දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, April 11, 2016

බුත්සරණ [Butsarana] (Canna indica)


බුත්සරණ මීටර් දෙකක් දක්වා උසට වැඩෙන සිනිඳු සෘජු කඳක් සහිත බහුවාර්ෂික පැළෑටියකි. තිවෘ අග්‍රයක් සහිත පත්‍රයක් සෙ.මි 30-40 පමණ දික් වන අකර සෙ.මි 10 පමණ පළලය. සුලබව හමුවන වර්ගයේ පත්‍ර දම් පැහැයට හුරු වන අතර පත්‍ර කොළ පැහැති වර්ගයක්ද හුමුවේ. පුෂ්පමංජරියක හටගන්නා මල් දීප්තිමත් රතු පැහැයකින් යුක්තය. පත්‍ර කොළ පැහැති වර්ගයේ මල් කහ පැහැති ය. ඵලය දම් හෝ කොළ පැහැතිය. අමු බීජ සුදු පැහැති වන අතර වියළුණු පසු කළු පැහැයක් ගනී. මෙම අල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස සකස් කර ගත් විට රසවත් ගුණවත් ආහාරයකි. අලවලින් ලබා ගන්නා පිටි කිරි හා සීනි සමඟ මිශ්‍ර කර රසවත් අතුරුපසක් වන තලප සාදා ගත හැකිය. ලංකාවට හඳුන්වාදෙන ලද සහ ඉන්දියාවට දේශීය වන බුත්සරණ ශාකය Cannaceae කුලයට අයත් ය.

බුත්සරණ අල ආහාරයට ගත් විට එහි ඇති කෙඳි නිසා ආහාර මාර්ගය පිරිසිදු වේ. එමෙන්ම මල බද්ධය නැති කිරීමට උපකාර වන අතර අලවල පිටි ශරීර ශක්තිය වර්ධනය කරයි. සෙංගමාලය, රතපිත් රෝගවලට බෙහෙවින් ගුණදායකය. සර්ප විෂ, සෙංගමාලය, බාහිර ලේ ගැලීම්, පිළිකා, සෙම්ගෙඩි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම ශාක කොටස් යොදා ගනී. බුත්සරණ ශාකයේ කොළ, මල් සහ අල ඖෂධ සඳහා භාවිතා කරයි. බුත්සරණ කොළ , පුපුල කොළ කොටා මිරිකා ඇඟ ගෑම හෝ කැඳ සාදා දීම නයි විෂට ප්‍රතිකාරයකි. ගවයින්ට විෂ සහිත කොළ වර්ග කැවුනු විට ඖෂධ සෑදිමට බුත්සරණ මුල් භාවිතා කරයි. බුත්සරණ ස්වේදකාරක, මුත්‍රකාරක ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්

Share:

0 comments:

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support