දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, March 26, 2018

නාගදරණ [Nagadarana] (Martynia annua)

නාගදරණ වැලි මිශ්‍ර පසට ප්‍රිය කරන මීටරයක් දක්වා උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. මේරූ කඳ කාෂ්ඨීය වේ. ශාකය පුරාම ඇලෙන සුලු බූවක් දක්නට ලැබේ. තරමක්  හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15-23 පමණ දිගට වර්ධනය වේ. පත්‍ර දාරය තරමක් තරංගීමය වන අතර සම්පූර්ණ ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා  සුදු පාටට හුරු දම්පාට මල් අලංකාරවත් ය. සෙ.මි. 2 පමණ දිග කෙලවරික් වක්වූ ඵලය වකුගඩු හැඩැති ය. එය කොළ පාට සිට කහ  තැඹිලි පාටට හැරේ. වියළි ඵලය කළු පැහැති ය. එහි තියුණු නඛර දෙකක් පිහිටා තිබේ. එය ශාකයේ ප්‍රචාරණය සඳහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ.  නාගදරණ Martyniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ආයුර්වේදයේ කකනශික ලෙස හැඳින්වෙන නාගදරන පැළෑටිය  අපස්මාරය, ඉදිමුම්, ක්ෂය රෝගය, උගුරේ ආසාදන සහ තුවාල වලට ප්‍ර‍තිකාර කිරීමේ දී යොදා ගැනේ. ඉදිමුම් සහ පිළිස්සුම් සඳහා මෙහි ඵලය ඉතා ප්‍ර‍ශස්ත ඔසුවකි. ඇට වලින් ලබා ගන්නා තෙල් සමේ කැසිලි ඇති කරන ආසාදන සහ සම මතුපිට වෙනත් රෝග වලට ප්‍ර‍තිකාර පිණිස ගනී. නාගදරණ ඵලය නිදි වර්ධනය කරන ඔසුවක් ලෙස භාවිත කරනු ද බහුලව දක්නට ලැබේ. වේදනා නාශක සහ ජ්වර නාශක (උණ අඩු කරන) ගුණ දරන නාග දරණ ඉතා ප්‍ර‍කටව එම ගුණ පළ කරයි. එනම් අත්දුටු ප්‍ර‍තිකාරයකි. තුවාල සුව කරන ගුණ සහිත නාගදරණ ස්වරසය බීමට මෙන්ම ආලේපනයට ද සුදුසු ය. එය බැක්ටීරියා ප්‍ර‍තිරෝධී ගුණ පෙන්වයි. නිස්සාරණය කරන ලද ස්වරසය බීමෙන් තුවාල වහා සමනය වේ. එය ක්ෂුද්‍ර‍ පණුවන් වැනි පරපෝෂිතයන් නසයි. කොකුපණු රෝගය සඳහා නොවරදින ඔසුවකි. වලිප්පුවට සුව ගෙනෙන මෙම ඔසුව කුඩා දරුවන්ගේ පානයට ඇතුළත් කිරීමට පවා සුදුසුය. වෛද්‍ය උපදෙස් ඇතිව දීම යෝග්‍ය වේ. ප්‍ර‍තිඔක්සිකාරක ගුණ සහිත එය කාන්තාවන්ගේ සාඵල්‍යතාව වඩවන අතර පුරුෂයන්ට ද ගුණදායකය. එයින් ශුක්‍ර‍තරලයේ අන්තර්ගත වැඩි කරයි. දියවැඩියාව පාලනය සඳහා ද යොදා ගත හැකි ඔසුවකි.

කල් පවතින තුනටියේ වේදනාවට නාගදරණ ගෙඩි එකට අමුණා ඉනේ බැඳීම පැරණි ප්‍රතිකාරයකි. මෙරට ගැමියන් කෘමී සහ මඳ විෂ සර්ප දෂ්ඨන ආදී සුලු විෂ සඳහා නාගදරණ ගෙඩියක් ගලගා දෂ්ඨ සථානයේ ආලේප කිරීමට පුරුදුව ඇත. යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් වැඩ සඳහා ද, නිවාස ආරක්ෂා කිරීම් ආදියටද නාගදරණ ගෙඩි භාවිතා කරයි. පැරැන්නන් වියලි නාගදරණ ගෙඩි ගෙමිදුලේ කලාමකව අතුරා තබනුයේ එමඟින් නිවසට සර්පයින් පැමිණීම වලකාලන බවට පවතින විශ්වාසය හේතුවෙනි. 

මූලාශ්‍ර_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාගේ ලිපියක් ඇසුරෙන් සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, March 18, 2018

මලිත [Malitha] (Woodfordia fruticosa)

මලිත්ත යනුවෙන්ද හඳුන්වන මලිත මීටර් 1-5 පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. සිනිඳු හෝ බූව සහිත ආරුක්කු හැඩැතිව විහිදී යන කඳක් පිහිටයි. බෙදුණු කුඩා අතු රැසක් දක්නට ලැබේ. පොත්ත තුනී වන අතර පොතු ගැලවී යන ස්වභාවයකි. දිග සෙ.මි. 14 සහ පළල සෙ.මි. 4 දක්වා වැඩෙන සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර හැඩය අණ්ඩාකාර-ලන්සාකාර හෝ ලන්සාකාර ය. පත්‍ර යටිපස ඝන වෙල්වට් වැනි දෘඪ බූවක් හෝ ඇතැම් ස්ථානවල සිනිඳු බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් දීප්තිමත් රතු පැහැතිය. ඵලය සෙ.මි. 2 පමණ දිග ස්ඵෝටිකාවකි. මලිත Lythraceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ශරීරදාහ, රක්තස්‍රාව, කුෂ්ඨ ලාඳුරු වැනි  චර්ම රෝග, රක්තකාස, ප්‍රවාහිකා, අතීසාර, මධුමේහ, රක්ත පිත්ත, හිසේ වේදනා, ගුදභ්‍රංශ, අර්ශස්, ඉදිමුම්, ඇදුම, පෙනහලු රෝග, උන්මාද, ස්නායු රෝග, ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මලිත ශාකයේ මල් සහ කොළ භාවිතා කරයි. මලිත දාහ සමනය කරන, ශෝධන, සන්ධානීය, ගර්භස්ථාපන, රත්පිත් සමනය කරන, පණුවන් නසන ආදී ගුණ සහිත බව සඳහන්. මලිත මල්වල පැසවීමේ ක්‍රියාකාරිත්වයක් ඇති හෙයින් කෂාය, ආසව, අරිෂ්ට ආදී බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමේදී ඒවා කල් තබාගැනීමට මලිත මල් එකතු කරයි. මෙම ඖෂධවල මධ්‍යසාර යම් ප්‍රමාණයක් අඩංගු වන්නේ මේ හේතුව නිසා ය. ධාතක්‍යාදී තෛලය සහ ධාතක්‍යාදී චූර්ණය මලිත යොදා නිපදවන ඖෂධ දෙකකි. 

අතීසාරයට මලිත මල් චූර්ණය මී පැණි සමඟ දෙයි. බඩවැල්වල රෝග, පාචනය, අතීසාරය, අශ්‍යන්තර රුධිර වහනය වැනි රෝග ඇති විට මලිත මල් චූර්ණය දීකිරි සමඟ යොදා ප්‍රතිකාර කරයි. වණ සහ පිළිකාවන්ට මලිත මල් කුඩු තුවාල මතට ඉසීමත්, මලිත මල් යුෂ ඖෂධීය දියරක් ලෙසත් භාවිතා කරයි. ගුදයේ ලේ නහර ඉදිමීම, අක්මා රෝග ආදියට වියළන ලද මලිත මල් වලින් සෑදූ කෂාය යොදා ගනී. ශ්වේත ප්‍රදර සහ අධික ඔසප් වීමට මලිත මල් කුඩුකර මී පැණි සමඟ ගැනීමට නියම කර ඇත. ගින්නෙන් පිළිස්සුන විට මලිත මල් චූර්ණය තලතෙලින් අනා ආලේප කළ යුතුය. මලිත කොළ ස්වරසය නලලේ ආලේප කිරීමෙන් පිත් උණ සහ හිසරුදාව සමනය වෙයි. සර්ප විෂට ළපටි මලිත කොළ යුෂ බිංදු කිහිපයක් නස්‍ය කිරීම, මලිත කොළ යුෂ දෂ්ට ස්ථානයේ ආලේප කිරීම කළ යුතුය. වණ සේදීමට මලිත මල් තැම්බූ ජලය භාවිතා කරයි. ලේ යන අර්ශස් තත්වයක් ඇති විට මලිත මල් තැම්බූ ජලයෙහි මඳ උණුසුමින් වාඩිවී සිටිම ගුණය. 

සංස්කෘතෙන් ධාතකී යන්නට ප්‍රම්‍රඛව මලිත භාවිතා කරතත් එ් සඳහා මයිල ද භාවිතා කළ හැකි බව ද, ඇතැම් විට වර්ග දෙකකම එකක් ලෙස සලකා ඇති බව ද පැරණි පොත් පත්වල සඳහන්ව ඇත. ඇතැම් මතයකට අනුව මලිත සහ මයිල වෙනමම කර්යයන් සඳහා භාවිතා කළ යුතු වර්ග දෙකක් ලෙස සලකා ඇති අතර මලිත වෙනුවට මයිල යොදා ගැනීම සාවද්‍ය භාවිතයක් ලෙස සලකා ඇත. මෙම බෙදීම නොවිසඳුනු ගැටළුවක් ලෙස වෛද්‍ය ශේස්ත්‍රයේ තවමත් පවතින බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් උද්භිද විද්‍යාත්මකව සැලකූ කළ මලිත සහ මයිල වෙනස්ම උද්භිද කුල දෙකකට අයත් ශාක විශේෂයන් දෙකක් බව කිව යුතුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
‍ෙ
Share:

Sunday, March 11, 2018

දුහුදු [Duhudu] (Celastrus paniculatus)

දුහුදු අධාරක ශාකයක් මත මීටර් 10 පමණ උසට වැඩෙන විශාල කාෂ්ඨීය වැලකි. බොහෝ විට ළපටි අතුවල වා සිදුරු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර ඉලිප්සාකාර, ඉලිප්සාකාර-ආයත, පුළුල් අණ්ඩාකාර ආදී විවිධ හැඩයන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 12 සහ පළලින් සෙ.මි. 6.5 දක්වා වර්ධනය වේ. පත්‍ර සිනිඳු හා චර්මල වන අතර පත්‍ර දාරය කර පත්‍රික ය. පත්‍රය දෙපසම මැද නාරටිය කැපී පෙනේ. අග්‍රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. පුෂ්ප මංජරියෙහි පුං සහ ජායා පුෂ්ප වෙන වෙනම පිහිටයි. ඉතා කුඩා පුං පුෂ්ප ළා කොළ පැහැති ය. ජයා පුෂ්පයේ මණි පත්‍ර, දල පත්‍ර සහ මඩල පුරුෂ පුෂ්පයට සමාන ය. ඵලය උපගෝලාකාර ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල දීප්තිමත් කහ පැහැයෙන් යුත් අණ්ඩාභ හෝ ඉලිප්සාකාර හැඩැති බීජ 3-6 පමණ පිහිටයි. බීජ වටා දීප්තිමත් රතු පැහැති බීජ කවචයක් දක්නට ලැබේ. දැනට රත්නපුර බංලගොඩ ප්‍රදේශය අවට  පමණක් ස්වභාවිකව හමුවන දුර්ලබ දේශීය ශාකයක් වන දුහුදු Celastraceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

දුහදු ධාරණ ශක්තිය, බුද්ධිය සහ ස්මරණ ශාක්තිය වඩවන ඔසුවක් ලෙස ඉතා ප්‍රකටය. අතීසාර, රක්ත අතීසාර, බඩවැල්වල වේදනා, හිසේ වේදනා, පිත්තජකාස, මලබද්ධය, සූතිකාවාත, ආමවාත, ස්නායු දුර්වලතා, කුෂ්ඨ පූයාව්‍රණ, කටීශූල, පක්ෂවධ, අර්දිත, ගෘධ්‍රසි, ලිංගික බෙලහීනතාවය, අධික තරබාරු බව, මස්තිෂ්ක රෝග, ග්‍රන්ථි, ගණ්ඩමාලා, කුෂ්ඨ රෝග, දියවැඩියාව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා දුහුදු ඇට, ඇට තෙල්, කොළ, මුල් හා සුඹුලු යොදා ගනී. දුහුදු නාඩි බලකාරක, වේදනාස්ථාපක, උත්තේජක, කුසගිනි වඩවන, මලභේදක, කාමෝද්දීපක, ශරීර ශක්තිය වඩවන, රුධිර දෝෂ සමනය කරන, මුත්‍රකාරක, ස්වේදකාරක ආදී ගුණයන් රැසකින් සමන්විතයි. දුහුදු තෙල් විශේෂයෙන් දුෂ්ටවායු හරණය කරන, වණ රෝපණය කරන ගුණයන්ගෙන් යුක්ත බවත්, දුහුදු කොළ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කරන බව සහ විෂහරණය කරන බවත් දක්වා ඇත. 

ස්මරණ ශක්තිය වර්ධනයට දුහුදු තෙල් එළඟිතෙල් සමඟ යොදා ගනී. හිසරුදාවට දුහුදු තෙල් එඬරු තෙල් සමඟ මිශ්‍රකර හිසේ ආලේප කළ යුතුය. අතීසාර, රක්තාතිසාර, රක්තප්‍රදර, කැස්ස ආදියට බීජ චූර්ණය යොදා ගනී. කල්ගිය වණ සඳහා දුහුදු ඇට ඇල්දියෙන් අඹරා වණයේ ආලේප කරයි. දුහුදු සුඹුළු අඹරා අබ තෙල් හා මිශ්‍ර කොට හිස ගැල්වීම උකුණන් සඳහා ප්‍රතිකර්මයකි. අක්‍රමවත් ඔසප් වීමට සහ ඔසප් වේදනාවන්ට දුහුදු කොළ යුෂ හෝ තෙල් යොදා ප්‍රතිකාර කරයි. දුහුදු තෙල් ආලේප කිරීමෙන් වාත වේදනාවන්ට සහනය ගෙනෙයි. ආයුර්වේදයේ බුද්ධි වර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රකට ඖෂධයක් වන ජ්‍යොතිෂ්මතී තෛලය දුහුදු ඇට යොදාගෙන නිපදවයි. 

දුහුදු ඇට තෙල් මේධ්‍ය ගුණයෙන් විශීෂ්ඨ බැවින් කුඩා දරුවන්ට ගිතෙල් මිශ්‍රකර බිංදුව බැගින් පෙවීමෙන් බාල කාලයේදී ඇති වන ගොත බව සුව වන බව සඳහන්. දුහුදු තෙල් බිංදු 5 බැගින් උදේ හවස මාස තුනක් භාවාවිතා කිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ශරීරයේ අනවශ්‍ය මේදය, සෙම හා තරබාරුව සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස්  ප්‍රශස්ථ සිරුරක් ලැබෙන බව නූතන පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත. දුහුදු කොළ ව්‍යංජනයක් ලෙස කෑමට ගත හැකිය. එය ආර්ථව පීඩාවන්ට ප්‍රතිකාරයක්ද වේ.

දුහුදු ඇට කොටා, වණ්ඩුවේ තම්බා මිරිකා ගැනීමන් පසු දුහුදු තෙල් වෙන්කර ගත හැකිය. ගැමියන් කොහොඹ, මී තෙල් ආදිය නිපදවීමට යොදා ගන්නා සාම්ප්‍රදායික "පැහැ" මේ සඳහා භාවිතා කරයි.  වර්තමානයේදී මේ වෙනුවෙන් නිපදවූ උපකරණද තිබේ. මෙලෙස ලබා ගන්නා තෙල් කහ පැහැති ය. මෙයට අමතරව දුහුදු ඇට, කරාබු නැටි, සාදික්කා, වසාවාසි සමව ගෙන අඹරා පාතාල යන්ත්‍රයේ බහා වෙන්කර ගන්නා තෙල් කළු පැහැතිය. දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා වටිනා දේශීය ශාකයක් වන දුහුදු වැලක් වවා ගැනීමට උනන්දු වීම දේශීය ශාක සංරක්ෂණයට සහ අපේ වෙදකමට හිතැති සැමගේ යුතුමකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, March 4, 2018

ගුරැන්ද [Gurenda] (Celtis timorensis)

ගරිඳ සහ බූරැන්ද යන නම්වලින්ද හඳුන්වන ගුරැන්ද මීටර් 20 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. මෙම ශාකයේ අරටුවෙන් තද අශූචි දුගඳක් නික්මීම මෙම නාමය ලැබීමට හේතුවක් වන්නට ඇත. ගුරැන්ද ශාකයේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. අතුවල ලඟින් ඇසිරුණු වා සිදුරු පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර තුනී හා චර්මල ය. පත්‍ර හැඩය අණ්ඩාකාර, ඉලිප්සාකාර හෝ ඉලිප්සීය ආයත වේ. පත්‍ර අග්‍රය තීවෘ සිට අතිතීවෘ වන අතර පත්‍ර දාරය තරංගීමය ආකාරයකි. පත්‍රයක දිග සෙ.මි 12 සහ පළල සෙ.මි. 6 දක්වා වර්ධනය වේ.  පුමාංගී හා ජායායාංගී ඒකාක්ෂ පුෂ්ප මංජරි  එකම ශාකයේ වෙන වෙනම පිහිටයි. පුෂ්ප මංජරියක කහ කොළ පැහැති මල් 10-15 පමණ දරයි. ඵලය අෂ්ටිලයකි. ගූරැන්ද Ulmaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

රත්පිත, කුෂ්ඨ රෝග, දන්ත රෝග, බෝවන රෝග, තුවාල අාදියට ප්‍රතිකාර කිරීම සඳහා ගූරැන්ද ශාකයේ මුල් සහ පොතු භාවිතා කරන බව සඳහන්. රත්පිතට සහ කුෂ්ඨ රෝගවලට ගුරැන්ද, සඳුන් සහ නියඟලා අල අඹරා, රතු තම්පලා යුෂ සහ දෙහි ඇඹුල් සමඟ එකට අනා ඇඟේ ආලේප කළ යුතුය. වණ තුවාල වෙදකමේ යෙදෙන තෙල්, බෙහෙත් ආලේපන ආදිය සඳහා ගුරැන්ද මුල් යෙදුනු අවස්ථා පැරණි පොත්වල සටහන්ව ඇත. මෙම මුල් තැම්බූ වතුරින් කබල ධාරණය කිරීමෙන් (එම වතුර කටෙහි රඳවා උගුර කට සෝදා  ඉවත දැමීමෙන්) කට, දිව, තොළ, විදුරුමස ආශ්‍රිත රෝග සුවවන බව සිංහල යෝගරත්නාකරයේ සඳහන්ව ඇත.  මුඛ රෝග චිකිත්සාවේ ප්‍රමුඛ ඖෂධයක් වන විටිඛදිර නැමැති ද්‍රව්‍ය සඳහා ප්‍රතිනිධි ලෙස දේශීය වෛද්‍යවරු ගුරැන්ද ගැනීමට පුරුදු වී ඇති අතර ඒ අනුව යමින් ඔවුන් කාලාන්තරයක සිට අරිවේදාදී තෛලයට ගුරැන්ද අරටුව යොදා ගැනීමට හුරු වී ඇත. 

ගුරැන්ද අරටුව විෂබීජ නාශක ගුණයෙන් යුක්ත බව පැරණි දේශීය රහස් වට්ටොරුවල සඳහන්ව ඇත. ප්‍රතිශ්‍යා, උණ, උණ සන්තිපාතය, සරම්ප, පැපොල, වසූරිය ආදී වසංගත රෝග පැතිරෙන අවස්ථාවල ගුරැන්ද අරටු කැබැල්ලක් ඉණ බැඳ තබා ගැනීමෙන් එම අසනීප නොවැළඳෙන බවද ඒවායේ දක්වා ඇත.   

ගුරැන්ද ලීය කුඩා කැබලිවලට කපා භූත දෝෂ සඳහා දුම් ඇලීමට යොදා ගනී. මෙම අරටු කැබැල්ලක් නිවසේ ප්‍රධාන උළුවස්සට ඇතුළු කිරීමෙන් අණවින කොඩිවින නොවදින බව ගැමි විශ්වාශයකි. මෙම අරටුව පරාල, රීප්ප ආදී දැව අවශ්‍යතා සඳහා කළ හැකිය. වැසි කාලයේදී අරටුවෙන් දැඩි දුඟදක් හමන නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවූ අවස්ථාද වාර්ථා වී ඇත.

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය 
Share:

Sunday, February 25, 2018

බාඳුරා [Bandura] (Nepenthes distillatoria)

බාඳුරා මෙරට වැසි වනාන්තර සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල හමුවන පඳුරු හෝ අර්ධ පඳුරුමය මාංශභක්ෂක ශාකයකි. එ්කාන්තරව පිහිටන සරල පත්‍රවල කෙලවර විකරණය වීමෙන් සෑදෙන පහුර ආධාරයෙන් ශාක මත පැතිරී වැඩෙයි.  මෙලෙස පහුරක් ලෙස වර්ධනය වන පත්‍ර අග්‍රයේ කෙලවර අලංකාර කෙන්ඩියක් හට ගනී. පියනක් සහිත උඩු අතට පිහිටන කෙන්ඩිය සෙ.මි. 2.5 සිට 20.5 දක්වා වර්ධනය විය හැකිය. මෙම කෙන්ඩිය ළා කොළ හෝ දම්-රතු මිශ්‍ර පැහැයෙන් යුක්ත වන අතර සිලින්ඩරාකාර හෝ තුම්බිකාකාර හැඩැති ය. දර්ශනීය බව, ග්‍රන්ථිමය ස්‍රාව හෝ කුතුහලය හේතුවෙන් කෙන්ඩිය දෙසට ඇදී එන කෘමින් ඒ තුලට ලිස්සා වැටී මරණයට පත් වේ. එලෙස ගොදුරු වන කෘමීන් ජීර්ණය කර ශාකයේ ඇතැම් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම මෙම ශාකවල විශේෂත්වයයි. බාඳුරා ද්වී ගෘහී හෙවත් ගැහැණු සහ පිරිමි මල් හට ගන්නා ශාක වෙන වෙනම පිහිටන ශාකයකි. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. පෙති 4 ක් සහිත මල් කහ කොළ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි.  අප රටට ආවේණික ශාකයක් වන බාඳුරා Nepenthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

පාද ඉදිමීම, ගෙඩි වෙදකම, කක්කල් කැස්ස ආදියට ප්‍රතිකාර කිරීම සඳහා බාඳුරා ශාකයේ දලු, වැල් සහ කෙන්ඩිය තුල පිහිටි ජලය භාවිතා කරයි. පාද ඉදිමීමට බාඳුරා කොළ, සූදුරු, රත්නිටුල් මුල්, හාල්පානු දියෙන් අඹරා ගෑම සිදු කරයි. එයින් ටික වේලාවකට පසු එතැන දිය බුබුලු හට ගනී. ඉන් පසු පාදය සෝදා දිය බුබුලු සිදුරු කර වතුර ඉවත් කළ විට ඉදිමුම් බැස යයි. අනතුරුව තුවාලය මත නෙළුම්, ඕලු, මානෙල් වැනි කොළයක් ගින්නෙන් තවා ඇතිරිය යුතුය. බාඳුරා දළු විට කන හුණු සමඟ අඹරා ආලේප කිරීමෙන් ගෙඩි පුපුරා යයි. කක්කල් කැස්සට පියන නොඇරුණු බාඳුරා කෙන්ඩියේ වතුර කපුටා හඬලන්නට පෙර ගෙන උදේ හිස් බඩ දින 7 ක් පානය කළ යුතු බව සඳහන් කර ඇත. 

කිතුල් මල් පදම් කිරීම සඳහා බාඳුරා දලු, වල් හබරල දලු, හිඟුරු වැල් දලු, ලිපේ අලු, කොල්ලන් කොළ සහ විටකන හුණු සමව ගෙන සිනිඳුවට අඹරා ගඩාදෙහි (කූඬලු දෙහි / ලීම) ඇඹුලෙන් අනා පැසවා ගත යුතුය. පසුව කිතුල් මලේ කොලපු ඉවත්කර කඳට ආසන්න ස්ථානයක සිදුරක් සාදා එම බෙහෙත් තබා බැඳ වරු තුනකින් ලිහා අව්වේ තැවෙන්නට හැර මල පදම් කර ගනී. කලකට ඉහත මෙරට ගැමියන් කුඹුරු වැඩ කිරීමේදී මෙම වැල්වලින් වියා ගන්නා ලද හිස්වැසුම් භාවිතා කර ඇත.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ තරිඳු ඩිල්ෂාන් රණසිංහ 
Share:

Monday, February 12, 2018

තිරස්තවාලු [Thirastawalu] (Operculina turpethum)

මෙම වැලේ කඳ දාර තුනකින් යුත් තුන්හුලස් රූපාකාරයකින් යුත් නිසා  තිරස්තවාලු යන නම යෙදී ඇත. සංස්කෘතෙයෙන් ත්‍රිවෘත් යනුවෙන් ද සිංහලෙන් තිරැස්සවාලු සහ තිරස්සවාලු යනුවෙන්ද හඳුන්වන මෙය නිඛාතීය හෝ කෝණික හැඩයෙන් යුත් බහු වාර්ෂික වැල් ශාකයකි. වැලේ බොහෝ කොටස් අකාෂ්ඨීය වන අතර මඳ වශයෙන් රෝමීය වේ. ඒකාන්තරව පිහිටන පත්‍ර වක්‍රාකාර, අති අණ්ඩාකාර, ලන්සාකාර ආදී විවිධ හැඩයන් ගනී. සෙ.මි. 5-15 පමණ දිගුවන පත්‍රයක පත්‍ර දාරය සම්පූර්ණ හෝ දන්තූර සිට මඳ වශයෙන් බෙදුණු ස්වරූපයක් දක්වා වෙනස් විය හැකිය. පත්‍ර උඩු පෘෂ්ඨය සිනිඳු රොමීය වන අතර යටි පෘෂ්ඨය බූව සහිත වේ. බහු අක්ෂ පුෂ්ප මංජරියෙහි මල් එකක් හෝ කීපයක් හටගනී. විශාල මණිපත්‍ර සහිත සුදු පැහැති මල් හැඩයෙන් ඝණ්ටාකාර සිට පුනීලාකාර දක්වා වේ. ඵලය පැතලි ගොලාකාර ස්ඵෝටිකාවකි. බීජ තද කහ පැහැතිය. තිරස්තවාලු Connvolvulaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

කඵපිත්ත රෝග. අධිමාන, අර්ශස්, කෘමි අපහණය, සෙංගමාලය, උදර රෝග, ආමවාත, වාතරක්ත, උදාවර්තවාත, තිවෘ මලබද්යධ සහිත උණ, කල්ගිය මලබද්ධය, බරවා, පිත්ත පාණ්ඩුව, විසර්ප, ගුල්ම, සර්ප විෂ, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී තිරස්තවාලු ශාකයේ මුලේ පොතු, දඬු , කොළ ආදිය භාවිතා කරයි. තිරස්තවාලු පිත සමනය කරන, කඵ නසන, වාතය වඩන, රේචන, ශෝතහර ආදී ගුණ සහිතයි. ත්‍රිවෘත් චූර්ණය, මණිභද්‍ර මෝදකය තිරස්තවාලු අඩංගු නිශ්පාදිත ඖෂධ වේ. 

කාමලාවට ත්‍රිවෘත් චූර්ණය, ගෝක්ෂුර චූර්ණය සමඟ යොදයි. අර්ශස්වලදී ත්‍රිඵලා කෂාය සමඟ භාවිතා කරයි. උණට තිරස්තවාලු චූර්ණය සීනි මී පැණි සමඟ දෙයි. බරවා සහ වාතරක්තවලදී ත්‍රිවෘත් ත්‍රිපල් සහ ඉඟුරුපියලි චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. පිත්තෝදරයට එළකිරි සමඟ ත්‍රිවෘත් චූර්ණය ද පිත්ත පාණ්ඩුවට සීනි සමඟ ද භාවිතා කරයි. ඇස් රෝගවලදී තිරස්තවාලු මී පැණි සමඟ බාහිරින් ආලේප කරයි. 

තිරස්තවාලු මුල් ගලවාගත යුත්තේ චන්ද්‍රයා පුර පක්ෂයේ පවතින කාලවලදී බව පැරණි පොතපතෙහි සඳහන් වේ. මෙම මුල් සේදීමෙන් ගුණ හානිවන බව පැරණි වෛද්‍යවරු දැනසිටි නිසා ඔවුන් මෙම මුල් ගලවා රෙදිවලින් පිසදමා මැද නාරටිය ඉවත් කර හොඳින් වියළා භාජනවල බහා තබා ගනිමින් ප්‍රයෝජනයට ගත්හ. තිරස්තවාලු මුල් චූර්ණය සෑදීමේදී මුලෙහි මැද නාරටිය ඉවත් කොට කැබලි කර කිරෙහි බහා තම්බා වියළා ලත යුතුය. අළුත් අවස්ථාවේ භාවිතා කිරීම වඩාත් ප්‍රතිඵලදායක බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, December 31, 2017

වල් ඇඹරැල්ලා [Wal Ebarella] (Spondias pinnata)

වල් ඇඹරැල්ලා මීටර් 25 ක් දක්වා උසට සහ සෙ.මි. 60 දක්වා විශ්කම්භයක් සහිතව වැඩෙන විශාල පතනශීලී වෘක්ෂයකි. ඝණකම් පොත්ත සිනිඳුය. පොත්ත පළුදු කළ විට උකු මැලියම් ද්‍රාවණයක් ස්‍රාවය වෙයි. ළපටි අතු සහ කොළ කහ පැහැයට හුරු දුඹුරු පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 40 දක්වා දිගු විය හැකිය. එක් පත්‍රිකාවකින් අවසන් වන සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 5-11 අතර සංඛාවක් පිහිටයි. සෙ.මි. 10 පමණ දිග පත්‍රිකාවන්ගේ හැඩය අණ්ඩාකාර අායත සිට ඉලිප්සාකාර ආයත වේ. අග්‍රස්ථ පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා නිර්වෘන්ත පුෂ්ප සුදු පැහැතිය. ඉලිප්සාකාර ඵලය අෂ්ටිලයකි. ළපටි ඵලය කොල පැහැතිවන අතර ඉදුණු පසු කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී. ඵලය මධ්‍යයේ පිහිටි ගණ තන්තුමය ආවරණයකින් වටවුනු බීජ 2 හෝ 3 පිහිටයි. Wild Mango යනුවෙන්ද හඳුන්වන වල් ඇඹරැල්ලා Anacardiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

විශේෂයෙන් දේශීය වෙදකමේ කොඳුඇට පෙල ආබාධ සහ කැඩුම් බිඳුම් සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා ශාකයේ පොතු භාවිතා කරයි. එමෙන්ම මෙම ගෙඩි පිත අධික බව සහ කුසගිනි මදිකමට ප්‍රතිකාර කිරීමටත්, ගෙඩිවල යුෂ කණ් කැක්කුමට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. එමෙන්ම උදරාබාධ, අතීසාරයට, ආතරයිට්ස්, හන්දි ඉදිමීම ආදී රෝග සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා පොතු භාවිතයට ගනී. මෙම මුල් කාන්තාවන්ගේ ඔස්ප් චක්‍රය ක්‍රමවත් කිරීමට භාවිතා කළ හැකි බව සඳහන්. එමෙන්ම අතීසාරය, පාචනය, වණ, තුවාල, පිලිස්සුම්, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වල් ඇඹරැල්ලා ශාක කොටස් භාවිතා කළ හැකිය. වල් ඇඹරැල්ලා ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. 

වල් ඇඹරැල්ලා කොළ සලාද ලෙසත්, අමු ගෙඩි ව්‍යංජන ලෙස සකසා අහාරයට ගත හැකිය. අමු ගෙඩි කාමවර්ධණ ගුණයෙන් යුක්තය. ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඒවායෙහි සමේ රෝග සුව කිරීමේ ගුණ සහිත බව සඳහන්. ගිණි කූරු, තාවකාලික ඇසුරුම් ආදිය නිපදවීමට මෙම ශාකයේ දැව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන් සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 24, 2017

ඇඹරැල්ලා [Ebarella] (Spondias dulcis)

ඇඹරැල්ලා ශක්තිමත් නොවන කඳක් සහිත පතනශීලී හෝ පතනශීලී නොවන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ සහ අතු සිනිඳු වන අතර පොත්තෙන් මැලියම් ස්‍රාවය වෙයි. ඒකාන්තරව පිහිටන අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සෙ.මි. 45 දක්වා දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල් 3-7 දක්වා පිහිටන අතර එක් පත්‍රිකාවකින් අවසන් වේ. අග්‍රස්ථීය පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. කුඩා ද්වීලිංගික පුෂ්ප කොළ පාටට හුරු කහ පාටය. ඵලය සෙ.මි. 7 පමණ දිග අණ්ඩාභ හැඩැති මාංසල අෂ්ටිලයකි. සොලමන් දූපත්, ක්‍රිස්මස් දූපත්, මලුකු වැනි ඔස්ටේලියානු අර්ධද්වීපය අවට දූපත් රාජ්‍යයන් කීපයකට පමණක් දේශීය වන ඇඹරැල්ලා ශාකය මේ වන විට ලෝකයේ රටවල් බොහෝමයකට ව්‍යාප්තව ඇත. මෙකල ගෙවතුවල වගා කරන මිටි ඇඹරැල්ලා නම් කුඩා ශාකය මෙම විශේෂයේම ප්‍රභේදක් ලෙස සැලකේ. එමෙන්ම මෙම උද්භිද ගණයටම අයත් වල් ඇඹරැල්ලා (Spondias pinnata) නම් දේශීය ශාකයක් ඇති අතර එය මෙරට සහ වෙනත් රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල ඖෂධ සඳහා භාවිතා කරයි. ඇඹරැල්ලා  වර්ග Anacardiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ගණ්ඩමාලය, මුත්‍ර මාර්ගයේ ඉදිමුම්, ග්‍රහණි, අතීසාර, අර්ශස්, අහාර අරුචිය, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම, දරු ප්‍රසූතියෙන් පසු ලේ වහනය, අම්ලපිත්තය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කල්ගතවූ කුෂ්ට, කැස්ස, කක්කල් කැස්ස, උදරාබාධ, ශ්වේත ප්‍රදර, පූය මේහ, රක්තඅතීසාරය, ප්‍රවාහිකා, තුවාල, පිලිස්සුම්, අක්ෂි රෝග, උගුරේ තුවාල සහ මුඛයේ ආසාදන ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා ශාකයේ පොතු, කොළ, ගෙඩි ආදිය භාවිතා කරයි. 

සෙම ඉවත් කිරීමට ඇඹරැල්ලා ගසේ පොත්ත පිට කුරුට්ට ඉවත්කර එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගෑ යුතුය. බෙල්ල ඉදිමීමට ඇඹරැල්ලා පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බලේලේ ගෑමට නියම කර ඇත.  ඇඹරැල්ලා පොතු, අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ගෑම ගණ්ඩමාල රෝගයට ප්‍රතිකාරයකි. තැල්මට ඇඹරැල්ලා පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගායි. කල්ගතවූ කුෂ්ට හා කක්කල් කැස්සට හොඳියෙන් පැසී ඉදුණු ගෙඩි පොතු හැර, ගෑරොප්පුවකින් සිදුරු කර මී පැණියේ බහා තබා දිනපතා ගෙඩිය බැගින් කෑමට ගත යුතුය. ගර්භාෂයේ ශ්ලේෂ්මල පටල ඉදිමීම. මුත්‍ර මාර්ගය ආශ්‍රිත ඉදිමීම්, දියවැඩියාව, ශ්වේත ප්‍රදර, පූය මේහ, ප්‍රවාහිකා, රක්ත අතීසාර ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ඇඹරැල්ලා පොතු කෂාය යොදා ගනී. 

අමු ඇඹරැල්ලා ගෙඩි ව්‍යංජනයක් ලෙසත්,  ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් කෑමට ගත හැකිය. ඇඹරැල්ලා දළු සම්බෝලයක් ලෙස සකසා අහාරට එකතු කර ගැනීමට පුලුවන. එමෙන්ම ඇඹරැල්ලා යොදා ගෙන ජෑම්, චට්නි, අච්චාරු ආදිය සාදා ගත හැකිය. අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයටත්, හෘද රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ටත් එළවළුවක් ලෙස මෙන්ම පළතුරක් ලෙස ද ඇඹරැල්ලා ආහාරයට ගැනීම ගුණදායක ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 17, 2017

විෂ්ණුක්‍රාන්ති [Vishnukranthi] (Evolvulus alsinoides)

විෂ්ණුක්‍රාන්ති පොළව මත වැතරී වැඩෙන හෝ ඇතැම් විට ඉහලට වැලක් ආකාරයෙන් වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම සේදවන් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර හැඩයෙන් ඉලිප්සාකාර සිට රේඛීය ආයත වේ. පත්‍රයක දිග සෙ.මි. 0.8 සිට 2.6 දක්වා විය හැකිය. පුෂ්ප මංජරිවල මල් 1-5 සංඛාවක් පිහිටයි. නිල් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය ගෝලාකාර ස්ඵෝටිකාවකි. ඵලයක් තුල අණ්ඩාභ හැඩැති බීජ 4 පිහිටයි. විෂ්ණුක්‍රාන්ති ශාකයට තරමක් සමාන මෙම  උද්භිද ගණයටම අයත් Evolvulus glomeratus නම් විදේශීය විසිතුරු ශාකයක් ඇති අතර බොහෝ දෙනෙක් එය විෂ්ණුක්‍රාන්ති යැයි වරදවා ඖෂධ සඳහා භාවිතා කරන බව දැන ගන්නට ඇත. පඳුරක් ආකාරයට වැඩෙන එම ශාකයේ විෂ්ණුක්‍රාන්ති ශාකයේ තරම් බූවක් නොපිහිටන අතර මල සාපෙක්ෂව කිහිප ගුණයකින් විශාලය. මෙම ශාක දෙකේ සංසංදනාත්මක ඡායාරූපයක් පහත පලකර ඇත. දේශීය ශාකයක් වන විෂ්ණුක්‍රාන්ති  Connvolvulaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

භාරතීය මූල් ආයුර්වේද ග්‍රන්වථල ශංඛපුෂ්පී නමින් හඳුන්වන ඖෂධීය ශාකය වෙනුවට දේශීය විෂ්ණුක්‍රාන්ති පැළෑටිය භාවිතා කරයි. ශංඛපුෂ්පී හෙවත් සක්මල් සහ  විෂ්ණුක්‍රාන්ති යන ශාක ද්විත්වය ගුණ වශයෙන් බලන කල්හි සමානතා ඇති බව විද්වත් මතයයි.

කෝලවාත, ඉලප්පුව, ඇම්ම, සන්නිපාත උණ, අහාර අරුචිය, කැස්ස, ඇදුම, ස්වාස නාළිකා ප්‍රදාහය, අපස්මාරය, රුධිර දෝෂ, ගලගණ්ඩය, කුෂ්ඨ, ළාඳුරු ඇතුළු චර්ම රෝග, උපදංශය, පැපොල, කොලරාව, අතීසාරය, කම්බුල්ගාය, අධිරුධිර පීඩනය, මඳසරු බව, ඔසප් දෝෂ, මුත්‍ර ආබාධ, ස්නායු රෝග, නින්ද නොයාම, ළදරුවන්ට වැලඳෙන කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්ස යනාදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විෂ්ණුක්‍රාන්ති සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. විෂ්ණුක්‍රාන්ති මේධ්‍ය, ශුක්‍ර වර්ධක, රසායන, බලකාරක, මතකය සහ නුවණ වඩන, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, විරේචක ආදී ගුණයන් සහිතයි. 

ඇදුම සහ ස්වාස නාළිකා ප්‍රදාහයට විෂ්ණුක්‍රාන්ති දුම්වැටිය භාවිතා කිරීම ගුණය. වාත උන්මාදයේදී විෂ්ණුක්‍රාන්ති කෂාය යොදා ප්‍රතිකාර කරයි. එය මතකය සහ නුවණ වැඩීමටද ඉවහල් වන ප්‍රතිකාරයකි. කෝලවාත, ඉලප්පුව, ඇම්ම, නොබසිනා උණ, අරුචි, කැස්ස, ඇදුම ආදියට දියතාරාම ගුළියේ අනුපාන මිශ්‍රව යොදයි. උණට සම්පූර්ණ ශාකයෙන් සෑදූ ඵාණ්ඨය හෝ ක්වාතය භාවිතා කරයි. නාඩි දුර්වලත්වයට හා ජීර්ණජවරයට  විෂ්ණුක්‍රාන්ති, සූදුරු ක්ෂීර පානය බීමට දෙයි. ළදරුවන්ගේ කැස්ස, උණ සහ විශේෂයෙන් කක්කල් කැස්සට ප්‍රතිකාර කිරීමට කප්පරවල්ලිය,  විෂ්ණුක්‍රාන්ති, පාවට්ටා කෂාය හෝ පැණිය යොදා ගනී. විෂ්ණුක්‍රාන්ති පැළෑටියම ගෙන ඇල් ජලයෙන් අඹරාගත් පල්පය ආලේප කිරීම තුවාල සඳහා ප්‍රතිකාරයකි. එමෙන්ම ඒ සඳහා මෙම ශාකයේ චූර්ණය ද භාවිතා කළ හැකිය. විෂ්ණුක්‍රාන්ති යොදා සිඳගත් තෙල් හිස ගැල්වීම හිස කෙස් මනාව වැඩීමට උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 10, 2017

අතිවිඩයම් [Athividayam] (Aconitum heterophyllum)

අතිවිෂා යනුවෙන්ද ප්‍රකට අතිවිඩයම් සෘජු කඳක් සහිතව මීටරයක් දක්වා උසට වැඩෙන බහු වාර්ෂික පැළෑටියකි. භූගත අලයක් සහිත මෙහි නොමේරූ කඳ කොළ පැහැතිය. කෙඳි මුල් රාශියක් සහිත අලය බාහිරින් අළු දුඹුරු පැහැති වන අතර ඇතුලත සුදු පැහැයක් ගනී. ඛණ්ඩිකා පහකට පමණ බෙදුණු  සරල පත්‍ර විවිධ හැඩයන්ගෙන් යුක්ත වන අතර පත්‍ර දාරය කඩතොළු සහිතයි. පහලින් පිහිටි පත්‍රවල දිග පත්‍රනටු පිහිටා තිබේ. ඒකාක්ෂ පුෂ්ප මංජරියෙහි හට ගන්නා මල් අක්‍රමවත්ව පිහිටා තිබේ. මල් දම්පාටට හුරු නිල් පාට හෝ කහ පාටට හුරු කොළ පාටය. ඵලය වරාවකි. අක්‍රමවත් ලෙස කෝණික හැඩයක් ගන්නා දිළිසෙන සුලු බීජ දුඹුරු පැහැතිය. ලංකාවේදී හමු නොවන, ඉන්දියාවේ හිමාලය සහ කාශ්මීරය අවට ප්‍රදේශවල වැවෙන  අතිවිඩයම් ශාකය Ranunculaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අතිවිඩයම් සම්බන්ධව කතා කරන විට ඈඳෙන තවත් නාමයක් වන්නේ අතිඋඩයන් යන්නයි.  Cryptocoryne නම් උද්භිද ගණයට අයත් ජලාශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාක විශේෂ 11 ක් පමණ අතිඋඩයන් හෝ ඇතැම් විට අතිඋදයන් නමින් හඳුන්වා ඇත. මෙරට ඇතැම් වෛද්‍යවරු අතිවිඩයම් වෙනුවට මෙම අතිඋඩයන් විශේෂ භාවිතයට ගැනීම සුදුසු යැයි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. "අතිවිඩයම් සඳහා ප්‍රතිනිධියක් ලෙස අතිඋදයන් (Cryptocoryne sp.) විශේෂ භාවිතයට ගැනේ" යනුවෙන් ඖෂධීය ශාක සංග්‍රහයෙහි සඳහන් වන සටහන ඊට අනුබල දෙන සුලුය.  එහෙත් මෙරට ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව අවිඩයම් වෙනුවට අතිඋදයන් භාවිතා කිරීම කිසිසේත් නොගැලපෙන වැරදි ව්‍යවහාරයක් වන අතර ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා ඇත්තේ එලෙස භාවිතා කිරීම සුදුසු බව නොව වරදවා භාවිතා කරන බව සඳහන් කිරීමක් පමණක් බවයි. ඔවුන්ට අනුව අතිවිඩයම් සහ අතිඋදයන් අසමාන ගුණ කර්ම සහිත ශාක විශේෂයන් ය. කෙසේ වෙතත් අතිවිඩයම් වෙනුවට නොව, දේශීය වෙදකමේ ඊට අනන්‍ය භාවිතාවන් සඳහා අතිඋදයන් යොදා ගන්නා බවට තොරතුරු දේශීය වෛද්‍යවරුන් සතුව පවතින බව දැන ගන්නට ඇත. 

කුසගිනි මදිකම, නිසිලෙස මව්කිරි ස්‍රාවය නොවීම, වමනය, අජීර්ණ, ආහාර දිරවීමේ දෝෂ, අතීසාරය, උණ අතීසාරය, පාචනය, අර්ශස්, පණු රෝග, රත්පිත්, රක්ත ස්‍රාව, ඉදිමුම් සහිත දැවිල්ල,මලබද්ධය, ප්‍රතිශ්‍යා, ඇදුම, මුත්‍ර ආබාධ, ලිංගික දුබලතාව, උමතුබව, රක්තවාතය, කෘමි සහ සර්ප දෂ්ඨන ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් අතිවිඩයම් අල සහ මුලුත් අමතරව කොල බීජත් භාවිතා කරයි. අතිවිඩයම් සෙම සහ පිත නසන, වා පිත් සෙම් සමනය කරන ගුණ සහිත බව සඳහන්. අතිවිඩයන් මුල් සහ අල විෂ සහිත බැවින් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ශෝධනය කර ඖෂධ සඳහා භාවිතා කළ යුතුය.  අතිවිඩයම් ශෝධනය පිණිස ගොම දියකර ගත් ජලයෙන් දෝලා යන්ත්‍රයෙන් ස්වේද දී සෝදා වියළා ගත යුතුය. 

කල්ගිය අතීසාරයට අතිවිඩයම්, කෙළිඳ පොතු සමව ගෙන චූර්ණ කර දෙයි. ළදරු වටපණු රෝගයට අතිවිඩයම්, වලඟසාල් සමව ගෙන චූර්ණ කොට වරකට ග්‍රෑම් 1 ක් මී පැණියෙන් දිය යුතුය. ඇදුම රෝගයට අතිවිඩයම් සුවඳ කොට්ටම් චූර්ණය වරකට ග්‍රෑම් 2 ක් මෑ පැණියෙන් දීමට නියම කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, අන්තර්ජාලයෙන් සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් (සංවාදය) 
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support