දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, June 17, 2014

ඇත්තෝර [Ethtora] (Senna alata)

නිවර්තන ඇමරිකාව ජන්මභූමිය ලෙස සැලකෙන ඇත්තෝර මීටර් 5 පමණ උසය වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. කඳෙහි මඳ බූවක් දක්නට ලැබේ. විශාල සංයුක්ත පත්‍රයක් සෙ.මි. 30-60 දක්වා වර්ධනය වෙයි. සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල 6-14 සංඛාවක් පිහිටයි. පත්‍රිකා හැඩය ආයත සිට ප්‍රත්‍යණ්ඩාකර - ආයත ය. පත්‍රිකාවක් දිගින් සෙ.මි 5-15 හා පළලින් 2-7 දක්වා වැඩේ. පුෂ්ප මංජරිය අග්‍රස්ථීය හෝ කක්ෂීය ඒකාක්ෂයකි. එහි කහ හෝ තැඹිලි පාට මල් රාශියක් හට ගනී. ඵලය දිග සෙ.මි. 10-15 පමණ වන කරලකි. රොම්බසාකාර බීජ ළා හෝ තද දුඹුරු පැහැතිය. ඇත් තෝර Fabaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ඇත්තෝර ප්‍රධාන වශයෙන් දද කුෂ්ඨ ඇතුළු සමේ රෝග සහ පණු රෝග සඳහා ගුණදායක ඔසුවක් ලෙස ප්‍රකටය. එමෙන්ම ගුල්ම රෝග, අර්ශස්, වණ, වාතරක්ත, සන්ධිවාත, අක්මා රෝග, උදරාබාධ, ඉදිමුම්, මලබද්ධය ආදී රෝග සඳහා ද ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල් සහ ඇට භාවිතා කරයි. ඇත්තෝර කප සහ වාතය සමනය කරන , විෂබීජ නාශක, පණුවන් නසන, අක්මාව ශක්තිමත් කරන, විරේචක ආදී ගුණ සහිතයි. 

කුෂ්ඨ, දද, ආසාත්මිකතාවයන් සඳහා ඇත්තොර බීජ ලේපය හෝ පත්‍ර ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. දදවලට ඇත්තොර කොළ යුෂ ආලේප කිරීම හෝ කොළ මිටියක් ලෙස ගෙන කපා කැපූ පැත්ත දදයේ ඇතිල්ලීම සිදු කරයි. ඇත්තෝර කොළ යුෂට දෙහි ඇඹුල් කලවම්කර අව්වේ කකාරා ගා පැයකට පමණ පසුව නෑමෙන් අලුහම් සුව වේ. පණුකැවිළි හා දදවල ඇත්තෝර කොළ, දෙහි ඇට මද, සුදුළුෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගෑම හෝ බැඳීම සිදු කරයි. මී මැසි සහ බඹර විෂට කොළ යුෂ බීම හෝ ආලේපය ගුණය. ඇත්තොර කොළ මැල්ලුම ඉඳහිට අනුභව කිරීමෙන් පණුවන් මල මාර්ගය හරහා ඉවත්වී ගොස් පණු රෝග, විශේෂයෙන් කිරිපණු රෝගය සුව වෙයි. එමෙන්ම කොළ ගිතෙලින් මලවා කෑමද කිරිපණු රෝගය සඳහා ගුණදායකය. වැඩිපුර කෑමට ගැනීමෙන් උදර වේදනාව සහ විරේචනය සිදු විය හැකිය. වාතරක්ත, ගෘධ්‍රසි සහ රක්තවාත රෝගවලදී, රෝගයෙන් පීඩාවට පත් ස්ථානයට ඇත්තෝර කොළ තබා බැඳීමෙන් වේදනාම සමනය වේ. ගඳ සහිත වණවලට එඬරු තෙලින් තම්බා ගත් කොළ වණයට තබා බැඳීමෙන් සුවය ලැබෙයි. නූතන ලොකයේ සම ආරක්ෂා කර ගැනීම සහ රුව රැක ගැනීම සඳහා භාවිතා කරන සබන් වර්ග, තෙල් වර්ග වැනි රූපළාවන්‍ය නිෂ්පාද සඳහා ඇත්තොර බහුලව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, June 15, 2014

කළුවාල / කළුවා අල (Alpinia galanga)

කළුවාඅල ඉන්දියාව, ජාවා, මලයා, ශ්‍රි ලංකාව හා කාම්බෝජය යන රටවල ස්වභාවිකව වැවේ. මඳ දියසීරාව සහිත ප්‍රදේශවල අඩි 3 -7 දක්වා උසට වැඩේ. පත්‍ර ඉඟුරු කොළ වැනිය. ළා කොළ පාටට හුරු සුදු පැහැති මල් සංයුක්ත ඒකාක්ෂයක පොකුරු වශයෙන් පිපේ. කළුවාල පැළැටියට ඇත්තේ එකම බහුවාර්ෂික රයිසෝමයකි. එය කටුක තිත්ත රසින් යුක්තය. කළුවාල ශාක අල යුෂයෙහි 48% ක් මීතයිල් සිනමේට් ද 20 - 30% සිනියෝල් ද කපුරු හා ඩී - පයිනින් සංයෝග ද ඇත. මෙම කොළවලින් වාෂ්පශීලී තෙලක් සිඳිනු ලැබේ. චීනයෙන් සහ ඉන්දියාවෙන් මෙරටට කළුවාල යුෂ ආනයනය කෙරේ. මෙම ශාකය තරමක් මතභේදාත්මක වන අතර Zingiberaceae හෙවත් ඉඟුරු කුලයට ශාක කීපයක්ම කළුවා අල ලෙස හඳුන්වන අතර උද්භිද විද්‍යා මූලාශ්‍රවල සහ වෙදකමට සම්බන්ධ ඇතැම් මූලාශ්‍රවල දක්වා ඇත්තේ Alpinia galanga හෙවත් මහ අරත්ත ශාකයයි. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කළුවාල හැඳින්වෙන්නේ “අරුණ“ “ගන්ධමූල“ “රක්තරේණු“ හා “සුගන්ධ“ යන නම්වලිනි.  කළුවාල අල සර්ප විෂනාශක ඔසුවකි. ඌෂ්ණ වීර්ය ඇත්තේය. වා, සෙම්, විෂ, කුෂ්ට, දද, අළුහම් හා අන්‍ය චර්ම රෝග නසයි. විවිධ සර්පයන් දෂ්ට කළ විට ප්‍රතිකාර වශයෙන් යොදන ඔසු බොහෝවකට කළුවාල අල යුෂ ගනු ලැබේ. එය ගරුඬ රාජ තෛලය හා විෂ කපාල ගුලිය යන විෂ නසන ඖෂධ තැනීමට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යකි. ඉන්දියානු වෛද්‍යවරු  කළුවාල අල ආම අජීර්ණය, ශ්වසනාළ ප්‍රදාහය, පීනස හා හීනවූ පුරුෂ ශක්තිය ආදියට ප්‍රතිකාර වශයෙන් යොදති. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
Share:

Friday, June 13, 2014

කටරොළු [Katarolu] (Clitoria ternatea)

කටරොළු ආධාරක ශාකයක් මත එතෙමින් ඉහලට වර්නධය වන බහු වාර්ෂික වැල් ශාකයකි. කොළ පැහැති කඳෙහි සියුම් බූවක් දැකගත හැකිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 3.7-5 පමණ දිගුවන අතර පත්‍රයක පත්‍රිකා 5-7 පමණ පිහිටා තිබේ. ද්වීලිංගික මල් තනි තනිව පිහිටයි. නිල් පැහැති සහ සුදු පැහැති ලෙස මල් හට ගන්නා ප්‍රභේද දෙකක් ඇති අතර සුදු මල් හට ගන්නා ප්‍රභේදය එළ කටරොළු යනුවෙන් හඳුන්වයි. ඵලය සෙ.මි. 10 පමණ දිග කරලකි. එක් කරලක් තුල බීජ 10-12 පමණ පිහිටා තිබේ. කටරොළු Fabaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, ආසාත්මිකතා, වණ, ඉදිමුම්, උන්මාද, පිස්සු බලු විෂ, ස්ත්‍රී පුර්ෂ වඳභාවය, අර්ශස්, කල්ගතවූ වකුගඩු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට කටරොළු වැලෙහි කොළ, මුල්, මල්, ඇට ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. කටරොළු කුෂ්ඨ හා ඉදිමුම් නසන, කුසගිනි වඩවන, වණ ශෝධනය කරන, විෂ නසන, මතකය වඩවන ගුණ සහිතයි. 

වණ ශෝධනයට සහ සමේ රෝග නැසීමට කටරොළු සම්පූර්ණ ශාකයම අමුකහ සමඟ තම්බා සේදීම සිදු කරයි. පරිනාම ශූලයට නිල් කටරොළු මුල් චූර්ණය සීනි සහ එළඟිතෙල් හෝ මී පැණි සමඟ දෙයි. ළදරුවන්ගේ උණ සහ ප්‍රතිශ්‍යාවට පත්‍ර ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. ආසාත්මිකතාවයට හෝ දළඹුවන් ගෑවීම නිසා සමෙහි ඇති වන පළුවලට පත්‍ර සවරසය ආලේප කරයි. මුත්‍ර අඩස්සියට මුල් කෂාය සීනි සමඟ බීමට දෙයි. විවිධ වාත රෝග සඳහා මුල් ක්වාතය යොදයි. කණේ වෙදනා සහ ඉදිමුම් සඳහා කටරොළු කොළ යුෂ ලුණු සමඟ රත්කර පිටතින් ආලේප කරයි. ඉදිමුම් අවස්ථාවලදී කටරොළු පංචාග චූර්ණය උණු දියෙන් පානය කිරීම යොග්‍යය. පිස්සු බලු විෂට එළ කටරොළු, ඇහැළ පොතු රුක් අඟුණ, දියමිත්ත යනාදිය කෂාය කර බොන්නට දෙයි.

අර්ශස් රෝගය සඳහා සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් සුව ලැබෙයි. කටරොළු ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන අතර තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තලා යුෂ බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ගලගණ්ඩය රෝගයට එළ කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට එළ කටරොළු මල් කෂාය දෛනිකව බීමත් ඉතාම ගුණයි. ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. කටරොළු ශාකයේ මුල් පිරිසුදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්. නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීමෙන් ආමාශගත රෝගවලින් මිදිය හැකි වේ. උගුරේ ආසාදනවලදී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කළ යුතුය. කටරොළු පංචාංගයම කෂාය කර පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයකටම ගුණදායක ය. කටරොළු හොඳ වේදනා නාශක ඔෟෂධයක්. ඒ නිසාම දත් කැක්කුමකදී කටරොළු මුල් ස්වල්පයක් ගම්මිරිස් ඇටයක් සමඟ අඹරා වේදනා සහිත දතේ තබා සිටීමෙක් දත් කැක්කුම සමනය වෙයි. අසීමිත ලෙස දහදිය දමන අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉඟුරු සමව ගෙන අඹරා කල්කයක් මෙන් සාදා ආහාරයට ගැනීමෙන් දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවේ. ශරීරයට යම් විෂක් ඇතුළුවූ විට කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා ඒ යුෂ පානය කිරීමෙන් විෂ තත්ත්වය ඉක්මනින් නාශනය වේ. කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප කිරීමෙන් එම අපහසුතාවයන්ගෙන් සහනය ලැබිය හැකිය. මෙවන් ඖෂධීය වටිනාකම් රැසක් සහිත කටරොළු වැලක් ගෙමිදුලෙහි වවා ගැනීමට අමතක නොකළ යුතුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් 
Share:

Wednesday, June 11, 2014

කපුරු (Cinnamomum camphora)

අඩි 2-4 අතර උසැති මෙම ශාකය ෆෝමෝසා, චීනය, ජපානය හා මලයාව ආදී රටවල වැවේ. වර්තමානයේදී එය එක්සත් ජනපදයේ කැලිෆෝනියාව හා ෆ්ලොරීඩාව බඳු උණුසුම් ප්‍රදේශවලත් වවනු ලැබේ. මේ ශාකයේ ලීයෙහි සහ කොළවල කපුරු නම් රසායනිකය අඩංගුය. එය සුවඳ සහිත කාබනික රසායනිකයක් වන අතර බටහිර රසායන විද්‍යාවේදී ටර්පිනොයිඩ් කීටෝනයක් ලෙස හඳුන්වයි. කපුරු ගස කුඩා කැබලි බවට පත් කර, එම කැබලි අතරින් හුමාලය යැවීමෙන් ලැබෙන වාෂ්ප ඝනීභවනය කිරීමෙන් ස්වභාවික කපුරු ලබාගත හැකිය. එම ආස්‍රැතයේ තෙල් කොටසින් කපුරු ස්ඵටික සෑදේ. කපුරු උත්තේජකයක්, වාත නාශකයක් හා ව්ෂබීජ නාශකයක් වශයෙන් භාවිතා වෙයි. කපුරු ශාකය Lauraceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

කපුරු පක්ව කර්පුර (පැසවූ) අපක්ව කර්පුර (අමු/නොපැසවූ) යනුවෙන් දෙවර්ගයක් සේ වෛද්‍ය ශාස්ත්‍ර යේ දැක්වේ. කපුරු ශාකය කුඩා කැබලි වලට කපා වතුර වත් කොට තම්බා පෙරාගත් ජලය ශීතල වන්නට තැබූ කල කිරි යොදය මෙන් එහි මතුපිට කපුරු හට ගනී. මෙසේ තනාගත් කපුරු පක්ව කර්පූර නම් වේ. කපුරු ශාකයේ කඳ පැළී වැගිරෙන ලාටු විශේෂය අපක්ව හෙවත් අමු කපුරු නම් වේ. මේ දෙවර්ගයෙන් අමු කපුරු වඩා ගුණ බව ආයුර්වේද මතයයි. මේ දෙවර්ගය හැර සංස්කෘත ග්‍රන්ථවල “පෝතාස“ “හීමසේන“ “සුගන්ධ කර්පුර“ හා “රස කර්පුර“ ආදී කපුරු ප්‍රභේද කීපයක් ගැන සඳහන් වේ. 

කපුරු තිත්තය, ඌෂ්ණය, පැසවීමේදී සිසිල් ගුණය දෙයි. සුවඳය, ඇසට හිතය, නින්ද කැඳවයි. සෙම්, පිත්ත, මේදය, ඉදිමුම්, විෂ, මුත්‍ර අඩස්සිය හා ශුක්‍ර දෝෂ සමනය කරයි. මුඛයේ අමිරස සහ දුගඳ දුරලයි.

කපුරු තෙල් කටුකය, ඌෂ්ණය, සෙම් පහ කරයි, වාත රෝග, දැඩි රුජා සහ පිත් නසයි. චීන දේශයෙන් ලැබෙන කපුරු වඩාත් කටුකය, තිත්තය, ඌෂ්ණය, ස්වල්ප වශයෙන් ශීත ගුණ ඇත. සෙම් දෝෂ සහ උගුරේ දේෂ පහ කරයි. මල බුරුල් කරයි. කෘමීන් නසයි. අවි ආයුධවලින් තුවාල ලද විට කපුරුවලින් ප්‍රතිකාර කෙරේ. කණේ සහ ඇසේ ආබාධ ආදියට කෙරෙන ප්‍රතිකාරවලදීත් විවිධ තෙල් බෙහෙත් සාදන විටදීත් කපුරු යොදනු ලැබේ. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Tuesday, June 10, 2014

කරාබු [Karabu] (Syzygium aromaticum)

කරාබු මීටර් 15 දක්වා උසට අතු පැතීරි වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කුඩා අතු එකතු වී සෑදෙන මුදුන පිරමීඩාකාර හැඩයක් ගනී. සිනිඳු පොත්ත ළා කහ පැහැති ය. සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. තියුණු තුඩක් සහිත පත්‍රයක් සෙ.මි. 12 පමණ දිගට වර්ධනය වේ. පත්‍රවල දෙපසම සිනිඳු වන අතර උඩු පෘෂ්ටය දිලිසෙන සුලු ය. අග්‍රස්ථීයව හට ගන්නා පුෂ්ම මංජරිය කුඩා සංයුක්ත බහු අක්ෂයකි. ද්වීලිංගික මල් කහ පැහැයට හුරු සුදු සුදු පැහැති ය. මල් කැකුලු කොළ පැහැයෙනුත්, මල් පිපෙන අවස්ථාවේ සුදු පැහැයට හුරු කහ පැහැයෙනුත් දක්නට ලැබේ. දම් පැහැති මාංසල ඵලය ඉදුණු පසු කළු පැහැයක් ගනී. එක් ඵලයක් තුල එක් බීජයක් පිහිටා තිබේ. Myrtaceae උද්භිද කුලයට යත් ශාක විශේෂයක් වන කරාබු ඉන්දුනීසියාවේ මලුකු හෙවත් මලක්කා දූපත්වලට ආවේණික වන අතර අප රටට හඳුන්වාදී, ආර්ථික භෝගයක් ලෙස වගාකර ඇත.

කරාබු ආර්ථික බෝගයක් ලෙස අස්වනු සැකසීමේදී පිපීමට ආසන්න අවස්ථාවේ ඇති මල් පොකුරු කඩා අතින් ඇට (මල් කැකුළු) වෙන්කර ගත යුතුය. එවා අව්වේ හෝ වියළන යන්ත්‍ර ආධාරයෙන් වියළා වෙළඳපලට යැවේ. ඇට ඉවත්කර ගත පුෂ්ප මංජරිය ද වියළා අඩු මිලක් යටතේ අලෙවි කළ හැකිය. ඒවා කරාබු තෙල් නිස්සාරණය සඳහා යොදා ගනී.

අජීර්ණ, අරුචි, බඩ පිපුම, කුසගිනි මදිකම, වමන, ළදරු වමන, ගර්භනී වමන, ළදරුවන්ගේ බඩ බුරුලෙන් යෑමට සහ බඩ රුදාව, පණු විසූචිකා, සෙම් රෝග, කැස්ස, හික්කා, ප්‍රතිශ්‍යාව නිසා හටගත් හිසරුදා, මුඛ සහ උගුරේ ආබාධ, දත් කැක්කුම, විදුරුමස් දියවීම, නින්ද නොයාම, වාතරෝග ආදීයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කරාබු නැටි හෙවත් වියළාගත් මල් කැකුළු සහ කරාබු තෙල් භාවිතා කරයි. කරාබු ආහාර රුචිය වඩවන, මුඛය සහ අක්මාව උත්තෙජනය කරන, සෙම ඉවත්කරන, මුත්‍රකාරක, හෘදය සහ රුධිර ධාවනය උත්තේජනය කරන, මව්කිරි ශෝධනය කරන, නිද්‍රාකාරක, වේදනා නාශක ගුණ සහිතයි. 

ප්‍රතිශ්‍යාව නිසා හටගත් හිසේ වේදනව සමනය කිරීමය කරාබුනැටි අඹරා නලලේ ආලේප කරයි. හපා යුෂ ගිලීම මුඛ හා උදර රෝගවලට ගුණදායක ය. කණේ කැක්කුමට කරාබු තෙල් පුලුන්වල පොඟවා කණේ තැබිය යුතුය. දත් කැක්කුමට කරාබු කොළ නටුව හෝ අමු කරාබු කැකුලක් සපා දතේ තබාගෙන සිටිය යුතුය. ඇඟලි තැළුණු විට කරාබු නැටි ඇල්වතුරින් අඹරා අලේප කර රෙදි කඩකින් බැඳ තබයි. ළදරුවන්ගේ වමනයට කරාබු නැටි තැම්බූ වතුරට සීනි මිශ්‍රකර වරින් වර ටික ටික පෙවිය යුතුය. ළදරුවන්ගේ බඩ බුරුලෙන් යෑමට සහ බඩේ කැක්කුමට සාදික්කා, කරාබු, සූදුරු, කළාඳුරු අල සමව ගෙන කොටා චූර්ණකර බීමට දෙයි. අතීසාරයට කරාබුනැටි, කුරුඳු, සූදුරු සහ කළාඳුරු අල සමව ගෙන හොඳින් වියළා කුඩුකරගත් චූර්ණය තේ හැන්දක ප්‍රමාණය මී පැණි සමඟ ගත යුතුය. 

වියලාගත් කරාබු නැටි රස සහ සුවඳකාරකයක් ලෙස ආහාර පිසීමේදීත්, කැවිලි වර්ග, බීම වර්ග රසවත් කිරීමටත් යොදා ගනී. කරාබු තෙල් දන්ත වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය නිපැයුම් සඳහාත්, සුවඳ විලවුන්, සුවඳ සබන් වැනි නිශ්පාදන සඳහා භාවිතා කරයි. අමු හෝ වියළි කරාබු කොළ ගිනි කබලකට දමා දුම් ඇල්ලීමෙන් මදුරුවන් පලවා හැරිය හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, June 8, 2014

කයිල / වැල් කයිල (Phyllanthus reticulatus)

අඩි 8-10 උසට වැඩෙන පඳුරකි. කඳේ යාන්තමින් බූව ඇත. ලන්සාකාර පත්‍ර සිනිඳුය. පත්‍රයෙහි යටි පැත්ත ළා පාටය. කයිල වැලේ මුළු අවුරුද්ද පුරාම රෝස පාටට හුරු මල් පිපේ. ඵලය අඟල් කාලක් පමණ දිගය. ගෝලාකාර වූ ඵලය මාංසලය වන අතර දම් පාටට හුරු සිනිඳු දිලිසෙන බවකින් යුක්තය. එහි ඇට දහයක් පිහිටා ඇත. මෙම ශාකය ලංකාවේ වියළි ප්‍රදේශවල බහුලවත්, තෙත් ප්‍රදේශවල කලාතුරකිනුත් හමුවේ. කයිල ශාකය මලයාසියාව, පාකිස්ථානය, නිවර්තන අප්‍රිකාව හා චීනය වන රටවල වැවේ. මෙය එවුෆෝබියාසේ කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

මලබද්ධය ඇති කරයි. වාත, ඉඳිමුම් හා රුධිර දෝෂ පහ කරයි. කයිල පොතු ශරීරය කෙට්ටු කරන ඔසුවක් සේ සැලකේ. කයිල කොළ මුත්‍රා වැඩි කරයි. විදුරුමසින් ලේ ගැලීම වැළැක්වීම සඳහා කයිල ශාකයේ කොටස් වෙනත් ඖෂධ සමඟ යොදනු ලැබේ. රුධිරයේ ඌෂ්ණත්වය අඩු කිරීම සඳහා ද භාවිතා වන ඖෂධයකි. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Friday, June 6, 2014

කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus amboinicus)

කප්පරවල්ලිය මාංසල පත්‍ර සහ කඳක් සහිත පඳුරක් ආකාරයට වැඩෙන බහුවාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. කඳේ පහල ගැටවලින් මුල් හට ගනී. පත්‍ර පුළුල් අණ්ඩාකාරය. බුව සහිත පුෂ්ප මංරියක හට ගන්නා මල් රෝස දම් පැහැතිය. මැයි සහ ඔක්තෝබර් මාසවල මල් පිපිම සිදු වේ. කප්පරවල්ලිය ශාකයේ කඳෙහි සහ පත්‍රවල තෛල ග්‍රන්ථි පිහිටා ඇති අතර මෙහි කඳෙන් සහ විශේෂයෙන් පත්‍රවලින් සැර සුවඳක් වහනය වේ. කප්පරවල්ලිය Lamiaceae කුලයට අයත් ශාකයකි.

ක්ෂය රෝගය, ඉක්කා, උගුරේ ඇතිවන දැවිල්ල, ස්වාසනාලිකා ප්‍රදාහය, නිව්මෝනියාව, පැපොල, වසූරිය, ඇදුම, කැස්ස, මීමැස්මොර, අක්ෂි රෝග, අක්මා රෝග, කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, පාචනය, උදරයෙහි වාතය එකතුවීම, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල්, මුත්‍ර දැවිල්ල,පණු රෝග, මුඛ දුර්ගන්ධය ආදී රෝග තත්වයන් බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කප්පරවල්ලිය ශාකයේ කොළත් ඇතැම් විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී.

කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාතය මෙම ශාක කොටස් යොදා නිපදවන ඖෂධයන්ය. උදර වේදනාවන්ට සහ අතීසාරයට කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මේස හැඳි එකක් දෙහි ඉස්ස, මී පැණි සමඟ දීම ගුණ වේ. ඇදුම සහ ක්ෂය රෝගය සඳහා කප්පරවල්ලිය පැණිය ඉතා ගුණදායක බව සඳහන් වේ. කප්පරවල්ලිය කුසගිනි වඩවන, පණුවන් නසන, වේදනා නාශක ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Tuesday, June 3, 2014

කළුදුරු (Nigella sativa)

කළුදුරු ශක්තිමත් වාර්ෂික ශාකයකි. අඩි 2-4 දක්වා සාමාන්‍ය උසැති එහි කඳ සෘජුය. පත්‍ර සිහින් ලෙස බෙහෙවින් බෙදී ඇත. සිත්කලු වූ පුෂ්පයෙහි දල වැනි වූ පතනශීල මණි පත්‍ර 5 ක් ඇත. දලවල කුහර සහිත නඛර හෙවත් නියපොතු වැනි අවයව දක්නට ලැබේ. 3-10 දක්වා සංඛ්‍යාවක් ඇති අණ්ඩප පාදස්ථ ප්‍රදේශයෙහි තනි කුහරයක් සාදමින් මේ නඛර සමග සම්බන්ධ වේ. කළුදුරු ඇට සුවඳවත්ය. කළු පාටය. ඒවායින් ඖෂධීය තෙලක් සිඳිනු ලැබේ. කළුදුරු ශාකය Ranunculaceae කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම 

