දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, August 3, 2014

කරල්හැබ (Achiranthus aspera)

ඉතා වැදගත් ඖෂධීය ශාකයක් වූ මෙය අඩි 1-2 අතර උසට වැඩේ. එහි කඳ සෘජුය. විහිදී යන අතු කිහිපයක් මේ ශාකයට ඇත. අතුවල බූව ඇත. පත්‍ර ඇත්තේ ස්වල්පයකි. පත්‍රවල නටු කෙටිය. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාරය. ඒවා පාදයෙහිදී ක්‍රමයෙන් හීන් වේ. සාමාන්‍යයෙන් පත්‍රයක දෙපැත්තේම සිහින් බූවක් ඇත. තදබදව එක්රැස්වූ පුෂ්ප බොහෝමයක් පුෂ්ප මංජරිවල දක්නට ලැබේ. සිහින් ශුකි අඟල් 1/2 පමණ දිගය. පටලමය නිපත්‍ර කෙටිය. නිපත්‍රිකා කණටකාශ්‍රයය. එක් එක් නිපත්‍රිකාවේ පාදයෙහි පටලමය පියාපතක් ඇත. රේණු සංඛාව පහකි. වඳ රේණු ලොකුය. ඵලය ඉතා කුඩාය. එය ව්‍යාප්ත වන්නේ යම් කිසි දෙයකට ඇලීමෙනි. නිවර්තන ප්‍රදේශවල බෙහෙවින් දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට මෙරට මඟ දෙපස, ඇළ ඉවුරුවල හා පිට්ටනිවල වැවේ. 

බිං කරල්හැබ නම් තවත් ප්‍රභේදයක් ඇත. එය Cyathula prostrata නම් වේ. එය අඩි තුනක් පමණ දිගට වැඩේ. එහි කඳ ඉහල නොනැග බිම දිගේ දුවයි. ශාකයේ මුල ප්‍රදේශයේ ඇති වන ගැටවලින් මුල් ඇදේ. කඳේ පාදයෙන් අතු විහිදේ. පත්‍රය අඟල් දෙක් පමණ දිගය. එහි දෙපැත්ත තරමක් බූව සහිතය. කොළ පැහැති පුෂ්ප ද්වීලිංගික හෝ ඒකලිංගික විය හැකිය. මනා ඔපයකින් යුක්ත ඇට ළා දුඹුරුවන්ය. බිං කරල්හැබ ලංකාවේ පහතර ප්‍රදේශවලද වැවේ.

Pupalia lappacea යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන වෙල් කරල්හැබ නම් තවත් විශේෂයක් ඇත. එහි කඳ අඩි පහක් දක්වා දික්විය හැකිය. අණ්ඩාකාර පත්‍රක් අඟල් තුනක් පමණ දිගැතිය. ශාකයේ අග්‍රස්ථ ශුකිරූපීය. පුෂ්ප මංජරිවල පොකුරු වශයෙන් නිර්වෘන්ත පුෂ්ප දක්නට ලැබේ. පුෂ්ප කොළ පාටය. නණ්ඩු වශයෙන් පුෂ්ප හීන වී ඇත. ලංකාවේ වියළි ප්‍රදේශවල කරල්හැබ ශාකය බහුලය. ඉන්දියාව, මලයාව පිලිපීනය හා දකුණු අප්‍රිකාව යන රටවල මෙම ශාකය දක්නට ලැබේ. යටකී කරල්හැබ විශේෂ තුනම ඇමරැන්තස් (Amaranthaceae) කුලයට අයත්ය.

සංස්කෘත ග්‍රන්ථවල කරල්හැබ “අපාමාර්ග“, “ශිඛරී“ හා “ශෛඛරික“ යන නම්වලින් හැඳින්වේ. මෙම ඖෂධීය ශාකය මෙරට ජනයා සැබෝ, සෑබෝ, කරල් සැබෝ, කරල් හැබ්බ හා කරල් සැබ යන නම්වලින් හඳුන්වති. මහ කරල්හැබ හා හීං කරල්හැබ යනුවෙන් මෙහි ප්‍රභේද දෙකක ඇත. මහ කරල්හැබ ප්‍රභේදයේ මල් ළා කහ පැහැ වන අතර හීං කරල්හැබ ප්‍රභේදයේ මල රතු පාටය. මුලින් කී ප්‍රභේදය හෙළ සැබෝ යනුවෙන්ද දෙවනුව කී ප්‍රභේදය රත් සැබෝ යනුවෙන්ද හැදින්වේ. 

මහ කරල්හැබ තිත්තය, ඌෂ්ණය, මල බඳී, දිරවීම අපහසුය, වමනය ඇති කරයි. අර්ශස්, උදර රෝග, වාත හා සෙම් රෝග නසයි. 

හීං කරල්හැබ ශීතලයි, වමනය ඇති කරයි, වා සෙම් නසයි, වණ හා විෂ නසයි. මල බඳියි, පණුවන් නසයි, හිස සිසිල් කර එහි රෝග නසයි.

යටකී කරල්හැබ දෙවර්ගයම පොදුවේ වමනය ගන්වයි. ලේ බැඳීම කරයි. රක්තාතීසාරය සුව කරයි. කුසගිනි වඩවයි. හෘදරෝග, අර්ශස් හා උදරාබාධ සුව කරයි. කරල්හැබ ඇට මධුරය. දිරවීම අපහසුය. බඩ පිපුම ඇති කරයි. වාතය වඩයි. රත්පිත් සමනය කරයි.

මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

    
Share:

3 comments:

Anonymous said...

Thanks' for giving a good knowledge about these plants.

Unknown said...

බිං කරල්හැබ ශාක ගුණ අගුණ පිළිබඳ තව විස්තර ටිකක් එවන්න අර්ශස් රෝගයට ගුනද

Unknown said...

අර්සස්රෝගයට ගන්නෙ මෙි කරල්හැබද

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support