දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Friday, August 1, 2014

රසකිඳ [Rasakida] (Tinospora cordifolia)


රසකිඳ විශාල වෘක්ෂ මත පැතිරී වැඩෙන දේශීය වැල් ශාකයකි. අළු පැහැති තුනී පිට පොත්ත වහා ගැලවී ඉවත් වන ස්වභාවයකි. ඇතුලත පොත්ත කොළ පැහැතිය. කඳෙන් පොළවට මුල් ඇදේ. හෘදයාකාරය පත්‍රයක් දිග සෙ.මි 15 දක්වා ද පළල සෙ.මි. 12 පමණ ද විය හැකිය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගැහැණු සහ පිරිමි මල් වෙන වෙනම පිහිටයි. ඵලය අෂ්ටිලයකි. එය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. රසකිඳ සඳහා යෙදෙන පර්යාය නාම රැසක් අතරින් ආමෘතා නාමය ප්‍රකට ය. ආයුර්වේදයේ සඳහන් පස්මුල් අතරින් එකක් සඳහා ද ගැනෙන රසකිඳ Menispermaceae උද්භිද කුලයට අයත්ය. 

මෙම Tinospora උද්භිද ගණයට අයත් රසකිඳ වැලට තරමක් සමාන ලක්ෂණ සහිත තවත් වැල් වර්ග තුනක් හමුවන අතර එයින් Tinospora sinensis ශාකය බූකිඳ / වල්කිඳ ලෙසත්, Tinospora crispa ශාකය තිත්ත කිඳ ලෙසත් හඳුන්වා ඇත. එමෙන්ම Tiliacora acuminata නම් සිංහල නමක් සඳහන් නොවන තවත් විශේෂයක්ද වෙයි. මීට අමතරව දික්කිඳ / වල් රසකිඳ නමින් හඳුන්වන Zanonia indica නම් වැල් වර්ගයක්ද ඇතැම් ප්‍රදේශවල රසකිඳ ලෙස භාවිතා කරයි. රසකිඳ වෙනුවට ඉහත සඳහන් කවර හෝ වැල් වර්ගයක කොටස් භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුය. 

උණ, ආහාර අරුචිය, අතීසාරය, ග්‍රහණි. පාණ්ඩු, සෙංගමාලය, ප්‍රමේහ, රක්තවාතය, වාතරක්තය, කුෂ්ඨ, රකත් පිත්ත, පාද දාහය, වාත රෝග, වමනය, අර්ශස්, හෘද රෝග, පිපාස, ස්වසන අවහිරතා, ආමවාතය, අම්ලපිත්ත ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී පිට පොත්ත ඉවත්කරගත් අමු රසකිඳ වැල, මුල්, කොළ සහ වැලෙන් ලබා ගන්නා පිටි භාවිතා කරයි. රසකිඳ ශාක කොටස් අමුවෙන් භාවිතා කිරීම වෛද්‍ය නියමය යි. රසකිඳ කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, රසායන ආදී ගුණ රැසක් සහිතයි. මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණයක් රසකිඳවල පවතින බව නුතන පර්යේෂණවලින් තහවුරු වන බව සඳහන්. 

සෙංගමාලයට රසකිඳ කොළවලින් කැඳ සාදා බොන්නට දෙයි. එයටම රසකිඳ කොළ කල්කය මොරු සමඟ බීම හෝ මී පැණියෙන් යොදයි. අර්ශස් රෝගයට රසකිඳ යුෂ හෝ චූර්ණය මොරු සමඟ බීමට නියම කර ඇත. වාතරක්තයට රසකිඳ ස්වරස හෝ කෂාය දෙයි. සෙංගමාලය, අම්ලපිත්ත, බරවා, ප්‍රමේහ ආදී රෝගවලට සහ රසායනයට රසකිඳ ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. නෙල්ලි, රසකිඳ තම්බා බීමෙන් ශරීර දාහය සංසිඳී ඇඟ සිසිල් වේ. ළපටි රසකිඳ කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙස සකසා අහාරයට එක් කර ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

4 comments:

Osanda said...

දිව ඔසුවක්

https://www.facebook.com/swasthaamurtha/

Unknown said...

super..keep up and continue

Unknown said...

Agana lipiyake




Unknown said...

කියලා නිමකරන්න බැරි දිව ඔසුවක්

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support