
වණ, කුෂ්ට, අසාධ්‍ය ප්‍රමේහ, කරප්පන්, උදර්ද, කිලාස, වාත රෝග, අක්ෂි රෝග, හිසරුදා, හතිය, පපුවේ සෙම බැඳීම, ආමවාත, සන්ධි වේදනා, කැඩුම් බිඳුම්, අතීසාර, ප්‍රවාහිකා, මලබද්ධය, මුත්‍ර අඩස්සිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට දොඹ ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ඇට, මද, තෙල් සහ මැලියම් භාවිතා කරයි. දොඹ මලභේදක, මුත්‍රකාරක, රෝචක, අධිමානහර, ධාතු ඌෂ්ණහර, වණරෝපන, කෘමිනාශක, පෙනහැල්ලට හිතකර ආදී ගුණයන් සහිතයි.
අභිෂ්‍යන්ද්‍ය නම් අක්ෂි රෝගයට පිරිසිදු කරගත් දොඹ කොළ තම්බා ඇස් සේදීම සහ මල් ජලයෙහි බහා තබා ඇස් සේදීම සිදු කරයි. සන්ධිවල වාත වේදනාවන්ට සහ ඉදිමුම් ආදියට ඇට අඹරා ආලේප කරයි. දොඹ තෙල් ආලේප කිරීමත්, මුල් තම්බා සේදීමත් වණ සඳහා ප්‍රතිකාරයන් ය. අතීසාර, ප්‍රවාහිකා සහ රක්ත අර්ශස් යන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පොතු කසාය යොදා ගනී. දොඹ දලු තම්බා ඇස් සේදීමෙන් අපද්‍රව්‍ය ඉවත්වී ඇස පිරිසිදු වේ. දියමැටියන් කෑමෙන් කකුල්වල ඇඟිලි අතර වණ වූ විට දොඹ ඇට පුලුස්සා පොල්තෙල් සමඟ අනා ආලේප කළ යුතුය. එය වියගසට ගවයින්ගේ කර තුවාල වූ විට ද යොදන ප්‍රතිකාරයකි. ඇසෙහි කුඩා යමක් ඇණුන විට දොඹ දලු, බෝඹු දලු, පඹ දලු තම්බා ඇස සේදීමෙන් ඇණුන දේ ඉවත්ව යයි. පැරැන්නන් වාත වේදනා සමනය කර ගැනීම සඳහා දොඹ තෙල් ආලේප කර ඇත.
දොඹ ඇට මඳ කොටා, පැසෙහි බහා මිරිකා දොඹ තෙල් ලබා ගනී. දොඹ තෙල් දැව ආරක්ෂකයක් ලෙස ද භාවිතා කළ හැකිය. දොඹ දැව වටිනාකම අතින් ද ඉහල අගයක් ගන්නා ශාකයකි. නිවාස, නැව්, බෝට්ටු, කරත්ත තට්ටු, සිල්පර කොට, දුම්රිය මැදිරි, කරත්තවල ප්‍රධාන කඳ (බෝන් ලීය), නැව්වල කුඹගස, ආයුධවල මිටි ආදිය සෑදීමට දොඹ ලී යොදා ගනී. දොඹ තෙල් සිඳීමෙන් පසු ඉතිරිවන මුරුවට හොඳ කාබනික පොහොරක් ලෙස භාවිතා කළ හැකි ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
ස්තුතිය_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ මිතුරන්ට
සේයාරූ_ අන්තර් ජාලයෙන්