දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Wednesday, May 14, 2014

අරත්ත (Alpinia sp.)


රාස්නා හෙවත් අරත්ත වර්ග දෙකකි. එ් මහ අරත්ත සහ හීන් අරත්ත වන අතර වැඩිපුර බේතට ගනු ලබන්නේ හීන් අරතත ය. පෙළොව යට පිහිටි තරමක් සුඳැති රයිසෝමක් සහිත ශාකයකි. අඩි 3-4 උසැති ශාකයේ පත්‍ර අඩියක් පමණ දිග ය. සුදු පැහැති මල් පිපෙන අතර ඵලය කුඩා ය, තැඹිලි පාට ය. මෙය ලංකාව, ඉන්දියාව හා මලයා දූපත් වල වැවේ. අරත්ත Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ඖෂධීය වටිනාකම

මෙය සර්ප විෂ නසන ප්‍රශස්ත ඔසුවකි. වනයේ දී නාගයා සමග සටන් වදින මුගටියා විටින් විට අරත්ත ගස සපා තමන්ට නාගයාගෙන් වැදුන විෂ සමනය කරගනිතැයි මතයක් ඇත. නකූල හෙවත් මුගටියාට ආරක්ෂාව සපයන බැවින් නකුලී යන නාමය ද මෙම ශාකයට යෙදේ. අරත්ත විෂ නසනා ඔසුවක් මෙන්ම වාතය නසන්නකැයි ආයර්වේදය කියයි. පක්ෂගාත රෝගයට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධ වලට අරත්ත මුසු කෙරේ. අරත්ත රත්තවාතයට, බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාතයට ප්‍රබල ඔසුවකි. අරත්ත අල කටුකය, කුසගිනි වඩයි, කටහඬ යහපත් කරයි. අරත්ත අල යොදා තනා ගත් කෂාය උණ, වාත රෝග, පීනස් රෝග හා උදර රෝග සුව කරයි. "රාස්නා සප්තකය" "රාස්නා පංචකය" "මහා රාස්නා කෂාය" හා "රාස්නාදී තෛය" යන ඔෂධවල ප්‍රධාන අමුද්‍රව්‍යය අරත්තයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර 

Share:

අබිං (Papavar somniferum)



පොපි නමින් වඩාත් ප්‍රසිද්ධ මෙය අඩි 3 - 4 උසට වැඩෙන ශක්තිමත් වාර්ෂික ශාකයකි. මෙහි මල අඟල් 4 - 5 දක්වා පළල් වන අතර සුදු, ලා රතු හෝ දම් පාටින් යුක්තය. ඵලය කොටස් 8 - 12 දක්වා බෙදුන පැතලි මඬලක් සහිත සිනිඳු ගෝලාකාර ස්ඵෝටිකාවකි. ක්‍රි.පු. 1500 දී ලියන ලද මිසර පැපිරස් ලියවිල්ලක අබිං ගැන සඳහන් වේ. මේ ශාකයේ ජන්මභූමිය බටහිර ආසියාව වුවත් දැන් එය බොහෝ රටවල පැතිර ගොස් ඇත. ඉන්දියාව, චීනය, දකුණු ඇරිකාව සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයක එය වවනු ලැබේ. අබිං නම් ඔසුව/මත්ද්‍රව්‍යය සාදා ගනු ලබන්නේ මෙම ශාකයේ නොපැසුනු ගෙඩි වල කිරිවලිනි. පිහියකින් මෙම ගෙඩිවල සිහින් කේඳි ඇන්ද විට ඉන් පිටවන කිරි සුලඟට වියලී එහිම ඝන ද්‍රව්‍යයක් ලෙස රැඳෙන අතර අබිං යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඈත අතීතයේ සිටම ලෝකයේ බොහෝ රටවල වේදනාව සමනය කරන ඔසුවක් ලෙස අබිං භාවිතා වී ඇත. මේවන විට අබිං වල ඇති ඇල්කලොයිඩ විසිඑකක් හඳුනාගෙන ඇති අතර ඒවායින් මෝෆීන්, කෝඩීන් හා පැපවරීන් නම් තුන්වර්ගය ඖෂධ ලෙස භාවිතා කරයි.

ඖෂධීය වටිනාකම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව අබිං සංකෝචනකාරකය, ශක්තිජනකය, ශරීරය නිවා මේදය වඩවයි, වා පිත් සෙම් නසයි. අබිං ශරීර ගත වූ විට මත් ගතියක් දැනෙන අතර වාජීකරණ ගුණ සහිතය. කැස්සට ගුණය. වාතය වඩවයි. අධික ලේ වහනය මඩියි. අතීසාරයට දෙන "ජලසන්නිකපාලය"නම් බෙහෙත් ගුලියට අබිං ප්‍රමාණයක් එක් කරනු ලැබේ. ප්‍රමේහ රෝග රැසකට ඖෂධයක් වූ "ප්‍රමේහගජාංකුශය" නම් රසායන බෙහෙතට අබිං එක් කරනු ලබයි. යුනානි වෙදකමෙහි ද අබිං භාවිත වේ. එය මූත්‍ර වැඩි කරන ඔසුවකි. අතීසාරයට, පපුවේ රෝගවලට, කන් රෝගවලට, ඇස් රෝගවලට, උදර රෝගවලට, අැදුම අර්ශස් සහ මූත්‍රාශයේ ගල් සඳහා ප්‍රතිකාර වලට යොදා ගැනේ.

 මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
පොපි ඵලය
Share:

අරූද [Aruda] (Ruta graveolens)


යුරෝපය සහ ඉරානය නිජබිම ලෙස සැලකෙන අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දෙන ලද ඖෂධ පැළෑටියකි. මෙය දකුණු ඉන්දියානු සිද්ධ වෛද්‍ය ක්‍රමය හා අරාබීය යුනානි වෙදකමේ ප්‍රකට ඖෂධයකි. සෙ.මි 60-75 උපමණ උසට වැඩෙන කුඩා ශාකයක් ලෙස හෝ පඳුරක් ලෙස වර්ධනය වේ. අඳුරු කොළ පැහැති සංයුක්ත පත්‍ර එකාන්තරව පිහිටන අතර පහත පත්‍ර ත්‍රිපක්වෂත්ය. සමතලීය පුෂ්ප මංජරියක හට ගන්නා කහ පැහැති මල් ද්වීලිංගිකය. ස්ඵෝටිවක් වන ඵලය තුල කෝණාකාර බීජ රාශියක් පිහිටයි. මෙම ශාකයේ පත්‍ර සහ අතු ආවේනික සුවඳකින් (ගඳකින්) යුක්ත ය. අරූද Rutaceae කුලයට අයත් ශාකයකි. 

ඉදිමුම්, වණ නිසා ඇතිවන ඉදිමුම්, කණෙහි ඇතිවන වේදනාවන් ඇතුළු කරණ රෝග, සර්ප විෂ, වලිප්පුව, අපස්මාරය, ආමවාත, ස්වසන රෝග, ප්‍රතිශ්‍යාව, වේදනාකාරී දරු ප්‍රසූති, මුත්‍ර රෝග, පණු රෝග, විෂ සහිත කෘමී දෂ්ඨන ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අරූද කොළත්, අමතරව සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අරූද පණුවන් නසන,ගර්භාෂය සංකෝචනය කරන, ආර්ථවය ඇති කරවන, ගබ්සාකාරක, ඉදිමුම් නසන, විෂ නාශක, සෙම ඉවත් කරන ආදී ගුණයන් රාශියකින් සමන්විතයි.

අරූද තෛලය අරූද ශාක කොටස් යොදා නිපදවන ප්‍රකට ඖෂධයකි. හදිසි ගුණ දෙන ඖෂධයක් ලෙස සැලකෙන මෙය අපරදිග වෛද්‍යවරු හදිසි හිරිවැටීම වලට බාහිර ආලේපනයක් ලෙස යොදති. අරූද ශාකයේ ගුප්ත බලයක් ඇතැයි පවතින විශ්වාස නිසා එය ගුප්ත විද්‍යා කාර්යයන් සඳහා ද එවායින් ආරක්ෂා වීම සඳහා ද ගුප්ත ඖෂධයක් ලෙස භාවිතා කරයි. අරූද තෙල් දරුවන්ගේ හිසේත් පපුවේත් නිතර ආලේප කිරීම සඳහා භාවිතා කරන තෙලක් ලෙස යෙදේ. එමගින් දරුවන්ගේ පීනස සහ සෙම් රෝග සමනය වේ. ළමා පීනසයට සහ කැස්සට අරූද කොළ පුලුස්සා දුම් ඇල්ලීම ද ප්‍රතිකාරයකි. අරූද කොළ යුෂ, කලාඳුරු අල යුෂ සහ රතුලූනු යුෂ තලතෙල් යොදා සිඳ ගන්නා තෙල්ද අරූද තෙල් යනුවෙන් ව්‍යවහාර කරයි. එයද විශේෂයෙන් ළදරුවන්ගේ හිසට දැමීමට පාරම්පරිකව මෙරට මව්වරුන් භාවිතා කරන්නකි. මෙම කොළ තේ මෙන් සකසා පානය කල හැකිය. අරූද කොළ යුෂ ළමා පණු රෝග සඳහා ද යෙදේ. අරූද කොළ සුගන්ධය කාන්තාවන්ගේ කාමොද්දීපනය කරන්නක් බව සඳහන්.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
සේයාරූ_ අන්තර්ජාලයෙන්



Share:

අක්කපාන [Akkapana] (Kalanchoe pinnata)


නිවර්තන අප්‍රිකාව නිජබිම ලෙස සැලකෙන අක්කපාන ශාකය මෙරට බොහෝ ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන්හි බහුලව දැකගත හැකිය. මෙය සිංහලෙන් "පහණබෙය" යනුවෙන්ද හඳුන්වයි. මීටරයක් හෝ ඊට වඩා වඩා තරමක් උසට සෘජු කඳක් සහිතව වැඩෙන මෙම ශාකය මාංසල ස්වභාවයකින් යුක්තය. මෙහි පත්‍ර විවිධාකාරය. සරල මෙන්ම සංයුක්ත පත්‍රද දැකගත හැකිය. පත්‍ර දාරය දන්තූර හෝ සභංග වෙයි. විශාල පුෂ්පමංජරියේ විහිදී ගිය ශාඛා මත පහලට එල්ලෙන රතු පැහැති මල් දැකගත හැකිය. ඵලය පටලමය වරාවකි. මේරු අක්කපාන කොළ ගිලීහී පොළවට වැටීමෙන් පසු පත්‍ර දාරයෙන් මුල් ඇදෙමින් නව පැළෑටි බිහි වේ. අක්කපාන කොළ සලාදයක් ලෙස සහ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. අක්කපාන Crassulaceae කුලයට අයත් ශාකයකි.

