දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Saturday, December 6, 2014

මුරුංගා (Moringa oleifera)


ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ ශාකයක් ලෙසද පිළිගනු ලැබුවේ මෙම ශාකයේ පවතින අද්විතීය ගුණය නිසාමය. 

අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඔෟෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම් විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඔෟෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඔෟෂධයකි.

රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් පසුවන්නීය. මුරුංගා ඔෟෂධය මඟින්ද නිරන්තරයෙන්ම ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරත වන හැරපත්දෙණිය මහත්මිය මෙම ඔෟෂධයේ පවතින විශිෂ්ට රෝග නාශක ගුණය පිළිබඳව "මව්බිම"ට පැවැසීමට ඉදිරිපත් වූවාය.
"මුරුංගා කියන්නේ අතීතයේ පටන්ම අපේ ගෘහණියන් සමඟ ඉතාමත්ම සමීප එළවළුවක්. මුරුංගා ළපටි කරල් වෑජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යාංජනයත් අපේ ගැමි කාන්තාව අතර ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහර විට ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුරුංගා කොහොමද ඔෟෂධයක් වෙන්නේ ඒක එළවළුවක් විතරයි කියලා. නමුත් අපේ දේශීය ආයුර්වේදයේ මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඔෟෂධයක්. ආයුර්වේදයට අනුව මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශි්‍රත රෝගවලට හොඳ ඔෟෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඔෟෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජන, තීක්‍ෂණ මූල, ශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා. මුරුංගා අයිති වන්නේ Moringaceae (ශෝභාංජන) කුලයට. Moringa Oleifera Lam මෙහි උද්භිද විද්‍යාත්මක නාමය.

මුරුංගා ප්‍රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්‍රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි. මද වැඩියි."

වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශි්‍රතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්‍රමුඛතාවක් ගනී. මුරුංගා ප්‍රභේද කිහිපයක් පිළිබඳව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පෙර සඳහන් කළ අතර, අප ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද 3ක් පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

"අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව මුරුංගා ප්‍රභේද 3ක් තිබෙනවා. ඒවා තමයි රක්ත ශ්‍රීග්රූ (මල රතු පාට මුරුංගා), කෘෂ්ණ ශ්‍රීග්රූ (මල නිල් පාට මුරුංගා). ශ්වේත ශ්‍රීග්රූ (මල සුදු පාට මුරුංගා) මේ තුනෙන් නිල් සහ රතු මල් ඇති මුරුංගා ශාකය ඉතාමත් දුර්ලභයි. සුදු මල් සහිත මුරුංගා බහුලයි. මේ සෑම ප්‍රභේදයක්ම අපි ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු 
ඔෟෂධ සඳහා ගන්නවා.

මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති ඔෟෂධයක්. එනිසා අතීතයේ සිටම අප ගැමි ලියන් ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළා. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි විෂ සහිත බවක් වෙයි නම් ඒක නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේදී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට එකතු කරන්නත් පුළුවන්.

ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල මුරුංගා පොතු වේළලා වෑන්ජනවලට කුළු බඩුවක් ලෙසත් භාවිත කරනවා. ඒ විදියට මුරුංගා පොතු වේළලා කුළු බඩුවක් විදියට දිනපතා වෑංජනවලට එකතු කරවා නම් රෝග රැසකින් අත් මිදෙන්න ඔබට පුළුවන්. බඩේ ගල්, පණු රෝග, මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝග, හෘදය ආශි්‍රත රෝග, අස්ථි ආබාධවලට, ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝගවලට, ඇදුම, කැස්ස ආදී රෝග රැසක් සුවකර ගන්නත්, නොවැලඳී තිබෙන්නත් ඒ ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි."

මුරුංගා ශාකයේ ඇති ඔෟෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඔෟෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය. එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඔෟෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත.

"අෑත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශි්‍රත ආහාර ඉතාමත්ම වැදගත්.

ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඔෟෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශි්‍රත රෝගවලට, මුරුංගා වෑංංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්."

මෙයට වසර දහසකටද අෑත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශි්‍රත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ.
මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඔෟෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය.

"මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ.
මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා.

අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඔෟෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්. මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඔෟෂධයක්.
ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශි්‍රත රෝගවලටත් ඒක ගුණයි."

සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඔෟෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය."ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඔෟෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශි්‍රතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි.

ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයක්.

ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඔෟෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්.
මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්.

මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඔෟෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා".
ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ගී්‍රස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

"ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න. දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඔෟෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඔෟෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඔෟෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා.

තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඔෟෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා. සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි." 

අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්. ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්. 

එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඔෟෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශි්‍රත රෝගවලටත් හෘදය ආශි්‍රත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශි්‍රත රෝග රැසකටත් මුරුංගා හොඳ ඔෟෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඔෟෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ". සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද

‍_ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය සමඟ කළ සාකව්ළුාවක් ඇසුරින් 
සේයාරූ_ අන්තර්ජාලයෙන්



Share:

1 comments:

Unknown said...

Important article....

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support