දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, December 12, 2016

පනම් පෙති [Panam Peti] (Pyrrosia heterophylla)

පැරණි දේශීය ව්‍යවහාරික මුදල්වල පනමේ කාසිය මෙම ශාකයේ කොළවල ප්‍රමාණයට සමානව තිබූ හෙයින් පනම් පෙති සහ කාසි පෙති යනුවෙන් හැඳින්වූ මෙය වැලක් ආකාරයට වර්ධනය වන දේශීය මීවන විශේෂයකි. බොහෝ විට කුඩා ගස් සහ පඳුරු මත අපි ශාකයක් ලෙස වර්ධනය වන මෙහි පත්‍ර මාංසල ස්වභාවයක් ගනී. පර්නාංග විශේෂයක් හෙයින් මල් හට නොගන්නා අතර කඳෙන් පැන නගින සොරස නම් තරමක් දිගැටි ව්‍යුහයක පිහිටන බීජණුධානී තුල ඇති බීජාණු විසිරී යෑමෙන් ශාකයේ ව්‍යාප්තිය සිදු වේ. මෙම සොරස කිඹුලකුගෙ හැඩයක් ගන්නා නිසා පනම් පෙති ශාකය කිඹුල්වැන්න යනුවෙන්ද හඳුන්වයි. කිඹුල්වැන්න යන ව්‍යවහාරය පනම් පෙති යන හැඳින්වීමට වඩා පැරණි බවයි විද්වත් මතය. Persicaria ගණයට අයත් කිඹුල්වැන්න යනුවෙන් හඳුන්වන ඖෂධ පිණිස භාවිතා කරන දේශීය ශාක දෙකක් ද ඇති අතර දක්ෂ වෙදැදුරෙකුට යම් රෝගයකට අදාලව යෙදිය යුත්තේ කුමන ශාකය දැයි තීර්ණය කිරීම අපහසු කාර්යයක් නොවේ. පනම් පෙති Polypodiaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

අතීසාරය, පාචනය, මාන්දම, ගුද භ්‍රංසය, අක්ෂි රෝග, කැඩුම් බිඳුම් ඇතුළු අස්ථි ආබාධ, දැවුම් පිලිස්සුම්, අධික පිපාසය, වණ, තුවාල, ළදරු රෝග, විෂ ශරීරගත වීම ආදියට ප්‍රතිකාර කිරීමට පනම් පෙති ශාකයේ මංසල පත්‍ර යොදා ගනී. පනම් පෙති තුන් දොස් සමනය කරන ගුණ සහිතයි.

දැවුම් පිලිස්සුම් වෙදකමේදී භාවිතා වන තෙල් වර්ග සිඳීමේදී පනම් පෙති එකතු කරයි. අතීසාර රෝගවලදී ඇති වන අධික පිපාසයට පනම් පෙති තම්බාගත් ජලය බීමට දීම යෝග්‍යය. මාන්දම රෝගයේදී පනම් පෙති සහ අමු ඉඟුරු යොදා සෑදූ කැඳ ගිතෙල් දමා බීමට දෙයි. එයටම පනම් පෙති, කොක් මොට, කරල්හැබ, මොණරකුඩුම්බිය, විළදවැන්න, ඉරමුසු, හාතාවාරිය, ගිතෙල් තේ හැදි එකක් සහ සහිඳ ලුණු එක්කර කැඳක් සාදා ගත යුතු ය. මෙම කැඳට පොල්කිරි සහ ලුණු දැමීම නුසුදුසු බව සඳහන් කර ඇත. තිමිර නම් අක්ෂි රෝගයට පනම් පෙති ව්‍යංජනය ගිතෙල් දමා කෑමට දෙයි. කුඩා දරුවන්ගේ උදරාබාධ වලදී අරළු-පනම් පෙති කෂාය ගුණදායක ය. වණවල කොස්ස ඇදෙන්නට පනම් පෙති, හීරැස්ස, නවහන්දි, කැකුළුහාල්, අමුකහ, පොල්කිරෙන් තම්බා අඹරා ගෑ යුතුය. කැඩුම් බිඳුම්වලදී පනම් පෙති, පෝටා වැල්, මොණරකුඩම්බිය, හාතාවාරිය අල, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බැඳීම තිස් පැයේ හන්දි බෙහෙත නම් වේ. කුසපිළිකා, සන්නි ආදී රෝග සඳහා යොදන ජංසිංහ කායම නම් ඖෂධය, වාත විදුරංග තෛලය, සහ හෙනරාජ තෛලය ආදියේ පනම් පෙති අඩංගුය.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ වෛද්‍ය Wathsala Wijesinghe වනස්පති ෆෙස්බුක් සමූහයේ පලකර තිබුනකි

Share:

3 comments:

buddhika said...

mewa api podikale sellam gedara salli widiyata gaththe. habay ada thamay danne mechchara watina behethak kiyala. pinsiddawenawa obata. obe wayamin ma... labagath danuma athi mahath.
puluwannam illa kola, muruwa kola monawada kiyalath dannako ... nirogi sampathama labewa.......

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

අදහස් දැක්වීම ගැන ස්තුතියි ඔබට. ඉල්ල කියන්නේ Callicarpa tomentosa නම් දේශීය ශාකයට. මුරුවා කියන්නේ Marsdenia tenacissima නම් දේශීය වැල් වර්ගයට. ඉදරියේදී එම ශාක ගැන සවිස්තරාත්මකව පල කරන්නම්. මම සඳහන් කළ උද්භිද නාමයන්ගෙන් අන්තර්ජාලයේ සෙවූ විට අදාල ශාකවල ඡායාරූප ලබා ගත හැකියි.

Unknown said...

මට දැන ගන්න පුළුවන්ද මෙය හිස / හිස කෙස් සදහා යොදා ගන්නවද කියලා. නැත්නම් වෙන කිඹුල්වැන්න ඖෂධයක් තියෙනවා ද?

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support