්කය යනාදිය රත්හඳුන් යොදාගෙන නිපදවන ඖෂධයන්ය. රත්හඳුන් කුෂ්ඨ නසන, පණුවන් නසන, ලේ පිරිසිදු කරන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි. 

පාචනයට රත්හඳුන් ගෙඩියේ යුෂ ඖෂධීය පානයක් ලෙස ලබා දෙයි. ලේ පිටවන අර්ශස් සඳහා රත්හඳුන් එළකිරෙන් ගලගා බීම හෝ වතුරින් ගලගා ආලේප කරයි. ඇස් රෝගවලට රත්හඳුන් ගලගා තලපයක් මෙන් සාදා ඇස වටේ ආලේප කරයි. එලෙස සාදා නලලේ ආලේප කිරීමෙන් හිද රුදා සුව වෙයි. රත්හඳුන්, වියළි කහ සහ කිරි මිශ්‍ර කර ආලේප කිරීමෙන් කුරුලෑ වැනි චර්ම රෝග සුව වෙයි. මේරූ රත්හඳුන් ලීය සමේ ආසාදන සුව කිරීම සඳහා භාවිතා කරයි. බොහෝ විට ඒ සඳහා දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම සිදු කරයි. එලෙස දෙහි ඇඹුලින් ගලගා ආලේප කිරීම බාහිර තැලීම්, ඉදිමීම් ආදියටද ප්‍රතිකාරයකි. හොඳම වර්ගයේ කයිප්පු නම් ඖෂධය තනනුයේ රත්හඳුන් අරටුවෙනි. රත්හඳුන් රූපලාවන්‍ය කර්මාන්තයට බහුලව යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Friday, February 19, 2016

නාපිරිත්ත [Napiritta] (Hibiscus furcatus)

නාපිරිත්ත, කඳ පුරාම සියුම් කටු සහිත බහුවාර්ෂික වැල් ශාකයකි. හීං නාපිරිත්ත සහ මහ නාපිරිත්ත යනුවෙන් වර්ග දෙකක් ඇති බව සඳහන් වේ. වෙන් නොවූ ඛන්ඩිකා තුනකට බෙදීගිය පත්‍රය පුරා බූව දක්නට ලැබේ. පුනීලාකාර හැඬයෙන් යුත් මල් දිප්තිමත් කහ පැහැයකින් යුක්තය. ඵලය කුඩා කරලකි. ඒ තුල පිහිටා ඇති බීජ මගින් ව්‍යාප්තිය සිදු වේ. නාපිරිත්ත Malvaceae කුලයට අයත් ශාකයකි.

දේශීය ගෙඩි වෙදකම, කැඩුම් බිඳුම්, විෂ වෙදකම, වණ, ගඩු, තුවාල ආදීය සඳහා ප්‍රතිකාර කිරීමේදී නාපිරිත්ත ශාකයේ කොළ, දළු, පට්ටා සහ මුල් ඔසු සඳහා භාවිතා කරයි. වල් ලූණු නාපිරිත්ත දළු පොල් කිරෙන් උයා ගිතෙලින් අඹරා ගෑමෙන් විසර ගෙඩි පැසවීම සිදු වේ. කැස්සට සහ ආහාර අරුචියට නාපිරිත්ත දළු ව්‍යංජනය ගුණදායකය. විෂ වලිප්පු රාජ තෛලය නාපිරිත්ත යොදා නිපදවන ඖෂධයකි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්



Share:

Thursday, February 11, 2016

හීං උඳුපියලි [Heen Udupiyali] (Desmodium triflorum)

හාවුන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස සැලකෙන හීං උඳුපියලි ශාකය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. පර්වයන්ගෙන් පොළවට මුල් ඇදෙමින් මීටර් භාගයක් පමණ වන ප්‍රදේශයක පැතිරී වැඩෙයි. ශාකය පුරාම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර ත්‍රිපත්‍රි ය. නිර්වෘන්ත පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. හීං උඳුපියලි Fabaceae කුලයට අයත් ශාකයකි.

ආම වාතය, කුසගිනි මදිකම, ගුල්ම, විෂ, අක්ෂි රෝග, මාන්දම, අතීසාර, ගෙඩි, වණ, තදබල මුත්‍ර අඩස්සිය, ළදරු ක්ෂය රෝගය, නාග විෂ, ඉරුවාරදය, දියවැඩියාව නිසා ඇතිවන පිපාසය, තොල් පැලීම, සර්ප විෂ ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඔසු සෑදීමෙදී මෙම සම්පූර්ණ ශාකයම යොදා ගනී. මධ්‍යම පළාතේ කැඩුම් බිඳුම් සඳහා ද හීං උඳුපියලිය භාවිතා කරයි. උඳුපියලිය නිල්ල පෑගීම අක්ෂි රෝග වැළැක්වීමට සහ ඇස් පෙනීම දියුණු වීමට හේතුවන බවට විශ්වාසයක් පවතී.

හීං උඳුපියලි කොළ අඹරා පුවක් ගෙඩියක් පමණ එළකිරෙන් දිය කොට දවසට වරක් උදය වරුවේ බීමට දීමෙන් මව් කිරි වර්ධනය වේ. ළදරුවන්ගේ අජීර්ණය, කුසගිනි මදිකම ආදියට හීං උඳුපියලිය යුෂ ස්වල්පයක් දීම ප්‍රතිකාරයකි. වණ සඳහා කොළ යුෂ හෝ මුල් යුෂ තැවරීම සිදු කරයි. දැඩි මුත්‍ර අඩස්සියට සම්පුර්ණ ශාකයම තම්බා බීමට දෙයි. පොළොන් විෂ හැරීමට උඳුපියලිය යුෂ පතක් බොන්නට දෙයි. පත්තෑ විෂට හීං උඳුපියලිය දෙසි ඇඹුල් සමග අඹරා අාලේප කරයි. සෙංගමාල, ශරීරයේ විෂ, අතීසාර, ඇස් රෝග ආදියට හීං උඳුපියලිය කැඳ බොන්නට දෙයි. උඳුපියලි කොළ බුලත් මෙන් සපා කෙල ගිලීමෙන් තොල් පැලීම සුව වෙයි. බඩපිපුමට උඳුපියලිය කොළ පවනේ වේලා කුඩුකර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. හීං උඳුපියලිය වේලා කුඩුකර ඊට උළුහාල් කුඩු තේ හැදි භාගයක් දමා කෝපි මෙන් පානය කිරීම මධුමේහයේ ඇතිවන පිපාසයට ප්‍රතිකාරයකි. හාවුන්ගේ වසුරු උඳුපියලි කොළ යුෂින් අඹරා ගෑම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයක් බව සඳහන් වේ. හීං උඳුපියලිය වේදනානාශක, මුත්‍රකාරක. ක්ෂීර වර්ධක, ශක්තිජනක ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති 

Share:

Monday, February 1, 2016

රණවරා [Ranawara] (Cassia auriculata)

මෙය මීටර් 3 ක් දක්වා ඉහලට පඳුරක් මෙන් වර්ධනය වන බහුවාර්ෂික ශාකයකි. පත්‍ර සම පක්ෂවත්ය. කර්ණාකාර හැඩයෙන් යුත් විශාල උප පත්‍ර රණවරා ශාකය හඳුනා ගැනීම පහසු කරයි. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් තැඹිලි හෝ දීප්තිමත් කහ පැහැයකින් යුක්තය. පෙබරවාරි - මාර්තු මාසවලදී මල් පිපීම සිදු වේ. ඵලය කරලකි. රණවරා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකි අතර කොළ කැඳ සෑදීම සඳහා ද භාවිතා කළ හැකිය. රණවරා මලෙහි පෙති ගලවා ලුණු සහ පොල් ස්වල්පයක් මිශ්‍ර කර දෙහි බිංදු කිහිපයක් දමා සලාදයක් ලෙස සකසා ගත් විට ඉතා රසවත්ය. මෙම වියළි ඇට බැද කෝපි මෙන් පානය කළ හැකිය. ගෙවතු අලංකරණය සඳහා ද වැවිය හැකි රණවරා ශාකය Fabaceae කුලයට අයත්ය.

මධුමේහ, ශුක්‍රමේහ, අක්ෂි රෝග, කාන්තා රෝග, පණු රෝග, කුෂ්ඨ රෝග, අතීසාරය, ශුක්‍ර දෝෂ, ස්වප්න මෝචනය, අණ්ඩ වෘද්ධිය, ඉදිමුම් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට රණවරා ශාකයේ කොළ, මල්, මුල්, පොතු ඇතුළු පස්පංගුවම භාවිතා කරයි. වියළි රණවරා මල් සහ මල් පොහොට්ටු යොදා තේ මෙන් සාදාගන්නා පානය විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට ගුණදායක වන අතර කාන්තාවන්ගේ සම පැහැපත් කරන බව සඳහන් වේ. වියළි රණවරා බීජ කුඩු කර දියවැඩියාවට සහ ඇස් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී.

රණවරා ගසේ පස්පංගුව කෂායකර බීම සියලු ප්‍රමේහ රෝගයන්ට ප්‍රතිකාරයකි. රණවරා කොළ මැල්ලුම අනුභව කිරීමෙන් හා රණවරා ශාකයේ පංචාංගය කෂායකර කට සේදීමෙන් මුඛය දෙපස වණවීම සුව වෙයි. සිරුර පැහැපත් කර ගැනීම සඳහා රණවරා මල් අඹරා ඇඟ ගල්වයි. රක්ත ප්‍රදර වැනි කාන්තා රෝග සඳහා රණවරා මල් පොට්ටනියක් සකසා යෝනි මාර්ගයේ තැබීම සිදු කරයි. මෙම කොළ සහ පොතු යෙදූ මැල්ලුම භග්න අවස්ථාවන්ට යොදා ගනී.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරුව_ Kasun Kaushalya සොයුරාගෙන් සහ ඔසුපැල හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයෙන්  
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support