දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, July 13, 2015

පත්පාඩගම් [Pthpadagam] (Oldenlandia corymbosa)

ඉන්දියානු ආයුර්වේදයේ එන "පර්පටක" සඳහා මෙරටදී භාවිතා කරන ප්‍රමුඛ ශාක දෙකෙන් එකක් වන්නේ පත්පාඩගම්ය. දේශීය ශාකයක් වන මෙය වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල පත්පාඩගම් යනුවෙන් හඳුන්වා තිබුන ද මෙරට උද්භිද විද්‍යා මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ "වල් පත්පාඩගම්" නිමිනි. පැපිළිය යනුවෙන්ද හඳුන්වන පත්පාඩගම් පොළවට සමාන්තරව වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. බිම දිගේ සෙ.මි. 50 පමණ දුරට වර්ධනය වන මෙහි සම්මුඛව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 3 ක් පමණ දිගුය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. පත්පාඩගම් Rubiaceae කුලයට අයත් ශාකයකි. 

පර්පටක ලෙස මෙම ශාකයට අමතරව උද්භිද විද්‍යා මූලාශ්‍රවල පත්පාඩගම් යනුවෙන් හඳුන්වන Mollugo cerviana නම් දේශීය ශාකය ද මෙරටදී භාවිතා කරයි. එමෙන්ම සුළුනයි (Rungia repens) මයාණි (Justicia procumbens) Polycarpaea corymbosa නම් දේශීය ශාකය සහ Hedyotis corymbosa නම් මෙරට වැවෙන ශාකයක් ද පර්පටක වෙනුවට භාවිතා කිරීමට සුදුසු බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන් කර ඇත. 

සෙංගමාලය, රක්තපිත්ත, වාතරක්ත, කුෂ්ඨ ආදී චර්ම රෝග, උණ, මානසික අවපීඩනය, මුත්‍ර අඩස්සිය, කරකැවිල්ල, සිහිමඳ වීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය සහ ඉන්දියානු වෙදකමේදී මෙම සම්පුර්ණ ශාකයම භාවිතා කරයි. එමෙන්ම වෙනත් රටවල වෛද්‍යක්‍රමවල වෛරස් ආසාදන, පිළිකා, තුවාල, කුරුලෑ, ගෙඩි, ඇපෙන්ඩිසයිටිස්, ස්වාසනාළිකා ප්‍රදාහය, බඩවැල් ආශ්‍රිත රෝග, සෙංගමාලය අතුළු අක්මා රෝග, අක්ෂි ආබාධ, රුධිර වහනය, දත් කැක්කුම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගන්නා බව ද සඳහන් වේ. පත්පාඩගම් උණ සමනය කරන, මුත්‍රකාරක, කුසගිනි වඩවන, විෂබීජ නසන, රුධිර වහනය වලක්වන ගුණ සහිතයි. වාර්ෂික පැළෑටියක් හෙයින් ශාකයම ගලවා වියළා සංරක්ෂණය කර තබා භාවිතයට ගත යුතුය.

පත්පාඩගම් කෂාය පිත නිසා හට ගන්නා උණට බෙහෙවින් ගුණදායකය. එය උදරාබාධ සඳහා ද ප්‍රතිකාරයකි. පත්පාඩගම් ඒකීය ඖෂධයක් ලෙස ස්වරස, කල්ක, ක්වාත, ශීතකෂාය, චූර්ණ හා තරලසාර ලෙස නොයෙක් රෝගයන්හි භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
විශේෂ ස්තුතිය_ ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සචින් ජයනෙත්ති මහත්මාට
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support