
පොළව කණ මැදිරියා මුවකීරිය ලෙසත්, අහස කණ මැදිරියා උඩවැඩියා ලෙසත් පැරණි බෙහෙත් වදුළුවල දක්වා ඇත. ඇතැම් අය අහස කණ මැදිරියා ලෙස මුවකීරිය හඳුන්වයි. මුවකීරිය දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ සහ කල් ගතගවූ අස්ථි ප්‍රදාහ අවස්ථාවන්හි බහුලව යොදා ගන්නා ඖෂධයකි. එමෙන්ම ජලභීතිකාව, ශාරීරික දුබලතා, මානසික රෝග, කැස්ස, ඇදුම, ආහාර අරුචිය, අජීර්ණ, හෘද රෝග, අක්මා රෝග, අර්ශස් ආදියට ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. මුවකීරිය රසායන, බලකාරක, නිද්‍රාකාරක, වමනකාරක, මෘදු විරෙචක, මුත්‍රකාරක, අහාර දිරවීම ක්‍රමවත් කරන,මව්කිරි වඩවන, පිත ස්රාවයවීම උත්තතේජනය කරන, මදනකාරක ආදී ගුණයන් රැසක් සහිතයි.
අස්ථිභග්න හා ප්රදාහිත අවස්ථාවන්ට මුවකීරිය සම්පූර්ණ ශාකයම ගෙන අමුකහ, ලුණු දමා කොටා මලවා බඳී. වාතරෝග සඳහා මුවකීරිය යොදාගෙන වේදුපෑම සිදුකරයි. කැඩුම් බිඳුම් වෙදකමේදී තෙල් වර්ග සහ මැල්ලුම් සෑදීමට මුවකීරිය ශාකය භාවිතා කරයි. වාතමෘත්‍ය තෛලය සහ අශීතිවාත තෛලය මුවකීරිය යොදා නිපදවන ඖෂධයන් ය.
වේද ග්රන්තයන්හි සඳහන් ඉතා ප්‍රභල රසායනික ඖෂධයක් වන සෝම පානය සෑදීම සඳහා සෝමලතා නම් පැළෑටියක් භාවිතා කර ඇති බව සඳහන් වේ. සෝමලතා සම්පූර්ණ ශාකයේ සාරයට බාර්ලි සහ එළඟිතෙල් දමා උණුකර සාදා ගන්නා තරලමය ඖෂධය සෝම පානය නම් වේ. සෝමලතා පර්යාය මූවකීරිය ශාකයට ද යෙදී තිබුනත් එහිදී භාවිතා කළ සෝමලතා ශාකය, මුවකීරිය ශාකය මීට පෙර අයත්ව තිබූ උද්භිද ගණයටම අයත් Sarcostemma brevistigma නම් ශාකයක් බව දැන ගන්නට ඇත. (මුවකීරිය ශාකයේ පෙර තිබූ උද්භිද නාමය Sarcostemma viminale නම් වේ) එම පැලෑටිය ඉන්දියාවේ දක්නට ලැබුන ද මෙරටදී හමු නොවෙයි. කෙසේ වෙතත් මෙම ශාක දෙකේ ගුණ කර්ම බෙහෙවින් සමාන හෙයින් ප්‍රතිනිධි ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇති බව සඳහන්. ඇතැම් ග්‍රන්ථවල සෝම පැළෑටියේ පර්යාය නාමය මුවකීරිය ශාකයට ද යෙදී ඇති හෙයින් සෝම පානය සෑදීම සඳහා භාවිතා කළේ මූවකීරියම බවට ද මතයක් පවතී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
3 comments:
Muawakeeriya hoyaganna puluwan wenne khenda kyanna puluwanda?
අනේ මටත් කියන්නක් හොයාගන්න තැනක්
muwakiriya hoya ganna thanak thiyenawada...
Post a Comment