දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, May 18, 2014

කිතුල් (Caryota urens)

* වස විෂ නසයි හදවත සුරකියි
* පිළිකා නසයි
* තරබාරුව මට්‌ටු කරයි
* දියවැඩියාව පාලනය කරයි

උද්භිද විද්‍යාත්මකව Caryota urens ලෙස හැඳින් වෙන කිතුල් ගසෙන් වසර දෙ දහසකටත් පෙර සිට මෙ රට වැසියන් ඵල ප්‍රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්‍ය ජනතාවගේ මෙන් ම රාජ භෝජනයේ ද අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ඇතිවූ දුර්භික්‌ෂයේ දී ජනතාවගේ දිවි රැක ගැනීමට ඉවහල් වී ඇත්තේ ද කිතුල් පිටිය. සීනි භාවිතයට නොගත් මෙරට වැසියන්ගේ ප්‍රධාන පැණි රසකාරකය වූයේ ද කිතුල් පැණි සහ හකුරු ය. අපේ පැරැන්ණන් විසින් ලොවට දායාද කළ, මී කිරි සහ කිතුල් පැණි සුසංයෝගය, මේ ලොව ඇති අති විශිෂ්ටතම පෝෂණීය ආහාරයකි. සිංහල වෙදකමෙහිලා ද කිතුල් පැණි, හකුරු, කිතුල් පිටි, තෙලිදිය සහ කිතුල් රා, සුලභව භාවිතයට ගෙන තිබේ. අද මෙන් නොව, එකල කිතුල් ගස්‌ බහුල ව ව්‍යාප්තව තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

පැරණි වංස කථා, අටුවා, ටීකාවල, ජන කථාවල මෙන් ම සාහිත්‍යයෙහි ද කිතුල් පිළිබඳ ව සඳහන් වෙයි. සහල්, ගිතෙල්, කිතුල් පැණි, මීපැණි, හා සකුරු එක්‌ කොට තැනූ ආහාරයක්‌ භික්‌ෂූන් වහන්සේලාට පිදූ පුවතක්‌ සීහලවත්ථූප්කරණයේ සඳහන් වෙයි.අන්දරේට කිතුල් රා නොදුන්නු රා මදින්නෙකුට වස්‌ කවි කී බවත්, පසුව රා දීමට එකඟ වීමෙන් අනතුරු ව, 'දෙවියෝ රැක දෙන්ඩ අපෙ ගම මදින්නා.. යනුවෙන් අන්දරේ ආශිර්වාද කවියක්‌ කී බවත් ජනප්‍රවාදයේ එයි.

පැරැන්නන් රෝග පීඩාදියෙන් වැළකී සිටීමේ සහ සෙතක්‌ ශාන්තියක්‌ ලබා ගැනීමේ අරමුණින් දෙනු ලැබූ, -කිරි අම්මාවරුන්ගේ දානය සඳහා තැනූ විශේෂ ආහාරයක්‌ වූ -කිරියා නැමති ආහාරය සඳහා හාල් පිටි, පොල් කිරි සමග කිතුල් පැණි භාවිත කර ඇත. පැරැන්නන් විසින් සිදු කරනු ලැබූ තවත් ශාන්ති කර්මයක්‌ වන -කිරිමඩු, ශාන්තිකර්මයේදී, -කොට්‌ටෝරු රාළ, (ශාන්තිකර්මයක්‌ කිරීමේදී ආහාර සම්බන්ධව කටයුතු කරන්නා.) -ගෝතඹ රොටී, නමින් විශේෂ ආහාර වර්ගයක්‌ සාදනු ලබයි. සහල් පිටි. පොල් කිරි, කිතුල් පැණි, පොල් සහ කහ එක්‌කොට තනා ගන්නා මිශ්‍රණය කලං කොළේ දවටා (පුවක්‌ මලේ කොළපුව) ගිණි අ`ගුරු යට තබා පුලුස්‌සා ගනු ලබන මෙම ආහාරය, ආශිර්වාද ලබා ගැනීමේ අටියෙන් රැස්‌ව සිටින සියල්ලෝම අනුභව කරති. (ආහාර හා පෝෂණය පිළිබඳ සමාජ මානව විද්‍යාව, ආචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි. පිටුව 190)

කිතුල් ගස මෙරට ජන ජීවිතය සමග තදින් බැඳී තිබුණු අයුරු විදහා දැක්‌වීම සඳහා මෙවැනි උදාහරණ රාශියක්‌ කිව හැකිය. එහෙත් අප දැන් කිතුල් ගසේ පෝෂණ සහ ඖෂධීය ගුණය පිළිබඳව කෙරී ඇති වටිනා එහෙත් අප්‍රකට පර්යේෂණ කිහිපයකින් හෙළි වන තතු විත්ති සොයා බලමු.

ආසනික්‌, කැඩ්මියම් වැනි වස විෂ නසයි
අප වර්තමානයේදී ආහාරයට ගනු ලබන බොහොමයක්‌ම ආහාර පාන වර්ග පළිබෝධනාශක විෂ, ආසනික්‌, කැඩ්මියම්, ඊයම් වැනි බැර ලෝහ වලින් දූෂිතව තිබිය හැකි බව පැවසේ. ඇතැම් ස්‌වභාවික ආහාර වල තිබෙන ඇතැම් ශාක රසායනිකයන් වලට මෙවැනි වස විෂ ශරීරයට හානියක්‌ නොවන ලෙස බැහැර කරන්නට පිළිවන් බව සොයාගෙන තිබේ. (Metal ion chelating activity.)

කිතුල් තෙලදියෙහිද මෙම ගුණය සුලභව තිබෙන බව කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ සිදු කෙරුණු පර්යේෂණයකින් තහවුරු වී ඇත. Sri Lanka Journals Online වෙබ් අඩවියේ පල කෙරී තිබුණු මෙම පර්යේෂණ වාර්තාව පහත දිගුවෙන් කියවිය හැකිය. (^http://www.sljol.info/index.php/TAR/article/view/4643/3748)

දියවැඩියා රෝගය වළක්‌වයි
යම් ආහාරයක්‌ දියවැඩියා රෝගය උත්සන්න කරනවා ද, එම රෝගය වැළඳීමට හේතු වෙනවාද යන්න තීරණය කිරීමෙහිලා වැදගත් සාධකයක්‌ වන්නේ එම ආහාරයේ -ග්ලයිසීමික්‌ දර්ශකය, යි. (Glycaemic Index.) අප භාවිත කරන සීනි වල ඇත්තේ -සුක්‍රොස්‌, නැමති සීනි වර්ගය පමණි. සීනි සහ සුදු පාන් පිටිවල ග්ලයිසීමික්‌ අගයන් පිළිවෙලින් 70 සහ 65 - 70 අතර වෙයි. පලතුරු වල සුලභව හමුවෙන ෆ්‍රක්‌ටෝස්‌, නැමති සරල සීනි වර්ගයේ ග්ලයිසීමික්‌ අගය 12 ත් 25 අතර වෙයි. ග්ලයිසීමික්‌ අගය වැඩි ආහාර අනුභව කිරීමේදී ඒවා ක්‌ෂණිකව ටජීර්ණය වී රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටම ඉක්‌මනින් ඉහළ යයි. එය දියවැඩියා රෝගයට මෙන්ම හෘදයාබාධ වලට සහ බර වැඩි වීමටද හේතු වන අවදානම් සහගත තත්ත්වයකි. කිතුල් පැණි සහ හකුරුවල ඇත්තේ ෆ්‍රක්‌ටෝස්‌, සුක්‍රෝස්‌ හා ග්ලුකෝස්‌ මිශ්‍රණයකි. මෙහි ග්ලයිසීමික්‌ දර්ශකය 35 ක්‌ පමණ වෙයි. මේ අනුව කිතුල් හකුරු සහ පැණි, අඩු ග්ලයිසීමික්‌ අගයක්‌ සහිත ආහාරයන් ලෙස සැලකෙන අතර, ඒවා ආහාරයට ගැනීම දියවැඩියා රෝගය වැළඳීමට හේතුවක්‌ නොවන බවත්, දියවැඩියා රෝගය පාලනය කරන්නන් මධ්‍යස්‌ථ වශයෙන් මේවා ආහාරයට ගැනීම වරදක්‌ නොවන බවත්, දියවැඩියා සංගමය විසින් ද ප්‍රකාශ කර තිබේ. (http://www.lankanewspapers.com/news/2010/4/55482r®space.html)

හදවත සුරකින දිව ඔසුවකි
ශ්‍රී ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) කොළඹ සරසවි රසායන විද්‍යා අංශය සහ සත්ත්ව විද්‍යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී ඇති කරුණු කාරණා අප මවිත කරවන සුළුය. කිතුල් පැණි සහ හකුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්‌ටරෝල් (LDL) මට්‌ටම සහ හානිකර කොලෙස්‌ටරෝල් වර්ගයක්‌ වන ට්‍රයිග්ලිසරයිඩ් මට්‌ටම (TG) සීග්‍රයෙන් අඩු වන බවත්, හිතකර කොලෙස්‌aටරෝල් මට්‌ටම (HDL) වැඩි වන බවත්, හෘද රෝග අවදානම පිළිබද දර්ශකයක්‌ වන Atheroscierosis index අඩු වෙන බවත්, මෙම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.

පිළිකා නසන තෙලිජ්ජ ගුණය
කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.
අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්‌ෂිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්‍රතිඔක්‌ෂිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.

පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක්‌ වුණු ශාක රසායනික වර්ග කිහිපයක්‌ වන -ඇස්‌කොබික්‌ ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.

සෞඛ්‍යයට අහිතකර, ව්‍යාජ පැණි, හකුරු වෙළෙඳපොළේ. කිතුල් නිෂ්පාදන පිළිබඳ පෙර කී මාහැඟි පෝෂණීය සහ ඖෂධීය ගුණයන් දැන හඳුනා ගත් උදවිය සංතාපයට සහ සංත්‍රාසයට පත් කරවන කතන්දර ද කිතුල් පැණි, හකුරු කර්මාන්තය තුළ හමු වෙයි.
ඇතැම් ගොවීන් කිතුල් තෙලිදිය සහ පැණි දැමීමට භාවිත කරන්නේ, භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් ය. කනගාටුදායකම තත්ත්වය වන්නේ අනතුරුදායක බව සඳහන් මිනී ඔළුව සහ ඇට කටු සංකේතය සහිත ඇසුරුම් වල ප්‍රසිද්ධියේම පැණි ගබඩා කරන්නට තරම් මොවුන් අසංවේදී වී තිබීමය.

ප්ලාස්‌ටික්‌ වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්‌ෆSනෝල් ඒ, (BPA) ඩයොක්‌ෂීන්, තැලේට්‌ වැනි දරුණු විෂ වර්ග කාන්ඳු වෙන බව සොයා ගෙන ඇති බැවින්, ආහාර සම්බන්ධ කටයුතු වලදී භාවිත කරන්නට විද්‍යාඥයන් විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්‌ටික්‌ වර්ග 3 ක්‌ පමණි. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්‌ටික්‌ භාජනයේ, පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්‍යතාවයකි.)

බොහෝ විට පැණි හකුරු නිෂ්පාදනයේදී භාවිතයට ගැනෙනුයේ විෂභාවය වැඩිම ප්‍රතිචක්‍රීකරණය කළ, තත්ත්වයෙන් බාල ප්ලාස්‌ටික්‌ භාජන සහ නැවත නැවත භාවිත කිරීමෙන් තැලේට්‌ නැමති විෂ රසායනිකය ආහාරවලට කාන්ඳු වන බව සොයාගෙන තිබෙන, -පෙට්‌, බෝතල් (සිසිල් බීම සහ ඇසුරුම් කළ පානීය ජල බෝතල්) බව අප විසින් නිරීක්‌ෂණය කර ඇත.

මෑතක්‌ වන තුරු හකුරු ඇසුරුම් කිරීමට භාවිත කෙරුනේ වියළි කෙසෙල් කොළ, කලං කොළ වැනි සෞඛ්‍යට හිතකර ද්‍රව්‍යයන් වුවද, දැන් බොහෝ දෙනෙකු පත්තර කඩදාසි ඒ සඳහා භාවිත කරයි. මුද්‍රණ තීන්ත වර්ග වල ඊයම් (ලෙඩ්) වැනි විෂ රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගත වන අතර, මුද්‍රිත කඩදාසි මත ආහාර ඇසුරුම් කිරීම ආහාර ස්‌වස්‌ථතා නීති රෙගලාසි ප්‍රකාරව බරපතල වරදක්‌ද වෙයි.

කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදනයේදී ආහාර බාල කිරීම සඳහා විවිධ ද්‍රව්‍යයන් එක්‌ කිරීම ද සුළභව සිදු වෙයි. වානිජව පැණි හකුරු නිෂ්පාදනය කරන බොහෝ පරිශ්‍රවල සීනි මිටි ගණන් සහ කෘත්‍රිම වර්ණක බෝතල් තිබෙන ආකාරය නිරීක්‌ෂණය කෙරී ඇත.
ඇතැම් පැණි නිෂ්පාදකයන් පැණි ප්‍රමාණය වැඩි කර ගැනීමේ අටියෙන් ජලය නිසි පරිදි වාෂ්ප කිරීම සිදු නොකරන අතර, උකු ගතිය, ඇලෙන සහ ඇදෙන ස්‌වභාවය වැඩි කර ගැනීම සඳහා -කුඩුදවුල යුෂ, වැනි ද්‍රව්‍ය භාවිත කරයි. (විෂ වර්ගයක්‌ නොවේ.)

කිතුල් පැණි සහ හකුරු සඳහා බල පැවැත්වෙන ප්‍රමිති නියෝග මෙරට නොමැත. ශ්‍රී ලංකා ප්‍රමිති 772:1987 සහ 521:1981 මගින් පොදුවේ පැණි, හකුරු (පොල්, උක්‌, තල සහ කිතුල් ) සඳහා යම් ආවරණයක්‌ ලැබුනද, එය ආහාර පනතේ රෙගුලාසියකින් ආවරණය නොකෙරෙන බැවින් ප්‍රමිතිය බලාත්මක වීමක්‌ ප්‍රායෝගිකව සිදු නොවේ.

මෙවැනි තත්ත්වයන් හමුවේ කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒවායේ තත්ත්වය සහ ප්‍රමිතිය බරපතල ලෙස හානියට පත්ව ඇත. එබැවින්, තත්ත්වයෙන් උසස්‌ කිතුල් හකුරු සහ පැණි සොයා ගැනීම තරමක්‌ අසීරු කටයුත්තක්‌ බව කිව යුතුව තිබේ.
කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) මගින් කිතුල් මල් මැදීම සඳහා නව තාක්‌ෂණයක්‌ පවා හඳුන්වා දී ඇති අතර, කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම උදෙසා මෑතක සිට රාජ්‍ය අනුග්‍රහයද ලැබෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. එහෙත් තවමත් මෙම කර්මාන්තය පවතින්නේ ප්‍රාථමික අවධියක බව සංඛ්‍යා ලේඛන මගින් පැහැදිළි වේ. මෙරට කිතුල් කර්මාන්තය ඉතාම සීමිත ප්‍රමාණයකින් සිදු කෙරෙන බවත්, එය මෙරට තිබෙන සමස්‌ත පීදුණු කිතුල් ගස්‌ වලින් සියයට 16 ක්‌ පමණ වන බවත්, ග්‍රාමීය කර්මාන්ත සහ ස්‌වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ වාර්තාවලට අනුව පැහැදිළි වෙයි.

සුද්දාගේ නීතිය අපට කිතුල් ගස්‌ දෙස බලන්නට උගන්වා ඇත්තේ, ගංජා, අබින්, හෙරොයින් දෙස බලන්නාක්‌ සේ වන බැවින්. රට අරක්‌කු විකිණීම සහ බීම ගරුසරු කටයුත්තක්‌ ලෙසත් කිතුල් මැදීම අවඥාසහගත කටයුත්තක්‌ ලෙසත් සලකන්නට අපි බොහෝ දෙනෙකු හුරු පුරුදුව සිටිමු.

පූර්ණ තරගකාරී දුෂ්ට වානිජ බලවේග විසින් අපගේ උසස්‌ ආහාර වර්ග සහ ඒ සමග බැඳුණු විශිෂ්ට සදාචාරවත්, මානව හිතවාදී ආහාර සංස්‌කෘතිය නැමති -විසල් කිතුල, වනසා දමා ඇත. ඉදින් හෙට දිනයේදී කිතුල් කඳෙන් වැගිරෙන මැලියම් වලට ඩොලර් ගෙවන්නේ යෑයි කවර හෝ ජාවාරම්කාරයෙකු පැවසුවහොත්, තවමත් තැනින් තැන ඉතිරිව පවතින කිතුල් ගස්‌ ටිකත් එක රැයින් කපා නැව්ගත කිරීමට සැදී පැහැදී සිටින අසංවේදී මිනිසුන් බහුතරයක්‌ සිටින අපේ රටේ මෙවැනි ආහාර භෝග සහ නිෂ්පාදනයන්, කවර හෝ පරිශ්‍රමයක්‌ දරා වුව රැක ගත යුතු බව, නැවත නැවතත් අවධාරණය කරමු.

ඒ අන් කිසිවක්‌ නිසා නොව, වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපත් සමගම පරිනාමය වෙමින්, අපගේ ඇඟ ලේ මස්‌, ඇට නහර වලට වැද, අපව පෝෂණය කළ, අපව නිරෝගිමත් කළ අප අවට වැඩුණු ආහාර භෝග සහ ඔසු පැලෑටි තුට්‌ටු දෙකේ දේවල් ලෙස සලකා අකාරුණිකව, අසංවේදීව බැහැර කොට ඊයේ පෙරේදා විජාතිකයන් විසින් හඳුන්වා දුන්, අපගේ ඇඟ ලේ මස්‌, ඇට නහර නොහඳුනන දේවල් බදා වැළඳගෙන ගිළ දමන්නට මහත් ගිජු බවක්‌ දක්‌වන වර්තමාන අප පසු පස නහුතයක්‌ රෝග පීඩාදීන් හඹා එන කාලයක ජීවත් වන අපව, ඉන් ගළවා ගන්නට සිටින්නේද අද අප විසින් අවඥාවෙන් බැහැර කරන කොස්‌ ඇටය, මෑ ඇටය, වැල මදුල, තෙලි-ජ මුට්‌ටිය, ලබු ගෙඩිය, වැල් අලය වන්නට බොහෝ දුරට ඉඩ තිබෙන නිසාය.

දැනට බොහෝ කලකට පෙරාතුව ටැංසානියානු ජනාධිපතිවරයෙකු වූ, -ජූලියස්‌ නියරේරේ, විසින් කළ ප්‍රකාශයකින් මෙය අවසන් කරමි.
- සුදු ජාතීන් ග්‍රහලෝක තරණය කරපුදෙන්. අපි අපේ ගම් බිම් තරණය කරමු. අප නොදන්නා බොහෝ රහස්‌ අපේ ගම් බිම් වල වැළලී තිබෙනවා නිසැකය.

ගැමුණු සාලිය පෙරේරා - දිවයින
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක ඇල්ල (බණ්‌ඩාරවෙල)
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:

Saturday, May 17, 2014

ඇත්අඩි [Ethadi] Elephantopus scaber


ඇත්අඩි පොළවෙන් සෙ.මි 10-15 පමණ උසට වර්ධනය වන කුඩා දේශීය පැළෑටියකි. කඳට තදින් ඇලුනු සුදු පැති දෘඩ රෝම පවතී. පස තදින් අල්ලා සිටින මුදුන් මුලක් සහ කුඩා මුල් රැසක් සහිතයි. අණ්ඩාකාර හෝ ආයත පත්‍රයක් සෙ.මි. 10-20 අතර දිගය. පත්‍රවල දෙපැත්තේම බූව ඇත. පත්‍ර තලය රළු ස්වභාවයක් ගනී පත්‍ර දාරය සභංග - කරපත්‍රික වේ. පත්‍ර 8-10 පමණ එක්ව සෙව්වන්දියක් ආකාරයට පිහිටයි. පුෂ්ප මංජරිය ශිර්ෂකයකි. එහි ළා දම්පාට මල් රැසක් හට ගනී. ඇත්අඩි ඵලය චර්මලයකි. එය වියළුන පසු වාතය මගින් බීජ ව්‍යාප්තවේ. ඒ සඳහා උපකාර වන කෙඳි කුඩම්බියක් සහිත බූමණියක් ඊට ඇත. ඇත් අඩි Asteraceae උද්භිද කුලයට අයත් පැළෑටියකි. 

ඇත්අඩි විවිධාකාරයෙන් අන්‍ය ඖෂධ ශාක සමග සංයෝග කොට ප්‍රතිකාර කෙරෙන රෝගාබාධ වන්නේ අතීසාරය, කැස්ස, රත්තවාතය ඇතුළු ලේ දෝෂ සහ තදබල උණ යනාදිය යි. දේශීය වෛද්‍යවරුන් ඔඩු වණ පිළිකා සඳහා යොදන තෙල් වර්ගවලට මෙන්ම බාහිර ආලේපන ලෙස ස්වරස හා මැල්ලුම් සඳහා ද යොදා ගනී. ඇත්අඩි කොල තැම්බූ ජලය තුවාල සේදීමට භාවිතා කරයි, කොළ යුෂ තුවාලවල ආලේප කිරීම හා කොළ අඹරා ඒවායේ පැලැස්තර යෙදීමද සිදු කරයි. හදිසි තුවාලයක් වූ විට ලේ ගැලීම නැවැත්වීමට අැත්අඩි කොළ හෝ සම්පූර්ණ ශාකයම කොටා මිරිකා ගත් යුෂ ආලේප කළ යුතුය. ඇත්අඩි වාතය හටගන්වන, සෙම් පිත් නසන ඖෂධයක් ලෙස දක්වා ඇත.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ  "ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘති
Share:

Friday, May 16, 2014

බුළු [Bulu] (Terminalia bellirica)

බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග එවා අභාවයට යයි. පත්‍රයක් දිග සෙ.මි 20ක් ද පළල සෙ.මි. 10ක් ද දක්වා වර්ධනය වේ. පත්‍රවල පිහිටීම සර්පිල හෝ වලයාකාර වේ. දිගු කක්ෂීය ශුකිවල හට ගන්නා නිර්වෘන්ත පුෂ්ප ක්‍රීම් පැහැයට හුරු සුදු පැහැයක් ගනී. සියුම් බූවක් සහිත ඵලය ඉලිප්සාකාර සිට මද වටකුරු වේ. කිරි රසයෙන් යුක්ත බලු මදය ආහාරයට ගත හැකිය. දැවමය වටිනාකමක් ද සහිත බුලු Combretaceae කුලයට අයත් ශාකයකි. 

ආහාර මාර්ගයේ රෝග රැසකට ගුණ දෙන ඔසුවක් ලෙස සැලකෙන ත්‍රිපලා චූර්ණයේ ඇති ප්‍රධාන සංඝටක තුනෙන් එකක් වන්නේ බුළු ය. එමෙන්ම ක්ෂය රෝගය, ඇදුම, පණු රෝග,  මුත්‍ර ගල්, මුත්‍ර රෝග, අක්ෂි රෝග, සුදු කබර, ඉදිමුම් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බුළු ශාකයේ පොතු, ලෙලි හෙවත් ගෙඩියෙහි පොත්ත, ඇට ආදිය භාවිතා කරයි. 

ඇදුම රෝගය සඳහා බුළු ඇට චූර්ණය මී පැණියෙන් ලේහ කරයි. බුළු ඇට චූර්ණය මී පැණි සමග පානය කිරීමෙන් මුත්‍ර අඩස්සිය සහ මුත්‍ර ගල් නැසෙන බව දක්වා ඇත. ග්‍රන්ථි රෝග සහ විසර්ප සඳහා බුළු ලෙලි මී පැණියෙන් අඹරා ප්‍රලේප කරයි. බුළු ඇට මද අඹරා ආලේප කිරීම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයකි. දිනපතා බුළු ගෙඩිය බැගින් කෑමෙන් කාමෝත්තේජනය වන බවත් නපුංසකතාවය නැසෙන බවත් සඳහන් කර ඇත. සුදු කබර සඳහා බුළු පොතු ස්වරස ආලේප කිරීම සහ බුළු පොතු, කොතල හිඹුටු මුල් බාකුචි චූර්ණය අනුපාන වශයෙන් දමා බීමට දීම නිර්දේශ කර ඇත. බුළු ඇට මදවලික් සිඳ ගන්නා තෙල් හිසකෙස් කළු කිරීමට යොදා ගන්නා බවත් අකලට හිසකෙස් පැසීම සහ සුදු කබර රෝග සඳහා ප්‍රශස්ථ ඔසුවක් ලෙසත් සැලකේ. බුළු කෘමි නාශක, වාජීකරණ, අශ්මරී නාශක, මුත්‍ර පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති


Share:

Thursday, May 15, 2014

අවර (Canavalia gladiata)

අවර, වැල් අවර සහ ගස් අවර යනුවෙන් දෙවර්ගයකි. වැල් අවර අඩි 15-20 අතර දිගැති විශාල වැලක් සේ වැවේ. එහි සුදු පාටට පිපෙන මල පසුව රතු පාට වේ. කොළ ත්‍රිපත්‍රිය. කරල අඟල් 10 පමණ දිගය. වැල් අවර දකුණු ඇමරිකාවේ නිවර්තනික ප්‍රදේශ වලට ආවේනික ශාකයක් වුවද වර්ථමානයේ ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ අග්නිදිග ආසියාතික රටයල් කහිපයක වැවේ. වැල් අවර හා මුදු අවර යයි තවත් අවර වර්ග දෙකක් ඇත. මුදු අවර වල කරල් කුඩාය. මේ වර්ග වල අවර කරල් ළපටි කාලයේ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගනු ලබයි. ඒවායේ ඇටද තම්බා කෑමට යෝග්‍යය. අවර කරල් වල යකඩ හා කැල්සියම් සෑහෙන ප්‍රමාණයක් ඇත. මෙය ලංකාවේ පහතරට වියලි කලාපයේ සුලභ ශාකයකි. අවර  Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

ඖෂධීය වටිනාකම

අවර ශීතල ගුණයෙන් යුක්තය. ශක්තිජනකය. කුසගින්න වඩයි. දැවිල්ල නැති කරයි. පිත් රෝග වහා සුව කරයි. වණ හා තුවාල සුව වීම ඉක්මන් කරයි. එහි ඛනිජ අඩංගු නිසා ආහාරයක් ලෙස විශේෂ ගුණයක් ඇත.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර


Share:

Wednesday, May 14, 2014

ඉඟුරු [Iguru] (Zingiber officinale)

ඉඟුරු භූගත කඳක් හෙවත් රෛසෝමයක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. පත්‍ර නටු එකතු වී සෑදෙන ව්‍යාජ කඳ සෙ.මි. 50 දක්වා උසට වැඩේ. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පළලින් සෙ.මි. 1.5 පමණ වන අතර පත්‍ර හැඩය පටු ලන්සාකාර ය. පත්‍ර තලය සිනිඳු වන අතර අග්‍රය අති තීව්‍ර ය.  අණ්ඩාකාර හැඩැති පුෂ්ප මංජරියේ වෘන්තය සෙ.මි. 25 පමණ දිග ය. එය සෙ.මි. 3.5 පමණ වන ලංසාකාර කොපුවකින් වැසී පවතී. අරීයව පිහිටි ශුකි මත දම් සහ කහ පැහැ මිශ්‍ර මල් හට ගනී. ඉඟුරු Zingiberaceae උද්භිද කුලය අයත් ශාක විශේෂයකි. 

