දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, September 12, 2016

අශෝක / අසෝක [Ashoka / Asoka] (Saraca asoca)

පුරාණයේ වනිතාවන් අශෝක මල් නෙළා ගොතා ගෙල පැළැඳි බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. ස්ත්‍රීන්ට ප්‍රිය බැවින් අංගනප්‍රිය ලෙස ද හඳුන්වන අශෝක කාන්තා රෝග සඳහා බහුලව යොදා ගන්නා ශාකයකි. දිය රතඹල, දිය රත්මල් ආදී නම්වලින්ද හඳුන්වන අශෝක පහතරට වියළි කලාපයේ ඇළවල් ආශ්‍රිතව සුලබව දැකගත හැකි මධ්‍යම ප්‍රමාණයේ දේශීය  ශාක විශේෂයකි. කඩාහැලෙන සුලු විශාල සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල 4-6 සංඛාවක් සම්මුඛව පිහිටයි. ආයත - ලංසාකාර පත්‍රිකාවක් සෙ.මි. 25 දක්වා වර්ධනය වේ. සිනිදු පත්‍ර තලය දිළිසෙන සුලුය. පුෂ්ප මංජරිය ගොනු වූ සමතලීය සංයුක්ත ඒකාක්ෂයකි. කහ තැඹිලි පැහැති කුඩා මල් පොකුරට පිපුණු පසු ඉතා අලංකාරවත්ය. මල් පරවීමට ආසන්න වන විට රතු පැහැයට හැරේ. කරලක් වන ඵලය තුල බීජ 4-8 පමණ පිහිටයි. බීජ, දඩු හා මුල් මඟින් පැල සාදා ගත හැකිය. අලංකාර සඳහා විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි අශෝක ශාකය Fabaceae කුලයට අයත්ය. 

කාන්තාවන්ගේ ගර්භාෂ ගත ගෙඩි, ගර්භාෂස්‍රාව, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, කුෂ්ඨ, මුත්‍ර ගල්, මුත්‍ර දාහය, රක්ත පිත්ත, දාහ, දියවැඩියාව, මුඛය ආශ්‍රිත රෝග, අතීසාරය, පැරණි තුවාල ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේද අශෝක පොතු, ඇට, මල් ආදිය භාවිතා කරයි. අශෝක දාහය සමනය කරයි. කෘමින් නසයි. රුධිරය පිරිසිදු කරයි. ඉදිමුම් සහ වේදනාවන් නසයි. ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි. ගර්භාෂ ස්‍රාවයක් පාලනය කරයි. 

කාන්තාවන්ගේ රක්ත ප්‍රදර රෝගයට අශෝක පොතු කෂාය හෝ සෘතය යොදයි. අශෝක පොතු වතුර පත හතක් සහ එළකිරි පතක් සමඟ පත එකට සිඳුවා උදේ සවස පානය කිරීමෙන් කාන්තා රෝග සහ ආර්තව වේදනාවන් සමනය වේ. බීජ චූර්ණයෙන් මුත්‍ර ගල් දියවී යයි. අශෝක පොතු කිරි කෂාය ලෙස යෙදීම මුත්‍ර දැවිල්ලටද සහනය ගෙනෙයි. අශෝක මල් චූර්ණය උණු වතුරට දමා දවසට දෙවරක් පානය පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය වේ. මඳ පවනේ වියළා ගත් අශෝක මල් කෂාය කර පත හතර එකට සිඳුවා උදේ හවස සතියක් පානය කිරීමෙන් වැඩි වූ සීනි මට්ටම යථා තත්වයට පත් කර ගත හැකිය. අශෝක පොතු තැම්බූ කසාය රුධිරය පිට වන අතීසාර රෝගයට සහනය ගෙනෙයි. පොතු කෂාය අර්ශස් ගෙඩි සේදීමටද යෝග්‍ය වන්නේ එහි ගෙඩි හැකිලවීමේ ගුණයක් පවතින බැවිනි. පත අට එකට සිඳුවා සාදාගත් අශෝක කෂායට අවශ්‍ය පමණට සීනි දමා පැණියක් සාදාගෙන දිනකට තේ හැඳි දෙකක් පමණ පානය කිරීමෙන් දූෂිත වූ රුධිරය පිරිසිදු වී බිබිලි, කුෂ්ඨ ආදියට සුවය ගෙනෙයි. අමු අශෝක පොතු කල්කයක් මෙන් අඹරා ආලේප කිරීමෙන් සැරව සහිත පරණ තුවාල ඉක්මනින් සුව වෙයි. අශෝක පොතු මඳක් වියළා කුඩුකර ඇල් දිය ස්වල්පයක් මිශ්‍ර කර දත් මැදීම විදුරුමස් දියවීම, මුඛ දුර්ගන්ධය, සෙම් ගෙඩි ආදී මුඛය ආශ්‍රිත රෝග ගණනාවකට ගුණදාකය. අශෝක අරිෂ්ටය සහ අශෝක පානය යනුවෙන්ද හඳුන්වන අශෝක සෘතය අශෝක ශාක කොටස් යොදා නිපදවන ඖෂධයන් ය. මෙම ඖෂධ ද කාන්තා රෝග සඳහා සුලබව යෙදේ.  

නුවරඑලි අශෝක හෙවත් කුරවක නමින් මෙයට සමාන ශාකයක් ඇති අතර එය මීටර් 2000 පමණ උස් බිම්වල වැවේ. එය අශෝක මෙන් නොවුනත් ඖෂධීය භාවිතාවන් සහිත ශාකයකි. කුරවක ලේ ස්‍රාව සහිත ගර්භාෂයික රෝග සුවපත් කරන බවත්, ආමවාතයේදී එම කොළ තම්බා තැවීම ප්‍රතිඵලදායී බවත්, ස්‍රාවකාරී ආමාශයික රෝග සඳහා ගුණදායක බවත් දක්වා ඇත. ඇතැම් විට ඖෂධ අලෙවි කරන්නන්  එම ශාකයේ පොතු අශෝක පොතු ලෙස ව්‍යාජව අලෙවි කරයි. ආගමික කටයුතුවලදී, විශේෂයෙන් කතරගම දෙවියන් උදෙසා සිදුකරන පූජාවලදී පූජා වට්ටිවලට අශෝක මල් යොදා ගනී. මල්වර වූ දැරියන් නෑවීමේදී එම ජලයට අශෝක මල් එකතු කිරීම ගැමි චාරිත්‍රයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

Share:

1 comments:

Unknown said...

මේවා සුවද පූජාවට ගන්නවද

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support