අක්කපාන සඳහා යොදන පර්යාය නාමයක් වන්නේ පාෂාණභේද යන්නයි. ඒය මෙම ශාකයේ පවතින ගල් දියකිරීමට ඇති හැකියාව ප්‍රකට කරන්නකි. මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සිය, රකත් අර්ශස්, රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර, ඇස් රෝග, තැලුම්, අතීසාර, රක්ත අතීසාර, අර්ශස්, ගෙඩි, වණ, තුවාල, චර්ම රෝග ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී අක්කපාන කොළ යොදා ගනී.

අක්කපාන ශාකය තම්බා බීම හෝ එම කොල හීනියට ලියා සලාදයක් ලෙස සකසා අනුභව කිරීමත්, කොල වල යුෂ පානය කිරීමත් මුත්‍රා ගල් සඳහා ප්‍රතිකර්මයකි. අක්කපාන කොල අඹරා යටි බඩෙහි ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සිය සුව වන බව සඳහන් වේ. සෙම්ගෙඩි හෝ තදබල උගුරේ ආසාදනයක් නිසා උගුර රිදෙන විට අක්කපාන කොලයක් මැදින් කඩා විවර වූ පැත්ත ඇතුලට සිටිනසේ දිව මත තබා උඩුතල්ලට තද කර යුෂ උරා බිව් සැනින් ඒ වේදනාව පහ වී යන බව වෛද්‍ය සචින් ජයනෙත්ති මහතා සඳහන් කරයි. "වලපනේ රුපහ ගෙඩි වණ වෙදකමට ප්‍රසිද්ධ සුදුබන්ඩා වෙදමහතා ගෙඩියක් පලන්නට පෙර ස්ථානික නිර්වින්දනයට ආලේප කළ බෙහෙතේ ප්‍රධාන සංඝටක දෙකෙන් එකක් අක්කපාන (අනික ගැටතුඹ). මෙය වේදනා නාශකයක් ලෙස යොදා ගැනීම චීනයේ සහ කැරිබියානු දුපත් වාසින් අතරත් දකින්න පුළුවන්" යැයි එතුමා තවදුරටත් පවසයි. අක්කපාන රක්තශෝධක, වණ ශෝධන හා රොපණ, වේදනා නාශක ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත් 



Share:

අරළු [Aralu] (Terminalia Chebula‌)


අරළු මීටර් 30 ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකකි. කහ හෝ කහ - දුඹුරු පැහැති සිනිඳු බූවකින් යුත් ළපටි අතු පහතට එල්ලෙන සුලු ය. සම්මුඛ හො උප සම්මුඛ ආකාරයෙන් පිහිටන සරල පත්‍රයක් සෙ.මි 11 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර - ලන්සාකාර සිට පළල් ඉලිප්සාකාර ආකාරයකි. මෘදු සිනිඳු හෝ දැඩි බූවක් පිහිටයි. කක්ෂීය හෝ අග්‍රස්ථීය ශුකිවල හට ගන්නා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. එලය පළල් ඉලිප්සාකාර සිට උප ගෝලාකාරය. අපැහැදිළි මියර 5-10 සංඛාවක් පිහිටයි. ආයුර්වේද සහ දේශීය වෙදකමේදී ඉහල වටිනාකමක් ගන්නා අරලු ශාකය Combretaceae කුලයට අයත් ය. 

වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල අරළු ගෙඩියෙහි හැඩය ප්‍රමාණය ආදිය මත ප්‍රභේද ආකාර කිහිපයක් දක්වා ඇත. එක් වර්ගීකරණයකට අනුව අරළු ප්‍රභේද 7කි. විජයා නම් ප්‍රභේදය ලබු ගෙඩියක් වැනි වන අතර රෝහිණී නම් ප්‍රභේදය ගෝලාකාරය. පූතනා ප්‍රභේදය කුඩා වන අතර බීජය ප්‍රමාණයෙන් විශාලය. එහෙත් මාංසල බව අඩුය. අමෘතා ප්‍රභේදය මාංසලය සහ විශාල වන අතර ඇටය කුඩාය. අභයා ප්‍රභේදයේ ගෙඩියෙහි පැහැදිළි රේඛා 5කි. වේතකී ප්‍රභේදයේ සුදු කළු වශයෙන් වර්ග දෙකක් දක්වා ඇති අතර ගෙඩියෙහි රේඛා 3කි. ජීවන්ති නම් ප්‍රභේදය රන්වන් පාටය. චූර්ණය රන්වන් පාටට හුරු කහපාටක් වන මෙම වර්ගය ඖෂධ සඳහා විශේෂයෙන් සුදුසු යැයි සඳහන්. මේ හැර කුඩා අරළු, කහ අරළු, මහ අරළු යැයි තවත් වර්ගීකරණයක් ඇත.  

හරිතකී, අභයා, පථ්‍යා, අමෘතා, ජයා, විජයා ආදී පර්යාය නාම රාශියකින් හඳුන්වනු ලබන අරළු ත්‍රිපලා නම් ඖෂධයේ ප්‍රධාන සංඝටක තුනෙන් එකකි. අර්ශස්, මලබද්ධය, දත්මුල් දියවීම, විදුරුමසින් ලේ ගැලීම, බඩපිපුම, ගුල්මය, උදරාබාධ, ග්‍රහණි, රත්පිත් ආදී රෝග රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමේදී අරළු භාවිතා කරයි. වියළා ඇට ඉවත් කළ අරළු ගෙඩියේ පිට ලෙල්ල, අරළු ඇට මඳ, පොතු, ගැට අරළු (ළපටි අරළු ගෙඩි) ආදිය ඔසු පිණිස ගනී. බෙහෙත් වට්ටෝරුවල ගසේ පොතු හෝ අරළු ඇට මඳ යනුවෙන් සඳහන් නොවූ විට අරළු ගෙඩියම ඖෂධ සඳහා භාවිතා කළ යුතු බව සඳහන්.

සෙම් ප්‍රභල අවස්ථාවලදී සවින්ද ලවණ සමග ද, පිත් ප්‍රභල අවස්ථාවලදී ශර්කරා (සීනි) සහ සූකිරි සමඟ ද, වාත ප්‍රභල අවස්ථාවලදී ගිතෙල් සමඟ ද, තුන් දොසින් උපන් රෝගවලට ගූඩ සමඟ ද අරළු යෙදිය යුතු බව දක්වා ඇත. අරළු ගෙඩි හෝ පොතු චූර්ණ කර සාදා ගන්නා ලේපය ඉඳිමුම් සහ වේදනාව නසන, වණ ශෝධන සහ රෝපණ ගුණයෙන් යුතු නිසා ගෙඩි පැසවීමට ගන්නා බාහිර ආලේප සඳහා යෙදේ. දත්මුල් දියවීමට සහ විදුරුමසින් ලේ ගැලීමට අරළු කෂායෙන් කට සේදීම හා අරළු යන්තම් රත්කර සියුම්ව චූර්ණය කර දත් මැදීම ප්‍රත්‍යයක්ෂ ප්‍රතිකාරයකි. අරළු ඇසට හිතකරය. අරළු සෝදා පිරිසිදු ලෙස තම්බා පෙරා ගත් ජලය ඇස සේදීම සඳහා අගනා ඖෂධයකි. වමනයට අරළු මී පැණි යෝගය, මලබද්ධයට අරළු චූර්ණය, අර්ශස් රෝගයට අරළු කසාය හෝ අරළු, ගුඬ (උක් හකුරු) සමඟ වැළදීමෙන් සුවය ගෙනෙයි. අරළු ගිතෙලින් බැද එම ගිතෙල් පානය හා එම බැදගත් අරළු චූර්ණ කර භාවිතා කිරීම රසායන ප්‍රතිකාරයකි. මෙවැනි ඖෂධීය භාවිතාවන් රාශියක් සහිත අරළු මුත්‍ර කාරක, ඉදිමුම් නසන, වේදනා නසන, පණුවන් නසන, වණ ශෝධනය හා රෝපණය කරන රසායන ආදී ගුණයන් රාශියකින් යුක්ත ය. 

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
වියළි අරළු

Share:

කටුවැල්බටු [Katuwelbatu] (Solanum virginianum)


මෙය ඇලෙන සුළු තියුණු කටු සහිත කුඩා පඳුරුමය ශාකයකි. සෙ.මි 20 - 40 පමණ උසට වැඩේ. පොළවට සමාන්තරව වැඩෙන ශඛාවල දීප්තිමත් කහ පැහැයෙන් යුතු තියුණු කටු ඇත. පක්ෂවත් සරල පත්‍රයක් දිග සෙ.මි 10 සහ පළල සෙ.මි 9 දක්වා වර්ධනය වේ. පත්‍ර නටුවේ සහ පත්‍ර නාරටිවලද තියුණු කටු තිබේ. පුෂ්ප මංජරියෙහි දම් පැහැති මල් කීපයක් දරයි. කොළ පැහැති වටකුරු ඵලය ඉදුණු පසු කහ පැහැයක් ගනී. ඒ තුල කහ පැහැති සුමට බීජ රාශියකි. වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල හීන් කටුවැල්බටු සහ මහ කටුවැල්බටු යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති බවත් දුර්ලභව සුදු මල් පිපෙන වර්ගයක්ද හමුවන බවත් සඳහන් කර ඇත. මෙරට වැවෙන දේශීය ශාකයක් වූවත් ඖෂධ සඳහා සුලභව ආනයනය කරන ශාකයක් බවටද පත්වී ඇති කටුවැල්බටු Solanaceae කුලයට අයත් ය. 

ක්ෂය රෝගය, ඇදුම, උගුරේ ආබාධ, කැස්ස, වමනය, පණු රෝග, අපස්මාරය, උඳුගොව්වා කෑම, දද, කුෂ්ට, හොරි, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල් ආදී රෝග අවස්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කටුවැල්බටු මුල්, මල්, ගෙඩි සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කණ්ඨකාරී ක්වාතය, නිධිග්ධිකාදී ක්වාථය, කණ්ඨකාරී ස්වරසය, කණ්ඨකාරී කල්කය, කණ්ඨකාර්යාවලේහය, කටුවැල්බටු මල් රේණු චූර්ණය, දශමූලාරිෂ්ටය, දශමූල ක්වාතයථය, පංච තික්ත සෘතය ආදීය කටුවැල්බටු යොදා නිපදවන ඖෂධයන් ය.