ආහාර අරුචිය, අජීර්ණ, කුසගිනි මදිකම, හෘල්ලාස, අධ්මාන, පීනස, කැස්ස, ඇදුම, ඉක්කා, ආමඅතීසාරය, ආමවාතය, කටීවාතය, මුත්‍ර සමඟ ලේ පිටවීම ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ඉඟුරු අලත්, අවශේෂව කොළත් භාවිතයට ගනී. ඖෂධ සඳහා භාවිතා කිරීමේදී ඉඟුරු අල පිලිගත් ක්‍රමවලට අනුව වියළා ගනු ලබන අතර එසේ වියළාගත් ඉඟුරු සිද්ධිඟුරු හෙවත් සිද්ධ ඉඟුරු ලෙස හඳුන්වයි. ඉඟුරු ශීත ප්‍රශමන, වේදනා ස්ථාපන, ඉදිමුම් නසන, ස්නායු උත්තේජනය කරන, වාතය සමනය කරන, මතක ශක්තිය වඩවන, ආහාර රුචිය ඇතිකරවන, කුසගිනි වඩවන ගුණ සහිතයි. 

අහාර අරුචියට සහ කුසගිනි මදිකමට අහාර ගැනීමට පෙර අමු ඉඟුරු ස්වල්පයක් ලුණු හෝ සහිඳ ලුණු සමඟ කෑමට ගත යුතුය. සන්නිපාත උණට, මුඛයේ විරසතාවය හා මලබැඳීමට ඉඟුරු, ගම්මිරි, තිප්පිලි චූර්ණය ඉඟුරු යුෂ සමඟ මුඛයට ගෙන උතුර හා කට සෝදා සෙම කාරා දැමිය යුතුය. හිසරදයට අමු ඉඟුරු ගලගා නලලේ ආලේප කරයි. ආම අතීසාරයට අමු ඉඟුරු, ඉරිවේරිය තම්බා බොන්නට දෙයි. කල්ගිය ආමවාතයට සහ කටීවාතයට වියළි ඉඟුරු කසාය යොදා ප්‍රතිකාර කරයි. මුත්‍ර සමඟ යාමට වියළි ඉඟුරු කිරි කෂාය දෙයි. සෙම් කෝපය, ප්‍රතිශයාව ඇති විට ඉගුරු ඉස්මට මී පැණි දමා බීම, ඉඟුරු යුෂ යෙදූ තේ පානය කිරීම ගුණය. ඉඟුරු, පාවට්ට, බෙලිකොළ බැදපු කොත්තමල්ලි, තැම්බූ වාෂ්ප ඇල්ලීම ඉරුවාරදයට සහනය ගෙනෙයි. කැස්සට හා උගුර වණවීමට නටන වතුරට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍ර කර පානය කළ යුතුය. ඉඟුරු යුෂ ලබාගැනීමෙන් පසු ඉතිරිවන හපය කුරලෑ මත තැවරීමෙන් කුරුලෑ මර්දනය වන බවත්, සහ පැහැපත් වන බවත් සඳහන්.

ඉඟුරු වටිනා ඖෂධයක් මෙන්ම ව්‍යංජන, කැවිලි වර්ග සහ බීම වර්ග රසවත් කිරීමට යොදන ප්‍රකට කුළුබඩු වර්ගයක් වේ. ප්‍රෝටීන් සහ මේදය අධික ආහාර පිසීමේදී ඉඟුරු එකතු කිරීමෙන් උදරාබාධ ඇති වීම වැලකෙන බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
ඉඟුරු අල 
Share:

ඇත්හොඬ [Ethhoda] (Heliotropium indicum)

ඇත්හොඬ මීටර් 1 ක් පමණ උසට වැවෙන කුඩා වාර්ෂික හෝ බහුවාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 1.5 දක්වා උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. බූව සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර වින්‍යාසය ඇතැම් විට උප සම්මුඛක ආකාරයක් ද විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පලලින් සෙ.මි. 10 ක් දක්වා වර්ධනය වේ. රළු පත්‍ර තලය නෙරුම් රාශීයකින් සමන්විත වන අතර පත්‍ර දාරය තරංගීමය ස්වරූපයක් ගනී. ඒකාක්ෂ පුෂ්ප මංජරියක දම් පැහැයට හුරු සුදු පැහැති මල් රැසක් හට ගනී. පුෂ්ප මංජරිය ඉදිරියෙන් වක්වී ඇති හෙයින් ඇත්හොඬ  නාමය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. තියුණු තුඩක් සහිත ඵලයක් තුල බීජ 4 ක් පමණ පිහිටයි. ඇත්සැටිය යනුවෙන්ද හඳුන්වන ඇත්හොඬ Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 
 
ඔඩුගිය වණ, තුවාල, හොරි, කඩුවේගන්, පණුකැවිලි, පරංගි, සම මතුපිට හට ගන්නා අර්බුද, පිළිකා, ඉදිමුම් සහිත දැවිල්ල, සන්ධි ප්‍රදාහය නිසා හටගත් වේදනා, අතීසාරය, දියවැඩියාව, ලිංගික, ආබාධ, ප්‍රතිශ්‍යාව, කැස්ස, උදරාබාධ, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය, තොල් පැලීම, ඇස් ඉදිමීම, කුරුලෑ, බල්ලන් සපා කෑම, උමතු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඩ සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. ඇත්හොඬ ඖෂධ සඳහා භාවිතා කිරීමේදී අමුවෙන් ගත යුතු බව සඳහන් කර ඇත. 

ක්ෂත, විදුරුමස ඉදිමීම, මුඛක්ෂතය ආදියට ප්‍රතිකාර කිරීමට ඇත්හොඬ ස්වරසය භාවිතා කරයි. තොල් පැලීමට මල් සහ කොළ යෙදූ කෂාය යොදා ගනී. ඇස් ඉදිමීමට ප්‍රතිකාරයක් ලෙස පත්‍ර ප්‍රලේපය ස්ථානීය වශයෙන් යෙදේ. විදේශීයව ආර්තව වේදනා සමනය කිරීමටත්, ආර්තවයේදී සිදුවන ලේ වහනය පාලනයටත් ඇත්හොඬ මල් අඩු මාත්‍රාවකින් භාවිතා කරන බව සඳහන්. ඇත්හොඬ වැඩි මාත්‍රාව ගබ්සාකරක ය. චර්ම රෝගවලදී සහ සන්ධි ඉදිමීමේදී මෙම කොළ සහ මුල් ආලේප වශයෙන් යොදා ගනී. මෙම සම්පූර්ණ ශාකයම තම්බා පානය කිරීම උෂ්ණ බිබිලි සඳහා ප්‍රතිකාරයකි. පැළෑටියම තම්බා ගත් ජලය ඇස් සහ වණ සේදීමට ගනී. ඇත්හොඬ සහ එඬරු තෙල් යොදා සකස්කළ තෙල් බල්ලන් සපාකෑවිට සහ කෘමි දෂ්ඨනවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරයි. මුහුණේ සෑදෙන කුරුලෑ, දද, බිබිලි හා පණු කැවිලි ඇත්හොඬ කොළ කොටා මිරිකාගත් යුෂය ආලේප කිරීමෙන් සුවවේ. ඇත්හොඬ වණ සුව කරන, දැවිල්ල සහ ස්ථානීය වේදනාවන් සමනය කරන ගුණ සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

ඇත්දෙමට [Ethdemata] (Gmelina arborea)

කාශ්මර්ය යන අන්වර්ථ නාමයකින්ද හඳුන්වන ඇත්දෙමට මීටර් 20 හෝ ඊට වඩා උසට වැඩෙන දේශීය ශාකයකි. හීං දෙමට නමින් කුඩා ශාකයක් ඇති නිසා විශාල යන අර්ථයෙන් මෙය ඇත්දෙමට ලෙස හඳුන්වා ඇතැයි සඳහන්. මෙම ශාකයේ වැඩුනු කඳ ඇතාගේ පාදයට සමාන කමක් දක්වන හෙයින් ඇත්දෙමට ලෙස හැඳින්වූ බවට ද මතයක් පවතී. ඇත්දෙමට ශාකයේ අළු කහ පැහැති ගණකම් පොත්ත ගැටිති සහිතය. ළපටි ශාඛා කහ පැහැති බූවක් දරයි. ඉහල අතු ගස මුදුනේදී එකතු වී සෙවණ සහිත මස්තකයක් සාදයි. පතනශීලී පත්‍රවල පිහිටීම ද්වීකාන්තරික සම්මුඛය. පුළුල් ලෙස අන්ඩාකාර පත්‍රයක් දිග සෙ.මි. 25 සහ පළල සෙ.මි. 18 දක්වා වර්ධනය වේ. ළපටි කාලයේදී උඩු පෘෂ්ඨයේ ගනව පිහිටන දැඩි රෝම දැක ගත හැකිය. අග්‍රස්ථීය හා කක්ෂීය පුෂ්ප මංජරියෙහි දැඩි රෝම පිහිටයි. ඝණ්ඨාකාර මණියක් සහිත මල් කහ, තැඹිලි, රතු, දුඹුරු, රෝස හෝ සුදු පැහැති විය හැකිය. ඵලය කහ තැඹිලි පැහැති අෂ්ටිලයකි. ඇත් දෙමට Verbenaceae උද්භිද කුලයට අයත් ය. 

දැවිල්ල, හිසරදය, ශුක්‍රහීනතාවය, ගබ්සාවීම, ගර්භාෂයේ දුර්වලතාවයන්, ඉදිමුම්, අළුත් සහ පරණ තුවාල, සර්ප විෂ, කැඩුම් බිඳුම්, ගෙඩි වෙදකම, මුත්‍රඅඩස්සිය, රක්ත අතීසාරය, වාත රක්තය, පිත නිසා හටගත් උණ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඇත්දෙමට ශාකයේ මුල්, මල්, පොතු, ළපටි කොළ, ගෙඩි, ඇට ආදිය භාවිතා කරයි. ඇත්දෙමට කුසගිනි වඩවන, ඉදිමුම් නසන, විෂ නසන, ගර්භස්ථාපන, මුත්‍රකාරක ආදී ගුණයන් සහිතයි. ගම්භාර තෛලය ඇත්දෙමට යොදා නිපදවන ඖෂධයකි.

හිසරදයට ළපටි ඇත්දෙමට කොළ අඹරා හිසේ සහ නලලේ ආලේ කරයි. එයටම පැසුනු ගෙඩි මී පැණියෙන් අඹරා ලේහ කරනු ලබයි. එය රක්තඅතීසාරයටද යෙදිය හැකි ප්‍රතිකාරයකි. නිතර ගබ්සාවන විට ආරක්ෂාකාරී ඖෂධයක් ලෙස ඇත්දෙමට ගෙඩි වියළා සකස්කළ චූර්ණය හෝ පොතු චූර්ණය සහ වැල්මී සමව ගෙන එමෙන් දෙගුණයක් සූකිරි ද සමඟ මී පැණියෙන් අනා කෑමට දෙයි. මුත්‍රඅඩස්සියට, ප්‍රමේහයට සහ ගුදමාර්ගය අවට ඉදිමීමට ගෙඩි යුෂ හෝ ළපටි කොළ යුෂ සීනි සමඟ දෙයි. මෙයටම එළකිරි මිශ්‍රකර දීමෙන් රෝගියාගේ බලය වර්ධනය වන බව සඳහන්. රක්තඅතීසාරයට ඇත්දෙමට ගෙඩි යුෂ සීනි හෝ මී පැණි සමඟ ස්වල්ප වශයෙන් යොදා මඳින් මඳ පානය කළ යුතුය. පිත්ත ප්‍රභල උණට ඇත්දෙමට මුලේ පොතු කෂායකර සීනි සමඟ යොදයි. 

ඇත්දෙමට ගෙඩි කෘෂ වූ ශරීරය තර කරයි. ශරීර ශක්තිය වර්ධනය කරයි. වාතය, පිත, පිපාසය, ලේ අඩුකම, මුත්‍රා, දැවිල්ලට ගුණදායකයි. ආහාර ජීර්ණය යහපත් කරයි. ශරීරය සිසිල් කරයි. කහට හා ඇඹුල් රස නිසා මල බද්ධයට ඖෂධයකි. රසායන ගුණයෙන්ද යුක්තය. අධික පිපාසය සඳහා ඇත්දෙමට ගෙඩි කලං 12 ගෙන කපා, කොටා වතුර පත හතරක් වත්කොට පතට සිඳුවා සූකිරි කලං එක හමාරක් මිශ්‍ර කොට වරකට කෂාය පත භාගයක් බීම ගුණදායකය. කුසගිනි මදිකමට ඇත්දෙමට කොළ ඉස්මට ඉඟුරු ස්වල්පයක් දමා බීම හොඳය.

ඉදුණු ඇත්දෙමට ගෙඩි හෘදයට හිතකර හෙයින් හෘද රොගීන්ට පළතුරක් ලෙස කෑමට යෝග්‍යය. ගැමියන් මෙම මල් රසවත් ව්‍යංජනයක් ලෙස පිස ගනී. ඇත්දෙමට ශාකය පාර දෙපස සෙවණ සඳහා වැවීමට ඉතා සුදුසු ය. ලීය නිවාස සහ ගෘහ භාන්ඩ සෑදීමට භාවිතා කරයි. ගෙඩි සහ දළු මුවන් වැනි සතුන්ගේ ප්‍රියතම ආහාරයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
ඇත් දෙමට මල්
Share:

ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis corniculata)

ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති සන්ධිවලින් පොළවට මුල් ඇදේ. කඳෙන් විහිදී ඉහල නඟින අතුවල ඇති ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පුෂ්ප මංජරිවල හට ගන්නා පෙති පහක් සහිත මල් කහ පැහැතිය. ඵලය තුඩක් ඇති අඟල් 3/4 පමණ දිග ස්ඵෝටිකාවකි. මෙම උද්භිද ගණයටම අයත් මහ ඇඹුල්ඇඹිලිය (Oxalis latifolia) නමින් කොල කරමක් විශාල මෙවැනිම ශාකයක් ඇති අතර එහි මල් දම් පැහැතිය. එමෙන්ම විසිතුරු ශාක ලෙස වගා කරන Oxalis විශේෂ කීපයක් ද අප රටින් හමු වෙයි. මෙම ශාක ලංකාවේ තෙතමනය ඇති බොහෝ තැන්වල මෙන්ම ලෝකයේ නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශ සියල්ලක ම පාහේ වැවේ. ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වා දී ඇති ඇඹුල් අඹිලිය විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය.

සංස්කෘතෙන්  “අම්බෂ්ඨා“ සහ "වාංගේරි" යනුවෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය නමේ සඳහන් ආකාරයට ම ඇඹුල් රසැති ය. කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, අජීර්ණය, අර්ශස්, ප්‍රවාහිකා, ගුදභ්‍රන්ශ, චර්ම රෝග, අක්ෂි රෝග, රුධිර වහනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතා කරයි. ඇඹුල් ඇඹිලිය කුසගිනි වඩවන, ආහාර ප්‍රිය කරවන, ඉදිමුම් නසන, වේදනාවන් පහ කරන ගුණ සහිතයි.

ලේ අඩුකම හා මාන්දම යන රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ට ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය සමඟ බත් කෑමට දීම ගුණය. ග්‍රහණියට ඇඹුල් ඇඹිලිය යොදා නිපදවන වාංගේරි සෘතය දෙයි. අර්ශස් සහ ගුදභ්‍රන්ශ රෝග සඳහා ඇඹුල් ඇඹිලිය කොළ යුෂ ගිතෙල් මීකිරි සමඟ මිශ්‍රකර පැසවා බීමට දෙයි. තුවාල පිරිසිදු කිරීමට, ගෙඩි පැසවීමට සහ පිපිරීමට ඇඹුල් ඇඹිලිය පත්‍ර ප්‍රලේපය යොදා ගනී. අත්තන විෂට සහ වඳ බවට ප්‍රතිකාර කිරීමට ද ඇඹුල් ඇඹිලිය භාවිතා කරයි. මෙම කොළ පලාවක් සහ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය කෘති
Share:

පාවට්ටා [Pawatta] (Justicia adhatoda)


ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට අයුර්වේදයේ යෙදෙන "වාසක" නම් ප්‍රකට පර්යාය නාමයක්ද වෙයි. පාවට්ටා ශාකයේ ළපටි අතුවල හරස්තඩ චතුරස්‍රාකාර සිට වටකුරු දක්වා වෙනස් විය හැකිය. සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 11 සිට 35 දක්වා පරාසයක් දිගකින් යුක්ත විය හැකිය. පත්‍ර හට ගන්නා ගැට ආසන්නයෙන් නව ශාඛා සහ පුෂ්ප මංජරි හට ගනී. බොහෝ විට නටුවක් රහිත සුදු පැහැති මල් එක විට පිපුණු පසු අලංකාරවත් ය. ඵලය බීජ 4 ක් සහිත ස්ඵෝටිකාවකි. මල රතු පැහැයට හුරු වර්ගයක් ද ඇති බවත්, එ අනුව ශ්වේත සහ රක්ත යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති බවත් පොතපතෙහි සඳහන්ව ඇත. පාවට්ටා Acanthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අතීසාර, ප්‍රවාහිකා, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දාහය, පිත්ත ප්‍රමේහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්තාර්ශස්, රක්ත ප්‍රදර ඇතුළු රක්තජ රෝග, ඇදුම ඇතුළු ස්වසන රෝග, ආමවාතය හෙවත් ආතරයිට්ස්, වණ ශෝත, කුෂ්ඨ, ගුද කීල, පණු රෝග, චර්ම රෝග ආදී රෝග අවස්ථා බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, නැටි සහිත පංචාගයම භාවිතයට ගනී. පාවට්ටා කුෂ්ඨ සහ විෂබීජ නසන, හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, සෙම පහ කරන, ස්වසනය පහසු කරවන ආදී ගුණයන් රැසකින් සමන්විතයි. වාසාවලේහය, වාසාරිෂ්ටය, වාසා පානය, වාසක පැණිය, වාසක සෘතය ආදීය  පාවට්ටා යොදා නිපදවන ඖෂධයන් ය. 

පාවට්ටා පෙණහලු රෝග බොහෝමයකට සුවය සලසන ඔසුවක් බව ප්‍රකටය. පාවට්ටා මල් කැකුළු මඳක් වියළා උණු වතුරට මිශ්‍ර කර බීම පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම ගුණදායක ය. එය අධික සෙම නැති කිරීමටත්, කැස්ස, ඇදුම, උගුරේ වේදනාව නැති කිරීමටත් උපකාරී වෙයි. ඇදුම රෝගීන්ට පාවට්ට කොළ ඉස්ම ගෙන, සූදුරු, ඉඟුරු සහ රතු ලූනු යුෂ මිශ්‍රකර හොඳින් ළිපේ කකාරන්න. එය පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසුව බෝතලයකට දමා දිනපතා උදේ සවස තේ හැඳි දෙක බැඟින් පානය කරන්න. වාසාවලේහය නම් ඖෂධය කැස්ස, පීනස, සෙම වැනි පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණදායක බව සඳහන්. එමෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම, පීනස සහ ඇදුම වැනි රෝග සුව කරන්න පාවට්ටා පැණිය ඉතාමත් ප්‍රයෝජනවත්. වාසක පැණිය ලෙසත් හඳුන්වන මෙය නිවසේදීම සදා ගැනීමට, පාවට්ටා පංචාංගයම සමව ගෙන වතුර පත හතරක් දමා හොඳින් තම්බා කෂායක් සාදා ගන්න. පත හතර පත එකට සිඳුණු පසුව හොඳින් පෙරා ඒ පත එකට සීනි ඇති පදමට මිශ්‍රකර පැණි සාදා ගන්න. පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා වසා තබා භාවිතයට ගත හැකිය. තවද ආඩතෝඩා කොළ ස්වල්පයක් ගෙන හොඳින් කපා එයට අරලු, මුද්දරප්පලම් ග්‍රෑම් 20 බැගින් මිශ්‍ර කර සියල්ලම මුට්ටියකට දමා ගන්න. ඉන් පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳවා සීනි, මී පැණි සහ සූකිරි ස්වල්පය බැගින් දමා උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් බොන්න. එය සෑම පෙණහලු ආශ්‍රිත රෝගයකටම ඉතාම ගුණදායක ඔෟෂධීය පානයකි. 

ආමවාතය නිසා හට ගත් සන්ධි ඉදිමුමට පාවට්ටා කොළවලින් තැවීම සිදු කරයි. කුෂ්ඨවලට පාවට්ටා කොළ අමුකහ සමඟ අඹරා ආලේප කරයි. මුත්‍ර දාහය, මුත්‍ර ආඩස්සිය ආදීයේදී පාවට්ට්ටා මල් චූර්ණය හෝ ක්වාතය හෝ පංචාගයෙන් සැකසූ ක්වාතය පානය කිරීම සුදුසුයි. රත්පිත් සෙංමාලය, අම්ලපිත්ත ආදියට පංචාග කෂාය හෝ ස්වරසය මී පැනි හෝ සීනි සමඟ බීමට දෙයි. පවට්ටා කෂාය මී පැණි සමඟ බීම සාමාන්‍ය කැස්‌සට ගුණය. කල්ගතවූ කැස්සට පාවට්ටා කොළ ඉස්ම රැගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගනී. වරකට තේ හැඳි දෙක බැඟින් දිනපතා උදේ සවස දින අටක් පමණ මේ ඔෟෂධය පානය කළ යුතුය. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපානයට වෙනත් ඖෂධීය දලු වර්ග කීපයක්ද සමග පාවට්ටා දලු යොදා ගනී. හන්දිපත් ඉදිමීම, තුනටිය අමාරුව, සන්ධි වේදනා ආදී රෝගවලදී ආඩතෝඩ කොළ හොඳින් අඹරා එය හන්දි වේදනාවල, තුනටියේ වේදනා සහිත ස්ථානයේ ආලේප කළ යුතුය. වාත වේදනාවලදී පාවට්ටා කොළ කොටා පොට්ටනියේ තම්බා මඳ රස්නය පිට තැවීමෙන් වාත රෝග නිවාරණය කර ගත හැකිය.

මී මුරේ වැසියන් කුරක්කන් පිට්ටු සමග පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. දකුණු පලාතේ විශ්‍රාමික පාසැල් ගුරුවරියක් වන හිනිදුමවිතානගේ සෝමවතී මහත්මිය පවට්ටා කොළවලින් ව්‍යංජනයක් සකසා ගන්නා ආකාරය සඳහන් කර තිබුනි. මුලින්ම මැටි වලඳක පාවට්ටා කොළ සහ සියඹලා කොළ මාරුවෙන් මාරුවට අසුරා, හට්ටිය පිරෙන්ට වතුර දමා තම්බාගත යුතුය. පසුව සියඹලා කොළ සියල්ල ඉවත් කර පාවට්ටා කොළ හොඳින් සෝදා, සිහින්ව ලියා ව්‍යයංජනයක් සාදා ගත හැකිය. සියඹලා කොළ සමඟ තම්බා ගැනීමෙන් පාවට්ටා කොළවල ඇති තිත්ත රස ඉවත්වී යයි. මෙය රාජ භෝජනවලින් එකක් බව සඳහන්.

පාවට්ටා ශාකයේ පවතින විෂබීජ නාශක ගුණය නිසා කුඹුරට ජලය ගෙන යන ඇල මාර්ග අසල වැවීමෙන් කුඹුරෙහි පළිබෝධ පාලනය වන බව කියැවේ. පාවට්ටා කොළ, දුම් කොළ , අනෝදා ඇට ආදිය කොටා යුෂ ගෙන ස්වභාවික පළිබෝධනාශයක් සදා ගත හැකිය. මෙම කොළ දුම්කොළ වෙනුවට බුලත් විටට ගැනීමටත්, ඔතා ඔෟෂධීය දුම් වැටියක් ලෙස භාවිතයට ගැනීමටත් පුලුවන.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ.හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් 

Share:

අඟුණ

කිරි අඟුණ
(1) කිරි අඟුණ - Tylophora pauciflora
(2) තිත්ත අඟුණ - Wattakaka volubilis 
(3) රුක් අඟුණ - Alangium salvifolium

අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට ප්‍රදේශයේත්, වියලි කලාපයේත්, ඉන්දියාව, මලයාව, දකුණු චීනය, පිලිපීන දූපත් හා නැගෙනහිර අප්‍රිකාව යන රටවලත් මෙම අඟුණ ප්‍රභේද වැවේ. මෙම ශාකය ගසක හෝ වෙනත් ආධාරකයක එල්ලී එතී වැඩේ. පත්‍ර අණ්ඩාකාරය තරමක් ලොකු ය. පහලට නමා වැටෙන ජත්‍රීය බහුඅක්ෂ වල මල් බොහෝ ඇත. සුවඳවත් මල් ලා කොල පාට ය. ඵලය අඟල් තුනක් පමණ දිග සිලින්ඩරාකාර වරා (follicle) දෙකකින් යුතු සමුච්චයකි. එය තුළ ඇට බොහෝ ඇත. එම ඇටවල සුලඟින් ගසාගෙන යාමට උපකාර වන අවයවයක් තිබේ. මේ වර්ග තුනේ ම කොල කෑමට ගනු ලබයි. සාමාන්‍යයෙන්න අඟුණ වැලක් අඩි 8-12 අතර දිගට වැවේ. කිරි අඟුණ සහ තිත්ත අඟුණ Apocynaceae කුලයට අයත් අතර රුක් අඟුණ Cornaceae කුලයට අයත් ය. 

ඖෂධීය වටිනාකම
රුක් අඟුණ

තිත්ත අඟුණ ආහාර රුචිය උපදවයි. දේශීය විෂ චිකිත්සාවෙහි රුක් අගුණ පිස්සු බලු රෝගයට සහ සර්ප විෂට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. රුක් අඟුණ ඇට වලින් සිඳගන්නා අංකෝල තෛලයෙහි විශ්මයජනක ගුප්ත බලයක් ඇතැයි ඉන්ද්‍රජාල විද්‍යා සංග්‍රහයෙහි සඳහනි. ඒ නිසා රුක් අඟුණ වලට "ගුප්ත ස්නේහ" යනුවෙන් ද භාවිත කරයි. කිරි අඟුණ කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩිකරන ඖෂධයකි. එය විෂ නාශකයක් ද වේ. ළදරුවන්ගේ පණු රෝග හා උණ ආදියට කිරි අගුණ දලු යෙදූ ඖෂධ භාවිත කෙරේ. බිළිදු දරුවන් සිටින මව්වරුන්ගේ කිරි හා රුධිරය පිරිසිදු කිරීම සඳහා කිරි අඟුණ කොළ ක්ෂාය කොට දෙනු ලැබේ. බුද්ධරාජ කල්කය හා බාලකුමාර තෛලය යන ඖෂධ සෑදීම සඳහා කිරි අඟුණ විශේෂයෙන්ම භාවිත කෙරේ. අගුණ විශේෂ සියල්ල ම මධුරයි. පිත පහ කරයි. විෂ හා ජවර නසයි.

(ඇතැම් අවස්ථා වල උද්භිද විද්‍යත්මක නාමකරණයෙ දී කිරි අඟුණ සහ තිත්ත අඟුණ වල නම් මාරුකර තිබුන ද ඒ ඒ ශාකයන්හි මෙහි සඳහන් වන ලක්ෂණ හා සමපාත වනුයේ මෙහි දක්වා ඇති නාමකරණයයි)

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර 
තිත්ත අඟුණ 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support