දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, May 28, 2018

හීං බැබිල [Heen Bebila] (Sida rhombifolia subsp. alnifolia)

බෙහෙත් බැබිල, සුළු බැබිල ආදී නම්වලින් ද හඳුන්වන හීං බැබිල බිම දිගේ දුවන හෝ පොළවෙන් ඉස්සී වැඩෙන කුඩා පඳුරු ආකාර වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. කාෂ්ඨීය කඳ බෙහෙවින් අතු බෙදෙමින් මීටර් 0.6 ක් දක්වා උසට ද, අතු මීටර් 1.5 දක්වා දිගට ද වර්ධනය වේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිගින් සාමාන්‍යයෙන් සෙ.මි. 0.7 සහ පළලින් සෙ.මි. 0.4 දක්වා ද වර්ධනය වන අතර ඊට වඩා විශාලවට වැඩෙන අවස්ථාද හමු වෙයි. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර සිට කීලාකාර වේ. ඇතැම් විට විජ්ජනීය විය හැකිය. උඩු පෘෂ්ඨය සිනිඳු සිට උපසිනිඳු වේ. යටි පෘෂ්ඨයේ රළු තාරකාකාර බූවක් පිහිටා තිබේ. පත්‍ර අග්‍රය රවුම් සිට උපලූප්ත වන අතර පත්‍ර පාදය තිව්‍ර සිට අති තීව්‍ර ය. සම්පූර්ණ පත්‍ර දාරයම දැති ආකාර විය හැකි වුවත් ඇතැම් විට පත්‍රයේ අඩක පමණක් දැති පිහිටයි. කක්ෂීයව පිහිටන මල් ළා කහ-තැඹිලි පාටය. මල් නටුව දිගින් සෙ.මි. 0.3- 1 පමණ වේ. ඵලය කොටස් (ඵලිකා) 10 පමණ දරන විදාරකයකි. හීං බැබිල මීට පෙර උද්භිද විද්‍යාත්මකව Sida alnifolia නම් වෙනම විශේෂයක් ලෙස හඳුනාගෙන තිබූ අතර වර්ථමානයේ  Sida rhombifolia නම් විශේෂයේ උප විශේෂයක් ලෙස සලකයි.  හීංබැබිල  Malvaceae උද්භිද කුලයට අයත් දේශීය ශාකයකි. 

ඉදිමුම්, උන්මාද, බඩවැල්වල ආබාධ, රක්ත පිත්ත, මුත්‍ර අඩස්සිය, මුත්‍ර බද්ද, පිත්ත ජවර, ප්‍රදර ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට හීං බැබිල ශාකයේ මුල්, කොළ, අැට සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. හීං බැබිල නාඩි බලකාරක, මුත්‍රකාරක, ඉදිමුම් සමනය කරන, වේදනාස්ථාපන, ශුක්‍ර වඩවන, රත් පිත සමනය කරන්න, ඇසට හිතකර ආදී ගුණ සහිතයි. 

වණ ශෝධනයට සම්පූර්ණ ශාකයම තම්බා පෙරා ගත් ජලය භාවිතා කරයි. අධික රුධිර පීඩනයට මල් කෂාය හෝ පාණ්ඨය යොදා ප්‍රතිකාර කරයි. පක්ෂඝාත, අර්දිත වැනි වාත රෝගවලට සහ ඉදිමුම් සඳහා මුල් කෂාය ද, අන්ත්‍ර වෘද්ධියට සහ රත්පිතට මුල් කිරි කෂාය ද දෙයි. මුත්‍ර අඩස්සියට හීං බැබිල මුල් පොතු චූර්ණය හෝ මුල් කෂාය යොදයි. වාතය නිසා හටගත් වේදනාවන්ට මල් තම්බා බොන්නට දෙයි. විද්‍රධි විධාරණයට දලු ප්‍රලේපය යොදයි. පිත නිසා හටගත් උණට සහ සන්ධි වාතය නිසා හටගත් උණට මුල් කෂාය ගුණය. ශීත ජ්වරයට හීං බැබිල මුල් හා ඉඟුරු කෂායකර බොන්ට දෙයි. ප්‍රදර සහ මුත්‍ර බද්ධයට හීං බැබිල මල් චූර්ණය වරකට ග්‍රෑම් 45 බැගින් මී පැණියෙන් අනා කා කිරි බීමට නියම කර ඇත. 

බැබිල කොළ කැඳ සඳහා එකතු කර ගත හැකිය. තරමක් සෙවෙල සහිත බැබිල කොළ පමණක් ගෙන කැඳ සෑදීමට අපහසු නිසා එයට හාතාවාරිය වැනි රළු කෙඳි සහිත කොළ වර්ගයක් එකතු කර ගැනීමෙන් මිරිකා යුෂ ගැනීමට පහසු වෙයි. යමෙකුට යම් ක්‍රියාවක් වැරදී අපහසුතාවයට පත් වූ විට "බැබිල ගහේ රීපු බළලා වගේ" යැයි කියන පිරුලක් ගැමියන් අතර වෙයි. බළලාට ජෛවීයව ලැබෙන පුරුද්දක් වනුයේ මළපහ කළ පසු වසා දැමිය යුතු වීමයි. බළලෙක් හදිසියේවත් බෙහෙවින් අතු බෙදුනු පඳුරක් වැනි හීං බැබිල ගහක් මත මළපහ කළහොත් තම ජෛවීය පුරුද්ද ඉටුකර ගත නොහැකිව බෙහෙවින් අපහසුතාවට පත් වන හෙයින් මෙවැනි පිරුලක් නිර්මාණය උනා විය හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 
Share:

Sunday, May 20, 2018

වැල් තිබ්බටු [Wel Tibbatu] (Solanum trilobatum)

වැල් තිබ්බටු බිම දිගේ හෝ ඇතැම් විට පොළවෙන් ඉස්සී වැඩෙන පඳුරු ආකාර කුඩා පැළෑටියකි. මඳක් නැමුණු කහ පැහැති කුඩා කටු ශාකය පුරාම දැක ගත හැකිය. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර වටකුරු හෝ මඳ වශයෙන් තාරකාකාර ය. කක්ෂීයව හට ගන්නා පුෂ්ප මංජරියෙහි දම් පැහැති අලංකාරවත් මල් 3-9 සංඛාවක් පිහිටයි. කොළ පැහැති ගෝලාකාර ඵලය ඉදුණු පසු තැඹිලි රතු පැහැයක් ගනී. එක් ඵලයක් තුල කුඩා බීජ රාශියක් පිහිටා තිබේ. වැල් තිබ්බටු  Solanaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

කැස්ස, ඇදුම, කුෂ්ඨ, ආහාර අරුචිය, ආමවාත, ප්‍රතිශ්‍යාව, පාලනයකින් තොරව මුත්‍ර පිටවීම, සර්ප විෂ, තුන්දොස් කිපීමෙන් හට ගන්නා උණ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වැල් තිබ්බටු ශාකයේ කොළ, මුල්, ගෙඩි, මුල් සහ සම්පූර්ණ ශාකය එකවරත් භාවිතා කරයි. වැල් තිබ්බටු ශක්තිජනක, සෙම පහ කරන, ආහාර ජීර්ණය පහසු කරන, කුසගිනි වඩවන, මලභේදක ආදී ගුණයන් සහිතයි. ශ්ලේෂ්මල ගුටිකාව, අලර්කාදී කුලම්බුව, අලර්කාදී චූර්ණය, වැල්තිබ්බටු සෘතය, කාලිංග ගුළිය ආදී ඖෂධ වැල් තිබ්බටු යොදා නිපදවයි. 

ධාතු වැඩීමට වැල් තිබ්බටු කොළ ගිතෙලින් බැද කෑමට ගත යුතුය. තුන්දොසින් හට ගන්නා උණ, දෙඩවිල්ල, ඇවිලිල්ල, දරු ප්‍රසූතියෙන් පසු මවට ඇති වන උණ ආදී රෝග සඳහා වැල් තිබ්බටු සම්පූර්ණ ශාකයම තම්බා බොන්නට දෙයි. සර්ප දෂ්ඨනයකදී වැල් තිබ්බටු, අත්තන, බෝ පොතු, දිවිකදුරු කොළ සහ පොතු, කංසා කොළ එකට කොටා යුෂ ආලේප කරයි. සාමාන්‍ය කැස්සට සහ කක්කල් කැස්සට වැල් තිබ්බටු කැඳ බීම ගුණ ය. කල් ගතවූ කැස්සට උදෑසන කථා නොකර වැල් තිබ්බටු වැලක් ලඟට ගොස් පිටිඅත්ලෙන් කොළයක් කඩා, කටේ දමා කෙළ ගිලීමෙන් කැස්ස සුව වන බව සඳහන්. මෙය දින තුනක් කළ යුතු බව දක්වා ඇත.

වැල් තිබ්බටු කොළ කලවම් පලා මැල්ලුමට එකතු කර ගැනීමට මෙන්ම, සලාද ලෙස සකසා කෑමට ගැනීමටත් හැකියි. එමෙන්ම කැස්සට ප්‍රතිකාරයක් ලෙස කොළ ව්‍යංජනයක් ලෙස කිරට උයා බත් සමඟ කෑමට ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, May 13, 2018

හිඟුරුපට වැල් [Hingurupata Wel] (Senegalia caesia)

හිඟුරු වැල් යනුවෙන් ද හඳුන්වන හිඟුරුපට සෙ.මි. 6 දක්වා විශ්කම්භයක් සහිතව බෙහෙවින් අතු බෙදෙමින් වැඩෙන විශාල කාෂ්ඨීය වැලකි. රළු පොත්ත අළු දුඹුරු පැහැතිය. වැල පුරාම කොක්කක් වැනි කෙටි, තියුනු කටු පිහිටා තිබේ. මේරූ වැල් තරමක් චතුරස්‍රාකාර හැඩක් ගන්නා අතර එවායෙහි කටු දිගින් සහ තියුණු බවින් මඳක් අඩු ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. ප්‍රාක්ෂය සෙ.මි. 10 පමණ දිගු වන අතර කොකු හැඩැති තියුණු කටු දරයි. ප්‍රක්ෂයක අනු ප්‍රාක්ෂ යුගල් 5-6 පිහිටන අතර අනු ප්‍රාක්ෂයක පත්‍රිකා යුගල් 15-17 පමණ පිහිටා තිබේ. අඳුරු කොළ පැහැති පත්‍රිකා දිලිසෙන සුලු ය. දිගු අක්ෂයක් සහිත බහු අක්ෂ පුෂ්ප මංජරියෙහි ලිහිල්ව බැඳුණු සුදු පැහැති මල් රාශියක් හට ගනී. ඵලය පටි ආකාර අඳුරු රතු-දුඹුරු පැහැති කරලකි. කරලක් තුල පැතැලි බීජ 5-7 පමණ පිහිටයි. මෑතක් වන තුරු Acacia caesia යන උද්භිද නාමයෙන් හඳුන්වා තිබූ හිඟුරුපට ශාකය Fabaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

කෝල, වලිප්පු, ඉලප්පු, කණ්ඩමාල, සර්ප විෂ, සෙම් රෝග, නියපිරිත්තාව ගව රෝග ආදියට  ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් හිඟුරුපට වැලේ කඳෙන් ලබා ගන්නා යුෂ භාවිතා කරයි. එමෙන්ම දේශීය ගුලි , කල්ක ඇඹරීමේදී ස්වරසයක් ලෙස හිඟුරුපට යුෂ භාවිතයට ගනී. මෙම යුෂ සෙම ඉවත් කීම සඳහා යොදා ගත හැකි වඩාත් ප්‍රතිඵලදායී ඖෂධයක් ලෙස ද සැලකේ. සන්නි රෝග, සර්ප විෂ සහ ඇතැම් ගව රෝග සඳහා නස්න කීරීමේදී යෙදෙන ඔසුවකි. කරමල් උදර තෛලය, බටු තෙල, යමදේවරාජ තෛලය, ශ්වාසජ්වර තෛලය, සර්වවිෂාදී තෛලය, සන්නිව්‍රජාපාට ගුලිය ආදී ඖෂධ නිපදවීමටත්,  බුද්ධරාජ ගුලිය, ශ්‍රී බ්‍රහ්මාදී රසය ආදියට අනුපානයක් ලෙසත් හිඟුරුපට යොදා ගනී. 

