කුඩු මිරිස්ස වියළි කළාපයේ සුලභව හමුවන කුඩා කටු සහිත කාෂ්ඨීය වැලකි. ඇතැම් විට පඳුරක් ලෙසද දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 3ක් දරයි. ලංසාකාර හැඩයෙන් යුත් පත්‍රිකාවල යටි පැත්තෙහි සියුම් කටු පිහිටා තිබිය හැකිය. උස් බිම්වල සහ සහ පහත් බිම්වල වැවෙන කුඩු මිරිස්ස ශාකවල පත්‍ර අතර පැහැදිළි වෙනස්කම් දක්නට ලැබේ. කක්ෂීය හෝ අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල කහ හෝ සුදු පාට මල් පොකුරු ලෙස හට ගනී. කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පැහැයක් ගනී. කුඩු මිරිස්ස Rutaceae කුලයට අයත් ශාකයකි.
දේශීය වෙදකමේ මහඟු ඖෂධයක් වන මෙය මොළයේ ධමනි හා හෘදයේ කිරීටක ධමනි ගත ලේ කැටි හිරවීම්, තදවීම් හා පිපිරීම්, ලේ ගැලීම්, හෘද රෝග, සන්නි රෝග, කෝළ රෝග, මැලේරියා උණ, සන්නිපාත උණ, ආමවාත, බාලක පක්ෂාගාත, බිළිඳු රතගාය, තැල්ම, සර්ප විෂ, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී. ඖෂධ පිණිස ගැනීමේදී කුඩුමිරිස්ස ශාකයේ කොළ, දළු, පොතු, මල්, ගෙඩි ආදී සියලුම අංග භාවිතා කරයි. සූතිකා සන්නියට විශේෂයෙන් යොදා ගන්නා බව සඳහන් කර ඇත. සුලභව භාවිතයට ගනුයේ එවේලෙහිම නෙලා ගත් ශාක කොටස් වීම විශේෂත්වයකි. ඊට හේතුව කුඩු මිරිස්ස දේශීය චිකිත්සාවෙහි එන දළු අනුපාන හා අනුපාන වර්ග, ක්වාත සඳහා බහුලවම යොදා ගනු ලබන ශාකයක් වීමයි. මල්, ගෙඩි ආදිය පිරිසිදුව වියළා සුලං නොවදින බඳුන්වල අසුරා තැබිය හැකි වුවත් කල් නොයවා ප්‍රයෝජනයට ගත යුතුය.
කුඩු මිරිස්ස වා, සෙම් නස යි. අග්නිය වඩයි. ආහාර රුචිය උපදවයි. අතීසාර, ඉදිමුම්, වණ, උණ සමනය කර යි. ලේ වහනය නවත්වයි. තුන් දොස් සමනය කරන කුඩු මිරිස්ස දිව්‍යාංගනාදී තෛලයට, රත තෙලට, සන්නිරාජ තෛලයට සහ කුඩුමිරිස්ස තෙලට ගනු ලැබේ. මෙම මුලේ පොතු චූර්ණය, මැලේරියාව, වැනි උණ රෝගවලට ගුණදායකය. කුඩු මිරිස්ස ස්වරසය, මාත්තු පහ සීතාරාම ආදී ගුලි අනුපානයහි යෙදේ. මෙම දළු දේශීය ගුලි වට්ටෝරුවල මූලික ඖෂධයකි. කුඩු මිරිස්ස ස්වරසය උණ රෝගවලට යොදයි. අස්ථි භග්නයේ දී කුඩු මිරිස්ස කොළ, කහට කොළ හා පොතු, කහ දමා කොටා මලවා බැඳීමෙන් ඇට පෑස්සෙන බව සඳහන්. කුමාර ගුලියට හා ජීවානන්ද ගුලියට ද යොදන අනුපානුවට කුඩු මිරිස්ස දළු, පාවට්ටා දළු, නික දළු, බට කිරිල්ල දළු කොටා කෙසෙල් කොළේ ඔතා උණු අළුයට තබා තම්බා මිරිකා යුෂට ගුලි ලා දිය කර දීම පැරණි ප්‍රතිකාරයකි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන්