දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, September 23, 2018

ගොඩකිරිල්ල [Godakirilla] (Holoptelea integrifolia)

ගොඩකිරිල්ල මීටර් 25 දක්වා උසට වැඩෙන තරමක් විශාල ශාකයකි. පොත්ත අළු දුඹුරු පැහැති හෝ සුදු පාටට හුරු කොළ පාට වන අතර අප්‍ර‍සන්න ගන්ධයකින් යුක්ත ය. ළපටි කොටස්වල බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සීය-ආයත සිට ඉලිප්සීය-අණ්ඩාකාර වේ. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7.5-13 සහ පළලින් සෙ.මි. 4-8.5 දක්වා වර්ධනය විය හැකිය. පත්‍ර‍ දාරය සම්පූර්ණ වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිවෘ හෝ එසේ නොවිය හැකිය. පුෂ්ප මංජරියෙහි පිරිමි මල් සහ ද්වීලිංගික මල් මිශ්‍ර‍ව පිහිටා තිබේ. ඵලය පටලමය පියාපත් සහිත, පුලුල් අණ්ඩාකාර හැඩැති කරලකි. ඵලයක් තුල පැතලි එක් බීජයක් පමණක් පිහිටයි. ගොඩ කිරිල්ල ශාකය Ulmaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද මූලාශ්‍ර‍වල මෙම ශාකයේ භාවිතාවන් ගැන ප්‍ර‍කට තොරුතුරු හමු නොවුන ද දේශීය වෙදකමේදී කැඩුම් බිඳුම්, උලුක්කු, බාහිර රුධිර වහනය, ගඩු, දිවි මකුළු දෂ්ඨන, කණ්ඩමාල ආදී රෝග සඳහා ප්‍ර‍තිකාර කිරීමට ගොඩකිරිල්ල ශාකයේ පොතු, කොළ සහ මුල් භාවිතා කරයි. 

උලුක්කුවට, කල් ගත වූ තැලුම්වලට සහ බිඳුණු අස්ථි සන්ධානය වීමට ගොඩකිරිල්ල පොතු කහ, ලුණු සමඟ කොටා මළවා බඳියි. කැඩුම් බිඳුම් අවස්ථාවකදී රුධිර වහනයක් සිදුවූ විට මුරුංගා, වරා සහ ගොඩකිරිල්ල යන ශාකවල මුල් කොටා යුෂ ගෙන තුවාලයට වත් කිරීමෙන් රුධිරය ගලායාම නැවතී තුවාලය පෑහෙයි. දිවි මකුළු දෂ්ඨනයකට ලක්වූ රෝගීන් ස්නානය කරවීමට ගොඩකිරිල්ල කොළ තැම්බූ ජලය යොදා ගනියි. ගඩුවලට ගොඩකිරිල්ල පොතු, රුක්අත්තන පොතු සහ හීනටි හාල් එකට කොටා, රොටියක් ලෙස සකසා කබලේ තබා රත් කර ගඩුවට තබා බැඳීමෙන් ගඩුව සුව වෙයි. කණ්ඩමාල රෝගය සඳහා තෙල් සිඳීමේදී ගොඩකිරිල්ල පොතු යොදා ගනී. 

මූලාශ්‍ර‍_ තල්පතේ පිළියම් සහ වෛද්‍යාචාර්ය දේශබන්දු තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතාගේ කෘති ඇසුරෙන් 
සේයාරූ _ 1 අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 16, 2018

සෙනෙහෙකොළ [Senehekola] (Senna alexandrina)


සෙනෙහෙකොළ මීටර් 3 ක් පමණ උසට වැඩෙන පඳුරු අාකාර කුඩා බහු වාර්ෂික ශාකයකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර‍ ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍ර‍ක් දිගින් සෙ.මි. 5-16 පමණ විය හැකිය. සංයුක්ත පත්‍ර‍යක පත්‍රිකා යුගල් 9 දක්වා පිහිටයි. පත්‍රිකාවක් දිගින් සෙ.මි. 5 දක්වා සහ පළලින් සෙ.මි. 1 දක්වා වර්ධනය වන අතර පත්‍ර‍ හැඩය ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර වේ. ඒකාක්ෂ පුෂ්ප මංජරිය අග්‍ර‍ස්ථීය හෝ කක්ෂීය විය හැකිය. මල් පොකුරක දීප්තිමත් කහ පැහැති මල් 10-30 අතර සංඛාවක් පිහිටයි. නොපැලෙන කරලක් වන ඵලය තුල පැතලි හැඩැති බීජ 4-10 සංඛාවක් පිහිටා තිබේ. සෙනෙහෙ කොළ Fabaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

වටපණු රෝග, චර්ම රෝග, ළදරුවන්ගේ මලබද්ධය, අර්ශස්, අක්ෂි රෝග, හිස් හොරි ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සෙනෙහෙ ශාකයේ වියළි කොළ සහ කරල් භාවිතා කරයි. සෙනෙහෙකොළ ලේඛනීය, විරේචක, පිත සහ රුධිරය පිරිසිදු කරන, අනුලෝමන, වාත අනුලෝමන, පණුවන් බැහැර කරන, සමට හිතකර ආදී ගුණයන් සහිතයි. ධාත්‍රී චූර්ණය  සෙනෙහෙකොළ යොදා නිපදවන ඖෂධයකි. 

වටපණු රෝගයට සෙනෙහෙ ඇට සහ ඇසළ ඇට අඹරාගත් ප්‍රලේපය යොදා ප්‍ර‍තිකාර කරයි. චර්ම රෝග සඳහා සෙනෙහෙ කොළ පොල් විනාකිරෙන් අඹරා ආලේප කළ යුතුය. ළදරු විරේචනයට සෙනෙහෙ කොළ පාණ්ඨය කිරි දෙන මවට පානය කිරීමට දිය යුතුය. රළු කෝෂ්ඨයක් සහිත අයකුගේ මලබද්ධය සඳහා පත්‍ර චූර්ණය හෝ පාණ්ඨය අල්ප මාත්‍රාවෙන් යොදයි. තීක්ෂණ විරේකයට අති මාත්‍රාවෙන් පත්‍ර චූර්ණය හෝ පාණ්ඨය යොදා ගනී. සුඛ විරේචනයට සෙනෙහෙ කොළ පාණ්ඨය සීනි හෝ සූකිරි සමඟ බොන්නට දෙයි. ගැමියන් බඩ විරේක වීමට සෙනෙහෙ කොළ අරළු සමඟ තම්බා පානය කරයි. සෙනෙහෙ කොළ තම්බා ගත් වතුරෙන් හිස සේදීමෙන් හිස් හොරි මදර්ධනය වන අතර හිස කෙස් වර්ධනය වේ. සෙනෙහෙකොළ අධි මාත්‍රාවෙන් යෙදීමෙන් අන්ත්‍රවල ශ්ලේෂම පටලවලට හානි විය හැකි බැවින් අභ්‍යන්තරව යෙදීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව භාවිතා කළ යුතුය. සෙනෙහෙ කොළ භාවිතා කිරීමෙන් පසු ඇතැම් විට උදර වේදනා ඇති විය හැකි බවත්, එහිදී එනසාල්, කොත්තමල්ලි, කරාබු වැනි ඔසුවක් අල්ප මාත්‍රාවෙන් දිය යුතු බවත් සඳහන් කර ඇත. 

මූලාශ්‍ර‍ _ ඖෂධීය ශාක සංග්‍රහය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය
සේයාරූ _ අන්තර්ජාලයෙන් 
Share:

Tuesday, September 11, 2018

බිංනුග [Binnuga] (Tylophora indica)

බිංනුග වෙනත් ශාක මත ඉහල නඟින හෝ බිම වැතිරී වැඩෙන වැල් ශාකයකි. සම්මුඛව පිහිටන සරල පත්‍ර‍ පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර-ආයත වේ. පත්‍රයේ ඉහල පෘෂ්ඨය බූව සහිත හෝ සිනිඳු වන අතර යටි පෘෂ්ඨය බූවකින් වැසී හෝ සම්පූර්ණයෙන්ම සිනිඳු විය හැකිය. පත්‍ර‍ පාදය හෘදයාකාර ය. පත්‍ර අග්‍ර‍ තිවෘ හෝ මොට වන අතර තරමක් මාංසල ය. පුෂ්ප මංජරිය ඡත්‍රාකාර බහු අක්ෂයකි. මල් රෝස පාටට හුරු කොළ පාට ය. බිංනුග Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

අජීර්ණ, අර්ශස්, වාතරක්ත, අර්බුද, හෘද රෝග, අක්මා රෝග, පෙනහැල්ලේ ආසාදන, අතීසාර, ප්‍ර‍වාහිකා, වණ, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය‍, පොළොන් විෂ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා බිං නුග ශාකයේ කොළ, පොතු සහ මුල් භාවිතා කරයි. බිංනුග වමනකාරක, මුත්‍ර‍වර්ධක, දහදිය ඇති කරවන, පණුවන් නසන, සෙම ඉවත් කරන ආදී ගුණ සහිතයි. 

අතීසාර, කැස්ස, ඇදුම, හා ක්ෂය රෝගය ආදියට ප්‍ර‍තිකාර කිරීමේදී භාවිතා කරන කෂාය සඳහා වෙනත් ඖෂධ සමඟ යොදා ගනී. වමනය කරවීමට හෙවත් ළය විරේකයට බිංනුග මුල් චූර්ණය හෝ පත්‍ර‍ යුෂ එළකිරි සමඟ බොන්නට දෙයි. හිසේ වේදනාවට බිංනුග මුල් ඇල් දියෙන් අඹරා නලලේ ආලේප කරයි. පත්‍ර‍ සහ කඳේ නිර්යාස උසස් පිළිකා නාශක ගුණ පෙන්වන බව සඳහන්. 

මෙම වැල් සිංහල අවුරුදු චාරිත්‍ර‍වල හිස තෙල් ගෑමේදී  භාවිතා කරයි.  ගැමියන් යන්ත්‍ර‍ මන්ත්‍ර‍, යාග හෝම, තොවිල් කටයුතු ආදියේ දී භාවිතා කරන බව සඳහන්. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය 
සේයාරූ _ අන්තර්ජාලයෙන්
Share:

Monday, September 3, 2018

ගොඩපර [Godapara] (Dillenia retusa)



ගොඩපර මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය සදාහරිත ශාකයකි. මඳ බූවක් සහිත සරල පත්‍ර‍ ඒකාන්තරව පිහිටයි. දිගින් සෙ.මි. 8-21 සහ පළලින් සෙ.මි. 5-12 දක්වා වැඩෙන පත්‍ර‍ ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍ දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. පත්‍ර‍ තලය දිළිසෙන සුලු ය. අග්‍ර‍්ථීයව හට ගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති අලංකාරවත් මල් හට ගනී. ව්‍යාජ ඵලය රතු තැඹිලි පැහැති ය. ව්‍යාජ ඵලය මධ්‍යයේ පිහිටි නානුමය පල්පය තුල අණ්ඩාභ හැඩැති කුඩා බීජ රාශියක් පිහිටයි. ගොඩපර Dilleniaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. පර විශේෂවල ඵලය ගැන සහ මෙරටට වැවෙන පර වර්ග ගැන කෙටි හැඳින්වීමක්  හොඬපර ගැන පලවූ ලිපියට අතුලත් කර ඇත. 

ආයුර්වේදයට අනුව පක්ව ගොඩපර හා අපක්ව ගොඩපර යනුවෙන් වර්ග දෙකක් ගැන සඳහන් වේ. පිපාසය, දැවිල්ල, ඇදුම, උණ, අතීසාර, මුඛ රෝග, හිස කෙස් ගැලවී යාම, හිස් හොරි, කැඩුම් බිඳුම් ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා ගොඩපර ශාකයේ කොළ, පොතු හා ගෙඩි භාවිතා කරයි. ගොඩපර වාතය සමනය කරන්න, සෙම සහ පිත වර්ධනය කරන, හෘදයට හිතකර, කෘමිනාශක ආදී ගුණ සහිතයි. 

අතීසාරයට ගොඩපර කොළ සහ පොතු කෂාය බොන්නට දෙයි. විදුරුමසින් ලේ යාමේදී පොතු කෂායෙන් කට සේදිය යුතුය. ඇදුමට ගොඩපර කොළ යුෂ මී පැණි සමඟ දෙයි. උණට, විශේෂයෙන් පිත් කෝපයෙන් හට ගත් උණට සහ ඇදුමට ගොඩපර ගෙඩි යුෂ බීමට දෙයි.  අස්ධි සන්ධි පැනීමේදී හා අස්ථි බිඳීමේදී ඇති වන අධික වේදනාව සමනය කිරීම සඳහා ගොඩපර ගෙඩි යුෂ ආලේප කරයි. හිසකෙස් ගැලවී යාම, හිස්හොරි සහ උකුණන් ආදියට ගොඩපරගෙඩි යුෂ හිස ගල්වා සොදා හැරිය යුතුය. ගොඩපර ගෙඩි, දෙහි, උළුහාල් සමඟ තම්බා හිස සේදීමෙන් උකුණන් බෝවීම මර්ධනය වේ. ගොඩපර ගෙඩි කීපයක් ගෙන හොඳින් කොටා සබන් මෙන් පෙණ නගින අයුරින් වතුර සමඟ කලවම් කර හිස කෙස්වල අතුල්ලා සේදීම කෙස් පිරිසිදු කර ගැනීමට භාවිතා කළ පැරණි ක්‍ර‍මයකි.

ගොඩපර ලීය නිවාස සෑදීම ආදියේදී දැව අවශ්‍යතා සඳහා යොදා ගනී. ළපටි ගොඩපර මල් ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, August 26, 2018

සන්නිනායම් [Sanninayam] (Vernonia anthelmintica)

සන්නිනායම් සෘජු කඳක් සහිතව මීටර් 0.5-1.5 පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. දාර සහිත කඳේ බූවක් පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සාකාර-ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7-13 සහ පළලින් සෙ.මි. 2-5 පමණ වේ. පත්‍ර‍ දාරය තියුණු දැති අකාර වන අතර පත්‍ර‍ අග්‍ර‍ය තිව්‍ර‍හෝ අතිතීව්‍ර‍ වේ. පුෂ්ප මංජරිය සමතලීය ශීර්ෂකයකි. මල් නිල් දම් පැහැති ය. ඵලය චර්මලයකි. දිගැටි කුඩා බීජ කළු දුඹුරු පැහැති ය. සන්නිනායම් Asteraceae උද්භිද කුලයට අයත් අප රටට හඳුන්වාදී වගාකර ඇති ඖෂධීය වටිනාකම් රැසක් සහිත පැළෑටියකි.

සන්නිනායම් හැඳින්වීමට යොදන සෝමරාජි නම් පර්යාය නාමය බාකුචි (Cullen corylifolium) සඳහා ද යොදා ගන්නා බවත්, මෙම වර්ග දෙකේ ගුණවල සමානත්වයක් ඇතත් නිවැරදි ලෙස සෝමරාජි පර්යාය යෙදිය හැක්කේ සන්නිනායම් සඳහා බවත් විශේෂයෙන් සඳහන් කර ඇත.

