දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 25, 2014

කැකිරි

හීන් කැකිරි (Melothria maderaspatana)
කවුඩු කැකිරි (Solena amplexicaulis)
කොමඩු කැකිරි (Citrullus lanatus)

යටකී ප්‍රධාන විශේෂවලට හේන් කැකිරි, ගොන් කැකිරි හා කෙම් කැකිරි යනාදී තවත් වර්ග ඇතුළත්ය. කැකිරි ආධාරකයක් දිගේ උඩට නගින හෝ බිම දිගේ දුවන අඩි 8-10 ක් පමණ දිග වාර්ෂික ශාක වේ.  ඉතා ඉක්මනින් වැඩේ. කැකිරි ශාකයේ කඳ කුහර සහිතය. කඳන්වල හා පත්‍රවල රළු බූව ඇත. පත්‍ර විශාලය. ඒකාන්තරය. කැකිරි පුෂ්ප තැඹ්ලි පාටට හුරු කහ පාටය. ඒකලිංගිකය. පූමාංගී හා ජායාංගී පුෂ්පයන් එකම ශාකයේ ඇත. ඵලය මාංසල බදරියකි. ඵලයේ මතුපිට කහ කොළ ආදී වර්ණවලින් හෝ තීරු හා කහ ඉරි සේ වැටුණ වයිරම්වලින් යුක්තය. මේ කැකිරි වර්ග අතුරින් කොමඩු කැකිරි ඉතා රසවත් ජනප්‍රිය පළතුරකි. කැකිරි Cucurbitaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කැකිරි “කර්කට“, “ඒර්වාරු“, “ඌර්වාරු“ ආදී නම්වලින් හඳුන්වා ඇත. කැකිරි මධුර හා මඳ අම්ල රසින් යුතුය. කැකිරි පිත සමනය කරයි. සෙම හා වාතය වර්ධනය කරයි. සිරුරේ දාහය සහ පිපාසය සංසිඳුවයි. මුත්‍ර වැඩි කරයි. සෙංගමාලය සුව කිරීමට අගනා ඖෂධයකි. පීනස, ඇඳුම හා කැස්ස යන රෝගවලට අහිතකරය. මුත්‍ර ගල්, මුත්‍ර දැව්ල්ල සහ මුත්‍ර අඩස්සිය ආදී රෝගවලට අගනා ප්‍රතිකාරයකි. කැකිරි ඇට රෝග කීපයකට යොදන ඖෂධවලට එක් කෙරේ. අශ්මරී හෙවත් මුත්‍රාශයේ හා වකුගඩුවල හටගන්නා ගල් දිය කිරීමේ විශ්මයජනක හැකියාවක් කැකිරිවල ඇත.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ _ අන්තර්ජාලයෙන් 



Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support