කඳුලැස්ස |
ඇතැම් ශාක ස්වභාදහමින් උරුම වී ඇති විශේෂ උපක්‍රම භවිතා කර තම පොෂණ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා සතුන් ගොදුරු කර ගන්නා අතර එවැනි ශාක විශේෂ මාංශභක්ෂක ශාක ලෙස හඳුන්වයි. ලෝකයේ ඇතැම් වනාන්තර තුල එලෙස විශාල ක්ෂීරපායී සතුන් පවා ග්‍රහණය කර ගත හැකි ශාක විශේෂ ඇති බව හඳුනාගෙන ඇතත් මෙරටින් හමුවන්නේ කුඩා කෘමින් ගොදුරු කරගන්නා ශාක විශේෂ කිහිපයක් පමණි. උද්භිද විද්‍යා මූලාශ්‍රවලට අනුව දේශීයව උද්භිද කුල 3 කට අයත් ශාක ගණ 3ක් යටතේ වර්ගීකරණය කර ඇති විශේෂ 19 ක් මාංශභක්ෂක ශාක ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව Droseraceae කුලයේ Drosera ගණයට අයත් දේශීය ශාක 3 ක්ද, Nepenthaceae කුලයේ Nepenthes ගණයට අයත් මෙරටට ආවේනික එක් ශාකයක්ද Lentibulariaceae කුලයේ Utricularia ගණයට අයත් දේශීය ශාක විශේෂ 14 ක් සහ මෙරටට ආවේනික එක් ශාකයක් ද, මේ යටතට ගැනේ.
බාඳුරා කෙන්ඩිය |
Drosera ගණයට අයත් මාංශභක්ෂක ශාක වන්නේ වටැස්ස (Drosera burmannii), කඳුලැස්ස (Drosera indica) සහ අඩහඳඇස්ස (Drosera peltata) යන ශාක විශේෂයි.
මෙරටින් හමුවන Nepenthes ගණයට අයත් එකම මාංශභක්ෂක ශාකය වන්නේ මෙරටට ආවේනික විශේෂයක් වන බාඳුරා (Nepenthes distillatoria) ය.
බාඳුරා මල් |
Utricularia ගණයට අයත් මාංශභක්ෂක ශාක අතරින් Utricularia caerulea, Utricularia reticulata සහ Utricularia scandens යන ශාක සිංහලෙන් නිල් මොනරණස්ස ලෙසත් Utricularia aurea ශාකය දිය පාසි හෙවත් කහ මොණරැස්ස ලෙසත් හඳුන්වා ඇත. එම ගණයට අයත් Utricularia australis, Utricularia bifida, Utricularia gibba, Utricularia graminifolia, Utricularia hirta, Utricularia minutissima, Utricularia polygaloides, Utricularia stellaris, Utricularia striatula සහ Utricularia uliginosa යන දේශීය විශේෂ සඳහාත් මෙරටට ආවේනික ශාකයක් වන Utricularia moniliformis සඳහාත් භාවිතා වන සිංහල නම් ගැන සඳහනක් නැත.
දිය පාසි / කහ මොණරැස්ස |
මේ ශාක අතුරින් කඳුලැස්ස (Drosera indica) ශාකය ගැන ඔසුතුරු විසිතුරු 4 වන කෘතියෙහි මෙලෙස සඳහන් වේ. "කඳුලැස්ස සත්වභක්ෂක කුඩා පැළෑටියකි. කොළ වැනි කොටස් හීනි දිග රැහැන් සේ පෙනේ. මේ රැහැන් සමාන කොළයේ කුඩා ගැට පවතී. ගැට සහිත මේ කොළ හැම පැත්තටම විහිදී යයි. මේ ගැටවල එක්තරා ආමිලික ශ්රාවයක් තිබේ. එය හිරු එළියට බබලයි. කුඩා සතුන් ඇදී එ්ම පිණිස එසේ වේ. යම් විටෙක කුඩා සතෙකු ගැටිත්ත මත වැසුවොත් ආම්ලික මැලියම නිසා ඉගිලී යා නොහැකි වේ. මේ අතරේ පැළෑටියේ සියළුම කොළ සතා වසාගෙන නැමී ගුලි වෙයි. එයින් සතා කොළ ගොන්නේ හිර වේ. ඒ අතර කොළවල පවතින සාරයෙන් සතා පැළෑටියට ජීර්ණ වේ. කාර්ය නිමාවූ පසු පෙර පරිදි කොළ දිගහැරේ."
නිල් මොණරැස්ස |
"මෙම පැළෑටිය සහමුලින් ගෙන ගෙඩි පැසවීමට, වණ තුවලවල කොස්ස කැපීමට, වණ සුද්ද වීමට ඖෂධයක් වශයෙන් යොදා ගනී. මෙහි මුදුනේ ඇති පිණි බිදු තනිකර පණුකැවිල්ලකට දැමූ විගස පනුවන් වඳවී යයි. ඇස් වෙදකමට, ගෙඩි වණ හා සර්ප විෂට ගනී. පැළෑටිය මුදුනේ ළා රතු පැහැති මල් හා කොත්තමල්ලි ගෙඩි වැනි කුඩා ගෙඩි ඇත. ශ්වේත කුෂ්ඨ (ශවිත්‍ර) වලදී හමේ වරණය ඇති කිරීමට ආලේප සඳහා යොදා ගනී."
"කඳුලැස්ස හෝමියෝපති වෙදකමේ ශ්වසන පද්ධතියේ විශ්ෂ්ඨ ලෙස ක්‍රියා කරන ඖෂධයක් ලෙස දක්වා ඇත. දිගට පවතින කැස්ස, උගුරේ ඇවිලිල්ල, ඉක්කාව, පීනස ආදියේදී ද යෙදේ".
වටැස්ස |
මෙරටට ආවේනික මාංශභක්ෂක ශාකයක් වන බාඳුරා (Nepenthes distillatoria) කාෂ්ඨීය පත්‍ර සහිත වැලකි. මෙහි ඇතැම් පත්‍රවල විකරණයක් ලෙස ස්වභාවිකව නිර්මාණය වූ කෙන්ඩියක් පිහිටා ඇත. මෙහි ඇති දර්ශනීය බව, ශ්රනිථිමය ශ්‍රාව හෝ කුතුහලය හේතුවෙන් කෙන්ඩිය දෙසට ඇදී එන කෘමීන් එ් තුලට ලිස්සා වැටෙන අතර ඔවුන් ජීර්ණය කර ශාකයේ ඇතැම් පොෂණ අවශ්‍යතා සපුරා ගනී.
පාද ඉදිමීම, ගෙඩි වෙදකම, කක්කල් කැස්ස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට බාඳුරා ශාකයේ දළු, වැල් සහ කෙන්ඩියෙහි අඩංගු දියරය භාවිතා කරන බව සඳහන් වේ. පියන නොඇරැණු බාඳුරා කෙණ්ඩියේ වතුර කපුටා හඬලන්නට පෙර ගෙන උදේ හිස් බඩ දින 7 ක් පානය කිරීම කක්කල් කැස්සට ප්‍රතිකාරයක් ලෙස දක්වා ඇත. බාඳුරා දළු විට කන හුණු සමඟ අඹරා ආලේප කිරීමෙන් ගෙඩි පිපිරෙන බව සඳහන් කර ඇත.
නිල් මොණරැස්ස (Utricularia reticulata) ශාකය අක්ෂි රෝග, සර්ප විෂ සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතාකරන බවත් එම ශාකය සොයා ගැනීමට නොමැති විටෙක (ප්‍රතිනිධිය ලෙස) කඳුලැස්ස ශාකය භාවිතා කළ හැකි බවත් ඔසුතුරු විසිතුරු කෘතීන්හි දක්වා ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ 2012 රතු දත්ත ලැයිස්තුව
විශේෂ ස්තුතිය_ තොරතුරු රැස්කර ගැනීමෙදී සහය වූ Tharanga Wijewickrama මහත්මයාට
සේයාරූ_ අන්තර්ජාලයෙන්
අඩහඳඇස්ස |
2 comments:
Best for future
Bandula presanna5@gmail.com(Goog
Post a Comment