දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, September 30, 2014

කීකිරිඳිය [Keekiridiya] (Eclipta prostrata)

තෙතමනය සහිත ස්ථානවල සුලභව හමුවන කීකිරිඳිය පැලෑටිය පොළවට සමාන්තරව මීටර් භාගයක් දක්වා දිගට වැඩෙන දුර්වල කඳක් සහිත දේශීය ශාකයකි. භූමිය මතුපිටට ඇලී වර්ධනය වන රතු පැහැති කඳේ ගැටවලින් පොළවට මුල් ඇදේ. පත්‍ර සහ කඳ සියුම් බූවක් සහිතය. පත්‍ර ඉලිප්සාකාර සිට ලංසාකාර විය හැකිය. පත්‍රයක් සෙ.මි 5 දක්වා දිගු වන අතර මි.මි 15 දක්වා පළලට වර්ධනය වේ. පත්‍ර දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. සුදු පැහැති සංයුක්ත පුෂ්පයෙහි කුඩා පුෂ්පිකා රාශියකි. ඵලය චර්මලයකි. කේෂ කලාපයේ සහ හිසේ නිරෝගීභාවයට අදාලව වඩාත් ප්‍රකට කීකීරිඳිය ශාකය Asteraceae කුලයට අයත් ය. 

හිස කෙස් වර්ධනය කිරීමටත්, අකලට කෙස් හැලී යාම වැලැක්වීමටත් සමත් ගුණයන් සහිත බැවින් කේෂ කලාපයේ සහ හිසෙහි රෝග සඳහා කීකිරිඳිය සුලභව භාවිතා කරයි. එමෙන්ම පාණ්ඩු, පීනස, ඇදුම, ක්ෂය රෝගය, හෘද රෝග, යාකෘත් රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, සෙංගමාලය, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, පණු රෝග, වණ, අක්ෂි රෝග, මුත්‍ර දැවිල්ල ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කීරීමේදී මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. භෘංගරාජ චූර්ණය, භෘංගරාජ තෛලය කීකීරිඳිය යොදා නිපදවන ඖෂධයන් ය. බොහෝ විට කීකීරිඳිය අමු අවස්ථාවේදී භාවිතයට ගතයුතු වීම විශේෂත්වයකි. 

කීකිරිඳිය ස්වරස (අමු යුෂ) කෙස්වල ගැල්වීමෙන් අකලට හිසකෙල් හැලී යාම නවතී. එම ස්වරසය හිසෙහි ගැල්වීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. මුත්‍ර දැවිල්ලට ස්වරස තේ හැඳි එකක් ජලයට දියකර බීම, ඇට යොදා සකසා ගත් කිරි කෂාය දීම ගුණදාකය. කීකිරිඳිය ස්වරස එළු කිරි සමඟ බීමෙන් ගබ්සාවීම් වලක්වා ගත හැකිය. කීකිරිඳිය බටු දළු යුෂ මී පැණි සමග දීමෙන් සෙම සහිත කැස්ස සුව වේ. මෙම කොළ මලවා කෑම පණු රෝග සඳහා ප්‍රතිකාරයකි. කෘමි දෂ්ඨන ආදීයෙදී බාහිරව යුෂ ගැල්වීම හෝ ප්‍රලේපය තැවරීම සුදුසු ය. කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම අම්ලපිත්තයට ගුණ වේ. පාණ්ඩුව රෝගයේදී කීකිරිඳිය යොදා සකසා ගත් නොයෙක් ඖෂධ යෝග යෙදීමෙන් රක්තාණු වර්ධනය වීම සහ රුධිරය පිරිසිදු වීම සිදු වේ. කීකිරිඳිය ඇට චූර්ණය රසායන වාජීකරණ ගුණයෙන් යුක්ත ය. කීකිරිඳිය ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධ ඇති නොවන බව ගැමියෝ කියති. පෙර කළ ගැමි කතුන් කළුවන් නිරෝගී දිගු වරලසක් සඳහා ස්නානයට පෙර කීකිරිඳිය යුෂ හිස ගැල්වීමට අමතක නොකලේය. මෙම යුෂද කාල වර්ණය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 

Share:

Saturday, September 27, 2014

කුඹුක් [Kubuk] (Terminalia arjuna)

ඉපැරණි සිංහල ග්‍රන්ථවල කුකුභ යනුවෙන් හඳුන්වා ඇති කුඹුක් මීටර් 25 ක් දක්වා ඉහලට අතු පැතීරි වැඩෙන දේශීය ශාකයකි. ආයුර්වේදයේ ප්‍රකට නාමය අර්ජුන ය. රෝස හෝ කොළ සුදු පැහැයට හුරු සිනිඳු පොත්ත පතුරු ලෙස ගැලවී ඉවත් වන ස්වභාවයකි. සරල පත්‍ර සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 15 ක් දක්වා සහ පළල සෙ.මි. 7 දක්වා අතර විය හැකිය. පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. ළපටි පත්‍රවල බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. වෘන්ත රහිත කුඩා මල් ළා කහ හෝ කොළ සුදු පැහැතිය. ඵලය නොපැලෙන අෂ්ටිලයකි. එක් ඵලයක් තුල තද දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. කුඹුක් Combretaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අධිරුධිර පීඩනය, වණ, අස්ථිභග්න, හෘද රෝග, පෙනහලු රෝග, දියවැඩියාව, ප්‍රමේහ, විඩාව, මූර්ජා, පණු රෝග, උදර රෝග, ගම්භීරකුෂ්ඨ, විදුරුමසින් ලේ ගැලීම, විසූචිකා, පාන්ඩු, සුදු කබර, රක්ත අතීසාරය, රක්ත අර්ශස්, රක්තපිත්ත, ඉදිමුම් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කුඹුක් කොළ, පොතු, සුඹුලු, ගෙඩි ආදිය භාවිතා කරයි. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතු බව සඳහන් කර ඇත. කුඹුක් රක්ත ස්තම්භන, සන්ධානී, වණ ශෝධනය සහ රෝපණය කරන, මුත්‍ර සංග්‍රහනී, විෂ නාශක ආදී ගුණයන් රැසකින් සමන්විතයි. කුඹුක් පොතු විශේෂයෙන් හෘදය ශක්තිමත් කිරීමේ හැකියාවෙන් යුක්ත බව පැරණි වෛද්‍ය මතයකි. 

ක්ෂය රෝගය, රක්ත පිත්ත, රක්ත ස්‍රාව, පපුවේ දැවිල්ල ආදියට කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොළ යුෂින් භාවනා දී (රැයක් පවට්ටා යුෂවල බහා තබා පසු දින උදයේ සිට වේලා) සියුම්ව අඹරා ගිතෙල් සමඟ කෑමට ගත යුතුය. ශුක්‍ර මේහයට සහ ශ්වේත ප්‍රදරයට කුඹුක් පොතු, සුදු හඳුන් සමව ගෙන සකසා ගත් කෂාය බීමට දෙයි. ශුක්‍ර මේහයට, ඉරුවාරදයට, බොහෝ චර්ම රෝග සඳහා සහ ශරීර ශක්තියට කුඹුක් පොතු කෂාය ගුණදායක ය. රත්පිතට කුඹුක් ශීත කෂාය යොදයි. වණ සඳහා ප්‍රතිකාර ලෙස කුඹුක් කොළයකින් වණය වසා තැබීම, කුඹුක් කොළ තම්බා සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වණය මත ඇතිරීම ආදිය සිදු කරයි. ව්‍යංගයට කුඹුක් පොතු ගලගා ආලේප කරයි. රක්ත අතීසාරයට කුඹුක් පොතු කිරි කෂාය බීමට දෙයි. ඉදිමුමට කුඹුක් මල් අඹරා ආලේප කරයි. කුඹුක් සුඹුලු චූර්ණයෙන් දත් මැදීමෙන් දත් කැක්කුම සුව වෙයි. කුඹුක් පොතු මී පැණියෙන් ගලගා තැවරීමෙන් කුරුලෑ නැතිව යයි. කුඹුක් පොත්තේ, කඳේ සහ පොතුවල ඇති රසායනික සංඝටක පිළිකා සෛල වර්ධනය නිශේධනය කරන බව සඳහන්. කුඹුක් පොතු කෝපි මෙන් කුඩු කර සාදා බීම යටි පතුල් පැලීමට සහ දියවැඩියාවට ගුණ බව ගම්බඳ ජනයාගේ අදහසකි. 

කුඹුක් දළු මැල්ලුම අනුභව කිරීමෙන් මලබද්ධය සුව වන අතර අායුෂද වැඩි කරයි. කුඹුක් ලීය වටිනා දැවයකි. එය පාලම් ඉඳිකිරීමට, සිල්පර කොට සඳහා, ගෘහ භාන්ඩ නිපදවීමට, ඔරු, හබල් ආදිය තැනීමට භාවිතා කරයි. කුඹුක් ගසේ සිසිල සහ පිරිසිදු බව නිසා ළිං අසල වගා කරයි. මෙහිදී ගසේ මුල් ළිඳ තුලට වැඩීමෙන් ජලය සිසිල්වීම සහ පිරිසිදුවීම සිදුවේ. කුඹුක් ගසක් යට දිය නෑම ශරීරය සිසිලසින් කුල්මත් වන අත්දැකීමකි. දැඩි නියං කාලයට වූවද එම සිසිලස එලෙසම පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:

Wednesday, September 24, 2014

කොටදිඹුලා [Kotadibula] (Ficus hispida)

කොටදිඹුලා මීටර් 5 පමණ උසට ලිහිල්ව අතු පැතිරී වැඩෙන දේශීය ශාක විශේෂයකි. දෙපසම රළු බූවක් සහිත පත්‍රයක් දිග සෙ.මි. 30 ක් සහ පළල සෙ.මි 15 දක්වා වර්ධනය වේ. පත්‍රයක හැඩය අණ්ඩාකාර හෝ ආයත විය හැකිය. සම්මුඛව පිහිටන පත්‍ර යටි පැත්තෙහි නහර මෙන් ඉල්පුණු පටලමය නාරටි පැහැදිළිව පෙනෙන්නට තිබේ. සිනිඳු මතුපිටක් සහිත පොත්ත කිරි සහිතය. කඳෙහි, අතුවල සහ කඳේ පහලින් හට ගෙන පොළව මතුපිට දුවන මුල්වල කෙටි නටුවක් සහිත සංයුත්ක පුෂ්පමංජරි හට ගනී. කොළ පැහැති කිරි සහිත ගොලාකාර ඵලය ඉඳුණු පසු කහ පැහැයක් ගනී. අමු ගෙඩි ව්‍යංජනයක් ලෙසද පිසගත හැකිය. කොටදිඹුලා Moraceae කුලයට අයත් ශාකයකි. 

