උණ රෝග, අක්මා රෝග, උදර පිලිකා, අලුත් පරණ තුවාල, කඩුවේගන් නම් චර්ම රෝග නිසා හට ගන්නා තුවාල, සර්ප දෂ්ටන නිසා ඇතිවන ඉදිමුම්, පෙකණිවැල වණ වීම, කටු පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉල්ල ශාකයේ කොළ, පොතු, මුල්, මල් දාදිය භාවිතා කරයි. ඉල්ල දාහය සමනය කරන, අක්මාවට හිතකර, ශක්ති ජනක, ස්නිග්ධකාරක ආදී ගුණ සහිතයි. කුඩා දරුවන්ට දෙන රත තෙල මහා තුවාල තෛලය ඉල්ල යොදා නිපදවන ඖෂධයන් ය.
උදර පිළිකාවට ඉල්ල කොළ, කොබ්බෑ කොළ, ඔළිඳ කොළ, ගැටතුඹ දලු හා හීනටි හාල් අඹරා හිස ආලේප කළ යුතුය. එමෙන්ම පිළිකා රෝග සුව කිරීමට ගන්නා වෙනත් ඖෂධ යෝගවලට ද ඉල්ල ඇතුලත්ව ඇත. කඩුවේගන් රෝගය නිසා හට ගන්නා තුවාලවලට ඉල්ල කොළ තුවාලය මත තබා බඳී. අලුත් හෝ පරණ තුවාල සඳහා ඉල්ල කොල, පුපුල කොළ, කහ, ලුණු දමා කොටා බැඳීමට නියම කර ඇත. සර්ප දෂ්ටන නිසා ඇති වන ඉදිමුම්, වණ තුවාල නිසා ඇති වන ඉදිමුම් සහ ඔඩු වණ කඩුවේගම් තුවාල ආදිය ඉල්ල කොළ මැල්ලුම බැඳීමෙන් සුව වෙයි. ගඩු වණවලට ඉල්ල කොළ, කහ, ලුණු දමා කොටා මලවා බඳී. එයටම ඉල්ල කොළ, කපු කොළ, පොල්, කහ ලුණු දමා කොටා මලවා බඳී. පෙකණිවැල වණ වූ විට ඉල්ල මල්, කහකුඩු කබලේ බැද තලතෙලින් අනා ආලේප කරයි. පතුල පිළිකාවට ඉල්ල කොළ, නාපිරිත්ත දලු, හීං බෝවිටියා දලු, දියහබරල කොළ, වැල්මී, කෙටල අල, පුවක් බොඩ කොටා , දොඬම් ඇඹුලින් අනා ආලේප කළ යුතුය. ඉරුවාරදයට ඉල්ල කොළ, මැල්ල කොළ, උළුහාල්, කිතුල් හකුරු සමඟ පොල් කිරි යොදා කැඳ සාදා බීමට දෙයි. මුඛ තුවාල, දත් සෙලවීම, විදුරුමසින් ලේ ගැලීම ආදියට පැරැන්නන් බුලත් විට වෙනුවට ඉල්ල පොතු සැපීම සිදුකර ඇත.
කුඩා දරුවන් ඉපදුනු විගස ඉල්ල කොළ මත මත තැබීමෙන් රත දෝෂ දුරුවන බව පැරණි වින්නඹු මාතාවන්ගේ අත්දැකීමකි. කුඩා දරුවන් නෑවීම සඳහා ගන්නා කොළ වර්ග අතර ඉල්ල කොළ ද වෙයි. ඉල්ල කොළ, රත්මල් මොට්ටු, වෙනිවැල් ගැට, ගැට නෙටුල්, බක්මී පොතු යන මේවා තම්බා ගත් වතුරෙන් බිළිඳුන් නෑවීම සිදු කරයි. ඉල්ල කොළ, තෙල් එඬරු කොළ, නික කොළ, ගන්සූරිය කොළ, මසං කොළ, නාදලු, බෝදලු ආදිය තැම්බූ වතුර ප්‍රසූතියෙන් පසු මව නෑවීමට යොදා ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
1 comments:
කොහෙද මේවා හොයලා ගන්නේ
Post a Comment