පණු රෝග, කුසගිනි මදිකම, කුෂ්ඨ කණ්ඩු පාමා දද ඇතුළු චර්ම රෝග, රුධිර දෝෂ, මුත්‍ර‍ පිටනොවීම, කාන්තා රෝග, උණ, හික්කා, කැස්ස, ඇදුම, අක්ෂි රෝග, ගුල්ම රෝග, ඉදිමුම්, වාත රෝග, වණ ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සන්නිනායම් ශාකයේ ඇට, කොළ සහ මුල් භාවිතා කරයි. සන්නිනායම් පණුවන් නසන, චර්ම රෝග සුව කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍ර‍කාරක, විෂ නසන, විරේචක ආදී ගුණයන් රැසක් සහිතයි. සෝමරාජ තෛලය, සෝමරාජ සෘතය, මකුළු ඇට ආදි ලේපය සන්නිනායම් යොදා නිපදවන ඖෂධයන් ය.

ඉදිමුම්, කැසීම්, ලප කැලැල් ආදියට සන්නිනායම් ඇට අඹරා ගෑම හෝ ඇට දෙහි ඇඹුලින් අඹරා පැලැස්තර එළීම සිදු කරයි. බඩ පිපීම, උණ, කැස්ස, හික්කා, ඇදුම, අක්මා රෝග, ශරීර දුර්වලතාවය ආදියට සන්නිනායම් ඇට තලා ලබා ගන්නා යුෂ බීමට දෙයි. නිතර නාසයෙන් දියර ගැලීමට මෙම කොළ ඉස්ම බීමට දෙයි. සුදු කබර රෝගයට හිරියල් ග්‍රෑම් 4 ක් සහ සන්නිනායම් ඇට එමෙන් හතර ගුණයක් (ග්‍රෑම් 16) ගෙන ගව මුත්‍ර‍වලින් අඹරා ආලේප කළ යුතුය. සන්ධි ඉදිමීමට සන්නිනායම් මුල් සහ කොළ අඹරා ආලේප කරයි. කුසගිනි මදිකමට, මුත්‍ර‍ පිටනොවීමට සහ ශරීර ශක්තිය වර්ධනයට සන්නිනායම් ඇට චූර්ණය ග්‍රෑම් 10-30 ප්‍ර‍මාණයක් ජලය සමඟ පානය කළ යුතුය. මුත්‍ර‍ දැවිල්ල, උදර වේදනාව, උණ සහ මව්කිරි සම්බන්ධ ගැටළු සඳහා  සන්නිනායම් ඇට චූර්ණය යොදා ප්‍ර‍තිකාර කරයි. පක්ෂඝාත, ඉදිමුම් සහිත වණ ආදියට ඇට චූර්ණය අඹරා පැලැස්තර දමයි. කුෂ්ඨ සහ කිටභ රෝගයට ඇට චූර්ණය, කළු තල චූර්ණය සමඟ ග්‍රෑම් 3-4 ක් මඳ උණුසුම් ජලයෙන් අඹරා ආලේප යුතුය. 

සන්නිනායම් පණු රෝග බොහොමයක් සඳහා භාවිතා කරන ඵලදායී ඔසුවකි. වටපණු රෝගයට සන්නිනායම් ඇට චූර්ණය ග්‍රෑම් 40-60 ක්, මී පැණි ග්‍රෑම් 80-120 ක් සමඟ අනා කෑමට දෙයි. කොකුපණුවන්ට ඇට චූර්ණය ග්‍රෑම් 80 පමණ එඬරු තෙල් ස්වල්පයක් සමඟ දෙයි. සූත්‍ර‍ ක්‍රිමි හෙවත් කිරිපණු රෝගය සඳහා සන්නිනායම් ඇටවලින් ලබාගන්නා තෙල් (රෙසිනය) ග්‍රෑම් 5-10 දෙයි. රවුම් පණු රෝගයට සන්නිනායම් ඇට චූර්ණය සහ ඇත්තෝර ඇට චූර්ණය සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කළ යුතුය. 

සන්නිනායම් ඇට සත්ව වෙදකම සඳහා සුලබව යොදා ගන්නා ඔසුවක් බවත්, සතුන්ගේ උදර වේදනා, අජීර්ණ රෝග, බඩ පිපුම, උදර ඉදිමුම් ආදියට ඉතාම ගුණදායක බවත් සඳහන්. 

මූලාශ්‍ර‍_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, August 19, 2018

සේරු [Seru] (Premna tomentosa)

රේරු සහ බූ සේරු යනුවෙන්ද හඳුන්වන සේරු පඳුරක සිට මීටර් 4-16 දක්වා උසට වැඩෙන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳෙහි විශ්කම්භය සෙ.මි. 25-40 දක්වා විය හැකිය. පොත්ත අළු හෝ කහ පාටට හුරු තද දුඹුරු පැහැති ය. ළපටි අතුවල දුඹුරු පැහැති ඝණ බූවක් දක්නට ලැබේ. පතනශීලි සරල පත්‍ර ද්වීකාන්තරික සම්මුඛව පිහිටයි. පත්‍ර නටුව කහ පාටට හුරු ඝණ බූවකින් වැසී පවතී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-35 දක්වාත් පළලින් සෙ.මි. 2.6-22 දක්වාත් වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර සිට අණ්ඩාකාර-අායත විය හැකිය. පත්‍ර තලය දෙපසම කහ පාටට හුරු බූවක් දක්නට ලැබේ. අග්‍ර‍ස්ථීයව හට ගන්නා පුෂ්පමංජරිවල කුඩා සුදු පැහැති මල් රාශියක් හට ගනී. ඵලය ඉදුණු පසු කළු දම් පැහැයක් ගන්නා බදරියකි. සේරු Verbenaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

කැඩුම් බිඳුම්, සර්ප විෂ, තුවාල, අක්ෂි රෝග, දියවැඩියාව, බාහිර ලේ වහනය ආදියට ප්‍ර‍තිකාර කිරීම සඳහා සේරු ශාකයේ කොළ, මුල් පොතු ආදිය භාවිතා කරයි. මහ තුවාල තෙල, හෙනරාජ තෛලය සේරු යොදා නිපදවන ඖෂධයන් ය. 

සේරු කොළ අඹරා බැඳීමෙන් තුවාවලින් ලේ වහනය වීම නවතී. කැපුනු වණ සඳහා සේරු දළු, කුඩුමිරිස්ස කොළ සහ පොතු, වැල් කැප්පෙටියා කොළ සහ පොතු, පරණ ගොරකා, යකිනාරං කොළ යන මේවා පුළුස්සා අළු ගෙන කැපුනු වණයට ලෑම හෝ මෙම ඖෂධ වර්ග කොටා මලවා තුවාලයට තබා බැඳීම ප්‍ර‍ත්‍යක්ෂ ප්‍ර‍තිකාරයන් බව දක්වා ඇත. සේරු කොළ වියළා තේ මෙන් පානය කිරීම දියවැඩියාවට ගුණ බව සඳහන්. කැඩුම් බිඳුම් වෙදකමේදී කැඩුනු අස්ථි සවිවීමටත්, ඉදිමුම් බැසීමටත් සේරු දළු, කහ, ලුණු දමා කොටා මලවා බඳියි. ඕනෑම විෂකට සේරු, එරබදු, දියකිරිල්ල යන මේවායෙහි කොළ දෙහි ඇඹුලෙන් හෝ ලුණු දියෙන් අඹරා ආලේප කළ යුතුය. සේරු ලී කැඩුම් බිඳුම් වෙදකමේදී අස්ථි සකසා තබා බඳින පතුරු සෑදීමටත්, ඇතැම් කෂාය වර්ග සෑදීමේදී කෂාය කොටුව ලෙසත් භාවිතා කරයි. 

විදේශීයව දරු ප්‍ර‍සූතියෙන් පසු මවගේ සුවතාවය සඳහා සේරු මුල් සහ කොළ යෙදූ කෂාය භාවිතා කරන බවත්, කොළ තුවාල සඳහාත් පොතු පාචනය රෝගයටත් ප්‍ර‍තිකාර කිරීමට යොදා ගන්නා බවත්, වියළි සේරු ශාක කොටස් දළඹුවන් ගෑවීම නිසා ඇතිවන ආසාත්මිකතාවයන් සමනය කිරීමට යොදා ගන්නා බවත් සඳහන්. ගැමියන් කෙසෙල් කැන් ඉදවා ගැනීම සඳහාත්, හොද කොළ පොහොරක් ලෙසත් සේරු කොළ භාවිතා කරයි. සේරු ලී දැව සඳහා අවශ්‍යතා සඳහා යොදා ගත හැකි ය. 

මූලාශ්‍ර‍_ තල්පතෙ පිලියම්, ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන්
Share:

Monday, August 13, 2018

වැල්මදට [Welmadata] (Rubia cordifolia)

වැල්මදට සිහින් චතුරශ්‍රාකාර කඳකින් යුත් දිගු මූල පද්ධතියක් සහිත බහු වාර්ෂික වැල් ශාකයකි. මධ්‍යය රතු පැහැති, විගසින් කැඩී යන දුර්වල කඳ මීටර් 6 ක් පමණ දිගට වර්ධන වේ. කඳෙහි පැහැදිළි ගැට දැකගත හැකිය. ගැට අසලින් පත්‍ර සහ පර්ශු හට ගනී. පර්ශු මත කුඩා කටු වැනි ව්‍යුහ දැකගත හැකිය. අණ්ඩාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර හැඩයෙන් යුත් සරල පත්‍ර වලයාකාර ගොනු වශයෙන් පිහිටා තිබේ. බොහෝ විට එක් ගොනුවක පත්‍ර 4 ක් පිහිටන අතර ඇතැම් විට 6 හෝ 8 පමණ පිහිටන අවස්ථාද හමු වෙයි. පත්‍රයක් දිගින් සෙ.මි. 2-5 හෝ ඇතැම් විට 9 දක්වා වර්ධනය වන අතර පළල සෙ.මි. 1-1.25 හෝ ඇතැම් විට 4 දක්වා වර්ධනය විය හැකිය. පත්‍ර තලය මතුපිට සිනිඳු දැඩි බූවක් පිහිටයි. කෙටි ද්වීශාඛී බහු අක්ෂමය පුෂ්ප මංජරී අග්‍රස්ථීයව සහ කක්ෂීයව හට ගනී. පෙති 5 ක් සහිත කුඩා මල් කොළ පාටට හුරු කහපාට ය. කොළ පැහැති, මාංසල ඵලය මේරීමේදී දම් පැහැයටත්, හොඳින් ඉදුණු පසු කළු පැහැයට හුරු දම් පැහැයටත් හැරේ. සංස්කෘතෙන් මංජෂ්ටා යනුවෙන් ද හඳුන්වන වැල්මදට Rubiaceae උද්භිද කුලයට අයත් දුර්ලභ දේශීය ශාක විශේෂයකි. 

චර්ම රෝග, කුසගිනි මදිකම, ආහාර දිරවීමේ දෝෂ, අතීසාර, පණු රෝග, ප්‍රමේහ, රුධිරය දූෂණය වීම, රක්ත පිත්ත, වණ, පිලිකා, පිලිස්සුම් වණ, අංශභාග, පාණ්ඩුව, අභිඝාත ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැල්මදට ශාකයේ විශේෂයෙන් මුලුත්, මුල් සහිත සම්පූර්ණ වැලත් භාවිතයට ගනී. වැල් මදට කුෂ්ඨ නසන, දීපන, ස්තම්භන, පණුවන් නසන, මව්කිරි ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, ගර්භාෂය උත්තේජනය කරන, ආර්ථවය ඇති කරවන, ශරීර වර්ණය යහපත් කරවන, විෂ නසන, රසායන ආදී ගුණයන් සහිතයි. 

ලේ සමඟ මුත්‍ර පිටවීමට වැල්මදට සහ සුදුහඳුන් කෂාය බොන්නට දෙයි. පිළිස්සුම් තුවාල නිසා හටගත් වණවලට වැල්මදට, සුදුහඳුන්, මුරුවා මුල් යන මේවායෙන් පිසගත් ගිතෙල් ආලේප කළ යුතුය. සම මතුපිට ලප හා අසාමාන්‍ය වර්ණ ඇති වීමට වැල්මදට මුල් අඹරා සාදාගත් ප්‍රලේපය මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරයි. අස්ථි බිඳුම්වල දී ඇති වන වේදනාව සහ ඉදිමුම් සමනයට වැල්මදට සහ වැල්මී මුල් අඹරා කන්ජික සමඟ තලපයක් ලෙස ආලේප කළ යුතුය. වණ පිලිකා, පිළිස්සුම් ආදියට වැල්මදට, රත්හඳුන් සහ නියඳ මුල් සමව ගෙන ගිතෙල් සමඟ සාදා ගන්නා තලපය ආලේප කරයි. අභිඝාත සඳහා වැල්මදට මුල් විනාකිරෙන් අඹරා ආලේප කරයි. කුෂ්ඨවලට වැල්මදට මී පැණියෙන් අඹරා ආලේප කරයි. වැල් මදට චූර්ණය මී පැණියෙන් අනා ගෑමෙන් කුරුලෑ සමනය වේ. 

අප්‍රිකාවෙහි වැල්මදට කොළවල සහ මුලෙහි යුෂ පෙනහලු මතුපිට ඇති සියුම් චර්මාවරණයේ දැවිල්ල සහ පපුවේ වෙනත් දැවිලි ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. සියලූම ඖෂධීය තෙල් වර්ග භාවිතය සඳහා ප්‍රථමයෙන් පිළියෙල කිරීමේදී ඒවා වැල්මදට සමඟ තම්බා ගත යුතු බව සඳහන් කර ඇත. ගැමියන් වැල්මදට ගුප්ත බලපෑම්වලින් මිදීම සඳහා යොදා ගත හැකි බව විශ්වාස කරන අතර ඇස්වහ වැනි දෝෂවලින් මිදීමේ අරමුණෙන් කුඩා දරුවන්ගේ සහ සුරතල් සතුගේ ගෙලෙහි මෙම වැලක් බැඳ තබන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, August 5, 2018

මුරුවා [Muruwa] (Marsdenia tenacissima)

මුරුවාදූල් යනුවෙන්ද හඳුන්වන මුුරුවා මීටර් දෙකක් පමණ දිගට වැවෙන ඝන බූවක් සහිත ඉතා ශක්තිමත් බහු වාර්ෂික වැල් ශාකයකි. හෘදයාකාර හැඩැති තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර තලය දිගින් සෙ.මි. 7-18 සහ පළලින් සෙ.මි. 6-16 දක්වා වර්ධනය වේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨයේ සිනිඳු බූවක් ද, යටි පෘෂ්ඨයේ ඝන බූවක්ද පිහිටයි. බූව සහිත පත්‍ර නටුව සෙ.මි. 5-9 දක්වා දිගු වේ. කොළ පාටට හුරු කහ පාට ද්වීලිංගික මල් කක්ෂීයව හට ගනී. ඵලය සෙ.මි. 8 පමණ දිග දැඩි බූවක් සහිත සිලින්ඩරාකාර කරලකි. මුරුවා  Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන්, ගොනෝරියා අැතුළු චර්ම රෝග, මැලේරියාව, සෙංගමාලය, ආහාර අරුචිය, පණු රෝග, හෘද රෝග, දියවැඩියාව, සන්ධි ආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මුරුවා ශාකයේ කොළ, වැල සහ මුල් බාවිතා කරයි. මුරුවා කුෂ්ඨ සහ පණුවන් නසන, මව් කිරි ශෝධනය කරන, තුන් දොස් සමනය කරන ගුණ සහිතයි. 

හොරී ,දද,කුෂ්ඨ,කඩුවේගන් අාදී ශරීර ගත ලේ විශ වීමෙන් හා කෘමීන්ගෙන් බෝ වන රෝග වලට මේ දඩු තැම්බූ වතුරෙන් දිනපතා උදේ සවස තුවාල (බිබිලි) තුලට බෙහෙත් වතුර වදින සේ සේදිමෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකිය. මැලේරියා රෝගය සඳහා මුරුවා වැල් කලං 12 ගෙන පත අට එකට සිඳුවා උදෙ සවස දින කීපයක් පානය කිරීමෙන් එම රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකි බව සඳහන්. 

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ පලවූ සංවාදයක් ඇසුරින් (අදාල සංවාදය
ගෙඩි සහිත සේයාරුව_ වෛද්‍ය සංජීව රුපසිංහ මහතාගෙන්
Share:

Sunday, July 29, 2018

රුක්අත්න [Rukattana] (Alstonia scholaris)

රුක්අත්තන මීටර් 40 දක්වා උසට සෘජු කඳක් සහිතව වැඩෙන තරමක් විශාල වෘක්ෂයකි. අළු පැහැයට හුරු කඳෙහි මතුපිට පොත්ත සිනිඳු ය. ළපටි අතුවල වා සිදුරුවල සලකුණු දැක ගත හැකිය. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටයි. එක් ගොනුවක පත්‍ර 5-10 අතර සංඛාවක් දක්නට ලැබේ. පත්‍රයක දිග සෙ.මි. 5-28 සහ පළල 2.5-11 පමණ වේ. බහු අක්ෂ පුෂ්ප මංජරිය ඡත්‍රාකාර හැඩයක් ගනී. කුඩා මල් කහ පැහැයට හුරු සුදු පැහැතිය. ඵලය සෙ.මි. 30-45 පමණ දිග කරලකි. ගස් රුක්අත්තන යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය  Apocynaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. මෙම උද්භිද කුලයටම අයත් වැල් රුක්අත්තන නමින් ඔෟෂධ පිණිස ගන්නා වැල් වර්ගයක් ඇති අතර එම ශාකය පිළිබඳ වෙනම ලිපියක් මෙහි පලකර ඇත. 

වණ, කුෂ්ඨ රෝග, ඉක්කා, ප්‍රවාහිකා, කල්ගිය රක්ත අතීසාරය, මැලේරියාව, කැස්ස, ඇදුම, ස්තන්‍ය දෝෂ, දත්කැක්කුම, සර්ප විෂ, සන්ධි ඉදිමීම ආදියට ප්‍රතිකාර කිරීම සඳහා රුක්අත්තන ශාකයේ පොතු, කොළ, මල්, කිරි ආදිය භාවිතා කරයි. රුක්අත්තන දීපන, පාචන, කුෂ්ඨ නසන, පණු රෝග වලක්වන, වණ රෝපණය කරන, උණ නසන, රුධිරය සහ මව්කිරි  ශෝධනය කරන, සර්ප විෂ නසන ගුණ සහිතයි. තෛල, ක්වාත, ප්‍රලේප, වටී ආදී ලෙස රුක්අත්කන ශාක කොටස් යොදා නිපදවන ඖෂධ රැසක් ඇත.

කුෂ්ඨ රෝගයට රුක්අත්තන පොතු කෂාය බොන්නට දීම, රුක්අත්තන පොතු තැම්බූ වතුරින් ස්නානය කිරීම හා එයින් කුෂ්ඨ සේදීම ගුණය. දුෂ්ඨ වණයට රුක්අත්තන කිරි වියළා චූර්ණකොට වණවලට ඉසීයි. කැස්ස, ඇදුම සහ හිසේ රෝග සඳහා  රුක්අත්තන මල් ශිරෝ විරේචනයට යොදයි. හික්කා සහ ස්වාස රෝගයන්ට රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කරයි. මව්කිරි පිරිසිදු වීමට රුක්අත්තන පොතු චූර්ණය හා තිරිඟු පිටි සමව ගෙන උණුදියෙන් කළවම් කර ආලේප කරයි. සාන්ද්‍ර මේහයට රුක්අත්තන පොතු කෂාය යොදා ප්‍රතිකාර කරයි. 

උග්‍ර විෂ ඇති සර්පයින් දෂ්ඨ කළ පසු සිහි මූර්ජා වී දින ගණන් පසුවන බවත්, එවිට රෝගියා රුක්අත්තන ලී පෙට්ටියක දැමූ විට සිහිය එන බවටත් මතයක් පවතී. ඉතා සැහැල්ලු දැවයක් බවට ප්‍රකට රුක්අත්තන ලී පැන්සල්, ගල්ලෑලි, සංගීත භාන්ඩ, මීනී පෙට්ටි,  කරත්තවල වියගහ ආදිය නිපදවීමටත්, වෙස් මුහුණු කැපීමටත් යොදා ගනී. පැරණි ඉන්දීය ජන විශ්වාසයන්ට අනුව රුක්අත්තන ගස භූතාත්ම අරක්ගත් ස්ථානයක් ලෙස සලකයි. ඒ නිසා ඉන්දියාවේ ඇතැම් ජන කොටස් රුක්අත්තන  ගසක් අසලින් යෑමට පවා බියක් දක්වයි. රුක්අත්තන පරිසර දූෂණය අවම කිරීම සඳහා වැවීමට සුදුසු ගසක් ලෙස පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ _ අන්තර්ජාලයෙන්
Share:

Sunday, July 22, 2018

මලලබු [Malalabu] (Piper umbellatum)

මලලබු දියසීරාව සහිත පරිසර පද්ධති ආශ්‍රිතව මීටර් 1-2 පමණ උසට වැඩෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 3 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. කඳෙහි පැහැදිළිව පෙනෙන පර්ව දැකගත හැකි වන අතර පර්ව දෙකක් අතර දී කඳ තරමක් අක්වක් (zigzag) ආකාරයක් ගනී. හෘදයාකාර හැඩැති පත්‍රවල පත්‍ර තලය දිගින් සහ පළලින් සෙ.මි. 15 සිට 30 ක් දක්වා වැඩේ. පත්‍ර නටුව සෙ.මි. 14-32 පමණ විය හැකිය. ශුකියන් වන පුෂ්ප මංජරිය සෙ.මි. 5-10 පමණ දිගින් සහ සෙ.මි. 2.4-4  විශ්කම්භයකින් යුක්ත වේ. ඵලය ඉතා කුඩා මස්තකාකාර (top-shaped) බදරියකි. මලලබු Piperaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන් ඇතුළු චර්ම රෝග, කැඩුම් බිඳුම්, සන්ධි ගත රෝග, පිලිස්සුම්, සර්ප විෂ, වාත රෝග, ඉදිමුම්, බරවා රෝගය, ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග, මලබද්ධය ආදීයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මලලබු ශාකයේ කොළ භාවිතා කරයි. මල ලබු සන්ධි මෙලෙක් කරන, ඉදිමුම් නසන, විරෙචක, වමනකාරක ආදී ගුණ සහිතයි. 

කැඩුම් බිඳුම් වෙදකමේදී ඝන වූ සන්ධි මෙලෙක් කීරීමට මලලබු කොළ භාවිතා කරයි. මෙහිදී දියලබු මද හා මලලබු කොළ සමව ගෙන අමු කහ, ලුණු දමා කොටා අදාල ස්ථානයේ බැඳිය යුතුය. වාත රෝග සඳහා තෙල් සිඳීමට මල ලබු කොළ යොදා ගනී. දේශීය වෙදකමේ දී මලලබු කොළ පොල් සමඟ කොටා සිඳ ගනු ලබන මලලබු තෙල විරේක බෙහෙතක් ලෙස භාවිතා කරයි. මෙම තෙලින් පෙඟවූ පුළුන් කැබැල්ලක් නාභිය මත තැබූ පසු පහසුවෙන් බඩ විරේක වන බව සඳහන්. 

විදේශීයව අක්ෂි රෝග, පණු රෝග, උදරාබාධ, ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට, ගබ්සාවන් වැලැක්වීම ඇතුළු ගර්භාෂගත රෝග, සර්ප විෂ, පිලිස්සුම් නිසා හටගත් දියපට්ටා, ගුදමාර්ගය පහත්වීම, ගෙඩි, අධික රුධිර පීඩනය, කර්ණ රෝග, කැස්ස, දත් කැක්කුම, වකුගඩු රෝග, නීරක්තිය, ඉරුවාරදය, මුත්‍ර සහ වකුගඩු රෝග, සෙංගමාලය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මලලබු ශාක කොටස් යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. එමෙන්ම මෙම කොළ සහ පුෂ්ප මංජරිය ව්‍යංජනය ලෙස සකසා අහාරයට ගන්නා බවත්, ඉදුණු ගෙඩි රසවත් පළතුරක් බවත් ඒවායෙහි දක්වා ඇත.  

මූලාශ්‍ර_ "ඔසුපැළ හඳුනා ගනිමු" සමූහයේ පලවූ සංවාද ඇසුරෙන් (සංවාදය 1 සංවාදය 2) සහ අන්තර්ජාලයෙන්
විශේෂ ස්තුතිය_ සංවාදවලට අදහස් දැක්වූ විද්වතුන් ඇතුළු සැමට 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support