දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Wednesday, August 13, 2014

බෙලි [Beli] (Aegle marmelos)


බෙලි මීටර් 10 පමණ උසට වැඩෙන පතනශීලී හෙවත් වසරේ එක් කලකදී කොළ හැලී යන ශාකයකි. මේරූ අතුවල කටු පිහිටයි. ළපටි අතු කොළ පාටය. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර සිට ඉලිප්සාකාර ය. අග්‍රස්ථ පත්‍රිකාව සාපෙක්ෂව තරමක් විශාල ය. පත්‍ර පොඩි කළ විට සුවඳවත් වහනය වෙයි. කක්ෂීය පුෂ්ප මංජරියක පොකුරු වශයෙන් හට ගන්නා සුවඳැති මල් කොළ පැහැයට හුරු සුදු පැහැතිය.  උපගෝලාකාර ඵලය වටා ඝණ කාෂ්ඨමය කටුවක් පිහිටයි. අැතුලත මාංසලය. එහි ඇති ඇලෙන සුලු ද්‍රාවණයේ ගිලුණු බීජ 6-10 වැනි සංඛ්‍යාවක් පිහිටා තිබේ. උද්භිද විද්‍යාත්මක තොරතුරුවලට අනුව බෙලි ගස යම් කාලයකදී අප රටට හඳුන්වා දී ඇති අතර එය ඉන්දියාව දේශීය ශාකයකි. සංස්කෘත භාෂාවෙන් බෙලි ගස සඳහා යෙදන ප්‍රකට නාමය "බිල්ව" යන්නයි. අගනා පළතුරක් මෙන්ම ඖෂධීය වටිනාකම් රැසක්ද සහිත වන බෙලි Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

මලබද්ධය, මලස්‍රාව, අජීර්ණ, වමනය, සෙංලමාලය, දැවිල්ල, හෘද දුර්වලතාවයන්, අතීසාර, රක්ත අතීසාර, දියවැඩියාව, අක්ෂි රෝග, වාත රෝග, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා බෙලි මල්, මුල්, පොතු, කොළ, ගෙඩි, මද, ලාටු, කටු ආදී සෑම කොටසක්ම පාහේ භාවිතයට ගනී. බෙලි ගෙඩි සහ ගසේ වෙනත් කොටස් විවිධ ගුණයන්ගෙන් යුක්ත ය. අමු බෙලි මද මලබද්ධය ඇති කරන අතර පැසුණු බෙලි මද මල භේද කරයි. හොඳින් ඉදුණු බෙලි මද මිහිරි සුවඳකින් යුක්ත වන අතර මල භේද කරන, ශක්තිජනක, උදර වේදනා පහ කරන හෘදයට සහ මොළයට හිතකර ගුණ සහිතයි. මධුර රසැති බෙලි මල් අතීසාර, වමන, පිත, පිපාසය දුරු කරයි. බෙලි කටු දැවිල්ල, ඌෂ්ණය, අරුචිය, මලබද්ධය නැති කරයි. හෘදය හා මොළය ශාක්තිමත් කරයි. බෙලි ගැට විරේචක ගුණයෙන් යුක්ත ය. මුලෙහි අරටුව කුසගිනි වඩවන, ලේ ගැලීම් වලකාලන, කාමෝද්දීපක ගුණ සහිතයි. බිල්වාදී නාමය යටතේ බෙලි යොදා නිපදවන ඖෂධ රැසකි.
  
වමනයට බෙලි මුල් පොතු කෂායට මී පැණි දමා බීමට දෙයි. රක්ත අතීසාරය, රක්ත ප්‍රවාහිකා, රක්ත අර්ශස් ආදියට බෙලි ගැට මඳ පෙති මෙන් කපා අව්වේ වියළා, මඳක් කබලේ බැද කුඩු කර බීම ගුණදායකය. සෙංගමාලයට බෙලි කොළ යුෂ මී පැණි සමඟ දෙයි. හෘද රෝගවලට බෙලි මල් කෂාය යොදා ප්‍රතිකාර කරයි. මධුමේහයට බෙලි කොළ යුෂ හෝ කොළ තැම්බූ වතුර බීමට දෙයි. බෙලි කොළ තම්බා තැවීමෙන් වෙදනා සහිත ඉදිමුම් සමනය වේ. අතුල් සහ පතුල්වල දැවිල්ලට බෙලි ශාක කොටස් යොදා නිපදවන බිල්වාදී තෛලය ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. 

බෙලි මල් තැම්බූ වතුර ඇඟ නිවන පානයකි. එහෙමන්ම ඉදුණු බෙලි හෝ පැසුණු බෙලි තම්බා පළතුරක් ලෙස කෑමට ගැනීමටත්, රසවත් ගුණවත් පානයක් සාදා ගැනීමටත් හැකියි. මවක් දරු ප්‍රසූතියෙන් පසු "කොළ වතුර" නෑවීමේදී එයට බෙලි කොළ එකතු කරයි. තම්බාගත් බෙලි මදවලට එම තැම්බූ වතුරම කලවම් කර පානයක් සාදා බීමෙන් මුත්‍ර දෝෂ මගහැරෙන බව ගැමියන්ගේ අත්දැකීමකි. ඉදුණු බෙලි මඳ හොඳින් පොඩි කර එයට මුංඇට කුඩු කලවම් කර සමෙහි ආලේප කිරීමෙන් සම පැහැපත් වේ. පැරැන්නන් උතුම් මංගල වස්තුවක ලෙස සලකා නිවසට දකුණු පසින් බෙලි ගසක් රෝපණය කලහ. බෙලි ගසක් අසල ළිඳක් කැපීමෙන් පහසුවෙන් ජලය ලබාගත හැකි බව පැරණි විශ්වාසයකි. විෂ්ණු පූජාවට බෙලි කොළ අවශ්‍යම දෙයක් ලෙස සැලකේ. බාලක ග්‍රහ දෝෂ වලදී දුම් ඇල්ලීමට බෙලි කොළ, කටු, මුල් යොදා ගනී. පැසුණු බෙලි කටු විසිතුර භාන්ඩ නිපදවීමට භාවිතා කරයි. ගැමියන් බෙලි ගැට මද කුල්ලේ ගෑමට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

1 comments:

Anonymous said...

thank you so much, this is useful me to make a book

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support