ගෙඩි, වණ, තුවාල, චර්ම රෝග, කැඩුම් බිඳුම්, රත්පිත, අර්ශස්, සෙංගමාලය, උණ, ඉදිමුම්, සුදු කබර, සර්ප විෂ, උළුක්කු සහ හන්දි පැනීම් ආදි රෝගයන්ට ප්‍රතිකාර කිරීමට කොටදිඹුලා ශාකයේ කොල, පොතු, මුල්, ගෙඩි, ඇට, මැලියම් ආදිය භාවිතා කරයි. කොටදිඹුලා විරේචක, රුධිරය පිරිසිදුකරන, මව් කිරි වඩවන ගුණ සහිතයි. 

ලේ නරක් වීම සහ ඉදිමුම් අවස්ථාවන්ට කොටදිඹුලා පොතු කෂාය දෙයි. එයම බාහිරව ගැල්වීමෙන් කුෂ්ඨ සමනය වන අතර වණ ශෝධනය සඳහා ද භාවිතා කළ හැකිය. රක්තපිත්තයට ඉදුණු ගෙඩිවල ස්වරසය යෙදිය හැකිය. ඉදුණු ගෙඩිවල යුෂ තැවරීමෙන් ගංඩමාලා ගැට සුව වෙයි. මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු කිරි වැඩීම පිණිස ඉඳුණු ගෙඩි කෑමට දෙයි. කොටදිඹුලා ගෙඩි තම්බාගත් යුෂ පැණියක් ලෙස සකසා දීම ප්‍රදර රෝගයන්ට ප්‍රතිකාරයකි. සර්ප දෂ්ටනයකදී කොටදිඹුලා ගසෙහි බටහිර පැත්තේ උඩ සිට පහලට ගලවා ගත් පොත්ත විෂ ගමන් කීරීම වැලැක්වීම පිණිස බන්ධනියන් වශයෙන් යොදයි. සුදු කබර රෝගය සඳහා ප්‍රතිකාර ලෙස විහීතකාදී ක්වාතයත්, බුලු පොතු සහ කොටදිඹුලා පොතු සමව ගෙන සෑදූ ක්වාතයත් යොදයි. කොටදිඹුලා කොළවලින් සාදා ගන්නා කැඳ සර්ප විෂට, සුදුකබර රෝගයට සහ චර්ම රෝගයන්ට ගුණදායකය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 

Share:

Sunday, September 21, 2014

කොත්තමල්ලි (Coriandrum sativum)

මෙය අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. ගසේ කඳ ළා කොළ පාට හෝ දම් පාටය. ශාකයේ අතු බොහෝය. පත්‍ර ඒකාන්තරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් ඇත. පහළින් ඇති පත්‍ර වර්ගයේ නටු දිගයි. ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු ඉතා කෙටිය. මේ පත්‍ර ඛණ්ඩ යුගල දෙකකට හෝ තුනකට බෙදී ඇත. පත්‍ර ඛණ්ඩවල හැඩය අණ්ඩාකාරය. ඒවායේ දාරය දන්තූරය. පුෂ්ප මංජරිය සංයුක්ත පත්‍රයකි. එය සාමාන්‍යයෙන් කුඩා පත්‍ර පහකින් සමන්විතය. ඇතැම්විට කුඩා නිපත්‍ර ඇත. පුෂ්ප සුදු පාට හෝ දම් පාටය. ඒවා ද්විලිංගික හෝ ඒකලිංගික විය හැකිය. ඒකලිංගික පුෂ්ප වැඩි වශයෙන් පූමංගී පුෂ්ප වේ. පුෂ්පයේ මනිපත්‍ර කුඩාය. වටකුරුය. දාර සහිතය. එය මිරිකූ විට කැඩී අර්ධ ගෝලාකාර කෝෂ්ඨ දෙකකට වෙන් වේ. එක් එක් කෝෂ්ඨයේ පිට පැත්ත උත්තලය. ඇතුළු පැත්ත අවතලය. කෝෂ්ඨයක එක් බීජයක් ඇත. ඵලවල වාෂ්ප වන සුලු තෙලක් තිබේ. කොත්තමල්ලි ශාකයෙන් සහ ඇටවලින් තද සුවඳක් නිකුත් වේ.

කඳෙහි සහ පුෂ්පවල වර්ණය අනුව කොත්තමල්ලි ප්‍රභේද දෙකක් සේ හඳුනාගෙන තිබේ. එක ප්‍රභේදයක කඳ ළා කොළ පාටය. පුෂ්ප සුදු පාටය. අනෙක් ප්‍රභේදයේ කඳ දම් පාටය. පුෂ්ප ද  තරමක් දම් පාටය.

මෙය ලෙබනන්, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවල වල් පැළෑටියක් ලෙස වැවේ. පාකිස්ථානයේ සහ ඉන්දියාවේ එය වාණිජ බෝගයක් සේ වගා කෙරෙයි. එංගලන්තය ඇතුළු බටහිර යුරෝපීය රටවලත්, නැගෙනහිර යුරෝපීය රටවලත් ලංකාව ඇතුලු ආසියාතික රටවල් රාශියකත් කොත්තමල්ලි කුළු බඩුවක් සහ ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. මෙහි ඇටවලින් සිඳින තෙල් ඉතා සුවඳවත් ය.

ලංකාවේ කොත්තමල්ලි වගා කෙරෙනුයේ සුළු වශයෙනි. එය නුවරඑළිය ප්‍රදේශයේ රහංගල හා ඌව ප්‍රදේශයේ වියළි පතන්වල වගා කෙරේ. මෙරට වගා කිරීමට යෝග්‍ය ලෙබනනයේ සිට ගෙනෙන කොත්තමල්ලි බීජයි. ඉන්දියාවේ මයිසූර් හා මදුරාසිය යන ප්‍රදේශවලත් දකුණු ඉන්දියාවේ බොහෝ පළාත්වලත් කොත්තමල්ලි බහුලව වගා කෙරේ. මෙරටට කොත්තමල්ලි වැඩිපුර ගෙනෙන්නේ ඉන්දියාවෙනි.

ඖෂධීය වටිනාකම

කොත්තමල්ලි යනු දෙමළ නමකි. සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල මෙය හැඳින්වෙන්නේ “කුස්තැන්බරු“ යනුවෙනි. ඉන් බිඳී ආ සිංහල නාමය කොතඹුරුය.

අමු කොත්තමල්ලි පිත නසයි. මිහිරිය. සුවඳවත්ය. ආහාර ප්‍රිය කරයි. වියළුෑ කොත්තමල්ලි සෙම් හා වාත නසයි. දැවිල්ල, වමනය, පිපාසය හා උණ පහ කරයි. කුසගිනි වැඩි කරයි. හෘදයට හා ඇස්වලට හිතකරයි. මුත්‍රා වැඩි කරයි. මුඛයෙන් දුගඳ හැමීම වළක්වයි. කිපුණ වා, පිත්, සෙම් ආදී තුදොස් පහ කරයි. සෙම් දෝෂ, ප්‍රතිශ්‍යා දෝෂ හා පීනස් දෝෂ ආදියට පිළියම් කරනු පිණිස තනනු ලබන ඖෂධ බොහෝවකට කොත්තමල්ලි එකතු කෙරෙයි. ප්‍රතිශ්‍යාවකදී ඉඟුරු හා කොත්තමල්ලි දෙවර්ගය තම්බා බීම අදත් මෙරට ජනතාව අතර පවත්නා පුරුද්දකි. මෙරට ගෘහණියන් ව්‍යාංජන රසවත් කිරීම සදහා භාවිතා කරන සරක්කු තුන-පහ ආදිය සෑදීමේදී එයට  අනිවාර්යෙන්ම වියළි කොත්තමල්ලි එක් කෙරේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර

    
Share:

Thursday, September 18, 2014

කෝමාරිකා (Alove vera)

මෙය ඉතා ප්‍රකට ඖෂධයක් වන අතර අඩි 1-2 අතර උසට වැඩෙන ශාකයකි. එහි පත්‍ර නිර්වෘන්තකය. ඒවා සෙව්වන්දියක හැඩයට පිහිටා ඇත. පත්‍ර ඉතාම මාංසලය. සාමාන්‍යයෙන් සෙ.මි. 38 පමණ දිගය. පත්‍රයක් සෙ.මි. 7 1/2 පමණ පළලය. මි.මි. 19 ක් පමණ ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා පත්‍ර ක්‍රමයෙන් පටුවී යයි. පත්‍ර අග්‍රය උල්ය. දාරය සකණ්ටක ලෙස දන්තූරය. ශාකයේ පුෂ්ප එල්ලෙමින් ඒකාක්ෂකවල ඇත. පුෂ්ප කහ පාටය. පරිපුෂ්පයේ කොටස් සිලින්ඩරාකාර නළයක් වශයෙන් ඒකාබද්ධ වෙයි. ඵලය ස්ඵෝටිකාවකි. 

කෝමාරිකා ප්‍රභේද දෙකකි.
1. වෙරා : කිනෙන්සීස් (vera : kinensis)
2. වෙරා : ලිටොරාලිස් (vera : litoralis) යනුවෙනි.

මුලින් කී ප්‍රභේදයේ පත්‍ර පාදවල පැහැදිලි දම් පාටක් දක්නට ලැබේ. දෙවනුව කී ප්‍රභේදය වෙරළබඩ පෙදෙස්හි හමුවේ. එය මුලින් කී ප්‍රභේදයට වඩා කුඩාය. ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මේ දෙවැනි ප්‍රභේදයයි.

කෝමාරිකාවල ලක්ෂණ අනුව එය ශුෂ්ක ශාකයක් බව කිව හැකිය. එය උතුරු අප්‍රිකාවට දේශීය වූ ශාකයකි. බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ලංකාව හා චීනය ආදී රටවල වැවේ. ශාකයේ ප්‍රචාරණය සිදු වන්නේ මොටෙයියන් මඟිනි. කෝමාරිකා (Liliaceae) කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම

මෙම ශාකයේ පත්‍ර ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. මාංසල පත්‍රවල අධික ලෙස නානු ඇත. මේවා ඉතා සිසිල්ය. අර්ශස් රෝග හා ගුද මාර්ගය වේළීමේ ආබාධවලදී මේ නානු යොදා පිළියම් කෙරේ.  ඒවා ඇස් රෝගවලදී ඇසට දැමීමටද යොදා ගැනේ. 

කෝමාරිකා කසට රසය, සිසිල්ය, ඇසට හිතය, මල බුරුල් කරයි. රසායන ගුණයෙන් ඉහළයි. පෙනහලු තුවාල, වාත, පිත හා සෙම කිපීමෙන් ඇතිවූ රෝග, ඉදිමුම්, රුජා, දැවිල්ල, දද, කුෂ්ට, ලේ ගෙඩි හා විවිධ සමේ රෝග නැති කරයි. සෙංගමාල, ගුල්ම, පිලීහා රෝග හා උමතු රෝග ආදියෙන් පෙළෙන අයට හිසේ දැමීම සඳහා පිළියෙළ කෙරෙන තෙල් වර්ගවලට වෙනත් ඖෂධ සමග කෝමාරිකා යොදනු ලැබේ.

නූතනයේ රූපලාවණ්‍ය ශීල්පීන්ට කෝමාරිකා නැතිවම බැරි ද්‍රව්‍යයකි. සම පැහැපත් කිරීම, සමේ ලප පැල්ලම් මැකීම, බිබිලි හා කුරුලෑ සුව කිරීම, සමේ තෙතමනය ඇති කිරීම ආදිය සඳහා කෝමාරිකා මදය හා නානු බහුලව භාවිතා කෙරේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ අනුග්‍රහය_  en.mr-ginseng.com pattysserie.blogspot.com veradermis.com



Share:

Monday, September 15, 2014

කොතලහිඹුටු [Kotalahibutu] (Salacia reticulata)

කොතලකෙමිය යනුවෙන්ද හඳුන්වන කොතලහිඹුටු පඳුරක් ලෙස වැවෙන දැඩි කඳක් සහිත කාෂ්ඨීය වැලකි. කඳ අළු පැහැයට හුරු සුදු පැහැතිය. ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර හැඩයක් සහිත පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 12 ක් සහ පළල සෙ.මි. 5.5 ක් දක්වා වර්ධනය වේ.පත්‍රයේ උඩ පෘෂ්ඨය දිලිසෙන ස්වභාවයක් ගනී. යට පෘෂ්ඨය ළා පැහැති වන අතර සියුම් නාරටි සහිත කැපී පෙනෙන ජාලාභ නාරටි වින්‍යාසය වෙනත් Salacia විශේෂ වලින් වෙන්කර හඳුනා ගැනීම පහසු කරයි. කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ඵලය රළු පොත්තක් සහිත ගෝලාකාර අෂ්ටිලයකි. ඉදෙන විට දීප්තිමත් රෝස පාටට හුරු තැඹිලි පාටක් ගනී. එය අගනා පළතුරකි. ඵලයෙහි නටුව සම්බන්ධ වන ස්ථානයේ ඉහලට පිහිටන නෙරුම ද කොතල හිඹුටු අනෙක් හිඹුටු වර්ගවලින් වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වෙයි. කොතලහිඹුටු ශාකය පහසුවෙන්ම හඳුනා ගත හැකි තවත් ප්‍රකට ලක්ෂණයක් වන්නේ ක‍ඳේ හරස්කඩේ ඇති පැහැදිලිව පෙනෙන වලයාකාරව පිහිටන අලංකාර වෛරම් ය. මේවා නිසා කොතලහිඹුටු කඳ වටිකාකමින් ඉහල කෝප්ප, ජොග්ගු වැනි භාණ්ඩ නිපදවීමටද භාවිතා කරයි. වඳවීයාමේ තර්ජනයටද ලක්වී ඇති වටිනා දේශීය ශාකයක් වන කොතලහිඹුටු Hippocrateaceae උද්භිද කුලයට අයත් ය. 

කොතලහිඹුටු දියවැඩියා රෝගය සඳහා සාර්ථකව යොදා ගත හැකි බව පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. එමෙන්ම විෂමේහ, ආමවාත, චර්ම රෝග, ප්‍රමේහ, වණ ආදියට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු ශාකයේ මුල්, පොතු හා වැල භාවිතා කරයි. කොතලහිඹුටු වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන ගුණයන් සහිතයි. 

දේශීයව විෂමේහ, මධූමේහ, ශර්කරාමේහ ඇතුළු මේහ රෝග  රෝග සඳහා කොතලහිඹුටු බහුලව භාවිතා කර ඇති බවත්, මේහ චිකිත්සාවේ එන ඖෂධ යෝග බොහෝමයක යෙදී ඇති බවත් සඳහන්. විශේෂයෙන් මේහ රෝගීන්ගේ පිපාසය නැති කිරීමට යොදා ගෙන ඇත. කොතලහිඹුටු පමණක් තම්බා පානය කිරීමෙන් දියවැඩියාව පාලනය කර ගත හැකි වේ. දියවැඩියාවේ ඉදිරි අවස්ථාවක් වන මධුමේහයට ප්‍රතිකාර කිරීමේදී කොතලහිඹුටු කලං 12 කෂායද, කොතලහිඹුටු වෙනත් ඖෂධ සමඟ යෙදූ යෝගද භාවිතා කරයි. වණ චිකිත්සාවේදී කොතලහිඹුටු මුලේ පොතු යෙදූ පත්තු සහ මැල්ලුම් යොද ගනී. 

