
උගුරැස්ස මීටර් 10 දක්වා උසට වර්ධනය වන ශක්තිමත් කඳක් සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි කඳෙහිත් ළපටි රිකිලිවලත් තියුණු කටු පිහිටා තිබේ. ළා දුඹුරු පැහැති පොත්ත සිනිඳු ය. හරිත පැහැ මදක් දිළිසෙන ස්වභාවයෙන් යුක්ත පත්රවල පත්ර දාරය දැති සහිතය. ඉතා කුඩා මල් කහ පාටට හුරු සුදු පාටින් යුක්ත වන අතර ඒවා ද්වීලිංගිකය. ගොලාකාර කොළ පැහැති ඵලය ඉඳුණු පසු තද දම් පැහැයක් ගනී. කැලෑබද ප්රදේශවල වැවෙන මෙම දේශීය උගුරැස්ස ශාකයේ ගෙඩි කුඩා වන අතර මෙකල නිවෙස්වල සුලභව වගා කර ඇති Flacourtia jangomas නම් විදේශීය උගුරැස්ස විශේෂයෙහි ගෙඩි එමෙන් කිහිප ගුණයක් විශාලය. පැණි රසැති මදක් කහට රසයෙන් යුත් ඉදුණු උගුරැස්ස ගෙඩි රසැති ගුණැති පළතුරකි. උගුරැස්ස යුෂ බුදුන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට නොකල්හි වැළඳීමට සුදුසු යැයි අනුදැන වදාල අෂ්ටපාන වලින් එකකි. උගුරැස්ස Flacourtiaceae කුලයට අයත් ශාක විශේෂයකි.
සෙංගමාලය, ප්ලීහා රෝග, වාත රෝග, ඇදුම, පීනස, ක්ෂය රෝගය, දියවැඩියාව, මුත්ර දෝෂ, සෙම් රෝග, අක්ෂි ආබාධ, පිපාසය, අතීසාරය, හිසරදය, වමනය සහ ඔක්කාරය ආදී රෝග අවස්ථා සඳහා ප්රතිකාර කිරීමට ප්රධාන වශ්යයෙන්උගුරැස්ස ගෙඩි, පොතු සහ කොළ යොදා සෑදූ ඖෂධ භාවිතා කරයි. ඉඳුණු උගුරැස්ස ගෙඩි යොදාගෙන සාදා ගන්නා පරුෂ්යාදී පැණිය කුඩා දරුවන්ගේ උගුරේ සෙම ගතිය, සෙම්ප්රතිශ්යාව, කැස්ස සහ පීනස ආදි රෝගයන්ට ගුණදායක ය. තවද ප්රසූතියෙන් පසුව ඇතිවන වාත වේදනා ආදිය සමනය කිරීම සඳහා උගුරැස්ස ඇට යෙදූ ඖෂධ ද, කැඩුම් බිඳුම් වෙදකම සඳහා උගුරැස්ස මුලේ පොතු ද භාවිතා කරන බව සඳහන්.උගුරැස්ස ආහාර රුචිය ඇතිකරවන කුසගිනි වඩවන ගුණ සහිතයි.
මූලාශ්ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment