දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, June 6, 2016

හුලංකීරිය / ඈරුක්කා [Hulankeeriya / Arukka] (Maranta arundinacea)


හුලංකීරිය මීටරයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා පැලෑටියකි. ශාකයේ කඳ ප්‍රකටව දක්නට නැතත් පත්‍ර වෘන්ත එකතුවීමෙන් කඳක් ආකාරයෙන් දිස් වේ. හරිත පැහැ පත්‍රයක් සෙ.මි. 10 දක්වා වර්ධනය වේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. මෙහි ඖෂධීය වටිනාකමක් සහිත කොටස වන අල සුදු පැහැතිය. නිල් පාට අල සහිත ප්‍රභේදයක්ද ඇති බව සඳහන්. හුලංකීරිය අලවලින් ලබා ගන්නා පිටි "අරලුප් පිටි" ලෙස හඳුන්වයි. මෙම පිටිවලින් නොයෙක් ආකාරයේ ගුණයෙන් ඉහල ආහාර සකසා ගත හැකිය. හුලංකීරිය Marantaceae කුලයට අයත් ශාකයකි.

අජීර්ණය, හෘද රෝග, රක්ත පිත්ත, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, උණ, ශරීරයේ දැවිල්ල, චර්ම රෝග, කැස්ස, ස්වාසනාළ ප්‍රදාහය, ප්‍රවාහිකා, ග්‍රහණි, වලිප්පුව ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට හුලංකීරිය අල යොදා ගනී. හුලංකීරිය අල තම්බා කෑමට දීම හෝ අල යුෂ බොන්නට දීම වලිප්පු රෝගීන් සඳහා ප්‍රතිකාරයකි. අහාර විෂ වූ විට සහ සර්ප විෂට හුලංකීරිය අල යුෂ බොන්නට දෙයි. ශරීර දාහයට, මුත්‍ර දාහයට සහ මලබද්ධයට හුලංකීරිය අල කොටා සාදා ගත් කැඳ ගුණය. එමෙන්ම හුලංකීරිය අල පෙති කපා වියළා කුඩු කර ගත් පිටිවලින් කැඳ සාදා බීමද එයටම ප්‍රතිකාරයකි. හුලංකීරිය අල තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමෙන් අහාර දිරිවීම පහසු කරන අතර මලබද්ධයද සුව වෙයි. අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයටද හුලංකීරිය බෙහෙවින් ගුණදායකය. එමෙන්ම බඩවැල ආශි‍්‍රත තුවාල සුව කිරීමේ අපූරු ගුණයක්ද හුලංකීරිය අලව සතුව පවතී. මෙම අල ලේ පිටවන අර්ශස් රෝගය සඳහා ප්‍රතිඵලදායක ඖෂධිය ආහාරයකි. නිතර නිතර මලපහ වන රෝගීන්ගේ රෝග තත්ත්වය සමනයට හුලංකීරිය සමත් ය. කිරි රසින් යුත් ළපටි අල අමුවෙන්ද කෑ හැකිය. හුලංකීරිය විෂ නාශක, ලිංගික ක්‍රියාකාරකම් උත්තේජනය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසක් සහිතයි. 

ප්‍රධාන අහාර වේලටද හුලංකීරිය අල තම්බා කෑමට ගැනීමට පුලුවන. එයට පොල් හෝ ලුණුමිරිසක් එකතු කර ගත හැකිය.  හුලංකීරිය අල පෙති කපා වියළා එයට පොල්කිරි සහ සීනි දමා දෝසී මෙන් සකසා ගත හැකිය. හුලංකීරිය පිටිවලින් කැඳ පිළියෙළ කිරීමේදී මුලින්ම ලුනු කැඳක් සාදා එයට පොල් කිරි එකතු කිරීමේදි පොල් කිරිවලට මෙම පිටිද සෑහෙන පමණට දිය කර එය කැඳට එකතු කර හැඳිගා ගත යුතුය. එවිට එය සව් මෙන් උකු බවට පත් වේ. එය කිතුල් හකුරු කැබැල්ලක් සමඟ මද උණුසුමින් බීමට ගත හැකිය. මෙම කැඳ මිශ්‍රණය හොඳින් නිවුන පසු ජල්ලි මෙන් කැටි ගැසේ. එවිට කිතුල් පැණි, පොල් පැණි හෝ සීනි සමඟ හැන්දකින් කෑ හැකිය. ඇතැම් පලාත්වල හුලංකීරිය පිටිවලින් රොටී සාදා කෑමට ගනී. හාල් පිටි අඩකට මෙම පිටි කලවම් කර එයට පොල්, ලුණු, රතුලූනු, අමු මිරිස්, කරපිංචා අදිය අවශ්‍ය ප්‍රමාණයට යොදා සියල්ල එකට අනා කැන්ද කොළවල වඩා තම්බා ගනී. බටහිර රටවල කේක්, පුඩිං වැනි ආහාර වර්ග සෑදීම සඳහාත් විශේෂයෙන් ළදරුවන් සඳහා නිපදවන ගුණාත්මක කුකීස් වර්ග නිශ්පාදනයටත් හුලංකීරිය පිටි යොදා ගනී. 

හුලංකීරිය අල හොඳින් සෝදා පිරිසිදු කොට කැබලිවලට කපා ජලයෙහි දමා මිරිකා පෙරාගත් යුෂ රැයක් නිශ්චලව තබා සෙමින් ජලය පෙරා ගැනීමෙන් පිටි වෙන් කර ගත හැකිය. මෙම පිටි අව්වේ හොඳින් වියළා කුඩු කර ගත් පසු "අරලුප්පිටි" නමින් හඳුන්වයි. හුලංකීරිය අල පෙති ගසා අව්වේ වියළා කොටා ගැනීමෙන්ද පිටි ලබා ගත හැකිය. මෙම පිටි හුලං නොවදින භාජනවල අසුරා තබා භාවිතයට ගත හැකිය. වෙළදපලෙහි අර්තාපල්, බතල ආදී නොයෙක් අල වර්ගවලින් සෑදු පිටි අරලුප්පිටි ලෙස ව්‍යාජව අලෙවි කෙරේ. අරලුප් පිට වෙනුවට එවැනි දෑ භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යයි. නියම අරලුප්පිටි විශේෂ රසයකින් සහ සුවඳකින් තොර අතර කෑම පිළියෙළ කිරීමේදී සුළු සුවඳක් ඇති වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 

Share:

12 comments:

Kirigalpoththa said...

Very informative!

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

Thank you

Renuka Wimalarathna said...

මේ බ්ලොග් එකේ ඇති වටිනාකම කියා නිම කල නොහැකියි. මෙතරම් වෙහෙසක් වී මේ තොරතුරු සපයන ඔබ තුමාට නිදුක් නිරෝගී සුව සසර වසන තුරාවට ලැබේවා. මගේ දුව උපදින්න ඉන්න වෙලාවේ මට දොළ දුකට කන්න හිතුනේ හුලන්කිරිය තම්බලා පොලුත් එක්ක. ඒ වන විටත් කොළඹ පළාතේ හුලන්කිරිය වඳ වෙලා තිබුනේ. අපි මතුගම දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ඉන්න නැන්දා කෙනෙකුගේ ගෙදර ගිහින් තමයි මේ දොලදුක සම්පූර්ණ කර ගත්තේ. තොරතුරු පල කලාට ඔබට බොහෝ තුති

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

බොහොම ස්තුතියි ඔබතුමියට. අප අවිචාරතව බදාගත් නුතන අහාර සංස්කෘතිය හරහා අනාගත පරම්පරාවට පැන නැගෙන සෞක්‍යමය ගැටළු සඳහා අපගේ පැරණි දැණුමෙන් ප්‍රායෝගික විකල්ප ඉදිරිපත් කරමින් ඔබතුමිය ලියන "ඉසිවර අරණ" බ්ලොග් අඩවියත් අමිලයි. http://aththammageathbeheth.blogspot.com/

Ramya Liyanage said...

Very informative site to identify many of our medicinal plants and herbs.. Hulankeeriya is one of my favourite morning meal which I eat with respect and at peace. It is a meditation or therapeutic enjoyment for me. May you and tam be Well, Happy and Peaceful..

Unknown said...

Spirii

DCSWithanage said...

ඉතාම වැදගත් ලිපියක්.හුලංකීරිය වගා කොට අනාගතය සඳහා රැක ගන්නට උනන්දුවක් මට ඇතිවිය. එය ක්‍රියාත්මක කිරීම අද සිට අරඹමි.බෙහෙවින්ම ස්තුතියි තොරතුරු ගැන.

Unknown said...

Hulankeeriya api podi kale Thatha gedara wawala thibuna. Api nitharama kewa. Mama den amaruwen pelayak hoyan ape waththe hitewwa. Den eka loku padurak. Mama duwalata thambala, keda hadala denawa. Hari rasai gunai.

Pushpe said...

ඉතාම වැදගත් ලිපියක්. අරලුක් පිටි ස‌ොයන්න ගිහින් ම‌ෙය කියවන්න ලැබුන‌ෙ. අරලුක් පිටි බිලිඳුන්ග‌ේ දාඩිය බිබිලි හ‌ොඳ කරන්න නියම බ‌ෙහ‌ෙත.

දිනූෂ ලලින්ද්‍ර said...

ඉතාම වටිනා ලිපියක් .. නොදන්නා බොහෝ දේවල් දැනගත්තා. බොහෝම ස්තුතියි ..

Anonymous said...

sir,hulankeeriya warga 2k thiyanwd heen hulankeeriya,maha hulankeeriya kyla??

nature said...

I want buy some plant .can any body help me

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support