පිළිස්සුම්, උණ, රක්තපිත්ත, කණේ රෝග, වණ, පණු රෝග, කුෂ්ඨ, අර්ශස්, ශ්වේත ප්‍රදර, ප්ලීහා රෝග, නින්ද නොයාම ආදී රෝග සඳහා ඖෂධ තැනීමේදී බුරුල්ල ශාකයේ කොළ, දලු, මුල් ඇතුළු පංචාංගයම භාවිතා කරයි. දේශීය වෛද්‍යවරු බොහෝ විට බුරුල්ල ශාක කොටස් අමුවෙන් යොදා ගැනීම විශේෂත්වයකි. බුරුල්ල මුත්‍රකාරක, වණ රෝපණය කරන, පිලිස්සුම් විෂ සමනය කරන, සර්ප විෂ නාශක ආදී ගුණ සහිතයි.
ලේ යන අර්ශස් සඳහා බුරුල්ල පංචාංගයේ ස්වරසය හෝ කෂාය පානය කිරීමට දෙයි. බුරුල්ල මුල් සැපීම දන්ත ආසාදනවලට ප්‍රතිකාරයකි. ශ්වේත ප්‍රදරයට බුරුල්ල මුල් තණ්ඩුලොදකයෙන් (හාල්පානු දිය) යොදයි. ප්ලීහා රෝගයට බුරුල්ල පංචාගය කෂාය කර සහිඳලුණු, සියඹලා බොර ප්රක්ෂේප කොට දෙයි. පිලිස්සුම් සඳහා බුරුල්ල ගසේ පංචාංගය සහ බඩය තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගන්නා තෙල් ආලේප කිරීම ප්රත්යක්ෂ ප්‍රතිකාරයකි. බුරුල්ල කොළ, දලු කොටා මිරිකා ගත් යුෂට තලතෙල් දමා සිඳ ගෑමෙන්ද පිළිස්සුම් තුවල සුව වෙයි. බුරුල්ල මද, කොමාරිකා මද, තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගත් තෙල පිළිස්සුම් නිසා ඇතිවූ වණ වලට යොදයි.
දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම් වැනි රළු බොහෙත් වර්ග බැඳීමට ප්‍රථම බුරුල්ල මද අතුරා ඒ මත බෙහෙත් බැඳීම සිදු කරයි. කැඩුණු ඇට සන්ධි ගැන්වීමට බුරුල්ල පොතු, කොටදිඹුලා පොතු සමඟ කොටා පොල් කිරෙන් මලවා බඳී. බුරුල්ල මඳ පැසුණු පොල් සමඟ කොටා මිරිකා බොන්නට දීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. බුරුල්ල පොතු, පුස්වැලේ පොතු, බෝ පොතු, නුග පොතු, අමුකහ සමව ගෙන අඹරා සියලු සර්ප දෂ්ටයන්හි කෑ මුඛයෙහි තැබීමෙන් විෂ සමනය වේ. බුරුල්ල මුල්, විෂ්ණුක්‍රාන්ති, අත්තන මුල් ඇල් දියෙන් නස්‍යය සියළු සර්ප විෂට ගුණදායක බව දක්වා ඇත. අම්බාදී තෛලය, පිළිස්සුම් තෛලය, අග්නිදග්ධ තෛලය බුරුල්ල යොදා නිපදවන ඖෂධයන් ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු සහ වෙනත්