දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, December 28, 2015

ඒකාවේරිය / සර්පගන්ධ [Ekaweriya] (Rauvolfia serpentina)

දේශීය ශාකයක් වන ඒකාවේරිය ඖෂධයක් වශයෙන් පමණක් නොව දේශීයව රත්‍රං නිස්සාරණය සඳහා යොදාගත් රසායන ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කර ඇති බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" දැක්වේ. ඒකාවේරිය ශාකය මීටයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ලන්සාකාර පත්‍රයක් සෙ.මි. 7-13 පමණ වැඩෙන අතර ළා කොළ පැහැයෙන් යුක්තය. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය ඉදුණු විට දම් පැහැයක් ගනී. ඒකාවේරිය Apocynaceae කුලයට අයත් ශාකයකි.

මෑතක සිට Rauvolfia tetraphylla යන උද්භිද නාමයෙන් හඳුන්වන නිවර්තන ඇමරිකාව ජන්ම භූමිය කරගත් විදේශීය ශාකයක් වල් ඒකාවේරිය නමින් හඳුන්වමින්, ඒකාවේරිය වෙනුවට ඖෂධ සඳහා යොදා ගන්නා මුත් එය කිසිසේත්ම සුදුසු භාවිතයක් නොවේ. එවැනි නුසුදුසු ආදේශක ශාක භාවිතා කිරීම දේශීය වෛද්‍ය ක්‍රමවල ගුණාත්මක භාවයට හානිකර බව අවධාරණය කළ යුතුය. 

බටහිර ජාතීන් ඒකාවේරිය ශාකය අධි රුධිර පීඩනය සඳහා ප්‍රශස්ථ ඖෂධයක් බවට හඳුනා ගන්නේ 17 වැනි සියවසේදී පමණ වුවද අනාදිමත් කාලයක සිට පෙරදිග ජනයා මෙය ඖෂධ හඳහා භාවිතා කර ඇත. ළදරු අතීසාරය, කොළරාව, කුසගිනි මදිකම, ආර්තව වේදනා, ප්‍රසව ‍වේදනා, අධි රුධිර පීඩනය, සර්ප විෂ, මී විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ, උණ, චර්ම රෝග, මානසික රෝග, මැලේරියාව ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඒකාවේරිය ශාකයේ මුල් සහ කොළ යෙදූ ඖෂධ භාවිතා කරයි. මකුළු, සර්ප, ගෝනුසු, මීයන්ගේ විෂ ආදියට ඒකාවේරිය මුල් දෙහි ඇඹුලින් හෝ ඇල් දියෙන් උරච්චි කර ගෑම, සෙම්ගෙඩිවලට ඒකාවේරිය මුල්, එළබටු ගෙඩි දොඩම් ඇඹුලින් අඹරා ගෑම පහසුවෙන් කළ හැකි ප්‍රතිකාරයන් ය. ඒකාවේරිය පණුවන් නසයි. උණ නසයි. ගර්භාෂය උත්තේජනය කරයි. වේදනාව සමනය කරයි. නිද්‍රාජනකයි. රුධිරවාහිනී ප්‍රසාරණය කරයි. කුසගිනි වඩවයි. මේ ආදී ගුණ රාශියකින් සමන්විත වන ඒකාවේරිය ශාකය යොදාගෙන නිපදවන සර්පගන්ධා නාමය සහිත ඖෂධ වර්ග රාශියකි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරුව_ වනස්පති ෆේස්බුක් සමූහයෙන්
Share:

Tuesday, December 22, 2015

මහ උඳුපියලි [Maha Udupiyali] (Desmodium heterophyllum)

මෙය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික ශාකයකි. ශාකය පුරාම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර ත්‍රිපත්‍රි ය. පත්‍ර හට ගන්නා ස්ථාන හෙවත් ගැටවලින් පොළවට මුල් ඇදේ. මල දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. තරමක් විශාල පත්‍ර සහ අලංකාර පුෂ්ප මංජරියක් සහිත ඇත් උඳුපියලි (Desmodium heterocarpon) නමින් තවත් ශාකයක් ඇති අතර එහි ඖෂධීය භාවිතාවක් ගැන දැන ගන්නට නැත. මෙයට අමතරව හැමෝම දන්නා හීං උඳුපියලි ශාකය ගැන වෙනම ලිපියක් මෙහි පලකර ඇත. උඳුපියලි විශේෂ Fabaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.

අතීසාරය, උදරාබාධ, වණ, තුවාල ආදි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ කොළ සහ මුල් යොදා ගන්නා බව සඳහන් වේ. හීං උඳුපියලිය අභාවයේදී මෙම ශාකය භාවිතා කළ හැකි බවත්, ප්‍රතිකාර සඳහා භාවිතා කිරීමේදී මෙම ශාකය ද හීං උඳුපියලියවලට සමාන ගුණයෙන් යුක්ත බව හැඟී යන බවත් "ඔසුතුරු විසිතුරු" කෘතීන්හි දක්වා ඇත.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Thursday, December 17, 2015

බිංපොල් [Bimpol] (Trichopus zeylanicus)


බිංපොල් භූගත කඳක් සහිත කුඩා පැළෑටියකි. කඳ ළංව ඇහිරුණු පතනශීලී පත්‍රවලින් වැසී ඇත. පත්‍රවල හැඬය රේඛීය, ලන්සාකාර සිට ඩෙල්ටාකාර දක්වා පුළුල් පරාසයක දැකගත හැකිය. මල තදදම් පැහැතිය. දුඹුරු පැහැති මාංසල ඵලය ඉලිප්සීය, ත්‍රි කෝණික ආදී විවිධ හැඬයන්ගෙන් හමු වේ. මෙම ඵලය ආහාරයට ගත හැකි අතර එය කිරි රසින් යුක්තය බිංපොල් Trichopodaceae කුලයට  අයත් ශාකයකි.

දේශීයව සර්ප විෂට සහ කැඩුම් බිඳුම් වෙදකමේදී මෙම සම්පූර්ණ ශාකයම යොදා ගනී. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී අමුවෙන් යෙදීම සුදුසු බව සඳහන් වේ. සර්ප විෂට බිංපොල්, කහ, ලුණු දමා කොට බැඳීම සහ අස්ථි භග්නයකදී පොල් මැල්ලුමක් වශයෙන් යෙදීම සරල ප්‍රතිකාරයන් ය.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගොත්‍රික ජන කෙටසක් ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහාත්, කය වෙහෙසීමට ඇති හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහාත් බොහෝ කලක සිට බිංපොල් ශාකය භාවිතාකර ඇත. පසුව සොයා බැලීමේදී මෙම ශාකයේ මුල්වල ඇති රසායනික සංඝටකයක ක්‍රියාකාරීත්වය ඒ සඳහා හේතුවන බව තහවුරු කර ගන්නා ලද අතර එය එරටට මුදල් උපයන මාර්ගයක් බවටද පත්වී ඇත. එමෙන්ම ඉන්දියොවේදී අක්මා රෝග, තුවාල, උදරාබාධ, ලිංගික ක්‍රියාකාරිත්වය වර්ධනයට, සිරුරේ බර අඩු කිරීමට, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම ආදිය සඳහා ද බිංපොල් ශාකය භාවිතා කරයි. බිංපොල් විශබීජ නාශක ගුණ ද සහිතයි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු , ඖෂධීය ශාක සංග්‍රහය කෘති සහ අන්තර්ජාලයෙන්

සේයාරූ_ අන්තර්ජාලයෙන් 

Share:

Monday, December 7, 2015

යකිනාරං [Yakinaran] (Atalantia ceylanica)

යකිනාරං බොහෝ සෙයින් අතු බෙදෙමින් මීටර් 2 දක්වා උසට වර්ධනය වන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන් දැක ගත හැකිය. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය මංසල බදරියකි. ඵලය තුල බීජ රැසක් පිහිටා ඇත. ඵලාවරණය පැඟිරි සහිත ග්‍රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි.

ප්‍රතිශ්‍යා, ඇදුම, අජීර්ණය, ආමාතිසාර, උණ, ආහාර අරුචිය, පක්ෂඝාත, සන්ධි ඉදිමුම්, චර්ම රෝග, සන්නි රෝග, සර්ප විෂ, අර්දිත (මුහුණේ කොටසක් අකර්මන්‍ය වීම වැනි) රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී යකිනාරං ශාකයේ කොළ, පොතු, මුල්, ගෙඩි ආදිය භාවිතා කරයි. යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්‍රහණය කිරීම ප්‍රතිශ්‍යාවට සහනය ගෙනෙයි. මෙම කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්‍රතිශ්‍යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. අර්දිත රෝගයට ප්‍රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි. යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්‍රතිකාරයකි. මෙලෙස ප්‍රතිකාර සඳහා යකිනාරං ඒකියව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි.

යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය. මෙම ගෙඩි යාග හෝමවලදී පැඟිරි පස්පංගුව සඳහා ගනී. ගම්බදව බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සඳහා ද යොදා ගනී. යකිනාරං ගෙඩි විනාකිරි යොදා සකස්කරන ලද රසකාරක ව්‍යංජන රසවත් කිරීමට භාවිතා කරයි. එය උණ නිසා ඇතිවන අරුචියට යෙදීමද යොග්‍ය වේ.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 




Share:

Monday, November 30, 2015

නිදිකුම්බා [Nidikumba] (Mimosa pudica)

නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයකි. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ස්පර්ශ සංවේදීය. එම නිසා නිදිකුම්බා යන නම යෙදී ඇත. පත්‍ර නටුවල සහ කඳෙහි තියුණු කටු පිහිටා තිබේ. පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල අලංකාරවත්ය. ඵලය බූව සහිත කරලකි. එක් කරලක් තුල බීජ 3-4 සංඛාවක් පිහිටා තිබේ. නිදිකුම්බා  Fabaceae  කුලයට අයත් ශාකයකි.

සමේ රෝග,අතීසාරය, දියවැඩියාව, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, තුවාල ආදියෙන් සිදුවන අධික ලේ වහනය, මුත්‍රාශයේ ඇති වන ගල්, මුත්‍ර ආසාදන, ඉදිමුම්, අර්ශස්, ඔඩු සහිත වණ, ලාදුරු, සුදු කබර, ගර්භාෂයේ රෝග, හිසකෙස් ගැලවීයාම, සන්ධි ප්‍රදාහය හෙවත් ආතරයිට්ස්, ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්ධර රෝගය, පැසවන ලද තුවාල, දත් කැක්කුම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා නිදිකුම්බා ශාකයේ කොළ, මුල්, මල් ආදිය භාවිතා කරයි. නිදිකුම්බා මානසික අවපීඩනය දුරු කරයි. පිළිකාවන්ට ප්‍රතිවිරොධීතාවයක් දක්වයි. ස්වේද කාරක, මුත්‍ර කාරක සහ වමන කාරක ආදී ගුණ සහිතයි.

සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා එම ජලයෙන් සේදීම මගින් ඇතැම් චර්ම රෝගවලට සහනය ගෙනෙයි. කල් ගතවූ තුවාල හෝ අලුත කැපී රුධිරය ගලන තුවාලවල මතුපිට නිදිකුම්බා ශාකය තළා ඒ යුෂ ආලේප කළ විට රුධිරය ගැලීම නතර වී ඉක්මන් සුවයක් ලැබේ. නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීමෙන් දත් කැක්කුම, විදුරුමස් දියවීම, දත් දිරාපත්වීම, මුඛ ආසාදන වැනි මුඛාශ්‍රිත රෝග සුව වෙයි. නිදිකුම්බා ගසේ මුල් හොඳින් පිරිසුදු කර වියළා කුඩු කර එම කුඩු තේ හැඳි භාගයක් වතුර වීදුරුවකට දමා දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතීසාරයෙන් මිදිය හැකියි. නිදිකුම්බා මුල් කෂාය සාදාගන්නේ නිදිකුම්බා මුල් ස්වල්පයකට වතුර පත 4ක් පමණ දමා සිඳවා පෙරා ගැනීමෙනි. ඒමෙන්ම නිදිකුම්බා මුල් කෂාය රුධිරය පිටවන අර්ශස් සුවයටත් මුත්‍රා ආසාදන සුවයටත් යෝග්‍යයි. නිදිකුම්බා මුල් ග්‍රෑම් 60ක් පමණ අරගෙන එය බඳුනකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර එය පත එකකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කළොත් මුත්‍රා ගල් දියවීමට, මුත්‍රා අඩස්සිය සුවයට, මුත්‍රා දැවිල්ල සුවයට වගේම රුධිරය පිටවන අර්ශස් රෝගයටත් එය ගුණදායකය.

ස්ත්‍රී රෝග සඳහා භාවිත කරන ඔෟෂධ අතර ප්‍රධානතම ඔසුවකි නිදිකුම්බා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම පාහේ නිදිකුම්බා තැම්බූ දියෙන් සේදීමෙන් සුවයක් ලැබේ. සමේ ආසාදන නිසා හොරි, දද, කුෂ්ඨ ඇතිවී ඒවා කැසීම නිසා තුවාල හටගත හැකි අතර ඒ තුවාල සුවයටත්, කැසීමේ තත්ත්ව නැති කිරීමටත් විෂබීජ නාශනය කිරීමටත්, නිදිකුම්බා කොළ, මල් තැම්බූ වතුරින් ශරීරය සේදිය හැකිය. නිදිකුම්බා කොළ වියළාගෙන හොඳින් කුඩු කර ඒ කුඩු තේ හැන්දක් හෝ භාගයක් කිරිත් සමඟ මිශ්‍ර කර කෑම ඉහත කී සෑම රෝගයකටම ගුණදායකයි. ඉක්මනින් තුවාල වියළා සුව වීමක් ද එහිදී සිදුවේ. ආතරයිටිස් රෝගය වැලඳීමෙන් මිදෙන්නත් වැලඳුණු ආතරයිටිස් රෝගය සුව වන්නත් නිදිකුම්බා කොළ මඳ පවනේ වියළා කුඩු කරගෙන දිනපතා උදේ සවස එයින් ස්වල්පය බැගින් ගොටුවට දමා උණුවතුරින් තම්බා තේ මෙන් පානය කිරීම ප්‍රතිඵලදායකය.

මූලාශ්‍ර_   රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, November 23, 2015

රන්වන් කටුකරඬු [Ranwan Ktukaradu] (Barleria lupulina)

මෙය මීටර් 1.5 දක්වා උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන ශාකයකි. දිගැටි හැඩයෙන් යුත් තද කොළ පැහැති පත්‍රවල නාරටි රතු/දුඹුරු පැහැයෙන් යුක්තය. පත්‍ර නටුවෙහි මුල තියුණු කටු සහිතය. පුෂ්පමංජරියක හට ගන්නා මල් කහ තැඹිලි පැහැතිය. මෙහි ඵලය උලක් වැනි අවයවයක් සහිත ස්ඵෝටිකාවකි. රන්වන් කටුකරඬු ශාකය Acanthaceae කුලයට අයත්ය.

ප්‍රධාන වශයෙන් සර්ප විෂ සහ කෘමි දෂ්ඨන සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාක කොටස් භාවිතා කරයි. එමෙන්ම මාංශ පේශී ලිහිල් කිරීමට, වාත වේදනා, ගෙඩි, කුරුළෑ, බඩවැල් තුළ හට ගන්නා තුවාල, දියවැඩියාව, ස්නායු ආබාධ අාදිය සඳහා ද රන්වන් කටුකරඬු ශාකයේ කොළ, මුල් ආදිය භාවිතා කරයි. වේදනා නාශක සහ විෂබීජ නාශක ගුණ සහිතයි.

මූලාශ්‍ර_ අන්තර්ජායෙන්


Share:

Monday, November 16, 2015

බටකිරිල්ල [Batakirilla] (Erythroxylum moonii)

බටකිරිල්ල බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් ලෙස වැඩෙන කුඩා ශාකයකි. පොත්ත ළා දුඹුරු පැහැතිය. පත්‍ර ඉලිප්සාකාර - ලංසාකාරය. පොකුරක 1ක් හෝ 2ක් ලෙස පිහිටා ඇති කුඩා මල් සුදු පැහැතිය. ඵලය කොළ පැහැති බදරියකි. ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. එය කෑමට ගත හැකිය. එක් ඵලයක් තුල එක් බීජයක් පිහිටා ඇත. මෙය ගෘහ අලංකරණය සඳහා ද යොදා ගත හැකි ශාකයකි. එමෙන්ම තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, යාග හෝම ආදිය සඳහා ද බටකිරිල්ල ශාකය යොදා ගනී. ලංකාවේදී සහ ඉන්දියාවේදී හමුවන මෙම ශාකය Erythroxylaceae කුලයට අයත් ය.

ප්‍රධාන වශයෙන් වටපණු, කොකුපණු, කිරිපණු, පටිපණු ආදී පණු රෝග සඳහා සහ මාන්දමට ප්‍රතිකාර කිරීමේදී බට කිරිල්ල ශාකයේ කොළ සහ දළු නොයෙක් ආකාරයෙන් භාවිතා කරයි. බටකිරිල්ල කොළ අව්වේ වියළා කුඩු කොට එම චූර්ණය මී පැණියෙන් කලවම් කර කෑමට දීම. බටකිරිල්ල දළු චූර්ණය හා බැදි හාල් කුඩු මී පැණියෙන් අනා කෑමට දීමෙන් පසු විරේචක ඔසුවක් භාවිතා කිරීමෙන් වටපණුවන් විනාශ වන බව සඳහන්. කුඩා දරුවන්ගේ තද පණු ගායට මෙම ශාකයේ පොතු කෂාය කර පොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ සඳහන් වේ. ගම්බද මව්වරු දරුවන්ගේ පණු රෝග සඳහා බටකිරිල්ල කොළ යොදා සාදන අග්ගලා කෑමට දෙති. එමෙන්ම බට කිරිල්ල දළු ව්‍යාංජනයක් ලෙස ද සකසා අහාරයට එක්කර ගත හැකිය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය

Share:

Monday, November 9, 2015

පෝටා වැල් [Pota Wel] (Pothos scandens)


Pothos උද්භිද ගණයට අයත් ශාක විශේෂ 4 ක් මෙරටින් වාර්ථා වී ඇති අතර එයින් විශේෂ තුනක්ම අප රටට ආවේනික වේ. මෙම විශේෂ 4 අතරින් දේශීය ශාකය වන Pothos scandens පෝටා වැල් නමින් හඳුන්වා ඖෂධ සඳහා භාවිතා කරයි. පෝටා, පුරුක්වලින් හට ගන්නා කුඩා මුල් මඟින් ආධාරක ශාකයක් මත වැඩෙන බහුවාර්ෂික වැල් ශාකයකි. උප ආයත-ලංසාකාර හැඩැති පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර නටුවෙහි පියාපත් දක්නට ලැබේ. මේරු පත්‍ර කද කොළ පැහැති වන අතර ළපටි පත්‍ර ලා කොළ හෝ කහ පැහැයක් ගනී. ජද ශුකියක් වන පුෂ්ප මංජරියක හට ගන්නා කහ පැහැති මල් ද්වී ලිංගිකය. ඵලය ඉලිප්සාකාර බදරියකි. එය කොළ පැහැති වන අතර ඉදෙන විට තද රතු - රෝස රතු පැහැයට හැරේ එළුවන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස ද සැලකෙන පෝටා Araceae උද්භිද කුලයට අයත් ශාකයකි.

පොටා වැල් ප්‍රධාන වශයෙන් කැඩුම් බිඳුම් වෙදකමේදී පත්තු, මැල්ලුම් සහ තෙල් සෑදීම සඳහා භාවිතා කරයි. එමෙන්ම පිස්සුබලු විෂ, උණ, මුත්‍ර රෝග, දන්ත රෝග, පණු රෝග, සර්ප විෂ, තුවාල, වණ, අක්මා රෝග, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී පෝටා වැලේ කොළ සහ සම්පූණ ශාකයමත් භාවිතා කරන බව සඳහන්. පිස්සු බලු විෂට ඒකීය ඖෂධයක් ලෙස පොටා කොළ කැඳ සාදා දෙයි. ගැහෙන උණට පෝටා වැල් කලං 12 ක් පත 8 එකට සිඳුවා බොන්ට දෙයි. පණු මාන්දමට පෝටා කොළ ඉස්ම තල තෙලින් යොදා ප්‍රතිකාර කරයි. 

ගැමියන් ගොබ අවස්ථාවේ පවතින ළපටි පෝටා කොළ තෙල් දමා හෝ එකවර කිරි දමා ව්‍යංජනයක් ලෙස පිසගනී. එමෙන්ම ළපටි කොළ කලවම් පලා මැල්ලුමට එක්කර ගනී. ඉඳුණු ගෙඩි තම්බා කෑමට ගත හැකිය. පෝටා වැල කප්පාදු කිරීමෙන් විසිතුරු ශාකයක් ලෙස සකසා ගෘහ සහ උද්‍යාන අලංකරණයට යොදා ගැනීමට පුළුවන. මෙම වැල ශක්තිමත් කෙඳිවලින් යුක්ත වන හෙයින් ගම්බද ජනයා කූඩා විවීම, කඹ අඹරා ගැනීම සහ වරිච්චි බිත්ති බැඳීම ආදිය සඳහා උපයෝගී කර ගනී.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, November 2, 2015

කොබ්බෑ [Kobbe] (Allophylus cobbe)

