ලංකාවේ සෑම පළාතකම පාහේ දැකිය හැකි අඩි 25 ක් පමණ උසට ඉන්මනින් වැවෙන ශාකයකි. මේ ශාකයේ ලීය මෘදුය. කොළ සංයුක්තය. අඟල් 10 ක් පමණ දිගය. ඒකාන්තරය, පක්ෂවත්ය, උප පත්‍රද සහිතය. අලංකාර වූ සුදුපාට මල් ලොකුය. ඒවා එල්ලෙන ඒකාක්ෂ පුෂ්ප මංජරිවල හටගනී. රතු පැහැති මල් හටගන්නා කතුරු මුරුංගා ප්‍රභේදයක්ද තිබේ. මල යුගරූපීය. පංචාංකය. කණ්ඩ දෙකකින් යුක්තය. දල පහෙන් අපර දලය පතාකය වේ. එය විශාලතමය. මලේ රේණු 10 කි. අපර රේණුව නිදහස්ව තිබියදී අනෙක් රේණු නවය ඒකාබද්ධව ඩම්බකෝෂය වටා නළයක් සාදයි. උත්තර වූ ඩිම්බකෝෂය ඒක කොෂ්ඨීය. එක් අණ්ඩපයක් ඇත. ඩිම්බ සවි වී ඇත්තේ දාරයෙහිය. කරලක් අඩියක් පමණ දිගය. එහි ඇට බොහෝය. කතුරු මුරුංගා ශාකය ලංකාවේ සහ වෙනත් නිවර්තනික ප්‍රදේශවල වැවේ. බීජ මගින් මෙහි ප්‍රචාරණය සිදුවේ. කතුරු මුරුංගා මල් සහ කොළ ආහාරයට ගැනේ. කතුරු මුරුංගා ශාකය FABACEAE කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම
සංස්කෘත ග්‍රන්ථවල කතුරු මුරුංගා ශාකය “වක්‍රපුෂ්ප“ “අගස්ති“ හා “මූනිද්‍රැම“ යන නම්වලින් හැඳින්වේ. කතුරු මුරුංගා මිහිරිය, සිසිල්ය. වා, පිත්, සෙම් යන තුන් දොස් පෙනහලු රෝග හා තුන් දොස් කිපීමෙන් හට ගන්නා උණ නසයි. කතුරු මුරුංගා මල් සිසිල්ය, කසටය, මල බඳියි. ආහාර රුචිය ඇති කරයි. මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරයි.
කතුරු මුරුංගා කොළ අනුභව කිරීමෙන් රාත්‍රී අන්ධභාවය සුව වන බව යුනානී වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ. රතු කතුරු මුරුංගා මල් ඇල් දියෙන් අඹරා ගෑමෙන් සන්ධි ප්‍රදාහය බඳු රෝග සුව වන බව එහිම දැක්වේ. කතුරු මුරුංගා කොළ යුෂ පීනසට හා හිසරදයට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඉන්දියාව හා කාම්බෝජය ආදී රටවල අතීසාරයට ඔසුවක් වශයෙන් කතුරු මුරුංගා පොතු භාවිතා කරයි. ලංකාවේ හිසට දමන ප්‍රධාන බෙහෙත් තෙලක් වූ “මූනිශාක තෛලය“ සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කතුරු මුරුංගා කොළයි.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන්
2 comments:
සුදු සහ රතු යන වර්ග දෙකේම ගුණ එකමද , රතු පාට මල් ආහාරයට ගන්නවද
බොහෝ දුරට සමානයි. ඔව් රතුපාට වර්ගයේ මල් කෑමට ගන්නවා.
Post a Comment