දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Saturday, September 6, 2014

කූරතම්පලා [Kuratampala] (Amaranthus viridis)

ගැමි වහරේ කූර කොළ යනුවෙන් ද, දේශීය වෙදකමේදී සුලුකූර යනුවෙන් ද  හඳුන්වන  කූරතම්පලා සෙ.මි. 60 පමණ උසට සෘජු කඳක් සහිතව හෝ මුලින් අතු බෙදීගිය පඳුරක් ආකාරයට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට මීටර් 1 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. තරමක් මංසල කඳ රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. තරමක් දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය බොහෝ විට අණ්ඩාකාර හෝ රොම්බසීය-ආයත ය. පත්‍රයක් දිගින් සෙ.මි. 7 සහ පළලින් සෙ.මි. 5.5 දක්වා වර්ධනය වේ. අග්‍රස්ථීය හෝ කක්ෂීය ශුකිවල හට ගන්නා මල් ළා කොළ පැහැතිය. ඵලය  ස්ඵෝටිකාවකි. ගෝලාකාර කුඩා බීජ තද දුඹුරු හෝ කලු පැහැයක් ගනී. දෙශීය ශාකයක් වන කූරතම්පලා Amaranthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

තුවාල, දැවිල්ල, අහාර අරුචිය, කුසගිනි මදිකම, රක්ත ප්‍රදර, රක්ත අතීසාරය, රක්ත අර්ශස්, රත්පිත්, රක්තහීනතාවය, විෂ ශරීගත වීම, මව්කිරි මදිකම, ඔසප් වීමේදී අධික රුධිර වහනය, අකලට හිසකෙස් වැටීම, චර්ම රෝග, පිලිස්සුම්, ස්වසන ආබාධ, පණු රෝග, ප්‍රමේහ, සන්නි රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා කූරතම්පලා ශාකයේ කොළ, මල්, දඬු, මුල් ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. කූර තම්පලා හෘදයට හිතකර, ඇස් පෙනීම දියුණු කරන, විෂ නසන, අරුචිය නසන, කුසගිනි වඩවන, පිළිකාවන්ට ප්‍රතිවිරෝධී, රැධිර වහනය වලක්වන සහ රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන්ගෙන් සමන්විතයි.

ඔසප් වීමේදී සිදුවන අධික රුධිර වහනය කූරතම්පලා සම්පූර්ණ ශාකයම තම්බා බීමට දෙයි. එමෙන්ම රක්ත අර්ශස් වැනි ශරීරයෙන් ලේ පිටවන වෙනත් රෝගවලදී කූරතම්පලා සහිත කෂාය යොදා ප්‍රතිකාර කරයි.  විෂ කැවුනු විට මෙම මුල් අඹරා උණු වතුරින් බීමට දෙයි. විෂ ඉවත් කිරීමට වමනය කරවීම සඳහා ද මුල් යොදා ගනී. රක්ත ප්‍රදරයට මෙම මුල් හාල්පානු වතුරෙන් අඹරා මී පැණි සමඟ ගත යුතුය. සුලුකූර පංචාංගය තෝර පරිප්පු සමඟ තම්බා බීමෙන් මව්කිරි වැඩෙන බව සඳහන්. කූරතම්පලා සහමුලින් ගෙන කැඳ සාදා බීමෙන් අකලට හිස කෙස් වැටීම නවතී. සුළු විෂ සහිත සතුන් දෂ්ඨ කළ විට පත්‍ර අඹරා දෂ්ඨ මුඛයේ ආලේප කිරීමෙන් විෂ නාශනය වේ. පිලිස්සුම් තුවාල සඳහා පත්‍ර අඹරා ආලේප කළ හැකිය. ස්වන පද්ධතියේ රෝග සඳහා මුල් කෂාය ඒකීයව හෝ වෙනත් ඖෂධ සමඟ යොදයි. 

කූරතම්පලා පලාවක් සහ ව්‍යංජනයක් ලෙස මෙරට ජනයා අතර ඉතා ප්‍රකටය. එය විටමින් A, B, යකඩ සහ ඛනිජ ලවණයන්ගෙන් පොහොසත් පෝෂණීය ආහාරයකි. ඉහල යකඩ ප්‍රතිශයක් ඇති නිසා රක්තහීනතාවයෙන් පෙලෙන අයට ඉතා ගුණය. එමෙන්ම කූරතම්පලා අහාරයට ගැනීම රුධිරයේ මේදය පාලනය කිරීමටත්, තරබාරු බව අඩුකර ගැනීමටත්, ඔස්ටියෝ පොරෝසිස් වැනි අස්ථි දුර්වලතාවයන් මඟහරවා ගැනීමටත්, ඇස් පෙනීම දියුනු වීමටත් උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයේ පලවූ සංවාදයක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන් (අදාල සංවාදය මෙතැනින්
විශේෂ ස්තුතිය_ සංවාදයට අදහස් දැක්වූ වෛද්‍යවරුන් ඇතුළු සැමට
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support