දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Thursday, August 28, 2014

කිරිබදු (Ipomoea mauritiana)

මෙය අඩි 6-7 අතර දිගට වැවෙන වැලකි. මෙහි මුල් මහත් වී (ආකන්ද) අල සෑදේ. කඳන් දිගය, ශක්තිමත්ය, සිනිඳුය. කිසියම් ආධාරකයක් වටේ එතී ඉහල නගී. පත්‍ර අඟල් 4-6 පමණ දිගය. පත්‍ර තලය කොටස් 5-7 අතර සංඛාවකට පාණිවත්ව බෙදී ඇත. පත්‍ර නටුව පත්‍රය තරම් දිගය. පුෂ්ප ලොකුය. ළා දම් පාටය. පුෂ්ප පිපෙන්නේ ගෝල සමතලීය බහු අක්ෂවලයි. වැඩි වශයෙන් මල් පිපෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. පුෂ්පයේ මුකුටය පුනිලාකාරයි. විශ්කම්භය අඟල් තුනක් පමණ ඇත. ඩිම්බකෝෂයේ කෝෂ්ඨ 4 ක් ඇත. කිරිබදු ඵලය ස්ඵෝටිකාවකි. එය මාංසල මණිපත්‍රවලින් වැසී ඇත. දුඹුරු පාට පුළුන් වැනි කේශරවලින් බීජ වැසී තිබේ. මෙය බහුවාර්ෂික ශාකයකි. 

ලංකාවේ පහතරට ප්‍රදේශවල කිරිබදු බහුලය. වෙනත් නිවර්තන ප්‍රදේශවලද මේ ශාකය දක්නට ලැබේ. දේශීය වෙදකම සදහා ඖෂධ ලෙස භාවිතා කිරීමට ඇතැම් පළාත්වල එය වවනු ලැබේ. කිරිබදු අලවල තිබෙන කිරි වටිනා ඔෟෂධයකි. කිරිබදු ශාකය Convolvulaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

විදාරී හා ක්ෂීරවිදාරී වශයෙන් කිරිබදු ප්‍රභේද දෙකකි. ඇතැම් වෛද්‍ය ග්‍රන්ථවල මේ දෙවර්ගය “බදු“ හා “කිරිබදු“ යනුවෙන් හඳුන්වයි. දීර්ඝ වූ නටු හා බොහෝ වූ කිරි ඇත්තේ ක්ෂීරවිදාරී නම් වර්ගයේය. ඇත් අඩිය සමාන පත්‍ර හා කිරි ස්වල්ප වශයෙන් ඇත්තේ විදාරී නම් වර්ගයේය.

ක්ෂීරවිදාරී සිසිල්ය. මිහිරිය. රසායන ගුණ සහිතයි. සිරුර තර කරයි. මුත්‍ර වැඩි කරයි. ශක්තිය වඩයි. කිරි දෙන මව්වරුන්ගේ කිරි දෝෂ පහ කරයි. විෂ, පිත් කෝප වීමෙන් හටගත් වේදනා, මුත්‍ර ආබාධ, රුධිර දෝෂ, දැවිල්ල, පිත්ත ආදිය නසයි. සෙම් වඩයි. කටහඬ පැහැදිලි කරයි. ශරීර වර්ණය ගෙන දෙයි. ක්ෂීරවිදාරී නම් වර්ගයෙහි සනාළ (කඳේ නාළ සහිත) හා නිනාළ (නාළ නැති) යනුවෙන් ප්‍රභේද දෙකකි. සනාළක වර්ගය සේවනය කිරීමෙන්, වයස්ගත වුවද ඒ බව ප්‍රකට නොවී තරුණ පෙනුමක් ලැබේ.

විදාරී ප්‍රභේදය සිසිල්ය. මිහිරිය. සිනිඳුය. බර ආහාරයකි. වාතය හා රත්පිත නසයි. සිරුර තර කරයි.

කිරිබදු ශාකයේ අල අමුක්කරා, වඳුරු මෑ, බිං තල් ආදිය සමග එක්කොට වාජීකරණ හෙවත් ලිංගික ශක්තිය වඩවන ඖෂධ තනනු ලැබේ. එම අලවල ශුක්‍රවර්ධක ගුණයක්ද ඇත. කිරිබදු ශාකයේ කොළ විවිධ රෝගවලට ප්‍රතිකර්ම සේ යොදන පත්තු මැල්ලුම් හා පොට්ටනිවලට මුසු කෙරෙයි. කිරිබදු අල චූර්ණ, මෝදක, සෘත හා අරිෂ්ට ආදිය තැනීම සඳහාද ගනු ලැබේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයා රූ_ අන්තර්ජාලයෙන්


Share:

Monday, August 25, 2014

කැකිරි

හීන් කැකිරි (Melothria maderaspatana)
කවුඩු කැකිරි (Solena amplexicaulis)
කොමඩු කැකිරි (Citrullus lanatus)

යටකී ප්‍රධාන විශේෂවලට හේන් කැකිරි, ගොන් කැකිරි හා කෙම් කැකිරි යනාදී තවත් වර්ග ඇතුළත්ය. කැකිරි ආධාරකයක් දිගේ උඩට නගින හෝ බිම දිගේ දුවන අඩි 8-10 ක් පමණ දිග වාර්ෂික ශාක වේ.  ඉතා ඉක්මනින් වැඩේ. කැකිරි ශාකයේ කඳ කුහර සහිතය. කඳන්වල හා පත්‍රවල රළු බූව ඇත. පත්‍ර විශාලය. ඒකාන්තරය. කැකිරි පුෂ්ප තැඹ්ලි පාටට හුරු කහ පාටය. ඒකලිංගිකය. පූමාංගී හා ජායාංගී පුෂ්පයන් එකම ශාකයේ ඇත. ඵලය මාංසල බදරියකි. ඵලයේ මතුපිට කහ කොළ ආදී වර්ණවලින් හෝ තීරු හා කහ ඉරි සේ වැටුණ වයිරම්වලින් යුක්තය. මේ කැකිරි වර්ග අතුරින් කොමඩු කැකිරි ඉතා රසවත් ජනප්‍රිය පළතුරකි. කැකිරි Cucurbitaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කැකිරි “කර්කට“, “ඒර්වාරු“, “ඌර්වාරු“ ආදී නම්වලින් හඳුන්වා ඇත. කැකිරි මධුර හා මඳ අම්ල රසින් යුතුය. කැකිරි පිත සමනය කරයි. සෙම හා වාතය වර්ධනය කරයි. සිරුරේ දාහය සහ පිපාසය සංසිඳුවයි. මුත්‍ර වැඩි කරයි. සෙංගමාලය සුව කිරීමට අගනා ඖෂධයකි. පීනස, ඇඳුම හා කැස්ස යන රෝගවලට අහිතකරය. මුත්‍ර ගල්, මුත්‍ර දැව්ල්ල සහ මුත්‍ර අඩස්සිය ආදී රෝගවලට අගනා ප්‍රතිකාරයකි. කැකිරි ඇට රෝග කීපයකට යොදන ඖෂධවලට එක් කෙරේ. අශ්මරී හෙවත් මුත්‍රාශයේ හා වකුගඩුවල හටගන්නා ගල් දිය කිරීමේ විශ්මයජනක හැකියාවක් කැකිරිවල ඇත.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ _ අන්තර්ජාලයෙන් 



Share:

Tuesday, August 19, 2014

හාතවාරිය [Hatawariya] (Asparagus racemosus)


හාතාවාරිය තරමක් අතු බෙදුණු කොළ පැහැති කඳක් සහිත පඳුරු ආකාර වැලකි. මීටර් 2 ක් දක්වා දිගට වැඩෙන වැලෙහි සහ අතුවල කටු පිහිටා තිබේ. කුඩා ගස් මත දක්ෂිණාවර්තව එතෙමින් ඉහලට වර්ධනය වේ. හාතාවාරිය වැල භූගත කඳක් සහිත වන අතර එයින් හට ගන්නා ආකන්දීය මුල් ආහාර තැන්පත් වීමෙන් මහත්වී අල පොකුරක් ආකාරයට දැක ගත හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේ හාතාවාරිය කොළ ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යාත්මකව ගත් කළ හාතාවාරිය කොළ හට නොගන්නා ශාකයකි. කොළ ලෙස දර්ශනය වනුයේ අතු විකරණය වීමෙන් සෑදෙන ව්‍යුහයන් වන අතර ඒවා ස්කන්ධාභ ලෙස හඳුන්වයි. සැබෑ පත්‍ර ශල්ක බවට ක්ෂීණ වී ඇත. එක් ගැටයක් අසලින් ස්කන්ධාභ 2-6 සංඛාවක් පොකුරු ලෙස පිහිටයි. ඒකාක්ෂ පුෂ්ප මංජරිය හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය කොළ පැහැති බදරියක්. ඵලයක් තුල බීජ 1-3 සංඛාවක් පිහිටයි. හාතාවාරිය Asparagaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

සන්ධිවාත, අවබාහුක, ස්නායු දුර්වලතා, අපස්මාරය, අර්ශස්, මූර්ජා, වාත පිත්තජ රෝග, සෝම රෝග, ප්‍රජනක පද්ධතියේ දුර්වලතා, මූත්‍ර රෝග, අතීසාර, සන්ධි භග්න, උදර වේදනා, මව්කිරි මදිකම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට හාතාවාරිය කොළ, අල, මොටෙයියන් සහ ඇතැම් විට මුල්ද භාවිතා කරයි. හාතාවාරිය ශීතකාරක, ශරීර ඌෂ්ණය සමනය කරන, මුත්‍රකාරක, බලකාරක, වාජීකරණ, ශුක්‍ර වර්ධක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි. 

ලේ පිටවන අර්ශස්, බඩේ දැව්ල්ල සහ ආහාර මාර්ගයේ තුවාල ආදීයට හාතාවාරිය අල ග්‍රෑම් 60 ක් එළකිරි ම්.ලි. 240 ක්, වතුර ලීටර් 1.680 ක් දමා කෂාය කර සීනි මී පැණි අනුපානයෙන් පානය කළ යුතුය. රාත්‍රි කාලයට ඇස් පෙනීම දුර්වල අයට හාතාවාරිය කොළ ගිතෙලින් බැද ආහාරයට ගැනීම ගුණය. මවුකිරි වර්ධනය කර ගැනීම සඳහා හාතාවාරිය අල හොඳින් සෝදා පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර පවනේ වියළා කුඩුකර තබාගෙන වරකට තේ හැඳි 1 බැගින් උදේට එළකිරි සමඟ බීමට නියමකර ඇත. අස්ථි බිඳීම්, තැලීම්, උලුක්කු වීම් ආදියේදී හාතාවාරිය කොළ, ඉරමුසු වැල්, සියඹලා කොළ, අමුකහ සමඟ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීම කළ යුතුය. මුත්‍ර අඩස්සියට හාතාවාරිය අල සිහින්ව අඹරා ඇල් වතුරට මිශ්‍රකර පානය කිරීමෙන් මුත්‍ර අඩස්සිය පහව යයි. මුත‍්‍ර මාර්ගයෙන් ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කෂාය ගුණදායක ය. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරීමෙන් නේත‍්‍ර රෝග සුව වෙයි.

හාතාවාරිය කොළ කැඳ පානය කිරීම රෝග බෝහෝමයකට ගුණ දායක වන අතර මනා ශරීර සෟක්‍යයකින් විසීමට බෙහෙවින් උපකාරී වෙයි. එය රුධිරය වර්ධනය කරන අතර සම පැහැපත් කරයි. ශරීරය කැසීම්, තුවාල ආදිය දුරු කරයි. සමෙහි ලප කැළැල් ඉවත් කරයි ශරීරය සිසිල් කරයි. මුඛ රෝග අත් පා දැවිල්ල, කකුල් පැලීම් ආදී රක්ත දෝෂ සමනය කරයි. හිසකෙස් වර්ණවත් කරන අතර හිස කෙස් හැලීම නවතා හිස කෙස් සුදුවීම අඩු කර කෙස් වර්ධනය කරයි. පණු රෝග නැති කරයි. සෙම් රෝග, කැස්ස, හිසේ රුදාවට මෙන්ම ස්වාස රෝගවලට ඉතා ගුණයි. අරුචිය නසා කුසගිනි වඩවයි. මළබද්ධය දුරු කරයි. ධාතු වැඩීමටත් ශරීරය පෘෂ්ටිමත් කීරීමටත් උපකාරී වෙයි. පිත බහුලවීම නිසා හට ගන්නා දැවිල්ල, අධිකව දහදිය දැමීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ සමනය කරයි. 

හාතාවාරිය අල ඖෂධ සඳහා භාවිතයට ගැනීමේදී පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර ගත යුතු බව සඳහන් කර ඇත. එසේ කළ යුත්තේ එම කොටස්වල යම් විෂ සහිත බවක් පවතින නිසා ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Saturday, August 16, 2014

යක්බේරිය / නිල් අඬනහිරිය [Yakberiya / Nil Adanahiriya] (Crotalaria verrucosa)

පැළෑටි වර්ග සියල්ල විනාශ වී ගිය කාලයකදී මෙම පැළෑටිය පමණක් ඉතිරිවූ බවත් යකාගෙන් බේරුණු ගස නිසා යක්බේරිය නමින් ව්‍යවහාර වූ බවත් ජනප්‍රවාදයේ එයි. වියැළුණු කරල සෙලවෙන විට නිකුත්වන ශබ්දය නිසා එහි ගුප්ත බන තවත් වැඩි වෙයි. යක්බේරිය මීටර් 1 ක් පමණ උස්ව වැඩෙන වාර්ෂික ශාකයකි. කඳ හතරැස්ය. පත්‍ර සරලයි. අණ්ඩාකාර සිට ලන්සාකාර, රොම්බසාකාර හෝ ඉලිප්සීය වේ. පුෂ්ප මංජරිය ඒකාක්ෂ වේ. පුෂ්ප කීපයක් දරයි. ඵලය දිගින් සෙ.මි.2.5-3 පමණ වේ. බීජ 10-16 අතර සංඛාවක් දරන අතර කහ පැහැ සිට දුඹුරු පැහැති වේ. යක්බේරිය ශාකය Fabaceae කුලයට අයත් ශාකයකි.

අඬනහිරිය පැළෑටිය කැඩුම් බිඳුම් චිකිත්සාවෙහිදී මෙන්ම අංජන (අඳුන්) සෑදීම සඳහා ද උපයෝගී කර ගනී. අස්ථි භග්න නිසා ඇති වන ඉදිමුම් හා කල්ගත සන්ධි ඉදිමුම් අවස්ථාවන්ට යක්බේරිය, යකවනස්ස, ඔලිඳ කොළ සහ අමුකහ සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට සහිඳ ලුණු කලං 6 ක් දමා කකාරා ගෑමෙන් සුවය ලැබේ. සර්ප දෂඨනයකදී ඇති වන දණ හිස් ඉදිමුම් සඳහා පත්තු මැල්ලුම් වශයෙන් යොදයි. එමෙන්ම කැස්ස, චර්ම රෝග, මුඛ රෝග, ඇදුම, හෘද රෝග ආදිය සඳහාද භවිතා කරන බව සඳහන්. සර්වවිෂාදී තෛලය හා විෂ කුමාර තෛලය සෑදීම සඳහා යක්බේරිය යොදා ගනී. අතු නො බෙදුණ යක්බේරිය පැළෑටිය අඹරා අඳුන් පිළියෙළ කර වෂී ගුරුකම් සඳහා යොදා ගන්නා බවත්, උතුරට ගිය යක්බේරිය මුලක් ගෙන නියමිත මන්ත්‍රයෙන් ජීවම්කර මුදුවක් තනා අතේ අැඟිල්ලක පැළැදීමෙන් යක්ෂ, භූත, ප්‍රේත උපද්‍රව හා කොඩිවින නැති වන බවත් පැරණි පොත්වල සඳහන් වේ. යක්බේරිය ගව වෙදකමේදී ද බහුලව යොදා ගන්නා ශාකයකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන්


Share:

Wednesday, August 13, 2014

බෙලි [Beli] (Aegle marmelos)


බෙලි මීටර් 10 පමණ උසට වැඩෙන පතනශීලී හෙවත් වසරේ එක් කලකදී කොළ හැලී යන ශාකයකි. මේරූ අතුවල කටු පිහිටයි. ළපටි අතු කොළ පාටය. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර සිට ඉලිප්සාකාර ය. අග්‍රස්ථ පත්‍රිකාව සාපෙක්ෂව තරමක් විශාල ය. පත්‍ර පොඩි කළ විට සුවඳවත් වහනය වෙයි. කක්ෂීය පුෂ්ප මංජරියක පොකුරු වශයෙන් හට ගන්නා සුවඳැති මල් කොළ පැහැයට හුරු සුදු පැහැතිය.  උපගෝලාකාර ඵලය වටා ඝණ කාෂ්ඨමය කටුවක් පිහිටයි. අැතුලත මාංසලය. එහි ඇති ඇලෙන සුලු ද්‍රාවණයේ ගිලුණු බීජ 6-10 වැනි සංඛ්‍යාවක් පිහිටා තිබේ. උද්භිද විද්‍යාත්මක තොරතුරුවලට අනුව බෙලි ගස යම් කාලයකදී අප රටට හඳුන්වා දී ඇති අතර එය ඉන්දියාව දේශීය ශාකයකි. සංස්කෘත භාෂාවෙන් බෙලි ගස සඳහා යෙදන ප්‍රකට නාමය "බිල්ව" යන්නයි. අගනා පළතුරක් මෙන්ම ඖෂධීය වටිනාකම් රැසක්ද සහිත වන බෙලි Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