කොතලහිඹුටු මුල් වැඩි ප්‍රමාණයක් දිනපතා තම්බා පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත වැටිය හැකි බවත්, ඒ හේතුවෙන් ක්ලාන්තය, ඇස් නිලංකාර වීම වැනි කම්පන ලක්ෂණ සහ ඇතැම් විට මරණය පවා සිදු විය හැකි බව දක්වා ඇත. ඒ නිසා දියවැඩියාවට කොතලහිඹුටු භාවිතා කරන්නේ නම් රුධිරයේ සීනි මට්ටම ගැන නිරන්තර අවධානයෙන් පසු වීම අතිශයින් වැදගත් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
ගෙඩි සහිත සේයාරුව Tirantha Manuranga මහතාගෙන් 
Share:

Friday, September 12, 2014

කොල්ලු (Dolichos biflorus)

මෙය වාර්ෂික ශාකයකි. තරමක් සෘජු අඩි 2-3 අතර උසැති කඳක් ඇත. ඇතැම් විට එය ආධාරකයක් මත එතී ඉහළට නගී. ශාකයේ පත්‍ර පක්ෂවත්ය. ත්‍රිපත්‍රීය. පත්‍රිකා සෙ.මි. 5 ක් පමණ දිගය. ආයතය. පත්‍ර කක්ෂවල පත්‍ර 1 ක් 2 ක් හෝ 3 ක් ඇත. නිපත්‍ර ලන්සාකාරය. පුෂ්ප මනිය ම්.මි. 5 ක් පමණ දිගැතිය. පරාගධානි ඒකාකාරය. ඩිම්බ කොෂ උත්තරය. ඩිම්බ රාශියක් ඇත. කීලය සූත්‍රාකාරය. කලංකය අග්‍රස්ථය. ඵලය රනිලයකි. එය සාමාන්‍යයෙන් සෙ.මි. 7 1/2 පමණ දිගැතිය. එහි හැඩය වකුටු කඩුපතක් වැනිය. එක කරලක බීජ 6-7 ක් ඇත. ඒවා වෘක්කාකාරයි. බීජ අළු පැහැතිය. ඇතැම් විට රතු පාටට හුරු දුඹුරු පාට විය හැකිය. බොහෝ ආසියාතික රටවල ජනයා කොල්ලු භාවිතා කරයි. මිනිස් ආහාරයක් සත්ව ආහාරයක් හා ඖෂධයක් වශයෙන් එය භාවිතයට ගැනේ. කොල්ලු Fabaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම

කොල්ලු කටුකය, ඌෂ්ණය, කහට ගතියෙන් යුතුය, ඇසට හිතකරය, මල ඝන කරයි. වණ සුව කරයි. කිපුන සෙම, ශූක්‍ර හා වාත නසයි. හුස්ම ගැනීමේ අපහසුතා, ඉක්කා හා අර්ශස් ආදියෙන් පෙළෙන රෝගීන්ට හිතකරය. මුත්‍රාශයේ ගල්, ප්ලීහා රෝග හා පීනස පහ කරයි. වල් කොල්ලු අර්ශස්, ඉක්කා හා ශ්වාස නසයි. රත් පිත ඇති කෙරේ. අර්ශස්, කෘමි රෝග හා ගණ්ඩමාල ආදී රෝගයනට ප්‍රතිකාර සඳහා තනනු ලබන ඖෂධවලට කොල්ලු එක්කර ගැනේ. මෙරට ජනතාව ආදියේ සිටම කොල්ලු හා සුදු ළුෑණු තම්බා බීමෙන් වාත රෝගවලින් සුවය ලැබීමට පුරුදුව උන්හ. 

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Saturday, September 6, 2014

කූරතම්පලා [Kuratampala] (Amaranthus viridis)

ගැමි වහරේ කූර කොළ යනුවෙන් ද, දේශීය වෙදකමේදී සුලුකූර යනුවෙන් ද  හඳුන්වන  කූරතම්පලා සෙ.මි. 60 පමණ උසට සෘජු කඳක් සහිතව හෝ මුලින් අතු බෙදීගිය පඳුරක් ආකාරයට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට මීටර් 1 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. තරමක් මංසල කඳ රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. තරමක් දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය බොහෝ විට අණ්ඩාකාර හෝ රොම්බසීය-ආයත ය. පත්‍රයක් දිගින් සෙ.මි. 7 සහ පළලින් සෙ.මි. 5.5 දක්වා වර්ධනය වේ. අග්‍රස්ථීය හෝ කක්ෂීය ශුකිවල හට ගන්නා මල් ළා කොළ පැහැතිය. ඵලය  ස්ඵෝටිකාවකි. ගෝලාකාර කුඩා බීජ තද දුඹුරු හෝ කලු පැහැයක් ගනී. දෙශීය ශාකයක් වන කූරතම්පලා Amaranthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

තුවාල, දැවිල්ල, අහාර අරුචිය, කුසගිනි මදිකම, රක්ත ප්‍රදර, රක්ත අතීසාරය, රක්ත අර්ශස්, රත්පිත්, රක්තහීනතාවය, විෂ ශරීගත වීම, මව්කිරි මදිකම, ඔසප් වීමේදී අධික රුධිර වහනය, අකලට හිසකෙස් වැටීම, චර්ම රෝග, පිලිස්සුම්, ස්වසන ආබාධ, පණු රෝග, ප්‍රමේහ, සන්නි රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා කූරතම්පලා ශාකයේ කොළ, මල්, දඬු, මුල් ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. කූර තම්පලා හෘදයට හිතකර, ඇස් පෙනීම දියුණු කරන, විෂ නසන, අරුචිය නසන, කුසගිනි වඩවන, පිළිකාවන්ට ප්‍රතිවිරෝධී, රැධිර වහනය වලක්වන සහ රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන්ගෙන් සමන්විතයි.

ඔසප් වීමේදී සිදුවන අධික රුධිර වහනය කූරතම්පලා සම්පූර්ණ ශාකයම තම්බා බීමට දෙයි. එමෙන්ම රක්ත අර්ශස් වැනි ශරීරයෙන් ලේ පිටවන වෙනත් රෝගවලදී කූරතම්පලා සහිත කෂාය යොදා ප්‍රතිකාර කරයි.  විෂ කැවුනු විට මෙම මුල් අඹරා උණු වතුරින් බීමට දෙයි. විෂ ඉවත් කිරීමට වමනය කරවීම සඳහා ද මුල් යොදා ගනී. රක්ත ප්‍රදරයට මෙම මුල් හාල්පානු වතුරෙන් අඹරා මී පැණි සමඟ ගත යුතුය. සුලුකූර පංචාංගය තෝර පරිප්පු සමඟ තම්බා බීමෙන් මව්කිරි වැඩෙන බව සඳහන්. කූරතම්පලා සහමුලින් ගෙන කැඳ සාදා බීමෙන් අකලට හිස කෙස් වැටීම නවතී. සුළු විෂ සහිත සතුන් දෂ්ඨ කළ විට පත්‍ර අඹරා දෂ්ඨ මුඛයේ ආලේප කිරීමෙන් විෂ නාශනය වේ. පිලිස්සුම් තුවාල සඳහා පත්‍ර අඹරා ආලේප කළ හැකිය. ස්වන පද්ධතියේ රෝග සඳහා මුල් කෂාය ඒකීයව හෝ වෙනත් ඖෂධ සමඟ යොදයි. 

කූරතම්පලා පලාවක් සහ ව්‍යංජනයක් ලෙස මෙරට ජනයා අතර ඉතා ප්‍රකටය. එය විටමින් A, B, යකඩ සහ ඛනිජ ලවණයන්ගෙන් පොහොසත් පෝෂණීය ආහාරයකි. ඉහල යකඩ ප්‍රතිශයක් ඇති නිසා රක්තහීනතාවයෙන් පෙලෙන අයට ඉතා ගුණය. එමෙන්ම කූරතම්පලා අහාරයට ගැනීම රුධිරයේ මේදය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත්, ඔස්ටියෝ පොරෝසිස් වැනි අස්ථි දුර්වලතාවයන් මඟහරවා ගැනීමටත්, ඇස් පෙනීම දියුනු වීමටත් උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයේ පලවූ සංවාදයක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන් (අදාල සංවාදය මෙතැනින්
විශේෂ ස්තුතිය_ සංවාදයට අදහස් දැක්වූ වෛද්‍යවරුන් ඇතුළු සැමට
Share:

Wednesday, September 3, 2014

කුප්පමේනිය [Kuppameniya] (Acalypha indica)

කුප්පමේනිය මීටර් 1 1/2 - 2 පමණ උසැති කුඩා සෘජු කඳක් සහිත වාර්ෂික පැලෑටියකි. රොම්බසාකර - ප්‍රත්‍යණ්ඩාකාරය හැඬයෙන් යුත් සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. සියුම් බූවක් සහිත පත්‍රවල ඉදිරිපස පත්‍ර දාරය කරපත්‍රිකය. කොළ පැහැති මල් ඒකලිංගිකය. පුමංගී සහ ජායංගී පුෂ්ප දෙවර්ගයම එකම පැළෑටියේ දක්නට ලැබේ. වසර පුරා මල් හට ගනී. කුඩා ස්ඵෝටිකාවක් වූ ඵලය ලොකු නිපත්‍රයකින් වැසී පවතී. කුප්පමේනිය කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිය. බළලාට තමාගේ ප්‍රියතම ආහාරයක් වූ කුප්පමේනීය මුලේ සුවඳ මීටර් 50 පමණ දුරකට දැනෙන බව කියැවේ. ඖෂධීය වටිනාකම් රැසකින් සමන්විත කුප්පමේනිය ශාකය Euphorbiaceae කුලයට අයත් ය.

මෟත්‍ර පද්ධතියේ රෝග, චර්ම රෝග, මලබද්ධය. ස්නායු රෝග, කැස්ස, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, උණ, දත් කැක්කුම, කණ් කැක්කුම, ඉරුවාරදය, සන්ධි ඉදිමුම්, සෙම්ගෙඩි, පණු රෝග, වාත රෝග, ළදරුවන්ගේ සෙම් රෝග, නින්ද නොයෑම, ශරීර දාහය ආදී රෝග අවස්ථා රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී කුප්පමේනිය ශාකයේ කොළ, මුල් සහ සමපූර්ණ ශාකයමත් ඔසු සඳහා භාවිත කරයි

කුඩා ළමුන්ගේ ස්වාසනාල ප්‍රදාහයේදී කුප්පමේනිය කොළ සහ මුල කෂාය කර දෙයි. විරේචනයට මුල් ඇල් දියෙන් තලා ලබා ගත් යුෂ බොන්නට දීම සිදුකරයි. කුප්පමේනිය කොළ ඇල් දියෙන් අඹරා ගත් ප්‍රලේපය යටි බඩේ ආලේප කිරීමෙන් මුත්‍ර අඩස්සිය නැවතී පහසුවෙන් මුත්‍ර පිටවීම සිදුවේ. වටපණු දද රෝගයට පත්‍ර ප්‍රලේපය පමණක් හෝ දෙහි ඇඹුලින් හෝ ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. ළමුන්ගේ මල බද්ධයට තලා ගත් පත්‍ර ප්‍රලේපය ගුදමාර්ගයට ඇතුළු කිරීමෙන් මළ පිටකිරීම පහසු වේ. කුප්පමේනිය කොළ යුෂ, දෙහි යුෂ, තලතෙල්, ලුණු සමග ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම්වලට සහනය ලැබෙයි. මෙලෙස කුප්පමේනිය භාවිතාකර යෙදිය හැකි සරල ප්‍රතිකාර රාශියකි. එමෙන්ම කුප්පමේනිය ශාකය විරේචක, වමනකාරක, මුත්‍රකාරක, නිද්‍රාකාරක ආදී ගුණයන් රැසකින් ද සමන්විතයි.