කොබ්බෑ බොහෝ සේ අතු බෙදී පඳුරක් ආකාරයට වර්ධනය වන දේශීය ශාකයකි. වැලක් ආකාරයෙන්න වර්ධනය වන නිසා කොබ්බෑ වැල් ලෙසද හඳුන්වයි. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍රවල සියුම් බූවක් පිහිටයි. ශාඛාවන්ගේ අග්‍රස්ථයෙන් හට ගන්නා පුෂ්ප මංජරිය කොළ පැහැතිය. ඉතා කුඩා මල් සුදු කොළ පැහැයෙන් යුක්ත ය. මාර්තු / මැයි හා සැප්තැම්බර් /ඔක්තොබර්  මාසවලදී මල් පිපේ. කොළ පැහැති කුඩා ගෙඩි ඉඳුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. මෙය ලංකා‍වේදී සහ ඉන්දියාවේදී පමණක් හමුවන ශාකයකි. ඖෂධීය භාවිතාවන්ට අමතරව ගැමියන් ගොවිතැනේදී භාවිතා කරන උකුනුගස් ආදිය තැනීමට කොබ්බෑ ශාකය යොදා ගනී. කොබ්බෑ Sapindaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

කොබ්බෑ දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී භවිතාවන ප්‍රකට ඖෂධයකි. එමෙන්ම සර්ප විෂ, තුවාල, ඉඳිමුම් ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදීද කොබ්බෑ ශාකයේ කොළ, දළු, පොතු ආදිය භාවිතා කරයි. තුවාලයක ලේ නැවැත්වීමට කොබ්බෑ දළු කීපයක් කථා නොකර රෝගියාට පෙනෙන සේ අල්ලේ පොඩිකර තුවාලයට තබා බැඳීම පැරණි ප්‍රතිකාරයකි. පරණ තුවාලයක කොස්ස කැපීමට කොබ්බෑ දළු එළඟිතෙලින් තම්බා අඹරා තුවාලයට බඳියි. එම තුවාලය වියළීමට මඟුල් කරඳ පොත්තේ පිට සුඹුලු සමඟ තල තෙලින් තම්බා අඹරා බැඳිය යුතුය. ඇමැට්ටි, තැළුම්, ඉදිමුම්, ඇට පිපිරීම් ආදියේදී කොබ්බෑ කොළ පොතු, ඇට්ටමුරා කොළ පොතු, අමුකහ, දියලුනු දමා කොටා බැඳීමට නියම කර ඇත. කොබ්බෑ කොළ පොතු, ගස් රුක්අත්තන කොළ පොතු, දිවිකදුරු කොළ පොතු කොටා මලවා බැඳීම සර්ප විෂට ප්‍රතිකාරයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 

Share:

Monday, October 26, 2015

එළ ගොරකා [Ela Goraka] (Garcinia zeylanica)

මෙය කළු දුඹුරු පැහැති පොත්තක් සහිත මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මෙරටට ආවේනික ශාක විශේෂයකි. රතු ගොරකා ශාකයට බොහෝ සෙයින් සමාන වන අතර තරමක් දුර්ලභ ය. සරල පත්‍ර තද කොළ පැහැතිය. පුෂ්ප ඒක ලිංගිකය. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ඇතැම් කාලවලදී කඳ පැලී කහ පැහැති ලාටු වර්ගයක් නිකුත් වේ. මාංසල ඵලය කොළ පැහැති වන අතර ඉඳුණු පසු කහ පැහැයක් ගනී. සාපේක්ෂව රතු ගොරකා ගෙඩියට වඩා තරමක් විශාලය. ගෙඩියක් තුල සරු බීජ 1 - 2 පිහිටා තිබේ. මඳය සුදු පැහැතිය. එය පැණි රසින් යුක්ත වන අතර පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එළ ගොරකා Clusiaceae කුලයට අයත් ශාකයකි.

ගුණාත්මක වශයෙන්ද රතු ගොරකාවලට බොහෝ සෙයින් සමානය. එමෙන්ම රක්තවාතය, වණ, බඩවැල්වල රෝග, ආහාර අරුචිය, කලක් පවතින කුසගිනි මදිකම, සත්ව රෝග, කැඩුම් බිඳුම් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට එළ ගොරකා ශාකයේ කොළ, පොතු, මල්, ගෙඩි, ආදිය යොදා ගන්නා බව සඳහන් වේ. විෂබීජ නාශක සහ විරේචක ගුණ සහිතයි.

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support