ඇදුම රෝගීන්ට කටුවැල්බටු කෂාය හා සෘත වශයෙන් යෙදීමත්, කටුවැල්බටු, මී පැණි, පෙරුම්කායම් අඹරාගත් කල්කය දීමත් සිදු කරයි. කල්පවතින කැස්සට කටුවැල්බටු සම්පූර්ණ ශාකයම කෂාය කර බීමට දෙයි. ස්වර භේදයට (උගුර බැරැන්ඩියට) කටුවැල්බටු මුල්, එළබටු මුල්, දේවදාර, කොත්තමල්ලි, වියළි ඉගුරු කෂාය කර බීමෙන් සුවය ලැබෙයි. කටුවැල්බටු ගෙඩි යුෂ මී පැණි සමඟ ගැනීම මුත්‍ර අඩස්සයට සම මුත්‍ර ගල් සඳහා ප්‍රතිකාරයකි. මෙම ඇට චූර්ණය අඹරා ගෑමෙන් උඳුගෙව්වන් කෑම සුව වෙයි. දරුණු ඇදුම රෝග තත්වයට "කණ්ඨකාර්යාවලේහය" ඉතාම ගුණදායක ඔසුවක් බව දක්වා ඇත. කටුවැල්බටු වේදනා නාශක, මුත්‍ර කාරක, කුසගිනි වඩවන, වාජීකරණ සහ පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්



Share:

අත්තන [Attana] (Datura metel

අත්තන මීටරයක් පමණ උසට වර්ධනය වන කුඩා බහුවාර්ෂික ශාකයකි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිග සෙ.මි. 15 ක් සහ පළල සෙ.මි. දක්වා වර්ධනය වේ. පත්‍රවල සහ ළපටි කොටස්වල සියුම් බූවක් පිහිටයි. නලාවක හැඩයෙන් යුත් විශාල මල් විවිධ වර්ණයන්ගෙන් දැක ගත හැකිය. මලේ වර්ණය සහ දල පත්‍රවල ස්ථර ගණන අනුව ප්‍රභේද කිහිපයක් හමුවෙයි. මල්, කඳ සහ පත්‍ර නටු තද දම් පැහැයට හුරු වර්ගය කළු අත්තන නම් වේ. එළ අත්තනවල  මල් සුදු පැහැතිය. මල ස්ථර තුනකින් යුත් වර්ගය තුන්බෝ අත්තන නමින් හඳුන්වයි. අත්තන ඵලය තියුණු නොවන කටු වලින් ගහන මාංශල ස්ඵෝටිකාවකි. ඒ තුල බීජ රාශියක් පිහිටයි. අප රටට හඳුන්වාදෙන ලද ශාකයක් වන අත්තන Solanaceae උද්භිද කුලයට අයත් ය. 

මෙම Datura උද්භිද ගණයටම අයත් අත්තන වැනිම Datura stramonium යන උද්භිද නාමය සහිත මෙරටට හඳුන්වාදුන් තවත් ශාකයක් ඇති අතර එයට කියන සිංහල නමක් ගැන සඳහනක් නොමැත. මෙම කුලයටම අයත් විසිතුරු ශාකයක් ලෙස වගා කරන, විවිධ වර්ණයන්ගෙන් මල් හට ගන්නා රට අත්තන නමින් හඳුන්වන ශාකයක්ද ඇති අතර එහි ද තුන්බෝ අත්තනවල මෙන් ස්ථර කීපයක් සහිත මල් හට ගන්නා නිසා ඖෂධ සඳහා භාවිතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එම රට අත්තන ශාකය මීට කලකට පෙර Datura suaveolens යන උද්භිද නාමයෙන් හැඳින්වූ අතර වර්ථමානයෙහි Brugmansia suaveolens  නමින් හඳුන්වා ඇත. එහි ඵලය අත්තනවල මෙන් කටු නොමැති අතර දිගැටි කරලක් වැනි ආකාරයකි. 

වණ නිසා හටගත් ඉදිමුම්, ආමවාතය නිසා හටගත් සන්ධි ඉදිමුම්, බෙල්ලේ ග්‍රන්ථි ඉදිමීම්, ගෘධ්‍රසි, පියයුරුවල ඇති වන වේදනාවන්, ඔසප් වේදනා, හෘද වේදනා, අක්‍රමවත් හෘද සපන්දනය, වාත රෝග, සෙම් රෝග, හිසරදය, කැස්ස, ඇදුම, උදර වේදනා, කුසගිනි මදිකම, අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස්,  මුත්‍ර මාර්ගය ආශ්‍රිත වේදනා, වකුගඩු ගල්, උඳුගොව්වා කෑම, සම මතුපිට හටගන්නා ගෙඩි, මානසික ආබාධ, පිස්සු බලු විෂ, බරවා රෝගය, කණේ රෝග, ලේ පිටවන අර්ශස්, අකලට හිසකෙස් වැටීම සහ හිස්හොරි, වෘෂණකෝෂ ඉදිමීම, ලිංගික අප්‍රාණිකත්වය ආදී රෝග අවස්ථා රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී අත්තන ශාකයේ කොළ, මුල්, දඬු, මල්, ගෙඩි ඇට ආදිය භාවිතා කරයි. ඖෂධීය භාවිතාවේදී කළු අත්තන ගුණයෙන් අධික බවත් එහිද බීජ සහ කොළ ප්‍රමුඛ වන අතර බීජ වඩාත් ගුණයෙන් ඉහල බවත් සඳහන් කර ඇත. ආසව, සුරාසව, තෛල, වටිකා ආදී කාණ්ඩයන්ට අයත් සංස්කාරික ඖෂධ රැසක් අත්තන යොදා නිශ්පාදය කරයි. අත්තන පංචාංගය යොදා නිපදවන කනකාසවය නම් ඖෂධය කැස්ස, ඇදුම, ක්ෂය රෝග, රත්පිත,ක්ෂත ආදී රෝග රැසකට ගුණය.  

