
කරපිංචා කොළවල හා නටුවල ප්‍රබල සුවඳක් ඇත. ව්‍යංජන රසවත් නිරීම පිණිස කරපිංචා කොළ හා නටු ගනු ලැබේ. කරපිංචා ගසේ ලීය තදය. දුඹුරු පාටට හුරු ළා කහ පාටය. එය කල්පවත්නා ලීයකි. කරපිංචා බහුවාර්ෂික ශාකයක් වන අතර RUTACEAE කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම
කරපිංචා සිසිල්ය. කසටය. අර්ශස්, දාහ, පණු හා කුරුමිණි රෝග, දැවිල්ල, කුෂ්ට, ලේ දෝෂ, ඉදිමුම්, වණ ආදී රෝග සමනය කරයි.
හෘදයාබාධ හට ගන්වන කොලෙස්ටරෝල් අඩුකරලීමට කරපිංචා ඉවහල් වන බව අනාවරණය වී තිබේ. එහෙයින් දේශීය වෛද්‍යවරු හෘදයාබාධ වළක්වා ගනු කැමති අයටත්, හෘද රෝගීන්ටත් කරපිංචා කොළ ඉස්ම යෙදූ කැඳ බීමට නිර්දේශ කරති. කරපිංචා දලු සම්බෝල වශයෙන් හෝ මැල්ලුම් වශයෙන් කෑමට ගැනීමද ගුණදායකය. දේශීය වෛද්‍යවරුන්ට අනුව ව්‍යංජනවලට දමන කරපිංචා ව්‍යංජනය සමගම ආහාරයට ගත යුතුය. කරපිංචා කොළ හීනියට ලියා හෝ අඹරා ව්‍යංජන ආදියට යෙදූ විට ආහාර සමග ශරීර ගත වන නිසා එයින් ලැබෙන ගුණය මහත්ය.
කරකැවිල්ල හා වමනය ආදිය ඇති අයටත්, විෂ ශරීරගත වූ අයටත්, කුසගිනි නොමැති, අජීර්ණාබාධ නිතර වැලඳෙන අයටත්, සුළු උමතු ගති ඇති පුද්ගලයින්ටත් කරපිංචා කැඳ ප්‍රශස්ථ ඔසුවක් බව දේශීය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment