දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Saturday, June 21, 2014

දුම්මෑල්ල [Dummella] (Trichosanthes cucumerina)

කෙම්වැල් යනුවෙන්ද හඳුන්වන දුම්මෑල්ල දාර සහිත සිහින් කඳකින් යුත්, පතෝල වැලට බෙහෙවින් සමාන වාර්ෂික ආරෝහකයකි. හෘදයාකාර සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 12 සහ පළින් සෙ.මි 11 දක්වා වර්ධනය විය හැකිය. පාණිවත් පත්‍ර ඛණ්ඩිකා 3/5/7 සංඛාවන්ට බෙදී පවතී. ඛණ්ඩිකා රවුම් හෝ මඳ තීවෘ වන අතර පත්‍ර දාරය දන්තූර ය. පත්‍ර නටුව අසලින් පැන නඟින පහුරු දැක ගත හැකි අතර පහුරක් තුනට බෙදී පවතී. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් සුදු පැහැතිය. ඒක ලිංගික ඒක ගෘහී හෙවත් ස්ත්‍රී සහ පුරුෂ මල් එකම ශාකයේ පිහිටා තිබේ. ගෝලාකාර හෝ දිගටි හැඩක් ගන්නා ඵලය බදරියකි. නොමේරූ පලයෙහි දික් අතට සුදු පැහැති ඉරි පිහිටා තිබේ. ඵලය මෝරණවිට ඒවා රතු පැහැයට හැරේ. ආයත හැඩැති බීජ අළු දුඹුරු පැහැයට හුරුය. දුම්මෑල්ල Cucurbitaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

පටෝල යන ආයුර්වේද ඖෂධය සඳහා ශ්‍රි ලංකේය ව්‍යවහාරය ලෙස දුම්මෑල්ල හැඳින්විය හැකි අතර දුම්මෑල්ල දේශීය නාමයකි. ඇතමුන් පටෝල සඳහා දුම්මෑල්ල වැනිම Trichosanthes dioica නම් ඉන්දියාවෙ වැවෙන ශාකයම භාවිතා කරතත් මෙම ශාක දෙකෙහිම තික්ත රසයේ සමානත්වය වැනි ගුණ සලකා පටෝල සඳහා දුම්මෑල භාවිතා කිරීම වඩා තර්කානුකූල සහ විද්‍යානූකූල බව පෙන්වා දී ඇත. ඇතැම් වීට දේශීයව මේ සඳහා පතෝල ද යොදා ගත හැකි බව සඳහන්. නවතව උද්භිද විද්‍යා වර්ගීකරණවලට අනුව දුම්මෑල්ල සහ පතෝල එකම විශේෂයක්  ලෙස ද සලකා ඇත. 

අජීර්ණ, කුසගිනි මදිකම, උදරාධිමාන, සෙංගමාලය, උණ, අප්‍රාණිකතා, කාලීන ස්වාලනාළ ප්‍රදාහය, ස්වසනක ජ්වර, රක්තහීනතාවය, පීනස, පිත්තජ්වර, ශීතපිත්ත, වණ, වාතරක්ත, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, කිටීහ, මධුමේහය, ළදරු ග්‍රහණි රෝග, අහාර අරුචිය, අර්ශස්, උදර රෝග, මුඛ රෝග, ඉදිමුම්, වමන, විසර්ප, විද්‍රධි, ප්‍රමේහ, පාණ්ඩු රෝග, කෘමි රෝග, රුධිර දෝෂ, රකතපිත්ත, කැස්ස ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීම සඳහා දුම්මෑල්ල ශාකයේ කොළ, මල්, මුල්, දඬු, ඇට අතුළු සියලූම කොටස් භාවිතයට ගනී. දුම්මෑල්ල වණ ශෝධනය හා රෝපණය කරන, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, දීපන, පාචන, වමනකාරක, විෂ නසන ආදී ගුණයන් සහිතයි. ක්වාත, ස්වරස, ඵාණ්ට, චූර්ණ, අරිෂ්ට, ආසව ආදී ලෙස  දුම්මෑල්ල යොදා නිපදවන ඖෂධ රැසකි.  

දුම්මෑල්ල කොළ කොත්තමල්ලි සමඟ කෂාය කර බීමට දීම, දුම්මෑල්ල ග්‍රෑම් 180 ගෙන කොත්තමල්ලි වතුරේ රැයක් පෙඟෙන්නට තබා තලා මිරිකා ලබා ගන්නා යුෂ මී පැණි සමඟ උදේ හවස බීමට දීම, දුම්මෑල්ල, යව (බාර්ලී) ක්වාතය දීම, දුම්මෑල්ල, කොහොෂ යුෂ දීම ආදිය උණ රෝග අවස්ථා සඳහා ප්‍රතිකාරයන් ය. ශරීර ශක්තියට සහ විරේචනයට දුම්මෑල්ල, වියළි ඉඟුරු කිරාත සමඟ මී පැණි ස්වල්පයක් දමා බීමට දෙයි. රක්ත පිත්ත, මදාත්‍යයට සහ වාතව්‍යාධියට දුම්මෑල්ල ක්වාතය යොදා ප්‍රතිකාර කරයි. ඌරුස්තම්භයට දුම්මෑල්ල තම්බා කෑමට දෙයි. හිසේ වේදනාවට දුම්මෑල්ල මුල් අඹරා නලලේ ආලේප කරයි. තිමිර නම් අක්ෂි රෝගයට දුම්මෑල්ල, මුං, නෙල්ලි, යව (බාර්ලී) යන මේවා නිතර තම්බා බීමට නියම කර ඇත. දුම්මෑල්ල ආහාර ලෙස කෑමට ගැනීමෙන් ඉදිමුම් නැසේ. විස්ප්පුවලට නෙල්ලි, දුම්මෑල්ල, මුං ඇට කලං 4 බැගින් සිඳගත් කෂාය බීමට දෙයි. ශීතපිත්ත, කණ්ඩුවලට නෙල්ලි, රසකිඳ, දුම්මෑල්ල කෂාය බීම යෝග්‍ය ය. වමනයට දුම්මෑල්ල, රසකිඳ, ත්‍රිපල්, කොහොඹ පොතු කෂාය මෑ පැණි දමා බීමට දෙයි. අර්ශස් රෝගයට දුම්මෑල්ල, වැලමී කෂායෙන් ගෙඩි තෙමීම හා එම ජලයේ වාඩිවී සිටීමට ප්‍රතිකාරයකි. අකලට හිසකෙස් පැසෙන විට දුම්මෑල්ල කොළ ඉස්ම ආලේප කරයි. නියපිරිත්තාවට දුම්මෑල්ල කොළ ගිතෙලන් අඹරා ආලේප කළ යුතුය. දුම්මෑල්ල වැල් සමීපයට සර්පයින් නොඑන බව ගැමි විශ්වාසයකි.   

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය

Share:

1 comments:

Anonymous said...

please kindly add more photos so it will be more easy to identify them. thak you any way for creating such a web site.

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support