වණ, කුෂ්ඨ, අර්ශස්, ඉදිමුම්, ගෙඩි, පැරණි තුවාල, යටි පතුල් පැලීම, ආදියට ප්‍රතිකාර කිරීමට දළුක් ශාකයේ කිරි, මුල් සහ ඇට භාවිතා කරයි. දළුක් වේදනාස්ථාපන, රේචන, විරේචක, ඉදිමුම් නසන ආදී ගුණ සහිත බව සඳහන්. අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ක්ෂාර සූත්‍ර නම් නූල් වර්ගය දළුක් කිරි යොදා නිපදවයි. පැරණි පොත්පත්වල "උක් කිරෙන් අඹරා" ගතයුතු ලෙස නියම කර ඇති අවස්ථාවල එහි සඳහන් වන්නේ දළුක් කිරෙන් අඹරා ගත යුතු බවයි. දළුක් කිරි ඖෂධ සඳහා භාවිතා කිරීමේදී සම්මත ක්‍රමයන්ට අනුව විෂ ඉවත්කර භාවිතා කළ යුතුය. පොල් ගෙඩියක ඇස්ස සිදුරු කර කිරි එ තුලින් බහා තැබීම දළුක් කිරි ශෝධනය කර ගන්නා එක් ආකාරයකි.
දළුක් කොළ තම්බා තැවීම සහ බැඳීම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයකි. ක්ෂය රෝගයට දළුක් දඬු උණු අළුයෙන් තම්බා මිරිකාගෙන වරකට තේ හැඳි 1 ක් මී පැණි හා පුස්කර අනුපාන ලෙස දාමා බීමට දෙයි. අරශස් ගෙඩි, ගුද මාර්ගය ඉදිමීම සහ සූත්‍ර පණු ආදී රෝග සඳහා දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා මඳ උණුසුමින් ගුදමඟ පිටතින් තබා බැඳිය යුතුය. දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා බැඳීම පැරනි තුවාල සඳහා ද ප්‍රතිකාරයකි. ගෙඩි විදාරණයට කිරි සහිතව දළුක් දඬු-කොළ සහිඳ ලුනු ස්වල්පයක් සමඟ අඹරා රත්කර ගෙඩිය මත එළයි. සැරව සහිත කුෂ්ඨ සේදීමට දලුක් කොළ සහ දඬු තම්බා ගත් වතුර භාවිතා කරයි. අර්ශස් අංකුර හැකිලවීමට දළුක් කිරි ඒ මත ආලේප කරයි. දළුක් කිරි මිශ්‍ර හාල් පිටි වලින් කැවුම් තනා සත් දිනක් කැවීමෙන් ජලෝදර රෝගය සුව වන බව සඳහන් වේ. දළුක් කිරි හිස් මුඳුනේ ගෑම මුඩගර්භයට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා කෙමකි.
දළුක් කිරි ඇසට වැටුනහොත් ඇතිවන වේදනාව හා විෂ ස්වභාවය සමනය කිරීම සඳහා ළපටි දිවුල් ගෙඩියක මඳය තලාගත් යුෂ ඇසට යෙදිය යුතුය. එවිට දළුක් කිරි ඇසේ එක් පැත්තකට එක්රැස් වන බැවින් ඉවත් කිරීම පහසුවේ. දළුක් උද්‍යාන අලංකරණය සඳහා සුලබව යොදා ගන්නා ශාකයකි. ජවා රටේ වැසියන් ළපටි දළුක් අතු හොඳින් තම්බා ජලයේ පොඟවා සීනි තවරා පැණි රසැති ආහාරයක් ලෙස කෑමට ගන්නා බව සඳහන් වේ.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment