වැල් තිබ්බටු බිම දිගේ හෝ ඇතැම් විට පොළවෙන් ඉස්සී වැඩෙන පඳුරු ආකාර කුඩා පැළෑටියකි. මඳක් නැමුණු කහ පැහැති කුඩා කටු ශාකය පුරාම දැක ගත හැකිය. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර වටකුරු හෝ මඳ වශයෙන් තාරකාකාර ය. කක්ෂීයව හට ගන්නා පුෂ්ප මංජරියෙහි දම් පැහැති අලංකාරවත් මල් 3-9 සංඛාවක් පිහිටයි. කොළ පැහැති ගෝලාකාර ඵලය ඉදුණු පසු තැඹිලි රතු පැහැයක් ගනී. එක් ඵලයක් තුල කුඩා බීජ රාශියක් පිහිටා තිබේ. වැල් තිබ්බටු Solanaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.
කැස්ස, ඇදුම, කුෂ්ඨ, ආහාර අරුචිය, ආමවාත, ප්‍රතිශ්‍යාව, පාලනයකින් තොරව මුත්‍ර පිටවීම, සර්ප විෂ, තුන්දොස් කිපීමෙන් හට ගන්නා උණ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වැල් තිබ්බටු ශාකයේ කොළ, මුල්, ගෙඩි, මුල් සහ සම්පූර්ණ ශාකය එකවරත් භාවිතා කරයි. වැල් තිබ්බටු ශක්තිජනක, සෙම පහ කරන, ආහාර ජීර්ණය පහසු කරන, කුසගිනි වඩවන, මලභේදක ආදී ගුණයන් සහිතයි. ශ්ලේෂ්මල ගුටිකාව, අලර්කාදී කුලම්බුව, අලර්කාදී චූර්ණය, වැල්තිබ්බටු සෘතය, කාලිංග ගුළිය ආදී ඖෂධ වැල් තිබ්බටු යොදා නිපදවයි.
ධාතු වැඩීමට වැල් තිබ්බටු කොළ ගිතෙලින් බැද කෑමට ගත යුතුය. තුන්දොසින් හට ගන්නා උණ, දෙඩවිල්ල, ඇවිලිල්ල, දරු ප්‍රසූතියෙන් පසු මවට ඇති වන උණ ආදී රෝග සඳහා වැල් තිබ්බටු සම්පූර්ණ ශාකයම තම්බා බොන්නට දෙයි. සර්ප දෂ්ඨනයකදී වැල් තිබ්බටු, අත්තන, බෝ පොතු, දිවිකදුරු කොළ සහ පොතු, කංසා කොළ එකට කොටා යුෂ ආලේප කරයි. සාමාන්‍ය කැස්සට සහ කක්කල් කැස්සට වැල් තිබ්බටු කැඳ බීම ගුණ ය. කල් ගතවූ කැස්සට උදෑසන කථා නොකර වැල් තිබ්බටු වැලක් ලඟට ගොස් පිටිඅත්ලෙන් කොළයක් කඩා, කටේ දමා කෙළ ගිලීමෙන් කැස්ස සුව වන බව සඳහන්. මෙය දින තුනක් කළ යුතු බව දක්වා ඇත.
වැල් තිබ්බටු කොළ කලවම් පලා මැල්ලුමට එකතු කර ගැනීමට මෙන්ම, සලාද ලෙස සකසා කෑමට ගැනීමටත් හැකියි. එමෙන්ම කැස්සට ප්‍රතිකාරයක් ලෙස කොළ ව්‍යංජනයක් ලෙස කිරට උයා බත් සමඟ කෑමට ගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
2 comments:
බොහොම වැදගත් ලිපි එකතුවකි. බොහොම ස්තුතිය ඔබ සැමට ,
වැල් තිබ්බටු බහුලව තිබෙන්නේ මොන පලාතෙද? හොයාගන්න පුළුවන් කොමහොමද?
Post a Comment