දුහුදු අධාරක ශාකයක් මත මීටර් 10 පමණ උසට වැඩෙන විශාල කාෂ්ඨීය වැලකි. බොහෝ විට ළපටි අතුවල වා සිදුරු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර ඉලිප්සාකාර, ඉලිප්සාකාර-ආයත, පුළුල් අණ්ඩාකාර ආදී විවිධ හැඩයන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 12 සහ පළලින් සෙ.මි. 6.5 දක්වා වර්ධනය වේ. පත්‍ර සිනිඳු හා චර්මල වන අතර පත්‍ර දාරය කර පත්‍රික ය. පත්‍රය දෙපසම මැද නාරටිය කැපී පෙනේ. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. පුෂ්ප මංජරියෙහි පුං සහ ජායා පුෂ්ප වෙන වෙනම පිහිටයි. ඉතා කුඩා පුං පුෂ්ප ළා කොළ පැහැති ය. ජයා පුෂ්පයේ මණි පත්‍ර, දල පත්‍ර සහ මඩල පුරුෂ පුෂ්පයට සමාන ය. ඵලය උපගෝලාකාර ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල දීප්තිමත් කහ පැහැයෙන් යුත් අණ්ඩාභ හෝ ඉලිප්සාකාර හැඩැති බීජ 3-6 පමණ පිහිටයි. බීජ වටා දීප්තිමත් රතු පැහැති බීජ කවචයක් දක්නට ලැබේ. දැනට රත්නපුර බංලගොඩ ප්‍රදේශය අවට පමණක් ස්වභාවිකව හමුවන දුර්ලබ දේශීය ශාකයක් වන දුහුදු Celastraceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.
දුහදු ධාරණ ශක්තිය, බුද්ධිය සහ ස්මරණ ශාක්තිය වඩවන ඔසුවක් ලෙස ඉතා ප්රකටය. අතීසාර, රක්ත අතීසාර, බඩවැල්වල වේදනා, හිසේ වේදනා, පිත්තජකාස, මලබද්ධය, සූතිකාවාත, ආමවාත, ස්නායු දුර්වලතා, කුෂ්ඨ පූයාව්රණ, කටීශූල, පක්ෂවධ, අර්දිත, ගෘධ්‍රසි, ලිංගික බෙලහීනතාවය, අධික තරබාරු බව, මස්තිෂ්ක රෝග, ග්‍රන්ථි, ගණ්ඩමාලා, කුෂ්ඨ රෝග, දියවැඩියාව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා දුහුදු ඇට, ඇට තෙල්, කොළ, මුල් හා සුඹුලු යොදා ගනී. දුහුදු නාඩි බලකාරක, වේදනාස්ථාපක, උත්තේජක, කුසගිනි වඩවන, මලභේදක, කාමෝද්දීපක, ශරීර ශක්තිය වඩවන, රුධිර දෝෂ සමනය කරන, මුත්‍රකාරක, ස්වේදකාරක ආදී ගුණයන් රැසකින් සමන්විතයි. දුහුදු තෙල් විශේෂයෙන් දුෂ්ටවායු හරණය කරන, වණ රෝපණය කරන ගුණයන්ගෙන් යුක්ත බවත්, දුහුදු කොළ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරන බව සහ විෂහරණය කරන බවත් දක්වා ඇත.
ස්මරණ ශක්තිය වර්ධනයට දුහුදු තෙල් එළඟිතෙල් සමඟ යොදා ගනී. හිසරුදාවට දුහුදු තෙල් එඬරු තෙල් සමඟ මිශ්‍රකර හිසේ ආලේප කළ යුතුය. අතීසාර, රක්තාතිසාර, රක්තප්‍රදර, කැස්ස ආදියට බීජ චූර්ණය යොදා ගනී. කල්ගිය වණ සඳහා දුහුදු ඇට ඇල්දියෙන් අඹරා වණයේ ආලේප කරයි. දුහුදු සුඹුළු අඹරා අබ තෙල් හා මිශ්‍ර කොට හිස ගැල්වීම උකුණන් සඳහා ප්‍රතිකර්මයකි. අක්‍රමවත් ඔසප් වීමට සහ ඔසප් වේදනාවන්ට දුහුදු කොළ යුෂ හෝ තෙල් යොදා ප්‍රතිකාර කරයි. දුහුදු තෙල් ආලේප කිරීමෙන් වාත වේදනාවන්ට සහනය ගෙනෙයි. ආයුර්වේදයේ බුද්ධි වර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රකට ඖෂධයක් වන ජ්‍යොතිෂ්මතී තෛලය දුහුදු ඇට යොදාගෙන නිපදවයි.
දුහුදු ඇට තෙල් මේධ්‍ය ගුණයෙන් විශීෂ්ඨ බැවින් කුඩා දරුවන්ට ගිතෙල් මිශ්‍රකර බිංදුව බැගින් පෙවීමෙන් බාල කාලයේදී ඇති වන ගොත බව සුව වන බව සඳහන්. දුහුදු තෙල් බිංදු 5 බැගින් උදේ හවස මාස තුනක් භාවාවිතා කිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ශරීරයේ අනවශ්‍ය මේදය, සෙම හා තරබාරුව සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ප්‍රශස්ථ සිරුරක් ලැබෙන බව නූතන පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත. දුහුදු කොළ ව්‍යංජනයක් ලෙස කෑමට ගත හැකිය. එය ආර්ථව පීඩාවන්ට ප්‍රතිකාරයක්ද වේ.
දුහුදු ඇට කොටා, වණ්ඩුවේ තම්බා මිරිකා ගැනීමන් පසු දුහුදු තෙල් වෙන්කර ගත හැකිය. ගැමියන් කොහොඹ, මී තෙල් ආදිය නිපදවීමට යොදා ගන්නා සාම්ප්‍රදායික "පැහැ" මේ සඳහා භාවිතා කරයි. වර්තමානයේදී මේ වෙනුවෙන් නිපදවූ උපකරණද තිබේ. මෙලෙස ලබා ගන්නා තෙල් කහ පැහැති ය. මෙයට අමතරව දුහුදු ඇට, කරාබු නැටි, සාදික්කා, වසාවාසි සමව ගෙන අඹරා පාතාල යන්ත්‍රයේ බහා වෙන්කර ගන්නා තෙල් කළු පැහැතිය. දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා වටිනා දේශීය ශාකයක් වන දුහුදු වැලක් වවා ගැනීමට උනන්දු වීම දේශීය ශාක සංරක්ෂණයට සහ අපේ වෙදකමට හිතැති සැමගේ යුතුමකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්