සංස්කෘත භාෂාවෙන් ජම්බීර යනුවෙන් ද හඳුන්වන ඇඹුල් දොඩම්වලට අමතරව තවත් දොඩම් වර්ග කීපයක් ඖෂධ සඳහා බාවිතා කරන බව වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල දක්වා තිබේ. ඒ අතර මධු ජම්බීර හෙවත් පැණි දොඩම්, නාරංග හෙවත් හීං නාරං, බීජපුර හෙවත් මාතුලංග හෙවත් නස්නාරං, මධුකර්කටිකා හෙවත් ලප්නාරං, වනබීජපුර හෙවත් දෙහි, ජම්බීරද්වය හෙවත් ජම්බෝල සහ සීදරන් ද වේ.
විශේෂයෙන් ඇඹුල් දොඩම් යුෂ දේශීය චිකිත්සාවේදී සුලභව භාවිතා කරන ඔසුවකි. පිපාස, ආම දෝෂ, කුසගිනි මදිකම, මුඛ රෝග, හෘද රෝග, පණු රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇඹුල්දොඩම් යුෂ සුලභව භාවිතා වේ. ඊට අමතරව ඇඹුල් දොඩම් මුල්, මල්, ගෙඩි, ඇට, ඇටතෙල්, දළු, කොළ, ගෙඩියෙහි පිට පොත්තේ ඇති දොඩම් පැඟිරි ආදිය ද ඔසු සඳහා භාවිතයට ගනී. ජම්බීර කල්කය, ජම්බීර ලවන වටී, ජම්බීරාදී පානකය ආදීය ඇඹුල් දොඩම් යොදා නිපදවන ඖෂධයන් ය. එමෙන්ම මහා කෝල දවුණ්ඩය, දියතාරාමය ආදී ගුලි ඇඹරීමේදී මාත්තුවක් ලෙස ඇඹුල් දොඩම් යුෂ යෙදේ. සීතාරාම, බුද්ධරාජ, මාත්තු පහ ,චන්ද්‍ර කල්කය, ශර්කරාදි කල්කය, යෂ්ඨි කල්කය ආදී ගුලි කල්කවල අනුපාන ලෙස ඇඹුල් දොඩම් යුෂ මෙන්ම දලු භාවිතා වෙයි.
දේශීය ගුලි කල්ක බොහොමයක අනුපාන ලෙස ඇඹුල් දොඩම් යෙදන අතර එයින් බුද්ධරාජ කල්කයෙහි මකරන්දන් අනුපානය ඉතා ප්‍රකටය. එනම් ඇඹුල් දොඩම් යුෂ, අමු ඉඟුරු යුෂ හා මී පැණි යන ත්‍රිත්වයේ එකතුවයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කැස්ස, හතිය ආදී සෙම් කෝප රෝග අවස්ථාවල දී මෙන්ම අජීර්ණ ආදී උදර රෝගයන්ට ද මෙය ගුණදායක ය. සෙම් රෝග මෙන්ම වමනය ආදී රෝග අවස්ථාවලදී නවරත්න කල්කය ඇඹුල් දොඩම් යුෂයෙන් පානයට දීම දේශීය වෛද්‍යවරුන් සුලබව භාවිතා කරන ප්‍රතිකාරයකි. දොඩම් ගැට පුලුස්සා ගත් අළු, පරණ ගොරකා සමඟ දොඩම් ඇඹුලින් අඹරා, රත් කර ගෑමෙන් බිඳුණු සන්ධි සවිවන බව සඳහන්. පොළොං විෂට දෙහි හා දොඩම් කොළ සහ පොතු, ඉඟුරු අල සමග සම සමව ගෙන දුම් අල්ලනු ලබයි. අබ ඇට පතක් පමණ දොඩම් ගෙඩියක් තුලට ලා, උණ අළුවෙන් තම්බා එම ඇඹුලෙන් ඇස වටා ගෑම නුවන් පිළිකාවලට ප්‍රතිකාරයකි. දොඩම් ඇට මද, තෝර ඇට, දිවුල් මද සමව ගෙන එළකිරෙන් අඹරා ඇස වටා ගෑමෙන් ඇස්වල රත සුවවන බව සඳහන්. එමෙන්ම රස ශාස්ත්‍රයේදී චපල, ස්වර්ණ මාක්ෂික, අඤ්ජන කැට, සංඛ ආදී රස ඖෂධ ශෝධනයට ප්‍රධාන වශයෙන්ම ගැනෙනුයේ ඇඹුල් දොඩම් යුෂ ය.
මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, තල්පතේ පිලියම්, වටිකප්‍රකරණය සහ ද්‍රව්‍ය ගුණ විඥාණය පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර