දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Sunday, November 26, 2017

කටු අන්දර [Katu Andara] (Dichrostachys cinerea)

කටු අන්දර වෙරළාසන්න ප්‍රදේශවල සුලභව හමුවන මීටර් 6 පමණ උසට අතු පැතිරී වැඩෙන පඳුරු අාකාර කුඩා දේශීය ශාකයකි. අතු කෙලවර හා පත්‍ර නටුව අසල තියුණු කටු දැකගත හැකි ය. පිටත පොත්ත කහ පාටට හුැරු අළු පාට වන අතර ඇතුලත සජීවී පොත්ත  ළා දුඹුරු පැහැති ය. අප්‍රසන්න සුවඳකින් යුත් අඳුරු රතු පැහැති අරටුව ශක්තිමත් ය. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි.  ප්‍රක්ෂය මත අනුප්‍රාක්ෂ 8-16 සංඛාවක් පිහිටන අතර අනුප්‍රාක්ෂයක ඝණව ඇසිරුණු නිර්වෘන්ත පත්‍රිකා යුගල් 12-20 සංඛාවක් පිහිටයි.  පත්‍රිකාවල හැඩය රේඛීය සිට ලංසාකාර වේ. දිගු නටුවක් සහිතව පහලට එල්ලා වැටෙන රෝස පැහැති මල් අලංකාරවත් ය. ඵලය ඇඹරුණු ස්වරූපයක් ගත් කරලකි. කරලක් තුල ඉලිප්සාකාර බීජ 6-10 පමණ පිහිටයි. කටු අන්දර  Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

වාත රෝග, ඉදිමුම්, මුත්‍ර ගල්, දියවැඩියාව, මුත්‍ර අඩස්සිය, වකුගඩු රෝග, අක්මා රෝග, රුධිර දෝෂ නිසා හටගත් රෝග, යෝනි ස්‍රාව, ප්‍රදාහ, කණ්ඩු ආදී යෝනි රෝග, කැඩුම් බිඳුම්, අතීසාරය, හිසරදය, බරවා, දත් කැක්කුම, සර්ප විෂ, ගෝනුසු විෂ, ලාඳුරු ඇතුළු චර්ම රෝග, උපදංශය, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය, අපස්මාරය, ආදී රෝග අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේදී කටුඅන්දර ශාකයේ කොළ, මුල්, පොතු, දළු ආදිය භාවිතා කරයි. කටු අන්දර කඵ සහ වාතය නසන, වේදනාවන් සංසිඳුවන, ඉදිමුම් නසන ආදී ගුණ සහිතයි. 

ඉන්දියාවේ දී මෙම මුල්වලින් ගන්නා යුෂ අංශභාගය සුව කිරීම සඳහා පානයට දෙන අතර මුල්වලින් නිස්සාරණය කරන යුෂෙ වකුගඩුවල ගල් ඇතුළු මුත්‍ර මාර්ගයේ රෝගවලටත්, යෝනි මාර්ගයේ රෝගවලටත්, වේදනා ගෙනෙන සන්ධි වල ආලේපනයටත් ඖෂධ වශයෙන් බහුලව භාවිත කෙරේ. පොඩිකළ හෝ පල්පයක් ලෙසට අඹරාගත් මුල් කිරි සමග මුසු කර සකසන පානය මූත්‍රකාරක, වේදනා නාශක සහ ක්‍රිමිහාරක ඖෂධයක් ලෙස බටහිර අප්‍රිකානු රටවල භාවිත කෙරේ.  චූර්ණ කරගත් මුල් නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු රටවල නාසයෙන් ලේ යාම, හර්නියා සහ ප්‍රෝටීන ඌණතාව නිසා ඇතිවන මන්ද පෝෂණය දුරලීමේ ඔසුවක් ලෙස ගැනේ.  අප්‍රිකානු මහාද්වීපයෙහි බොහෝ රටවල මුල් කෂාය සිපිලිස්, ලාඳුරු තුවාල, පටකවල වැඩිපුර ජලය එක්රැස්වීම සහ රූමැටික ප්‍රදාහය නිසා රෝගාතුර ශරීර කොටස් යථා තත්වයට කිරීම සඳහා යොදා ගනී. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
විශේෂ ස්තුතිය_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාට
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

3 comments:

Janith Chathuranga said...

Akramana shakayak nemeida meka?

Unknown said...

නැහැ. ඒ ගිණි අන්දර

Janith Chathuranga said...

Density එක ගත්තම 1000ට වැඩියි. Tool handle, musical instrument parts වලට ගන්න පුලුවන් ඉතාම අධික ශක්තියක් තියෙන රතු දුඹුරු පැහැති අලංකාර අරටුවක් තියෙන ශාකයක්.ලී දඬු වේලෙනකොට පැලෙන එක අඩු කරගන්න පුලුවන් නම් මේ තරම් ශක්තිමත් වෙන කිසිම ලීයක් ලංකාවෙ නෑ. පුරැණ අං කෙලි පූජාවෙ අං කෙකි වලට මේ ගසේ මුල් සමග කඳේ පහළ කොටස ගන්නවා අධික ශක්තිය නිසා.

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support