දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, July 20, 2015

සමන්පිච්ච [Samanpichcha] (Jasminum officinale)


සමන්පිච්ච හෙවත් දෑසමන් සුවඳැති මල් අතරින් අග්‍ර යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එමෙන්ම එය හින්දූන්ද පූජනීයත්වයෙන් සලකනු ලබන මලකි. අප රටේ ගෙවතුවල සුලභව හමුවන මෙය බහුවාර්ෂික කාෂ්ඨීය වැල් ශාකයකි. වැල කප්පාදු කිරීමෙන් පඳුරක් ආකාරයට ද සකසා ගත හැකිය. පත්‍ර සහ ළපටි අතු තද කොළ පැහැතිය. මේරු කඳ අළු පැහැතිය. පක්ෂවත් පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. මල් ඉතා සුගන්ධවත් ය. මල්වල වර්ණය අනුව වර්ග දෙකක් දක්නට ලැබේ. මල් කැකුල ලා දම් පැහැති වර්ගය දෑසමන් ලෙස හඳුන්වන අතර තරමක් දුර්ලභ ය. එම මල පිපුණු පසු දළ (පෙති) යටි පැත්තෙහි ලා දම් පැහැයෙන් දැක ගත හැකිය. සුලභව හමුවන්නේ සම්පූර්ණ මල සුදු පැහැති වර්ගයයි. දෑසමන් සුවඳ විලවුන් කර්මාන්තයෙදී සුගන්ධ තෙල් සැදීමට බහුලව යොදා ගනී. සමන්පිච්ච Olacaceae කුලයට අයත් ශාකයකි.

මුඛ රෝග, දන්ත රෝග, වණ, කුශ්ඨ, මුත්‍ර අඩස්සිය, කණ් කැක්කුම, ආර්තවයේදී ඇතිවන සංකූලතාවයන්, ඉරුවාරදය, දියවැඩියාව ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ කොළ, මල්, මුල් ආදිය භාවිතා කරයි. සමන්පිච්ච සෙම් රෝග හා පිත් රෝග සමනය කරයි. මෙම ශාකයේ කොළ තම්බා ගත් ජලයෙන් තම මුව සේදිමෙන් මුඛ රෝග සුවවෙයි. විශේෂයෙන් ම දත් මුල් දියවන අයට සමන් පිච්ච කොළ තැම්බූ වතුරෙන් කට සේදිමෙන් එම පීඩාව මගහරවා ගත හැක. තව ද සමන් පිච්ච කොළ සහ මුල් යන දෙවර්ගයම තම්බා ගත් ජලයෙන් තුවාල සේදීමෙන් තුවාලවල කැසීම නැති වී තුවාල හොඳින් පිරිසිදු වේ. කොළ තම්බා ගත් ජලය කුෂ්ඨ නැසීමට ද යෝග්‍යයි. මල් මද පවනේ වේලා සූකිරි මිශ්‍රකර කුඩු කර තේ හැඳි එකක්‌ රාත්‍රී කාලයේ දී ජලයට මිශ්‍රකොට පානය කිරීමෙන් ශරීරයේ ධාතු බලයත් මතක ශක්‌තියන් වර්ධනය වන බව සඳහන්. කාන්තාවන් ගේ මාසික ක්‍රියාවලියේ දි හරිහැටි රුධිරය පිට නොවන්නේ නම් එසේ ම වේදනාව ඇති විට සමන් පිච්ච මල් , මුල් කෂාය කර පානයට දීම හිතකර වේ. මෙම මල් පරවීමට ප්‍රථම නෙලා ගත යුතුය.

එමෙන්ම ඇසේ කබ එකතු වීම, ඇස් රතුවීම, ඇස් රුදාව වැනි අක්ෂි රෝග අවස්ථා වලදී සමන්පිච්ච මල් යෙදූ වතුරින් ඇස් සේදීමට මෙරට ගැමියන් පුරුදුව උන්හ. ඒ සමන්පිච්ච මල්වල ඇති විශබීජ නාශක ගුණය ඔවුන් දැන සිටි නිසා විය යුතු ය. අද ද අක්ෂි රෝගවලින් සහනය ලබා ගැනීමට එවැනි දෑ භාවිතා කරයි. තවද ශරීරයේ දුඟද නැති කිරීම සඳහා සමන්පිච්ච මල් යෙදූ වතුරින් ඇඟ සේදීම ද, බිළිදුන් නාවන වතුරට සමන්පිච්ච මල් එකතු කිරීම ද ග්‍රාමීය ප්‍රදේශවල දැනුදු දක්නට ලැබේ. සමන්පිච්ච විෂබීජ නාශක, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, වාජීකරණ, වේදනා නාශක ආදී ගුණයන්ගෙන් සමන්විතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්   



Share:

2 comments:

Anonymous said...

Very valuable info.

Unknown said...

Great අපේ රටේ දේවල්

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support