මලබද්ධය, මලස්‍රාව, අජීර්ණ, වමනය, සෙංලමාලය, දැවිල්ල, හෘද දුර්වලතාවයන්, අතීසාර, රක්ත අතීසාර, දියවැඩියාව, අක්ෂි රෝග, වාත රෝග, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා බෙලි මල්, මුල්, පොතු, කොළ, ගෙඩි, මද, ලාටු, කටු ආදී සෑම කොටසක්ම පාහේ භාවිතයට ගනී. බෙලි ගෙඩි සහ ගසේ වෙනත් කොටස් විවිධ ගුණයන්ගෙන් යුක්ත ය. අමු බෙලි මද මලබද්ධය ඇති කරන අතර පැසුණු බෙලි මද මල භේද කරයි. හොඳින් ඉදුණු බෙලි මද මිහිරි සුවඳකින් යුක්ත වන අතර මල භේද කරන, ශක්තිජනක, උදර වේදනා පහ කරන හෘදයට සහ මොළයට හිතකර ගුණ සහිතයි. මධුර රසැති බෙලි මල් අතීසාර, වමන, පිත, පිපාසය දුරු කරයි. බෙලි කටු දැවිල්ල, ඌෂ්ණය, අරුචිය, මලබද්ධය නැති කරයි. හෘදය හා මොළය ශාක්තිමත් කරයි. බෙලි ගැට විරේචක ගුණයෙන් යුක්ත ය. මුලෙහි අරටුව කුසගිනි වඩවන, ලේ ගැලීම් වලකාලන, කාමෝද්දීපක ගුණ සහිතයි. බිල්වාදී නාමය යටතේ බෙලි යොදා නිපදවන ඖෂධ රැසකි.
  
වමනයට බෙලි මුල් පොතු කෂායට මී පැණි දමා බීමට දෙයි. රක්ත අතීසාරය, රක්ත ප්‍රවාහිකා, රක්ත අර්ශස් ආදියට බෙලි ගැට මඳ පෙති මෙන් කපා අව්වේ වියළා, මඳක් කබලේ බැද කුඩු කර බීම ගුණදායකය. සෙංගමාලයට බෙලි කොළ යුෂ මී පැණි සමඟ දෙයි. හෘද රෝගවලට බෙලි මල් කෂාය යොදා ප්‍රතිකාර කරයි. මධුමේහයට බෙලි කොළ යුෂ හෝ කොළ තැම්බූ වතුර බීමට දෙයි. බෙලි කොළ තම්බා තැවීමෙන් වෙදනා සහිත ඉදිමුම් සමනය වේ. අතුල් සහ පතුල්වල දැවිල්ලට බෙලි ශාක කොටස් යොදා නිපදවන බිල්වාදී තෛලය ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. 

බෙලි මල් තැම්බූ වතුර ඇඟ නිවන පානයකි. එහෙමන්ම ඉදුණු බෙලි හෝ පැසුණු බෙලි තම්බා පළතුරක් ලෙස කෑමට ගැනීමටත්, රසවත් ගුණවත් පානයක් සාදා ගැනීමටත් හැකියි. මවක් දරු ප්‍රසූතියෙන් පසු "කොළ වතුර" නෑවීමේදී එයට බෙලි කොළ එකතු කරයි. තම්බාගත් බෙලි මදවලට එම තැම්බූ වතුරම කලවම් කර පානයක් සාදා බීමෙන් මුත්‍ර දෝෂ මගහැරෙන බව ගැමියන්ගේ අත්දැකීමකි. ඉදුණු බෙලි මඳ හොඳින් පොඩි කර එයට මුංඇට කුඩු කලවම් කර සමෙහි ආලේප කිරීමෙන් සම පැහැපත් වේ. පැරැන්නන් උතුම් මංගල වස්තුවක ලෙස සලකා නිවසට දකුණු පසින් බෙලි ගසක් රෝපණය කලහ. බෙලි ගසක් අසල ළිඳක් කැපීමෙන් පහසුවෙන් ජලය ලබාගත හැකි බව පැරණි විශ්වාසයකි. විෂ්ණු පූජාවට බෙලි කොළ අවශ්‍යම දෙයක් ලෙස සැලකේ. බාලක ග්‍රහ දෝෂ වලදී දුම් ඇල්ලීමට බෙලි කොළ, කටු, මුල් යොදා ගනී. පැසුණු බෙලි කටු විසිතුර භාන්ඩ නිපදවීමට භාවිතා කරයි. ගැමියන් බෙලි ගැට මද කුල්ලේ ගෑමට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Sunday, August 10, 2014

වෙනිවැල් [Veniwel] (Coscinium fenestratum)

වෙනිවැල්ගැට සහ බාන්වැල් යනුවෙන්ද හඳුන්වන වෙනිවැල් විශාල ශාක මත පැතීරී වැඩෙන කාෂ්ඨීය වැලකි. ශ්‍රි ලංකාවේදී විශේෂයෙන් පහතරට තෙත් කලාපීය වනාන්තර තුල හමු වෙයි. මෙහි ගැට සහිත කොටස් ඖෂධීය ගුණයෙන් ඉහල හෙයින් වෙනිවැල්ගැට යනුවෙන් ද හඳුන්වන අතර පෙර කළ මී ගවයන් බැඳීම සඳහා භාවිතා කළ හෙයින් බාන්වැල් නමින්ද හඳුන්වයි. වැලෙහි කඳ මතුපිට සිනිඳුය. ළපටි ශාඛා කහ පාට බූවකින් වැසී පවතී. ළපටි පත්‍ර කහ පැහැයට හුරු කොළ පැහැතිය. මේරූ කොළවල උඩු පෘෂ්ඨය කොළ පැහැතිය. සෙ.මි. 20 ක් දක්වා දිගු වන සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය ආයත හෝ ඕවලාකාරය. උප පත්‍ර රහිතයි. පොකුරු ලෙස හට ගන්නා ඉතා කුඩා මල් ඒක ලිංගිකය. පිරිමි මල් සහ ගැහැණු මල් හට ගන්නා ශාක වෙන වෙනම පිහිටයි. ගෝලාකාර ඵලය සෙ.මි. 2 පමණ විශ්කම්භයක් සහිතය. වෙනිවැල් Menispermacea උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ප්‍රතිශ්‍යා උණ, කුසගිනි මදිකම, ආසාත්මිකතා, ගෙඩි වණ, සර්ප විෂ, මුඛ රෝග, දද, කුෂ්ඨ, අධික ලේ වහනය, සෙංගමාලය, පණු රෝග, අතීසාරය, මුත්‍ර දැවිල්ල, දියවැඩියාව, පිටගැස්ම, විෂ ශෝථ, ප්‍රදර රෝග, ඵීරංග (පරංගි), කණ්ඩමාල, භගන්දරා, පුයාමේහ (මුත්‍ර සමඟ සැරව පිටවීම) විසර්ප ආදී රෝග බොහෝමයකට ප්‍රතිකාර කිරීමේදී  විශේෂයෙන් වෙනිවැල් වැලේ කඳේ ගැට සහිත කොටස්ද, අවශේෂව කොළ, මුල්, කඳ, කඳේ පොත්ත සහ එක විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. දාරුහරිද්‍රා ශාකය නොමැති කළ ඒ වෙනුවට (ප්‍රතිනිධි ලෙස) භාවිතා කිරීමට නියම කර ඇත්තේ ද වෙනිවැල් ශාකය යි. වෙනිවැල් ආහාර රුචිය වඩවන, විෂ නසන, වේදනා නසන සහ රසායන ගුණ සහිතයි. 

කුඩා දරුවන්ගේ චර්ම රෝගවලට වෙනිවැල්ගැට, කොකුම් පොතු, වියළි කහ සමව ගෙන කුඩු කර පිරිසිදු තල තෙලින් පැසවා ආලේප කරයි. කුඩා දරුවන්ට පණුවන් නිසා හට ගන්නා අතීසාරයට වෙනිවැල්ගැට, කහ, එළබටු මුල්, කෙළිඳ හාල් කෂාය කර දෙයි. තුවාල, දද, කුෂ්ඨ සේදීමට වෙනිවැල්ගැට හා වියළි කහ තැම්බූ වතුර හෝ වෙනිවැල්ගැට, ඇත්තොර කොළ, අමු කහ තම්බාගත් වතුර භාවිතා කරයි. වෙනිවැල්ගැට එළඟිතෙලින් අඹරා ආලේප කිරීමෙන් කූඩැල්ලන් කෑ තුවාල සුව වෙයි. ආසාත්මිකතාවයන්ට වෙනිවැල්ගැට, පත්පාඩගම්, කොත්තමල්ලි තම්බා බීමට දෙයි. මුඛ රෝගවලදී වෙනිවැල්ගැට, අරළු, බුළු, නෙල්ලි, සමන්පිච්ච කොළ, රසකිඳ, මුද්දරප්පලම්, අසමෝදගම් තම්බා කට සේදිය යුතුය. වෙනිවැල්ගැට කුඩු මී පැණියෙන් අඹරා ආලේප කිරීමෙන් මුහුණේ සම පිරිසිදු වෙයි. මුත්‍ර සමඟ සැරව පිටවන විට වෙනිවැල්ගැට, අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, ඉඟිනි ඇට කෂාය කර මී පැණි අනුපානයෙන් බොන්නට නියම කර ඇත. අජීර්ණය නිසා මුඛයේ අමිරස ඇති විට වෙනිවැල්ගැට, කුරුඳු පොතු, සුදුරු තම්බාගත් වතුරින් කට සේදිය යුතුය. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුර බීමට දීමෙන් හා වෙනිවැල් පත්පාඩගම් තැම්බූ වතුර දීමෙන් උණ සමනය වෙයි. වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීම හිසරදයට අත් බෙහෙතකි. පිටගැස්මට සහ ප්‍රතිශ්‍යාවට වෙනිවැල්ගැට, කොත්තමල්ලි, සුදුලූනු තැම්බූ වතුර බීම අපට හුරු පුරුදු ප්‍රතිකාරයකි.

වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ගැමි ජනතාව කැපීම් කෙටීම් වැනි අවස්ථාවලදී වෙනිවැලක් කපා එයින් වෑස්සෙන ජලය පානය කරයි. හදිසි අනතුරක් වැනි අවස්වථාක ලේ වහනය වූ විට හොඳින් තම්බාගත් වෙනිවැල් වතුර පානය කිරීමට දීම ගැමි ප්‍රථමාධාරයකි. ග්‍රාමීය මව්වරු කුඩා දරුවන් නැහැවීමේදී එම වතුරට වෙනිවැල්ගැට තම්බාගත් වතුර මුසු කරනුයේ විෂබීජ නාශනයත් දරුවාගේ සම පැහැපත් වීමත් අපේක්ෂාවෙනි. එය රතගාය නම් ළදරු රෝගයටද ප්‍රතිඵලදායක ය. එමෙන්ම ළදරුවන්ගේ දහදිය බිබිලිවලට සියුම්ව සකසාගත් වෙනිවැල්ගැට කුඩු ඇල් දියෙන් තවරා පැය භාගයකට පමණ පසු සොදා හැරීම ගැමියන් අත්දුටු ප්‍රතිකාරයකි.  

අදවන විට කූට වෙළදුන් විසින් වෙනිවැල්ගැට වෙනුවට වෙනත් වැල් වර්ග කහ පාටින් වර්ණ ගන්වා වෙළදපලට එවීමේ ජාවාරමක්ද ක්‍රියාත්මකව පනතී. විශේෂයෙන් වෙනිවැල් අයත් Menispermacea කුලයේ සුලභ වැල් වර්ගයක් වන තිත්ත වැල් (Anamirta cocculus) ඒ සඳහා බහුලව භාවිතා කරයි. 

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Thursday, August 7, 2014

කොහිල (Lasia spinosa)

ඌෂ්ණ වියැළි, උෂ්ණ තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයකි. කොහිල ඖෂධයකට වඩා ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වූ අතර බොහෝ නිවෙස්වල වතුර බැස යන ස්ථානය “කොහිල වල“ සැකසීමට යොදා ගත් බව පෙනේ. මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර කොහිල කැඳ ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්‍යදායී බව විද්වත් මතයයි. මෙම ශාකය සෙ.මි. 4 ක් පමණ ඝනකම් කටු සහිත කඳකින් යුක්තය. පත්‍ර වෘන්තය මීටර් එකක් පමණ දිගය. පුෂ්ප බොහෝ විට ද්වීකලාපිකය. ඵලයේ අග්‍රයේ ඉන්නන් වැනි ව්‍යුහ දැකිය හැකිය. කොහිල ශාකය ජලජ වගුරුබිම්වල හොදින් වැඩේ. ඉන්දියාව හරහා නිව්ගිනියාව දක්වා ව්‍යාප්ත ව ඇත. 

කොහිල ප්‍රභේද කීපයක්ක දැකිය හැකිය.
කිරි කොහිල - පිටි සහිත අලවලින් යුක්තය. හොදින් තැම්බේ. බහුලව ඇත්තේ මෙම වර්ගයයි.

ගුරු කොහිල - අල විශාලය. පිටි ගතියෙන් අඩුය.

වැල් කොහිල - ගස් ගල් ආදියෙහි බැදී වැඩෙන වැල් වර්ගයකි. ආහාර ලෙස ගනුයේ මෙහි පත්‍රයි.

කළු කොහිල - මෙහි අල අනෙක් වර්ග වලට වඩා විශාලය. ඉතා  දුර්ලභ ඖෂධ පැලෑටියකි. කොළ මතුපිට, දලු හා අලවල තද කළු කොළ පැහැයක් ඇත. මෙය තෙල් බෙහෙත් සඳහා ඖෂධයක් ලෙස භාවිතා වන අතර නින්ද අඩු අවස්ථාවලදී නිද්‍රාජනක ඖෂධයක් ලෙස භාවිතා කල හැකිය.

රට කොහිල - කොළ හා අල ලොකු වර්ගයකි.

සිංහල කොහිල - අල සිහින්, දිගටි, කොළ වඩා උස නොයන වර්ගයකි.

ගොඩ කොහිල - මෙම ප්‍රභේදය පණු අල නමින්ද හැඳින්වේ. ගොඩ කොහිල ක්‍රිමිඝ්නයි. මේ නිසා කුෂ්ට ආදියට හිතයි. සෙම නසයි. අග්නිය වඩයි.

ඖෂධීය වටිනාකම

අර්ශස් රෝගයට විශේෂයෙන්ම ගුණදායකය. අක්මාවට හිතකරයි. ග්‍රහණි රෝග, මූල ව්‍යාාධි, රක්තාර්ශස්, රත් පිත් ආදී රෝගවලට ප්‍රත්‍යක්ෂය. කොහිල පත්‍ර උදර ශූල ප්‍රතිකාරය සඳහා භාවිත වේ. කොහිල අල හා දලුවල ඇති අධික කෙඳි ප්‍රමාණය නිසා මල පිටවීම ඉතා පහසු කරයි. එසෙම අන්ත්‍රවල රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ නිසා අජීර්ණ අතීසාර ප්‍රතිකාරයේදී යොදා ගැනෙන අංගයකි. ආහාර රුචිය ඇති කරයි. ශුක්‍ර දාහය සමනය කරයි. 

කොහිල කරටි සමග හීනටි හාල් දමා කැඳ සාදා බීමෙන් දියවැඩියාව සමනය වේ. කොහිල අල හෝ කරටි, ගොටු දඬු. අතුළුෑනු, බිංකරල්හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට දෙහි බිංදු කීපයක් දමා බීම රක්තාර්ශස් සඳහා ගුණදායකය. 

මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 

(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Tuesday, August 5, 2014

කැප්පෙටියා (Croton sp.)

මෙය අඩි 4-5 අතර උසැති බහුවාර්ෂික පඳුරකි. එහි ළපටි කොටස් කහ පාට බූවකින් යුක්තය. පත්‍ර තරමක් ලොකුය. එහි දෙපැත්තේම බූව ඇත. කුඩා උප පත්‍ර සහිතය. කොළ පාටට හුරු සුදු පාට පුෂ්ප බොහෝ ඇත. පුෂ්ප එකලිංගිකය. ඵලය බූව සහිත වන අතර එහි ඇති දුඹුරු පැහැති  බීජ ගෝලාකාරය. ලංකාවේ පහතරට ප්‍රදේශවල හා තරමක් උස් ප්‍රදේශවල කැප්පෙටියා වැවේ. කැප්පෙටියා කොළ හැලීමට ආසන්න වන විට රතු පැහැයට හැරේ. පත්‍රවලින් සැර සුවඳක් නික්මේ. කැප්පෙටියා කොළ හොඳ කාබනික පොහොරකි. විශේෂයෙන් මිරිස් සහ බුලත් වගාවන් සඳහා අගනේය. කැප්පෙටියා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.

වැල් කැප්පෙටියා (Croton aromaticus) සහ ගස් කැප්පෙටියා (Croton laccifer) යයි ප්‍රභේද දෙකකි. දෙවර්ගයේම එක සමාන ගුණ ඇති බව සඳහන්. කැප්පෙටියා විෂ නාශකයි. වණ පිරිසිදු කරයි. වණවල මස ලියලවයි. නා, පොළොං, කුණකටු, පිස්සු බලු ආදී විෂට ප්‍රතිකර සදහා යොදා ගැනේ. අලුත් තුවාල, වණ, තැළුම්, ඉදිමුම්, ලාදුරු තුවාල හා දද ආදියට ප්‍රතිකාර සදහාද ගැනේ. ලේ නැවැත්වීමට හා සන්ධි ගැන්වීමට ප්‍රශස්ථ ඔසුවකි. කැප්පෙටියා හන්ධි වෙදමට අවශ්‍යම වන ඖෂධීය ශාකයකි. හදිසි සීරීම් ආදියේදී කැප්පෙටියා කිරි ආලේප කිරීමෙන් ඒවා වහා සුව වේ. පැරැන්නන් කුඹුරේ, කමතේ, හේනේ හෝ ගෙවත්තේ වැඩ කරන විට කැති උදලු ආදියෙන් සුලු තුවාල සිදුවූ විගස බොහෝ විට කලේ කැප්පෙටියා කොළ ටිකක් තලා ලේ පිටින්ම තුවාලයට තබා බැඳීමයි.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
සරත් රණවීර සහ රේඛා රණවීර 

Share:

Sunday, August 3, 2014

කරල්හැබ (Achiranthus aspera)

ඉතා වැදගත් ඖෂධීය ශාකයක් වූ මෙය අඩි 1-2 අතර උසට වැඩේ. එහි කඳ සෘජුය. විහිදී යන අතු කිහිපයක් මේ ශාකයට ඇත. අතුවල බූව ඇත. පත්‍ර ඇත්තේ ස්වල්පයකි. පත්‍රවල නටු කෙටිය. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාරය. ඒවා පාදයෙහිදී ක්‍රමයෙන් හීන් වේ. සාමාන්‍යයෙන් පත්‍රයක දෙපැත්තේම සිහින් බූවක් ඇත. තදබදව එක්රැස්වූ පුෂ්ප බොහෝමයක් පුෂ්ප මංජරිවල දක්නට ලැබේ. සිහින් ශුකි අඟල් 1/2 පමණ දිගය. පටලමය නිපත්‍ර කෙටිය. නිපත්‍රිකා කණටකාශ්‍රයය. එක් එක් නිපත්‍රිකාවේ පාදයෙහි පටලමය පියාපතක් ඇත. රේණු සංඛාව පහකි. වඳ රේණු ලොකුය. ඵලය ඉතා කුඩාය. එය ව්‍යාප්ත වන්නේ යම් කිසි දෙයකට ඇලීමෙනි. නිවර්තන ප්‍රදේශවල බෙහෙවින් දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට මෙරට මඟ දෙපස, ඇළ ඉවුරුවල හා පිට්ටනිවල වැවේ. 

බිං කරල්හැබ නම් තවත් ප්‍රභේදයක් ඇත. එය Cyathula prostrata නම් වේ. එය අඩි තුනක් පමණ දිගට වැඩේ. එහි කඳ ඉහල නොනැග බිම දිගේ දුවයි. ශාකයේ මුල ප්‍රදේශයේ ඇති වන ගැටවලින් මුල් ඇදේ. කඳේ පාදයෙන් අතු විහිදේ. පත්‍රය අඟල් දෙක් පමණ දිගය. එහි දෙපැත්ත තරමක් බූව සහිතය. කොළ පැහැති පුෂ්ප ද්වීලිංගික හෝ ඒකලිංගික විය හැකිය. මනා ඔපයකින් යුක්ත ඇට ළා දුඹුරුවන්ය. බිං කරල්හැබ ලංකාවේ පහතර ප්‍රදේශවලද වැවේ.

Pupalia lappacea යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන වෙල් කරල්හැබ නම් තවත් විශේෂයක් ඇත. එහි කඳ අඩි පහක් දක්වා දික්විය හැකිය. අණ්ඩාකාර පත්‍රක් අඟල් තුනක් පමණ දිගැතිය. ශාකයේ අග්‍රස්ථ ශුකිරූපීය. පුෂ්ප මංජරිවල පොකුරු වශයෙන් නිර්වෘන්ත පුෂ්ප දක්නට ලැබේ. පුෂ්ප කොළ පාටය. නණ්ඩු වශයෙන් පුෂ්ප හීන වී ඇත. ලංකාවේ වියළි ප්‍රදේශවල කරල්හැබ ශාකය බහුලය. ඉන්දියාව, මලයාව පිලිපීනය හා දකුණු අප්‍රිකාව යන රටවල මෙම ශාකය දක්නට ලැබේ. යටකී කරල්හැබ විශේෂ තුනම ඇමරැන්තස් (Amaranthaceae) කුලයට අයත්ය.

සංස්කෘත ග්‍රන්ථවල කරල්හැබ “අපාමාර්ග“, “ශිඛරී“ හා “ශෛඛරික“ යන නම්වලින් හැඳින්වේ. මෙම ඖෂධීය ශාකය මෙරට ජනයා සැබෝ, සෑබෝ, කරල් සැබෝ, කරල් හැබ්බ හා කරල් සැබ යන නම්වලින් හඳුන්වති. මහ කරල්හැබ හා හීං කරල්හැබ යනුවෙන් මෙහි ප්‍රභේද දෙකක ඇත. මහ කරල්හැබ ප්‍රභේදයේ මල් ළා කහ පැහැ වන අතර හීං කරල්හැබ ප්‍රභේදයේ මල රතු පාටය. මුලින් කී ප්‍රභේදය හෙළ සැබෝ යනුවෙන්ද දෙවනුව කී ප්‍රභේදය රත් සැබෝ යනුවෙන්ද හැදින්වේ. 

මහ කරල්හැබ තිත්තය, ඌෂ්ණය, මල බඳී, දිරවීම අපහසුය, වමනය ඇති කරයි. අර්ශස්, උදර රෝග, වාත හා සෙම් රෝග නසයි. 

හීං කරල්හැබ ශීතලයි, වමනය ඇති කරයි, වා සෙම් නසයි, වණ හා විෂ නසයි. මල බඳියි, පණුවන් නසයි, හිස සිසිල් කර එහි රෝග නසයි.

යටකී කරල්හැබ දෙවර්ගයම පොදුවේ වමනය ගන්වයි. ලේ බැඳීම කරයි. රක්තාතීසාරය සුව කරයි. කුසගිනි වඩවයි. හෘදරෝග, අර්ශස් හා උදරාබාධ සුව කරයි. කරල්හැබ ඇට මධුරය. දිරවීම අපහසුය. බඩ පිපුම ඇති කරයි. වාතය වඩයි. රත්පිත් සමනය කරයි.

මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

    
Share:

Friday, August 1, 2014

රසකිඳ [Rasakida] (Tinospora cordifolia)


රසකිඳ විශාල වෘක්ෂ මත පැතිරී වැඩෙන දේශීය වැල් ශාකයකි. අළු පැහැති තුනී පිට පොත්ත වහා ගැලවී ඉවත් වන ස්වභාවයකි. ඇතුලත පොත්ත කොළ පැහැතිය. කඳෙන් පොළවට මුල් ඇදේ. හෘදයාකාරය පත්‍රයක් දිග සෙ.මි 15 දක්වා ද පළල සෙ.මි. 12 පමණ ද විය හැකිය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගැහැණු සහ පිරිමි මල් වෙන වෙනම පිහිටයි. ඵලය අෂ්ටිලයකි. එය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. රසකිඳ සඳහා යෙදෙන පර්යාය නාම රැසක් අතරින් ආමෘතා නාමය ප්‍රකට ය. ආයුර්වේදයේ සඳහන් පස්මුල් අතරින් එකක් සඳහා ද ගැනෙන රසකිඳ Menispermaceae උද්භිද කුලයට අයත්ය. 

මෙම Tinospora උද්භිද ගණයට අයත් රසකිඳ වැලට තරමක් සමාන ලක්ෂණ සහිත තවත් වැල් වර්ග තුනක් හමුවන අතර එයින් Tinospora sinensis ශාකය බූකිඳ / වල්කිඳ ලෙසත්, Tinospora crispa ශාකය තිත්ත කිඳ ලෙසත් හඳුන්වා ඇත. එමෙන්ම Tiliacora acuminata නම් සිංහල නමක් සඳහන් නොවන තවත් විශේෂයක්ද වෙයි. මීට අමතරව දික්කිඳ / වල් රසකිඳ නමින් හඳුන්වන Zanonia indica නම් වැල් වර්ගයක්ද ඇතැම් ප්‍රදේශවල රසකිඳ ලෙස භාවිතා කරයි. රසකිඳ වෙනුවට ඉහත සඳහන් කවර හෝ වැල් වර්ගයක කොටස් භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුය. 

උණ, ආහාර අරුචිය, අතීසාරය, ග්‍රහණි. පාණ්ඩු, සෙංගමාලය, ප්‍රමේහ, රක්තවාතය, වාතරක්තය, කුෂ්ඨ, රකත් පිත්ත, පාද දාහය, වාත රෝග, වමනය, අර්ශස්, හෘද රෝග, පිපාස, ස්වසන අවහිරතා, ආමවාතය, අම්ලපිත්ත ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී පිට පොත්ත ඉවත්කරගත් අමු රසකිඳ වැල, මුල්, කොළ සහ වැලෙන් ලබා ගන්නා පිටි භාවිතා කරයි. රසකිඳ ශාක කොටස් අමුවෙන් භාවිතා කිරීම වෛද්‍ය නියමය යි. රසකිඳ කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, රසායන ආදී ගුණ රැසක් සහිතයි. මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණයක් රසකිඳවල පවතින බව නුතන පර්යේෂණවලින් තහවුරු වන බව සඳහන්. 

සෙංගමාලයට රසකිඳ කොළවලින් කැඳ සාදා බොන්නට දෙයි. එයටම රසකිඳ කොළ කල්කය මොරු සමඟ බීම හෝ මී පැණියෙන් යොදයි. අර්ශස් රෝගයට රසකිඳ යුෂ හෝ චූර්ණය මොරු සමඟ බීමට නියම කර ඇත. වාතරක්තයට රසකිඳ ස්වරස හෝ කෂාය දෙයි. සෙංගමාලය, අම්ලපිත්ත, බරවා, ප්‍රමේහ ආදී රෝගවලට සහ රසායනයට රසකිඳ ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. නෙල්ලි, රසකිඳ තම්බා බීමෙන් ශරීර දාහය සංසිඳී ඇඟ සිසිල් වේ. ළපටි රසකිඳ කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙස සකසා අහාරයට එක් කර ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support