
දිවිපහුරු විශේෂයෙන් විෂ වෙදකමේදී භාවිතා කරන ප්‍රකට ඔසු ශාකයකි. දිවි මකුළු විෂට දිවිපහුරු කොළ දියසෙවෙල සමඟ අඹරා ගෑම ද, ඊටම දිවිපහුරු කොළ ,මකුළුවැන්න කොළ, මුඩමහණ කොළ, තල් කොළ, තල් පොතු, එරබදු පොතු, කිතුල් පොතු, කිතුල් මුල් සමව ගෙන පොල් සමඟ කොටා තෙල් සිඳ ආලේපය ද, බීමට දීමද, එම රොඩු වලින් දුම් ඇල්ලීම ද යහපත් බව සඳහන්. එමෙන්ම දිවි මකුළු විෂට
දිවිපහුරු කොළ යුෂ දෙහි ඇඹුලෙන් පෙවීම ද සුදුසු බව දක්වා ඇත. නාග විෂට හා මාපිල් විෂට දිවිපහුරු කොළ අඹරා කෑ මුඛයේ බඳිනු ලැබේ. පිස්සු බලු විෂට වැල සහමුලින් ගෙන කොට මිරිකා ගත් යුෂ බොන්ට දීම, නස්‍ය කිරීම හා කෑ මුඛයේ ගෑමත් යෝග්‍ය බව සඳහන්.
ඇස් වෙදකමේදී ඇසේ සුද කැපීමට දිවිපහුරු කොළ දිවිතෙලෙන් මළවා බැඳීම ද, දිවිපහුරු කොළ, පුපුල දළු, එඬරු දළු දොඩම් පැඟිරෙන් හා ගිතෙලින් අඹරා බැඳීම ද සිදු කරයි. නිලීකා නම් චර්ම රෝගයට දිවිපහුරු ඇට, පුහුල් කොළ යුෂයෙන් අඹරා ගෑම සුදුසු බව දක්වා ඇත. මීට අමතරව උණ, උදර රෝග, පිළිකා ආදී රෝග අවස්ථා වලදී ද විවිධාකාරයෙන් දිවිපහුරු යොදා ගනී. එමෙන්ම රස වෙදකමේ දී රසදිය ශෝධනය ට ද දිවිපහුරු භාවිතා කළ බව දක්වා ඇත. පිළිස්සුම්වලදී හට ගන්නා දිය බබුලුවල මෙම යුෂ ගෑමෙන් සුවය ලැබේ. පිළිස්සුම් තුවලවල දිවිපහුරු කොළ අමුකහ සමඟ අඹරා ගෑ යුතුය. තවද ඉන්දියාවේ දී, තුවාලය සුව කිරීම සඳහාත්, හිසරදය, ඉදිමීම්, බඹර විෂ, සර්ප දෂ්ට කිරීම්, කුරුළෑ ආදිය සඳහා ප්‍රතිකාර කිරීම සඳහාත් දිවිපහුරු භාවිතා කරයි. මෙම සම්පූර්ණ ශාකයම ඔසු පිණිස ගනී. විෂනාශක ගුණ සහිතයි.
මූලාශ්‍ර_ තල්පතේ පිලියම්, ඔසුතුරු විසිතුරු සහ වෛද්‍ය තෙරිපැහැ ආරියවංශ මහතාගේ කෘති ඇසුරින්