මුඛ විරේකයට හෙවත් මුඛයෙන් සෙම ඉවත් කිරීමට සීනක්කාරම්, පල්මානික්කම්, අක්‍රපට්ටා, වැල්මි, ඉගුරු, ගම්මිරිස්, වදකහ, හරංකහ, පාටකහ යන මෙවා සහිඳ ලුණු ස්වල්පක් සමඟ හිඟුරුපට යුෂින් අඹරා ඇඹුල් දොඬම් බිකකට දමා මුඛයේ රුවාගෙන සිටීමෙන් සෙම වැගිරෙන බව සඳහන්. කණ්ඩමාල රෝගයට කුප්පමේණිය යුෂ, හිඟුරුපට යුෂ, මී පැණි, මයුරතුත්තන් (ශෝධනය කර ගත් පල්මානික්කම්) සමව ගෙන බීමට දිය යුතුය. 

මෙයට අමතරව හිඟුරුපට ශාකයේ ඇති කසට ගුණය, බැක්ටිරියා සහ දීලිරනාශක ගුණය, ශීත ගුණ, උද්ධීපනකාරි ගුණ, ජීර්ණ ගුණ ආදිය නිසා විවිධ රෝගාබාධ සඳහා සාර්ථකව භාවිතා කළ හැකි ඔසුවක් බවට බොහෝ තොරතුරු අන්තර්ජාලය තුල හමුවෙයි. පිලිපීන සහ නේපාල ජාතිකයන් අතර ප්‍රසිද්ධ ඔසු ශාකයක් වන මෙහි ඇති දීලිර නාශක හැකියාව නිසා කෘෂිකාර්මික කටයුතු වලදී රෝග පාලනයට යොදා ගනී. එමෙන්ම උපත් පාලනය සහ විවිධ ස්ත්‍රි රෝග, නිතර දක්නට ලැබෙන උදර රෝග, ලියුකේමියා, අක්මා රෝග, ප්ලිහා රෝග සහ සෙම් රෝග සඳහාත් සාර්ථකව යොදා ගත හැකි ඔසුවක් බව සඳහන්. විදුරුමස් රෝග සඳහා පොතු තැම්බූ වතුර භාවිතා කරයි. එමෙන්ම අධික රුධිර වහනය, සමේ තුවාල, පොතුකබර වැනි සමේ ඇති වන අපහසුතා, තරබාරු ගැටලු,  උගුරෙ අමාරු, සන්ධි වේදනා ආදියටත් භාවිතා කළ හැකි බවට තෙරුතුරු පවතී. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ පලවූ සංවාදයක් ඇසුරෙන් 
විශේෂ ස්තුතියි_ ඔසුපැළ සමූහයේ විද්වතුන් ඇතුළු සැමට

Share:

Sunday, May 6, 2018

හික් [Hik] (Lannea coromandelica)

බත් හික් යනුවෙන්ද හඳුන්වන හික් මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී වෘක්ෂයකි. මහ කඳ ශල්කමය ඇලි සහිත හෝ සිනිඳු වේ. කෙඳි සහිත ඇතුලත පොත්තෙහි ඇලෙන සුලු මැලියම් වර්ගයක් පිහිටයි. නොමේරූ කොටස්වල තාරාකාකාර බූවක් පිහිටන අතර වා සිදුරු ද දරයි. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රයක් දිගින් සෙ.මි.15-30 පමණ වන අතර පත්‍ර නටුව සෙ.මි. 6-12 දක්වා දිගු විය හැකිය. ප්‍රාක්ෂයෙහි සම්මුඛව පිහිටන අණ්ඩාකාර හැඩැති පත්‍රිකා 15 දක්වා තිබිය හැකි අතර එක් පත්‍රිකාවකින් කෙලවර වේ. පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. හික් ගසෙහි ගැහැණු සහ පිරිමි ශාක වෙන වෙනම පිහිටා තිබේ. කුඩා මල් සුදු පැහැයට හුරු කහ පැහැති ය. එල්ලා වැටෙන පොකුරු ලෙස පිහිටන පැතලි ගෙඩි වෘක්කාකාර, ත්‍රපීසාකාර හෝ වටකුරු-ගෝලාකාර වේ. දේශීය ශාකයක් වන හික් Anacardiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  Meliaceae උද්භිද කුලයට අයත් Chukrasia tabularis යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් හික් නමින් හඳුන්වන ශාකයක් ඇති අතර එය හුලං හික් නම් වේ. තරමක් විශාලවට වැඩෙන හුලං හික් විශේෂයෙන් දැව අවශ්‍යතා සඳහා යොදා ගනී. 

ගෙඩි, වණ, පූයාවණ, ග්‍රහණි, රක්ත අතීසාර, දාහ, මූර්ජා, ශීතපිත්ත, සූතිකා රෝග, ලේ වහනය වීම්, දුර්ගන්ධ ප්‍රශ්වාස, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, වාත රෝග, ඉදිමුම්, අතීසාර, මව්කිරි අඩුවෙන් ස්‍රාවය වීම, අක්ෂි රෝග, මස්පිඩු ඇඹරීම, උලුක්කු, කැඩුම් බිඳුම්, හෘද රෝග, ප්‍රවාහිකා, දත් කැක්කුම, අභිඝාත, ගුද මාර්ගය ඉදිමීම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට හික් ශාකයේ කොළ, මුල්, පොතු, සුඹුලු, මැලියම් ආදිය භාවිතා කරයි. හික් ශක්තිකර, පූතිනාශක, ලේවහනය වීම වලක්වන, පණුවන් නසන, කුසගිනි වඩවන, අධ්මානහර, ස්තම්භක ආදී ගුණයන් සහිතයි. හික් සුඹුලු තෛලය හික් යෙදූ නිශ්පාදිත ඖෂධයකි.

වාතය නිසා හටගත් ඉදිමුම් සඳහා හික් කොළ ගම්මිරිස් සමඟ අඹරා ඉදිමුම් ස්ථානයට තබා බඳී. ඉදිමුම්, ගුද මාර්ගයේ ඉදිමුම්, පූය ඉවත් කිරීම ආදියට කොළ තම්බා බැඳිය යුතුය. අබිං විෂට හික් දළු යුෂ බීමට දෙයි. අබිං විෂට වමනය කරවීමට හික් කොළ යුෂ අවුන්ස 4 ට සියඹලා ඉන් අඩක් මිශ්‍රකර බීමට දෙයි. වණ සේදීමට කොළ තම්බා බැඳීම හා සුඹුලු තම්බා සේදීම සිදු කරයි. අක්ෂි රෝග සඳහා සුඹුලු යුෂ ආලේප කරයි. කල්ගතවූ වණ සඳහා සුඹුලු චූර්ණය කොහොඹ තෙලින් අනා ආලේප කළ යුතුය. මස්පිඩු ඇඹරවීම හා උලුක්කුවට තෙලෙන් තම්බාගත් හික් කොළ බඳියි. ආමවාතය (ආතරයිට්ස්) නිසා හටගත් සන්ධි ඉදිමුමට හික්කොළ ප්‍රලේපය තවරයි. අක්කාරමට හික් පොතු යුෂ ලේහ කරයි. ගෙඩි ඉහිරවීමට හික් මැලියම්, ගඩොල් කුඩු, කෝමාරික් ඉස්මෙන් අඹරා ගෑම සහ හික් මැලියම් ඇඹුල් දොඬම් ඉස්මෙන් අඹරා පත්තු දැමීම සිදු කරයි. උලුක්කුවලදී හික් පොතු, උළුහාල්, පොල් සමඟ කොටා මලවා බඳී. හික් මැලියම් පානය කිරීමෙන් මව්කිරි වැඩෙන බව සඳහන්. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම්, පත්තු සෑදීම සඳහා හික් කොළ, පොතු සහ මැලියම් යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය


Share:

Sunday, April 29, 2018

මුඩුමහණ [Mudumahana] (Sphaeranthus indicus)

මලෙහි පෙනුම හිස මුඩුකළ භික්ෂුවකගේ හිසෙහි ස්වරූපයක් ගන්නේ ය  යන අරුතින් මුඩුමහණ යනුවෙන් හඳුන්වන මෙම ශාකය සෙ.මි. 30 ක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. පියාපත් සහිත හතරැස් කඳෙහි බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර පුනීලාකාර හෝ ශ්‍රාවාකාර ය. පත්‍ර දාරය දැති සහිත ස්වභාවයක් ගනී. සංයුක්ත පුෂ්පය දම් පැහැතිය. භූ මණියක් සහිත කුඩා බීජ සුලඟ මඟින් ව්‍යාප්ත වේ. කුඹුරුවල සුලබව හමුවන නිසා වෙල්මුඩ යනුවෙන්ද හඳුන්වන මුඩුමහණ Asteraceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. මෙම උද්භිද කුලයටම අයත් හීං මුඩුමහන නමින් තවත් දේශීය ශාකයක් ඇති අතර එය Epaltes divaricata යන උද්භිද නාමයෙන් හඳුන්වයි. 

දියවැඩියාව, මුත්‍රඅඩස්සිය ඇතුළු මුත්‍ර ආබාධ, හොරි කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, උණ රෝග, පිත් රෝග, ආමාශයික සහ ආන්ත්‍රික ආබාධ, අජීර්ණ, කැස්ස, ලේ යන අර්ශස්, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා  මුඩුමහණ ශාකයේ කොළ, මුල්, මල්, බීජ සහිත පංචාංගයම භාවිතා කරයි. මුඩුමහණ මුත්‍රකාරක, බලකාරක, උෂ්ණකාරක, සෙම නසන ආදී ගුණ සහිතයි. 

අර්ශස් රෝගය සඳහා වියළාගත් මුඩුමහණ ශාකය චූර්ණ කර කිරි මෝරු සමඟ මිශ්‍රකර දෙයි. කැස්සට මුඩුමහණ කොළ යුෂ එළකිරි ස්වල්පයක් හා සූකිරි සමඟ තම්බා බීම සහ  මුඩුමහණ බීජ චූර්ණය මී පැණි සමඟ ගැනීම ගුණය. මුත්‍ර දැවිල්ලට සහ මුත්‍ර සමඟ ලේ පිටවීමට මුඩුමහණ කුඩා පැළෑටි කොටා මිරිකාගත් යුෂ පානය කළ යුතුය. මුඩුමහණ මුල් චූර්ණය ග්‍රෑම් 1.5 පමණ දිනපතා ගැනීමෙන් පණු රෝග නැසීමත්, ආමාශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමත් සිදු වේ. නිදන්ගත චර්ම රෝග සඳහා සෙවණෙහි වියළන ලද මුඩුමහණ කොළවලින් සකසාගත් චූර්ණය ග්‍රෑම් 1.25 ක් දිනපතා ගැනීමට නියම කර ඇත. ශරීර ශක්තිය වර්ධනයට සහ අකලට හිසකෙස් වැටීමට නොමේරූ මුඩුමහණ පැළෑටි හොඳින් කුඩුකර බටර් සමඟ තලා සීනි සහ පිටි මිශ්‍රකර සාදා ගන්නා මෝදකය දිනපතා අනුභව කළ යුතුය. දියවැඩියාවට මුඩුමහණ සම්පූර්ණ ශාකය කෂාය කර බීමට දෙයි. හොරි නැමැති චර්ම රෝගයට මුඩුමහණ සම්පූර්ණ ශාකයම තලතෙල් සමඟ අඹරා ආසාධිත ස්ථානවල ආලේප කළ යුතුය. වාජීකරණයට මුඩුමහණ මුල් ජලයෙහි පෙඟෙන්නට හැර පසුව තලතෙල් තුල දමා ජලය සම්පූර්ණයෙන් සිඳෙන තුරු රත්කර තෙලක් නිපදවා ගනී. එය පුරා දින 41 ක් වරකට මි.ලී. 20 බැගින් උදෑසන හිස්බඩ ගැනීමට නියම කර ඇත. 

ගැමියන් එදිනෙදා සිදුවන කැපීම්, සීරීම ආදිය නිසා සිදුවන සුළු ලේ වහන වැලැක්වීමට අත්බෙහෙත් ලෙස මුඩුමහණ ශාකය කොටා තුවාලයට තබා බැඳීම සිදුකරයි. ඉන්දියානුවෝ කැස්සට මුඩුමහණ කොළ කිරි සමඟ උණුකර බීමට ගනී. මුඩු මහණ යොදා දිවිමකුළු විෂට ප්‍රත්‍යක්ෂ රහස් ඖෂධයක් නිපදවන බව සඳහන්. මුඩුමහණ ග්‍රාමීයව විෂහරණී යනුවෙන්ද හඳුන්වා ඇත. 

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Monday, April 23, 2018

දොඹ [Domba] (Calophyllum inophyllum)

දොඹ මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 50 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. සිනිඳු දිළිසෙන සුලු මතුපිටකින් යුත් තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර අග්‍රය රවුම් හෝ තීව්‍ර ය. පත්‍ර හැඩය පළල් ඉලිප්සාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර-ඉලිප්සාකාර වේ. පත්‍රයක් දිගින් සෙ.මි. 20 සහ පළලින් සෙ.මි.12 ක් දක්වා වැඩේ. කක්ෂීයව හට ගන්නා පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සෙ.මි. 3 පමණ විශ්කම්භයකින් යුත් සුදු පැහැති මල් අලංකාරවත් ය. එය මී මැස්සන් ප්‍රිය කරන මල් වර්ගයක් ලෙස සැලකේ. ඵලය කොළ හෝ කහ පැහැති තන්තුමය ගෝලාකාර අෂ්ටිලයකි. එක් ඵලයක් තුල විශාල තනි බීජයක් පිහිටා තිබේ. දොඹ Clusiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

වණ, කුෂ්ට, අසාධ්‍ය ප්‍රමේහ, කරප්පන්, උදර්ද, කිලාස, වාත රෝග, අක්ෂි රෝග, හිසරුදා, හතිය, පපුවේ සෙම බැඳීම, ආමවාත, සන්ධි වේදනා, කැඩුම් බිඳුම්, අතීසාර, ප්‍රවාහිකා, මලබද්ධය, මුත්‍ර අඩස්සිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට දොඹ ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ඇට, මද, තෙල් සහ මැලියම් භාවිතා කරයි.  දොඹ මලභේදක, මුත්‍රකාරක, රෝචක, අධිමානහර, ධාතු ඌෂ්ණහර, වණරෝපන, කෘමිනාශක, පෙනහැල්ලට හිතකර ආදී ගුණයන් සහිතයි. 

අභිෂ්‍යන්ද්‍ය නම් අක්ෂි රෝගයට පිරිසිදු කරගත් දොඹ කොළ තම්බා ඇස් සේදීම සහ මල් ජලයෙහි බහා තබා ඇස් සේදීම සිදු කරයි. සන්ධිවල වාත වේදනාවන්ට සහ ඉදිමුම් ආදියට ඇට අඹරා ආලේප කරයි.  දොඹ තෙල් ආලේප කිරීමත්, මුල් තම්බා සේදීමත් වණ සඳහා ප්‍රතිකාරයන් ය. අතීසාර, ප්‍රවාහිකා සහ රක්ත අර්ශස් යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පොතු කසාය යොදා ගනී. දොඹ දලු තම්බා ඇස් සේදීමෙන් අපද්‍රව්‍ය ඉවත්වී ඇස පිරිසිදු වේ. දියමැටියන් කෑමෙන් කකුල්වල ඇඟිලි අතර වණ වූ විට දොඹ ඇට පුලුස්සා පොල්තෙල් සමඟ අනා ආලේප කළ යුතුය. එය වියගසට ගවයින්ගේ කර තුවාල වූ විට ද යොදන ප්‍රතිකාරයකි. ඇසෙහි කුඩා යමක් ඇණුන විට දොඹ දලු, බෝඹු දලු, පඹ දලු තම්බා ඇස සේදීමෙන් ඇණුන දේ ඉවත්ව යයි. පැරැන්නන් වාත වේදනා සමනය කර ගැනීම සඳහා දොඹ තෙල් ආලේප කර ඇත.

දොඹ ඇට මඳ කොටා, පැසෙහි බහා මිරිකා දොඹ තෙල් ලබා ගනී. දොඹ තෙල් දැව ආරක්ෂකයක් ලෙස ද භාවිතා කළ හැකිය. දොඹ දැව වටිනාකම අතින් ද ඉහල අගයක් ගන්නා ශාකයකි. නිවාස, නැව්, බෝට්ටු, කරත්ත තට්ටු, සිල්පර කොට,  දුම්රිය මැදිරි, කරත්තවල ප්‍රධාන කඳ (බෝන් ලීය), නැව්වල කුඹගස, ආයුධවල මිටි ආදිය සෑදීමට දොඹ ලී යොදා ගනී. දොඹ තෙල් සිඳීමෙන් පසු ඉතිරිවන මුරුවට හොඳ කාබනික පොහොරක් ලෙස භාවිතා කළ හැකි ය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
ස්තුතිය_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ මිතුරන්ට
සේයාරූ_ අන්තර් ජාලයෙන්
‍ෙ
Share:

Sunday, April 8, 2018

ගෙරිපස්

ගෙරි නමින් හඳුන්වන කුඩා කුහුඹු විශේෂයක් තම ගෘහය නිර්මාණය කර ගන්නා පස් වැනි ද්‍රව්‍ය ගෙරි පස් නමින් හඳුන්වා ඖෂධ පිණිස භාවිතා කරයි. කුහුඹුවන් කීවද වේයන් අයත්වන සත්ව විද්‍යාත්මක ගණයට අයත් Hospitalitermes monoceros නමින් හඳුන්වන මොවුන් මිනිස් වාසයට නොපැමිණෙන අහිංසක සත්ව කොට්ටාශයකි. කලක් මෙම සත්වයා ලංකාවට ආවේණික ලෙස සැලකුව ද එසේ නොවන බව පසුව තහවුරු කර ගෙන ඇත. මී මැස්සන් පරාග සහ තම සිරුරින් නිපදවන දෑ එකතුකර මී වදය නිර්මාණය කරන අයුරින් මොවුන් ද බාහිර පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය හා තම සිරුරේ නිපදවෙන දෑ මුසුකර තම ගෘහය නිර්මාණය කර ගනී.‍ ගස් බෙන හෝ තල් තලාවන් ඇසුරු කරගෙන තම නිවස සාදා ගන්නා මොවුන් ඒ සඳහා අට්ටික්කා, කුඹුක් සහ නාබැද්ද යන ශාක සුලබව භාවිතා කරන බව හඳුනාගෙන ඇත. මෙහි ඇති ඡායාරූපවල දක්වා ඇත්තෙ ජම්බු ගසක බෙනයක් තුල නිර්ණය කර ඇති ගෙරි ජනපදයකි. මොවුන්ගේ දිගු පෝලිම් කැලෑබදව දැක ගත හැකි අතර ගැමියන් එම රංචු ගෙරි වැල් ලෙස හඳුන්වයි. මී මැසි ජනපදවල මෙන් මොවුන්ගේ ජනපදයක් තුල ද එක් එක් කාර්යයන් පැවරුනු පිරිසක් සිටින බවට සිත් ගන්නා සුලු තොරතුරු පවතී. රංචු පිටින් ගමන් කරන විට රංචුව මැදින් යන පිරිස වැඩ කරන පිරිස ලෙසත්. දෙපසින් ගමන් කරන පිරිස ඔවුගේ ආරක්ෂකයන් ලෙස සත්ව විද්‍යාඥයින් හඳුනා ගෙන ඇත. බෙහෙතකට යම් ස්ථානයකින් ගෙරි පස් ලබා ගැනීමේදී එහි සිටින සතුන් ආදාල ස්ථානයෙන් පිටතට ගෙන නොයාමට කාරුණික විය යුත්තේ ජනපදයෙන් පිටත මෙම සත්වයින්ට පැවත්මක් නොමැති හෙයිනි.

විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා ගෙරි පස් භාවිතා කරයි. ඊට අමතරව කම්බුල් ගෙඩි, චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත්, ගුප්ත විද්‍යා කටයුතු සහ ඉනා බෙහෙත් සඳහාත් ගෙරි පස් යොදා ගන්නා බවට තොරුතුරු ඇත. 

ගෙරියන් නිවසට පැමිනීම හා වාසය කරන නිවස ඇති ඉඩමට පිවිසීම අසුභ ලකුණක් බවත් ,එම ස්ථානය පාලුවට ලක්වන බවත්, ගෙරිපස් අසුභ සම්මත දේ සමග මුසු කොට නැකත් හා මන්ත්‍ර විධි සංයෝග කොට තවෙකෙකුට අයහපතක් කල හැකි බවත් විශ්වාස කෙරේ.

ස්තුතිය_ සත්ව විද්‍යාත්මක තොරතුරු ලබාදුන් Sanath Bandara Herath සොයුරාට සහ "ඔසුපැළ හඳුනාගනිමු" සමූහයේ සහෘදයින්ට. 
Share:

Sunday, April 1, 2018

ඉල්ල [Illa] (Callicarpa tomentosa)

ඊල්ල, හකුරුඉල්ල, හකුරු විල්ල සහ හැකරිල්ල ආදී නම් කීපයකින්ම හඳුන්වා ඇති ඉල්ල මීටර් 2-12 අතර උසකට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ ළා දුඹුරු පැහැති වන අතර ලීය සුදු, දුඹුරු හෝ රතු පාටට හුරු සුදු පාටකි. සිලින්ඩරාකාර හෝ උප සිලින්ඩරාකාර ළපටි අතුවල පහසුවෙන් ගැලවිය හැකි ඝණව ඇහිරුණු තාරාකාර බූවක් පිහිටයි. සරල පත්‍ර ද්වීකාන්තරික සම්මුඛ ය. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ ඉලිප්සීය ලන්සාකාර සිට ලන්සාකාර වේ. පත්‍රයක් දිගින් සෙ.මි. 15-23 අතර සහ පළලින් සෙ.මි. 7.5-15 අතර වේ. පත්‍ර  තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පාට වන අතර යටි පස අළු පැහැති තාරකාකාර බූවක් පිහිටයි. පුෂ්ප මංජරිය කක්ෂීය බහු අක්ෂයකි. රෝස, ළා දම් හෝ ඒ ආසන්න වර්ණයකින් යුත් කුඩා මල් සුවඳවත් ය. ඵලය  කොළ පැහැති ගෝලාකාර අෂ්ඨිලයකි. එය මේරීමේදී දම් හෝ කළු පැහැයට හැරේ. ඉල්ල  Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. මෙරටදී හැකිරිල්ල යනුවෙන් හඳුන්වන තවත් ශාකයක් ඇති අතර එය උද්භිද විද්‍යාත්මකව Solanum mauritianum  නමින් හඳුන්වා ඇත. ආක්‍රමණික විදේශීය ශාකයක් වන එය දේශීය ඉල්ල ශාකය සමඟ පටලවා නොගත යුතු ය. 

උණ රෝග, අක්මා රෝග, උදර පිලිකා, අලුත් පරණ තුවාල, කඩුවේගන් නම් චර්ම රෝග නිසා හට ගන්නා තුවාල, සර්ප දෂ්ටන නිසා ඇතිවන ඉදිමුම්, පෙකණිවැල වණ වීම, කටු පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉල්ල ශාකයේ කොළ, පොතු, මුල්, මල් දාදිය භාවිතා කරයි. ඉල්ල දාහය සමනය කරන, අක්මාවට හිතකර, ශක්ති ජනක, ස්නිග්ධකාරක ආදී ගුණ සහිතයි. කුඩා දරුවන්ට දෙන රත තෙල මහා තුවාල තෛලය ඉල්ල යොදා නිපදවන ඖෂධයන් ය. 

උදර පිළිකාවට ඉල්ල කොළ, කොබ්බෑ කොළ, ඔළිඳ කොළ, ගැටතුඹ දලු හා හීනටි හාල් අඹරා හිස ආලේප කළ යුතුය. එමෙන්ම පිළිකා රෝග සුව කිරීමට ගන්නා වෙනත් ඖෂධ යෝගවලට ද ඉල්ල ඇතුලත්ව ඇත. කඩුවේගන් රෝගය නිසා හට ගන්නා තුවාලවලට ඉල්ල කොළ තුවාලය මත තබා බඳී. අලුත් හෝ පරණ තුවාල සඳහා ඉල්ල කොල, පුපුල කොළ, කහ, ලුණු දමා කොටා බැඳීමට නියම කර ඇත. සර්ප දෂ්ටන නිසා ඇති වන ඉදිමුම්, වණ තුවාල නිසා ඇති වන ඉදිමුම් සහ ඔඩු වණ කඩුවේගම් තුවාල ආදිය ඉල්ල කොළ මැල්ලුම බැඳීමෙන් සුව වෙයි. ගඩු වණවලට ඉල්ල කොළ, කහ, ලුණු දමා කොටා මලවා බඳී. එයටම ඉල්ල කොළ, කපු කොළ, පොල්, කහ ලුණු දමා කොටා මලවා බඳී. පෙකණිවැල වණ වූ විට ඉල්ල මල්, කහකුඩු කබලේ බැද තලතෙලින් අනා ආලේප කරයි. පතුල පිළිකාවට ඉල්ල කොළ, නාපිරිත්ත දලු, හීං බෝවිටියා දලු, දියහබරල කොළ, වැල්මී, කෙටල අල, පුවක් බොඩ කොටා , දොඬම් ඇඹුලින් අනා ආලේප කළ යුතුය. ඉරුවාරදයට ඉල්ල කොළ, මැල්ල කොළ, උළුහාල්, කිතුල් හකුරු සමඟ පොල් කිරි යොදා කැඳ සාදා බීමට දෙයි. මුඛ තුවාල, දත් සෙලවීම, විදුරුමසින් ලේ ගැලීම ආදියට පැරැන්නන් බුලත් විට වෙනුවට ඉල්ල පොතු සැපීම සිදුකර ඇත. 

කුඩා දරුවන් ඉපදුනු විගස ඉල්ල කොළ මත මත තැබීමෙන් රත දෝෂ දුරුවන බව පැරණි වින්නඹු මාතාවන්ගේ අත්දැකීමකි. කුඩා දරුවන් නෑවීම සඳහා ගන්නා කොළ වර්ග අතර ඉල්ල කොළ ද වෙයි. ඉල්ල කොළ, රත්මල් මොට්ටු, වෙනිවැල් ගැට, ගැට නෙටුල්, බක්මී පොතු යන මේවා තම්බා ගත් වතුරෙන් බිළිඳුන් නෑවීම සිදු කරයි. ඉල්ල කොළ, තෙල් එඬරු කොළ, නික කොළ, ගන්සූරිය කොළ, මසං කොළ, නාදලු, බෝදලු ආදිය තැම්බූ වතුර ප්‍රසූතියෙන් පසු මව නෑවීමට යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

Monday, March 26, 2018

නාගදරණ [Nagadarana] (Martynia annua)

නාගදරණ වැලි මිශ්‍ර පසට ප්‍රිය කරන මීටරයක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. මේරූ කඳ කාෂ්ඨීය වේ. ශාකය පුරාම ඇලෙන සුලු බූවක් දක්නට ලැබේ. තරමක්  හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15-23 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර දාරය තරමක් තරංගීමය වන අතර සම්පූර්ණ ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා  සුදු පාටට හුරු දම්පාට මල් අලංකාරවත් ය. සෙ.මි. 2 පමණ දිග කෙලවරික් වක්වූ ඵලය වකුගඩු හැඩැති ය. එය කොළ පාට සිට කහ  තැඹිලි පාටට හැරේ. වියළි ඵලය කළු පැහැති ය. එහි තියුණු නඛර දෙකක් පිහිටා තිබේ. එය ශාකයේ ප්‍රචාරණය සඳහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ.  නාගදරණ Martyniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ආයුර්වේදයේ කකනශික ලෙස හැඳින්වෙන නාගදරන පැළෑටිය  අපස්මාරය, ඉදිමුම්, ක්ෂය රෝගය, උගුරේ ආසාදන සහ තුවාල වලට ප්‍ර‍තිකාර කිරීමේ දී යොදා ගැනේ. ඉදිමුම් සහ පිළිස්සුම් සඳහා මෙහි ඵලය ඉතා ප්‍ර‍ශස්ත ඔසුවකි. ඇට වලින් ලබා ගන්නා තෙල් සමේ කැසිලි ඇති කරන ආසාදන සහ සම මතුපිට වෙනත් රෝග වලට ප්‍ර‍තිකාර පිණිස ගනී. නාගදරණ ඵලය නිදි වර්ධනය කරන ඔසුවක් ලෙස භාවිත කරනු ද බහුලව දක්නට ලැබේ. වේදනා නාශක සහ ජ්වර නාශක (උණ අඩු කරන) ගුණ දරන නාග දරණ ඉතා ප්‍ර‍කටව එම ගුණ පළ කරයි. එනම් අත්දුටු ප්‍ර‍තිකාරයකි. තුවාල සුව කරන ගුණ සහිත නාගදරණ ස්වරසය බීමට මෙන්ම ආලේපනයට ද සුදුසු ය. එය බැක්ටීරියා ප්‍ර‍තිරෝධී ගුණ පෙන්වයි. නිස්සාරණය කරන ලද ස්වරසය බීමෙන් තුවාල වහා සමනය වේ. එය ක්ෂුද්‍ර‍ පණුවන් වැනි පරපෝෂිතයන් නසයි. කොකුපණු රෝගය සඳහා නොවරදින ඔසුවකි. වලිප්පුවට සුව ගෙනෙන මෙම ඔසුව කුඩා දරුවන්ගේ පානයට ඇතුළත් කිරීමට පවා සුදුසුය. වෛද්‍ය උපදෙස් ඇතිව දීම යෝග්‍ය වේ. ප්‍ර‍තිඔක්සිකාරක ගුණ සහිත එය කාන්තාවන්ගේ සාඵල්‍යතාව වඩවන අතර පුරුෂයන්ට ද ගුණදායකය. එයින් ශුක්‍ර‍තරලයේ අන්තර්ගත වැඩි කරයි. දියවැඩියාව පාලනය සඳහා ද යොදා ගත හැකි ඔසුවකි.

කල් පවතින තුනටියේ වේදනාවට නාගදරණ ගෙඩි එකට අමුණා ඉනේ බැඳීම පැරණි ප්‍රතිකාරයකි. මෙරට ගැමියන් කෘමී සහ මඳ විෂ සර්ප දෂ්ඨන ආදී සුලු විෂ සඳහා නාගදරණ ගෙඩියක් ගලගා දෂ්ඨ සථානයේ ආලේප කිරීමට පුරුදුව ඇත. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් වැඩ සඳහා ද, නිවාස ආරක්ෂා කිරීම් ආදියටද නාගදරණ ගෙඩි භාවිතා කරයි. පැරැන්නන් වියලි නාගදරණ ගෙඩි ගෙමිදුලේ කලාමකව අතුරා තබනුයේ එමඟින් නිවසට සර්පයින් පැමිණීම වලකාලන බවට පවතින විශ්වාසය හේතුවෙනි. 

මූලාශ්‍ර_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාගේ ලිපියක් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, March 18, 2018

මලිත [Malitha] (Woodfordia fruticosa)

මලිත්ත යනුවෙන්ද හඳුන්වන මලිත මීටර් 1-5 පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. සිනිඳු හෝ බූව සහිත ආරුක්කු හැඩැතිව විහිදී යන කඳක් පිහිටයි. බෙදුණු කුඩා අතු රැසක් දක්නට ලැබේ. පොත්ත තුනී වන අතර පොතු ගැලවී යන ස්වභාවයකි. දිග සෙ.මි. 14 සහ පළල සෙ.මි. 4 දක්වා වැඩෙන සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර හැඩය අණ්ඩාකාර-ලන්සාකාර හෝ ලන්සාකාර ය. පත්‍ර යටිපස ඝන වෙල්වට් වැනි දෘඪ බූවක් හෝ ඇතැම් ස්ථානවල සිනිඳු බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් දීප්තිමත් රතු පැහැතිය. ඵලය සෙ.මි. 2 පමණ දිග ස්ඵෝටිකාවකි. මලිත Lythraceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ශරීරදාහ, රක්තස්‍රාව, කුෂ්ඨ ලාඳුරු වැනි  චර්ම රෝග, රක්තකාස, ප්‍රවාහිකා, අතීසාර, මධුමේහ, රක්ත පිත්ත, හිසේ වේදනා, ගුදභ්‍රංශ, අර්ශස්, ඉදිමුම්, ඇදුම, පෙනහලු රෝග, උන්මාද, ස්නායු රෝග, ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මලිත ශාකයේ මල් සහ කොළ භාවිතා කරයි. මලිත දාහ සමනය කරන, ශෝධන, සන්ධානීය, ගර්භස්ථාපන, රත්පිත් සමනය කරන, පණුවන් නසන ආදී ගුණ සහිත බව සඳහන්. මලිත මල්වල පැසවීමේ ක්‍රියාකාරිත්වයක් ඇති හෙයින් කෂාය, ආසව, අරිෂ්ට ආදී බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමේදී ඒවා කල් තබාගැනීමට මලිත මල් එකතු කරයි. මෙම ඖෂධවල මධ්‍යසාර යම් ප්‍රමාණයක් අඩංගු වන්නේ මේ හේතුව නිසා ය. ධාතක්‍යාදී තෛලය සහ ධාතක්‍යාදී චූර්ණය මලිත යොදා නිපදවන ඖෂධ දෙකකි. 

අතීසාරයට මලිත මල් චූර්ණය මී පැණි සමඟ දෙයි. බඩවැල්වල රෝග, පාචනය, අතීසාරය, අශ්‍යන්තර රුධිර වහනය වැනි රෝග ඇති විට මලිත මල් චූර්ණය දීකිරි සමඟ යොදා ප්‍රතිකාර කරයි. වණ සහ පිළිකාවන්ට මලිත මල් කුඩු තුවාල මතට ඉසීමත්, මලිත මල් යුෂ ඖෂධීය දියරක් ලෙසත් භාවිතා කරයි. ගුදයේ ලේ නහර ඉදිමීම, අක්මා රෝග ආදියට වියළන ලද මලිත මල් වලින් සෑදූ කෂාය යොදා ගනී. ශ්වේත ප්‍රදර සහ අධික ඔසප් වීමට මලිත මල් කුඩුකර මී පැණි සමඟ ගැනීමට නියම කර ඇත. ගින්නෙන් පිළිස්සුන විට මලිත මල් චූර්ණය තලතෙලින් අනා ආලේප කළ යුතුය. මලිත කොළ ස්වරසය නලලේ ආලේප කිරීමෙන් පිත් උණ සහ හිසරුදාව සමනය වෙයි. සර්ප විෂට ළපටි මලිත කොළ යුෂ බිංදු කිහිපයක් නස්‍ය කිරීම, මලිත කොළ යුෂ දෂ්ට ස්ථානයේ ආලේප කිරීම කළ යුතුය. වණ සේදීමට මලිත මල් තැම්බූ ජලය භාවිතා කරයි. ලේ යන අර්ශස් තත්වයක් ඇති විට මලිත මල් තැම්බූ ජලයෙහි මඳ උණුසුමින් වාඩිවී සිටිම ගුණය. 

සංස්කෘතෙන් ධාතකී යන්නට ප්‍රම්‍රඛව මලිත භාවිතා කරතත් එ් සඳහා මයිල ද භාවිතා කළ හැකි බව ද, ඇතැම් විට වර්ග දෙකකම එකක් ලෙස සලකා ඇති බව ද පැරණි පොත් පත්වල සඳහන්ව ඇත. ඇතැම් මතයකට අනුව මලිත සහ මයිල වෙනමම කර්යයන් සඳහා භාවිතා කළ යුතු වර්ග දෙකක් ලෙස සලකා ඇති අතර මලිත වෙනුවට මයිල යොදා ගැනීම සාවද්‍ය භාවිතයක් ලෙස සලකා ඇත. මෙම බෙදීම නොවිසඳුනු ගැටළුවක් ලෙස වෛද්‍ය ශේස්ත්‍රයේ තවමත් පවතින බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් උද්භිද විද්‍යාත්මකව සැලකූ කළ මලිත සහ මයිල වෙනස්ම උද්භිද කුල දෙකකට අයත් ශාක විශේෂයන් දෙකක් බව කිව යුතුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
‍ෙ
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support