ඉතා කලාතුරකින් සමහර පුද්ගලයින් ගේ ජානගත ප්‍රශ්නයක් නිසා කුප්පමේනිය ආහාර ගැනීමෙන් පසු විෂ වීමෙන් ලේ වමනය හා මුත්‍රා සමඟ ලේ යාමෙන් බරපතල රෝගී තත්වයක් ඇති විය හැකි බවත් Isodihydronepetalactone සහ Isoiridomyrmecin නම් කුප්පමේනිය මුල් වල තිබෙන බිළාල  ආකර්ෂක රසායනිකයන් දෙකක් හඳුනා ගෙන ඇති බවත් අායුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා සඳහන් කර තිබුනා. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්



Share:

Sunday, August 31, 2014

කුඹුරු [Kuburu] (Caesalpinia bonduc)

කුඹුරු යන්න කුවේර (කුබෙර) යන්නෙන් බිඳුණක් බවත් කුවේර යන්නෙහි සම්පූර්ණ නම කුවේරාක්ෂි බවත් යක්ෂාගෙ ඇස යන්න එයින් පැනෙන බවත් පොතපතෙහි සඳහන්. ඒ අනුව සුදු පැහැති වටකුරු කුඹුරු ඇට යක්ෂයාගෙ ඇසට සමාන කර දක්වා ඇත. කුඹුරු සිලින්ඩරාකාර කඳක් සහිත කාෂ්ඨීය වැලකි. නිවර්තන කලාපීය මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුලබව හමු වෙයි. බූව සහිත කඳෙහි කෙටි හා දිගු කටු රැසකි. විශාල ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර එකාන්තරව පිහිටයි. පත්‍රිකා ඕවලාකාර හෝ ආයත ඕවලාකාර හැඩයක් ගනී. පුෂ්ප මංජරිය දිග නටුවක් සහිත පිරමිඩාකාර ඒකාක්ෂයකි. පෙති 5ක් සහිත මල තද කහ පැහැතිය. ඵලය කෙටි නටුවක් සහිත පැලෙන කරලකි. ඵලාවරණය තියුණු කටුවලින් වැසී පවතී. එක් කරලක් තුල සුදු පැහැයට හුරු අළු පැහැයක් ගන්නා බීජ 1-3 අතර සංඛාවක් පිහිටා ඇත. කුඹුරු Fabaceae උද්භිද කුලයට අයත් වැල් ශාකයකි. 

අක්මා රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, පණු රෝග, කුසගිනි මදිකම, කුෂ්ඨ, උපදංශ, ඇදුම, ඉඳිමුම්, උණ, මුත්‍රඅඩස්සිය, අජීර්ණ, මුඛ රෝග, කර්ණ රෝග, බරවා ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී කුඹුරු වැලේ කොළ, දලු, මුල්, ඇට ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. කුඹුරු පණුවන් නසන, කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි. පෙරදිග වෛද්‍ය ක්‍රමවල ඇතුලත් චූර්ණ, ක්වාත, තෛල, ලේපන වර්ග රැසක කුඹුරු ඇතුලත්ව ඇත. 

උදර වේදනාවට සහ වමනයට කුඹුරු ඇට මදයක භාගයක් සහ කරාබු නැටි දෙක තුනක් ඇල් දියෙන් අඹරා දෙයි. අජීර්ණයට කුඹුරු ඇට මදය පෙරුම්කායම් සමඟ යොදයි. ක්ෂය රෝගයට සහ ඇදුමට කුඹුරු ඇට කෂාය ත් බරවා රෝගයට කුඹුරු කොල යුෂත් බොන්නට දෙයි. ඉදිමුම් සඳහා කුඹුරු අැට මද එඬරු තෙලෙන් අඹරා ආලේප කරයි. පණු රෝගවලට කුඹුරු ඇට මද, ඉඟුරු, සුදුළූණු, වලඟසාල්, සුනු වත්කර බීම හෝ කෂාය ලෙස යෙදීම බහුලව භාවිතා කරන ප්‍රතිකාරයකි. කුඹුරු දලු, දෙහි දලු කොටා උණු අළු පල්ලේ තම්බා යුෂ මිරිකා බීම ද, යක්ෂාක්ෂ්‍යාදී ක්වාතය දීම ද පණු රෝග සඳහා ගුණය. කණෙන් ස්‍රාව ගැලීම, ආමවාතය, සන්ධි ඉදිමුම් ආදියට කුඹුරු ඇට මදවලින් නිස්සාරනය කර ගන්නා තෙල් ආලේප කිරීම ප්‍රතිඵලදායක ය. මුඛ රෝග සඳහා කුඹුරු ඇට මද සහ කරුංකා පුවක් පුලුස්සා, සීනක්කාරම් ද සමඟ සියුම්ව අඹරා දත් මැදීමට භාවිතා කරයි. මහ දලු අනුපානයට කුඹුරු දලු අතුලත් ය.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support