වණ, ආමවාත වැනි රෝගවලදී ඇති වන ඉදිමුම් සහිත වේදනාවලට අත්තන යොදා සිඳගත් තෙල් ආලේප කරයි. කළු අත්තන කොළ අඹරා ආලේප කිරීමෙන් පියයුරුවල වේදනාවන්, ප්‍රදාහ නිසා හටගත් ඉදිමුම් සුව වෙයි. අධික ලෙස තන කිරි වැගිරීමේදී අත්තන කොළ පැලැස්තරය හෝ කොළ නටන උණුවතුරෙහි ලා තැවීම ප්‍රත්‍යක්ෂ ප්‍රයෝගයක් ලෙස දක්වා ඇත. ඔසප් වේදනාවට අත්තන කොළ අඹරා යටි බඩෙහි පැලැස්තර යොදයි. උඳුගොව්වා කෑමට අත්තන කොළ යුෂ ආලේප කරයි. කණ් කැක්කුමට අත්තන කොළ යුෂ කණට වත් කරයි. උන්මාද රෝග සඳහා අත්තන මුලේ පොතු භාවිතා කරයි. පිස්සු බලු විෂට ප්‍රතිකාර කිරීමේදී දේශීය වෛද්‍යවරු අත්තන මල්, මුල් සහ කොළ යුෂ විවිධ යෝග සඳහා යොදා ගන්නා බව සඳහන්. ඇදුම රෝගයට වියළා කුඩුකර ගත් අත්තන කොළ සහ දඬු වූර්ණය යොදා සාදාගත් දුම් වැටියක් ඉරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයක් ලෙස දක්වා ඇත. යුනානි වෙදකමේදී ලිංගික බෙලහීනතාවය සඳහා අත්තන ඇටවලින් නිපවූ ඖෂධ බාහිරව සහ අභ්‍යන්තරව යොදයි. 

විශේෂයෙන් අත්තන ඇට ඇතුළුව අත්තන ගසේ කොටසක් විෂ සහිත බැවින් පිළිගත් සම්මත ක්‍රමවලට අනුව ශෝධනය කර භාවිතයට ගත යුතුය. අත්තන ඇටවල විෂ ඉවත්කිරීම සඳහා ගව මුත්‍රවල බහා යාම සතරක් (දිකන්) තබා පොතු ඉවත් කර භාවිතයට ගත යුතු යැයි දක්වා ඇත. එමෙන්ම මැටි මුට්ටියක එළකිරි දමා අත්තන ඇට පොට්ටනියක් එහි ගිලෙන සේ එල්ලා, තවත් මැටි මුට්ටියකින් වසා පැය තුනක් පමණ තම්බා උණු වතුරින් සෝදා ගැනීමෙන්ද ශෝධනය වේ. එය දෝලා පාක ක්‍රමය නම් වන අතර එම ඇටවුම දෝලා යන්ත්‍රය නමින් හඳුන්වයි. අත්තන ඇට මත්වන ස්වභාවයෙන් යුක්ත හෙයින් ශරීරගත වූ කළ සිහිය විකෘවීම, දිව හා උගුර වියෑළීම, ඇස් රතු පැහැ ගැන්වීම ආදී සංකූලතාවයක් ඇති විය හැකිය. විෂ මර්දනය සඳහා නිසි ප්‍රතිකාර නොකළහොත් මරණය පවා සිදු වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක කුකුරුමාන් කෂාය වැනි වමනකාරක ඖෂධයකින් වමනය කරවා ආමාශය ශුද්ධ කළ යුතුය. වමනය නැවතුනු පසු ගිතෙල්, නවනීත (වෙඬරු) සහ දොවාගත් විගස එළකිරි පානය කරවිම සුදුසු ය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
තුන්බෝ අත්තන - සේයාරුව වෛද්‍ය ප්‍රදීප් සුරංග 
Share:

අතුකැටිය (xylopia parviflora)

මෙය අඩි 2-3 පමණ උස් ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. මල් තද කහ පාට ය. මල් වල බූවක් නැත. ඝන කොට නටුවකින් යුතු ඵලය අඟල් 1-1 1/4 දක්වා දිග ය. එහි දිගැටි ඇට කීපයක් තිබේ. මෙය ලංකාවට ආවේනික ශාකයකි. ලංකාවේ ද මෙය වැවෙන්නේ මීගමුව හා කළුතර වැනි පහතරට තෙත් ප්‍රදේශවලයි. මල් හට ගන්නේ සැප්තැමිබර් මාසයේ දී ය. මුල්, පොත්ත, මල් හා ගෙඩි සුවඳවත් ය. ලීය අළු පාට ය. අතුකැටිය Annonaceae කුලයට අයත් ශාකයකි. 

අතුකැටිය මුල් වෙනත් ඔසු සමඟ යොදා ඖෂධ තැනීමටත්, තනිකර ඖෂධයක් සේත් ගැනේ. මෙහි මුල් තිත්ත ය, කටුකය, ඌෂ්ණ ගුණ ඇත්තේ ය, විෂ නාශක ය, උදර ගත පණුවන් නසයි. සර්ප විෂ සහ පිස්සු බලු විෂ සඳහා කෙරෙන ප්‍රතිකාර වල දී අතුකැටිය අන්‍ය ඖෂධ ශාක හා බෙහෙවින් යොදනු ලැබේ.


මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය
සේයාරූ_ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන් සහ අන්තර්ජාලයෙන් 
Share:

අට්ටික්කා [Attikka] (Ficus racemosa)

අත්තික්කා, උදුම්බර, දිඹුල් ආදී නම්වලින් හඳුන්වන අට්ටික්කා මීටර් 30 ක් පමණ උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ගංඟා, ඇල ඉවුරු සහ කුඹුරු ආශ්‍රිතව සුලභව හමු වෙයි. අලු පැහැති ගණකම් පොත්ත ඇතුලතින් රෝස පැහැයට හුරු දුඹුරු පැහැති වන අතර කිරි සහිත ය. ළපටි අතු හා රිකිලිවල සුදු පැහැති සියුම් බූවක් දක්නට ලැබේ. මි.මි. 12 පමණ වන උප පත්‍ර බොහෝ විට අප්‍රපතනව ළපටි රිකිලිවල ඉතිරිව පවතී. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 6 සිට 20 දක්වා දිගු විය හැකිය. පත්‍ර හැඩය ඉලිප්සාකාර සිට උප අණ්ඩාකාර දක්වා වෙනස් වේ. ප්‍රධාන අතු මත සහ කඳේ විශාල පොකුරු ලෙස ඵල වන් පුෂ්ප මංජරි හට ගනී. එහි ඇතුලත බිත්තියෙහි වර්ග තුනකින් යුත් ඒක ලිංගික පුෂ්ප පිහිටා ඇත. එම පුෂ්ප, පුෂ්ප මංජරියෙහි පහලින් ඇති කුඩා සිදුර තුලින් ඇතුලට පිවිසෙන කෝඳුරුවන් වැනි කුඩා සතුන් මඟින් පරාගනය වීමෙන් අට්ටික්කා සංයුක්ත ඵල (ගෙඩි) හට ගනී. ඉදුණු ගෙඩි රතු පැහැතිය. අට්ටික්කා Moraceae උද්භිද කුලයට අයත් ශාකයකි.

ආයුර්වේද මූලාශ්‍රවලට අනුව නදී උදුම්බර සහ කාකොදුම්බර යනුවෙන් අට්ටික්කා ප්‍රභේද දෙකක් ඇති බව සඳහන්. රක්ත අතීසාරය, රක්ත ප්‍රවාහිකා, ග්‍රහණි, රක්ත ප්‍රදර, රත්පිත්, වේදනා සහිත වණ, තුවාල, ස්ත්‍රි රෝග, සමෙහි ඇති වන ලප කැළැල්, දියවැඩියාව, විදුරුමස් ඉදිමීම, මුත්‍ර රෝග, අතීසාරය, අර්ශස් අදී රෝග රාශියකට ප්‍රතිකාර කිරීම සඳහා අට්ටික්කා කොළ, පොතු, ගෙඩි, මුල් කිරි යනාදිය භාවිතා කරයි. උදුම්බර ඝණ සාරය, උදුම්බර පැණිය, උදුම්බර ක්වාතය, උදුම්බරා තෛලය අට්ටික්කා යොදා නිපදවන ඖෂධයන් ය. උදුම්බර පැණිය ශරීරයේ රුධිරය පිටවන රෝගවලට එනම් රක්ත අර්ශස්, ශරීරයේ රුධිරය අපිරිසුදු වීම ආදියට මෙන්ම අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයටත් ඉතාම ගුණදායක ය.

රත්පිතට, රක්ත ප්‍රදරයට සහ ශුක්‍ර මෝචනයට අත්තික්කා ඉදුනු ගෙඩි අඹරා මිරිකා ගත් යුෂට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම, සහ ඉදුණු අත්තික්කා ගෙඩි යුෂ හෝ කෂාය හෝ ශීත කෂාය පානය කිරීම ගුණදායක ය. රක්ත අතීසාරට, රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර, ග්‍රහණි ආදියට අත්තික්කා පොතු කෂාය යොදයි. ඉදිමුම් වේදනා සහිත වණවල අත්තික්කා කිරි ආලේප කරයි. අත්තික්කා දලු අඹරා ආලේප කිරීමෙන් සමෙහි ඇති වන ලප කැළෑල් මැකී යයි. තුවාල සේදීමට අත්තික්කා කොළ තැම්බූ වතුර යොදා ගනී. අත්තික්කා පොතු හෝ ගෙඩි තැම්බූ ජලය පානය කිරීමෙන් රත්පිත සමනය වේ. පැසුණු අත්තික්කා ගෙඩි යුෂ පානය කිරීමෙන් ශරීරය සිසිල්වී පෘෂ්ටිමත් භාවය ඇති කරයි. අට්ටික්කා පොතු කෂාය විදුරුමස් ඉදිමුම සහ මුඛ දුර්ගන්ධය සමනය කිරීමට උපකාරී වෙයි. මධුමේහයට, බහුමුත්‍රතාවය නිසා හටගත් පිපාසයට අට්ටික්කා ඇට චූර්ණය මී පැණි සමඟ වැළඳීම යෝග්‍ය ය. මුත්‍ර රෝග, පාචනය, මධුමේහය, ලේ කාරා දැමීම, රක්ත අර්ශස්, අතීසාරය ආදී රෝග සඳහා නොපැසුණු අත්තික්කා පොතු ඉස්ම හෝ තම්බාගත් පොතු හෝ මුල් කෂාය පානය ගුණ වේ. තම්බා ගත් අට්ටික්කා ගෙඩි ආහාරයට ගැනීමෙන් බඩවැල්වල හට ගත් තුවාල (විශේෂයෙන් තුවාල විය හැකි යමක් ගිලීමෙන් හට ගත් තුවාල) සුව වෙයි. අත්තික්කා මුලක් කපා එයින් වෑස්සෙන ජලය පානය කිරීමෙන් දියවැඩියාවට මෙන්න ශරීරයේ දැවිල්ලට ද සහනය ගෙනෙයි. ලේ අපිරිසුදු වීම නිසා හටගත් විවිධ රෝගාබාධවලට ළපටි අට්ටික්කා ගෙඩි කිහිපයක් ගෙන මැටි මුට්ටියකට දමා වතුර පත අටක් එයට මිශ්‍ර කර පත එකකට සිඳ දිනපතා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම බෙහෙවින් ගුණදායක ය.

අට්ටික්කා ළපටි කොළ මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. එය රුධිරය පිරිසුදු කිරීමට, සෑම මුත්‍ර රෝගයක්ම නැසීමට සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග නැසීමට උපකාරී වෙයි. සතියකට වරක් හෝ මෙය භාවිතා කරන්නේ නම් බොහෝ සේ ප්‍රතිඵලදායක ය. අත්තික්කා ගෙඩි වෑංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් රුධිරය සම්බන්ධ රෝග, මුත්‍රාශය ආශ්‍රිත රෝග, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග ආදී රෝග රැසකින් මිදීමට හැකියාව ඇත. අත්තික්කා ඉදුණුු ගෙඩිවලින් රසවත්, ගුණවත් පලතුරු පානයක් සාදාගත හැකිය. ඉදුණු ගෙඩි කිහිපයක් ගෙන කපා පිරිසිදු කර එයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව වීදුරුවකට දමා එයට සීනි ස්වල්පයක්, දෙහි ඇඹුල් ස්වල්පයක් එක්කර හොඳින් පෙරා බීමෙන් ඇඟ සිසිල් වී දාහය සංසිඳේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් 
Share:

අසමෝදගම් [Asamodagam] (Trachyspermum roxburghianum)

අසමෝදගම් සෙ.මි 70 දක්වා උසට වැඩෙන බොහෝ අත බෙදීගිය වාර්ෂික පැලෑටියකි. ඒකාන්තරව පිහිටන පත්‍ර ත්‍රි පක්ෂවත් හෝ ඒක-දීවී පක්ෂවත්ය. මෙහි පත්‍ර වලින් සුඳක් වහනය වේ. ඡත්‍රයක හැඩය ගත් පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුදු පැහැති ය. ඉතා කුඩා ඵලය දුඹුරු පැහැති වන අතර එහි සුවඳැති බීජ පිහිටා ඇත. මෙම ඇට වලින් තයිමෝල් නම් රසායනිකය අඩංගු නිස්සාරකයක් ලබා ගනී. අසමෝදගම් කොළ සලාද ලෙස සකසා ආහායට ගත හැකිය. ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වාදුන් ශාකයක් වන අසමෝදගම් Apiaceae කුලයට අයත්ය.

අසමෝදගම් ඇවිස්සී ගිය සෙම සහ වාතය සමනය කරයි. වේදනාව නසයි. ස්නායු ශක්තිමත් කරයි. හෘදය උත්තේජනය කරයි. කැස්සට ගුණදායකය. මූත්‍රා කාරකයි. කුසගිනි වඩවයි. අසමෝදගම් ස්ප්‍රිතු කුඩා ළමුන්ගේ ආමාශගත වාත රෝග හා අජීර්ණ රෝග ආදියට ප්‍රත්‍යක්ෂ බෙහෙතකි. අසමෝගම් ඇට බැද උතුරන වතුරට දමා මඳ වේලාවක් තිබෙන්නට හැර ඉන් ජලය ස්වල්පයක් බීමට දීමෙන් කුඩා ළමුන්ගේ අජීර්ණ රෝග හා පාචනය සුව වේ. ඇස් රෝග, වමනය, ඉක්කා සහ මූත්‍රා රෝග, කෘමි රෝග, බඩවැලේ රෝග, අතීසාර, වාත රෝග, ආමාශයේ අම්ල ගතිය වැඩිවීම හා අජීර්ණ ආදියට වෙනත් ඖෂධ සමග අසමෝදගම් යොදනු ලැබේ. අත් බෙහෙත් ලෙස අජීර්ණයට අසමෝදගම් හා ඉඟුරු එකට තම්බා බොන්නට දීම, ඉදිමුමට අසමෝදගම් ඇට අඹරා සෑදූ ආලේපය ගෑම, වේදනාවට අසමෝදගම් තෙල් ආලේප කිරීම, ඇදුමට ඇට චූර්ණ කොට එහි දුම උරන්නට දීම හා අසමෝදගම් කොළ සම්බෝලයක් ලෙස අමුවෙන් කෑම ඉතා ගුණදායකය. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක , ඖෂධීය ශාක සංග්‍රහය කෘති 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support