කළුදුරු සැරය. ඌෂ්ණය. කුරුමිණි රෝග, පිත් රෝග, ඉදිමුම්, අජීර්ණ රෝග නසයි. ආහාර රුචිය ඇති කරයි. ඇසට හිතකරය. මල බැඳීම සිදුකරයි. විවිධ උණ, කුසගිනි අඩුකම හා ප්‍රතිෂ්‍යාදී රෝගයනට ප්‍රතිකාර කිරීමේදී කළුදුරු වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ. ඇතැම් ප්‍රදේශවල ක්ෂුද්‍රජීවීන්ගෙන් සහ කාවුන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කරගනු පිණිස රෙදි අතරට කළුදුරු ඉසිනු ලැබේ. කළුදුරු ඇටවලින් සිඳගන්නා තෙල් විවිධ රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් භාවිතා කෙරේ. ගම්බද පළාත්වල තැඹිලි තෙල් හා පොල් තෙල් ආදියට කළුදුරු ඇට ස්වල්පයක් දමා පරණ කොට ඒ තෙල හිසට දැමීමේ පුරුද්දක් පවතී. බොහෝ විට ඊට සැවැන්දරා මුල් ටිකක්ද එක් කිරීමෙන් තෙල්වල ගුණය හා සුවඳ වැඩි කරනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 

  
Share:

Monday, June 2, 2014

සිවිය [Siviya] (Piper chuvya)

සිවිය විශාල ගස් මත පැතීරි වැඩෙන, බුලත්වලට බෙහෙවින් සමාන ආරෝහකයකි. තද කොළ පැහැති පත්‍රවල දිළිසෙන සුලු සිනිඳු මතුපිටක් පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිග සෙ.මි. 20 සහ පළල සෙ.මි. 10 දක්වා වර්ධනය විය හැකිය. පත්‍ර නටුව කෙටි වීම සහ මධ්‍ය නාරටිය එක් පසකට බරව පිහිටීම සිවිය අනෙක් Piper විශේෂවලින් වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණයකි. පුෂ්ප මංජරිය ශුකියකි. ජායංජගී සහ පූමංගි ශුකි එකම ශාකයේ වෙන වෙනම පිහිටයි. ඵලය බදරියකි. සිවිය Piperaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

සිවිය ඌෂ්ණ බවින් අධික ඖෂධයක් බවත් එහෙයින් පිත වර්ධනය කරන බවත් සඳහන්. ප්‍රතිශ්‍යා, පීනස, කැස්ස, ඇදුම, පණු රෝග, අධිමාන, ආහාර අරුචිය, අජීර්ණය, කුසගිනි මදිකම, අර්ශස්, අපස්මාරය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සිවිය ශාකයේ දඬු, මුල් හා කරල් භාවිතා කරයි. සිවිය කුසගිනි වඩවන, පණුවන් නසන, වේදනාවන් සමනය කරන, අක්මාව උත්තේජනය කරන, සෙම නසන ආදී ගුණයන් සහිතයි. අපස්මාරයට සහ මායාවාතයට ප්‍රතිකාර ලෙස සිවිය කරල් චූර්ණය නස්‍ය කිරීම ප්‍රකට යෝගයකි. පිරිත් කොටුව සකස් කිරීමේදී වියට යටින් එල්ලීම සඳහා සිවිය කොළ භාවිතා කරයි. ඇතැම් විට සිවිය කරල් ගජ තිප්පිලි ලෙස හඳුන්වා ඇතත් එය මතභේදාත්මක කරුණක ලෙස සැලකේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, June 1, 2014

මදුරුතලා [Madurutala] (Ocimum sp.)


තලා යනුවෙන්ද හඳුන්වන මදුරුතලා පඳුරක් ආකාරයට වර්ධනය වන කුඩා පැළෑටියකි. දේශීය Ocimum විශේෂ කීපයක් ඇතත් ප්‍රධාන වශයෙන් ගස් තලා / ඕ තලා (Ocimum gratissimum), හීං තලා / හීං මඳුරුතලා (Ocimum tenuiflorum)  සහ සුවඳ තලා (Ocimum americanum ) යන විශේෂ ගැන සඳහන් වේ. හීං මඳුරුතලා ශාකයේම දම් පැහැති කොළ සහිත ප්‍රභේදයක් ඇති අතර එය ක්‍රිෂ්ණ තුල්සි ලෙස හඳුන්වයි. එය හින්දු භක්තිකයින් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි. ගස්තලා ශාකයේ පත්‍ර සහ පුෂ්පමංජරිය සාපේක්ෂව තරමක් විශාලය. සියළු මඳුරුතලා ශාකවල වාෂ්පශීලී සුගන්ධ තෙල් අඩංගුවන බැවින් ආවේනික සුගන්ධවත් බවක් පවතී. මඳුරුතලා ශාකය සතුව වාතය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයක් පවතින හෙයින් නිවෙස් ආශ්‍රිතව රෝපණය කිරීම ශරීර සෞක්‍යයට යහපත් බව සඳහන්. එමෙන්ම මඳුරුතලා පැළ හොඳින් වියළාගෙන දිනපතා හවස නිවෙසේ දුම් අැල්ලීම මඟින් මඳුරුවන් පලවා හැරීමත් විශබීජ නාශනයත් සිදුවේ. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ගැමියන් බුලත් වෙනුවට තලා වර්ග කෑමට ගනී. ඖෂධීය වටිනාකම් රැසක් සහිත මඳුරුතලා ශාක Lamiaceae කුලයට අයත්ය.

හදවත් රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, මැලේරියාව, පිළිකා, කැස්ස, පීනස, ස්වාසනාලිකා ප්‍රදාහය, අතීසාරය, ආමාශයික රෝග, අක්මා රෝග, කන් කැක්කුම, වමනය, පණු රෝග, රක්තවාතය, ජනන්‍ය මූත්‍රල පද්ධතියේ රෝග, ආහාර අරුචිය, සර්ප විෂ, බඹර මීමැසි කූඩලු මඳුරු ආදී සතුන්ගේ දෂ්ඨන වැනි රෝග අවස්ථා රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට මඳුරුතලා කොළ, මුල් , ඇට ආදිය යොදා ගන්නා බව සඳහන් වේ.

"මේ ශාකය තුළ පවතින වාෂ්පශීලී තෛලය නිසාම මදුරුතලා කොළ, මුල්, කඳ වැනි මෙහි සෑම අංගයක්ම ශරීරයේ අස්ථි, සන්ධි, වේදනා නැති කිරීමට ඉතාමත් ගුණදායකය. යමෙක් සන්ධි වේදනාවකින් පෙළෙනවා නම් මදුරුතලා පත්‍ර ඇල් වතුරෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා ආලේප කරන්න. ඒමෙන්ම විවිධ සැරව ගෙඩි, විසප්පු, කුෂ්ඨ වැනි රෝග හටගත් අවස්ථාවකදී මදුරුතලා කොළ එළඟි තෙලෙන් සියුම් වෙන්න අඹරා සැරව ගෙඩි, විසප්පු මතුපිට ආලේප කරන්න. ඉන් පසු ඉක්මනින් පැසවා සැරව ඉවත් වී ඉක්මන් සුව වේ. ඒ වගේම තමයි සැරව ගලා පැසවන සුව නොවන තුවාල ඇති අය මදුරුතලා කොළ තම්බා නිවාගත් වතුරෙන් වාර කිහිපයක් ඒ තුවාල සෝදන්න. තුවාලවල පවතින විස වර්ග මෙහි පවතින රසායනික තෙල නිසා විනාශයට පත්වෙලා ඉක්මන් සුවය අත් වේවි. මදුරුතලා කොළ, ටංකන (පුස්කර) සහ ගෙන්දගම් (ශෝධිත ගෙන්දගම්) සමව අරගෙන ඒවා දෙහි යුෂෙන් හෝ ‍දොඬම් ඇඹුල්වලින් අඹරාගෙන දින කිහිපයක් කුෂ්ඨවල, දදවල ආලේප කරන්න. ඔබට එයින් ඉක්මන් සුවයක් අත් වේවී."

"ශරීරයේ ඇතුළතින් හටගන්නා රෝපීඩා සඳහාත් මදුරුතලා හොඳ ඔෟෂධයක්. ඒ අතර අද බහුතරයක් දෙනා මුහුණපාන ලෙඩක් තමයි සෙම රෝගය. නිරායාසයෙන් කටට සෙම එන රෝගයෙන් ගොඩක් දෙනා පීඩා විඳිනවා. එවන් සෙම් රෝගයෙන් පෙළෙන අය මදුරුතලා බීජ පත එකක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතරක් මිශ්‍ර කර පත එකක් වීමට සිඳුවා ගන්න. ඉන්පසු හොඳින් පෙරා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් බොන්න. සෙම් රෝගය නිට්ටාවටම සුව වේවි. ඒ වගේම ඔබට කෑම අරුචිය, උදරයේ දැවිල්ල, උදර වේදනා වගේ රෝග තත්ත්වයක් ඇති නම් මදුරුතලා කොළ ග්‍රෑම් 30ක් තරමක් වියළි ඉඟුරු ග්‍රෑම් 30ක් සමව අරගෙන සියුම්ව හොඳින් අඹරා කුඩා ගුළි 20ක් හදාගන්න. ඉන්පසු දිනපතා උදේ හවස ගුළිය බැගින් දින දහයක් ඒ ඔෟෂධීය ගුළිය ආහාරයට ගන්න. බඩේ අමාරු, කෑම අරුචිය, බඩ දැවිල්ල කියන මේ සෑම ලෙඩකටම එය ගුණය ලබා දෙන ඔසුවක්. මේ ඔෟෂධය ලොකු කුඩා වයස් භේදයකින් තොරව කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ආහාරයට ගන්න පුළුවන් ඔෟෂධයක්. මැලේරියාව වැනි උණ සඳහා දේශීය ආයුර්වේදය තුළ වඩාත්ම සුදුසු ඔෟෂධය තමයි මදුරුතලා. ඒ නිසා මැලේරියා රෝගීන්ට මදුරුතලා මුල්, විෂ්ණු ක්‍රාන්ති, අමු ඉඟුරු කළං 4 බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත 7ක් එකට සිඳුවා පෙරා දින කිහිපයයක් උදේ සවස පත භාගය බැගින් බොන්න දෙන්න. මැලේරියා රෝගය සුවකර ගැනීමට ඒ ඔෟෂධීය කෂාය ඉතාමත්ම ගුණදායකයි."

"කුඩා දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වගේ රෝග හටගත් විටදී අපේ මවුපියන් දරුවන්ට විවිධ බටහිර ප්‍රතිකාර කරන්න පුරුදු වෙලා ඉන්නවා. කුඩා දරුවන්ගේ එවන් රෝග සඳහා කිසිදු අතුරු ආබාධයක් නොමැති ඔෟෂධයක් සාදාගන්නා හැටි සඳහන් වෙනවා. ඔබට එය නිවෙසේ සිටම සාදාගන්නා ආකාරය මම කියන්නම්. ඒ ඔෟෂධයේ නම "තුලසීපත්‍ර පැණිය". මේ පැණිය සාදාගන්නේ මෙහෙමයි. මදුරුතලා අමු කොළ අරගෙන හොඳින් පිරිසුදු කරලා කොටාගෙන එහි යුෂ මිරිකා පෙරාගන්න. මදුරුතලා යුෂ ප්‍රමාණය වගේ හරි අඩක් එයට සීනි මිශ්‍ර කරලා ළිපේ තබා පැණි පදමට එනතුරු රත් කරන්න. ඒ ආකාරයට මඳගින්නේ කකාරා ගත් තුලසිපත්‍ර පැණිය ළිපෙන් බා නිවුණු පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා මම පෙර සඳහන් කළ රෝග තිබෙන දරුවන්ට (වැඩිහිටියන්ටද කම් නැත) උදේ සවස තේ හැඳි එක බැගින් දිනපතා බොන්න දෙන්න. නාසයෙන් ලේ ගලන තත්ත්වයේ පීනසට වගේම කැස්සට, ඇදුමට, සෙම්ප්‍රතිශ්‍යාවටත් මේ ඔෟෂධීය පැණිය ගුණදායකයි."

"පිළිකාව කියන්නේ අද වන විට බහුල වශයෙන් සමාජගතව පවතින රෝගයක්. පෙණහලු පිළිකා, අක්මා පිළිකාවලට අද වන විට අපේ රටේ අහිංසක ජනතාව අතරින් විශාල පිරිසක් ගොදුරුවෙලා. පෙණහලු සහ අක්මා ආශ්‍රිතව හටගත් පිළිකා සුව කිරීමටත් එවන් පිළිකා හටගැනීමේ අවදානම නැති කිරීමටත් ඇති ප්‍රබලතම ඔෟෂධයක් තමයි මදුරුතලා කියන්නේ. මදුරුතලා පත්‍ර මඳ පවනේ වියළාගෙන තරමක් කුඩු කරලා සුළං නොවදින බෝතලයකට දමා තේ කොළ වෙනුවට උණුවතුරින් මදුරුතලා කොළ තම්බා ඔබට පානය කරන්න පුළුවන්. එම ඔෟෂධීය උණුසුම් බීම පානයට ගැනීම තුළින් හටගත් පිළිකා සුව කරනවා වගේම පිළිකා හටගැනීමේ අවදානමත් තුරන් කරනවා."

"කලින් කලට සමාජයේ විවිධ වෛරස් උණ වර්ග හට ගනී. ඒ සෑම උණ රෝග තත්ත්වයකදීම ක්‍ෂණික වේදනා නාශක පෙති භාවිතයට නොගෙන ශරීරයට හිතකර දේශීය ඔෟෂධයක් මදුරුතලාවලින් සාදාගන්නා ආකාරයද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. මදුරුතලා තම්බා පෙරාගත් වතුරට එනසාල් කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් මිශ්‍ර කරලා බොන්න. ඇඟ පත වේදනා වෛරස් උණ තත්ත්වයන් එයින් නිට්ටාවටම සුව වෙනවා."

"ඒ වගේම තමයි අපේ තරුණ දරු දැරියන් මුහුණපාන ප්‍රධානම ගැටලුවක් තමයි කුරුලෑ වසංගතය. වෙළෙඳපොළේ ඇති විවිධ රසායනික ද්‍රව්‍යය මුහුණේ ආලේප කළාම සමට හානි වෙනවා වගේම එහි අතුරු ආබාධයක් ලෙසට කුරුලෑ හටගන්නවා. එවන් කුරුලෑ හටගත් අය දිනපතා උදෑසන මදුරුතලා කොළ කොටා ගත් යුෂ කුරුලෑවල ආලේප කර පැයක පමණ කාලයක් රැඳී සිට මුහුණ සෝදන්න. දින කිහිපයක් මේ ක්‍රියාව කරනවනම් ඔබට පැහැපත්, නිරෝගී, ලප කැළැල්, කුරුලෑ ද නැති දිදුලන සමක් ලබන්න පුළුවන්. යමෙක් සර්ප දෂ්ටනයකට ලක් වුණා නම් ප්‍රතිකාර සඳහා ගෙන යෑමට පෙර සර්පයා දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා කොළවලින් ගත් යුෂ ආලේප කර ප්‍රතිකාර සඳහා රැගෙන යන්න. විෂ රඳවා තබා ගැනීමේ හැකියාවක් ඒ තුළ පවතිනවා."

මූලාශ්‍ර_රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන් 
ගස් තලා / ඕ තලා


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support