දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, October 17, 2016

බුරුල්ල / ගුරුල්ල [Burulla / Gurulla] (Leea indica)

ළපටි දලුව කොපුවක් වැනි උප පත්‍රයක් තුල පිහිටන හෙයින් හිරු සඳු නොදුටු දලු නමින් ද දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ ප්‍රකට බුරුල්ල ශාකය විශේෂයෙන්ම අග්නිදග්ධ හෙවත් පිළිස්සු තුවාල සුවපත් කීරීමට යොදා ගනී. බුරුල්ල මීටර් 5 දක්වා උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන දේශීය ශාකයකි. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍ර වරක්, දෙවරක් හෝ තුන්වරක් අසම පක්ෂවත් ය. දන්තූර පත්‍රිකා සම්මුඛව පිහිටයි. ළපටි දලු දුඹුරු පැහැතිය. බහුඅක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කහ පැහැතිය. කොළ පැහැති ගෙඩි ඉදුණු පසු තද දම් හෝ කළු පැහැයක් ගනී. ගෙඩියක් කොටස් 6 කට බෙදී ඇති අතර එක් කොටසක් තුල එක් බීජයක් බැගින් පිහිටයි. බීජාවරණ සහ ඵලාවරණය අතර සෙවල සහිත උකු ද්‍රවණයක් ඇත. බුරුල්ල Lemnaceae කුලයට අයත් ශාකයකි. 

පිළිස්සුම්, උණ, රක්තපිත්ත, කණේ රෝග, වණ, පණු රෝග, කුෂ්ඨ, අර්ශස්, ශ්වේත ප්‍රදර, ප්ලීහා රෝග, නින්ද නොයාම ආදී රෝග සඳහා ඖෂධ තැනීමේදී බුරුල්ල ශාකයේ කොළ, දලු, මුල් ඇතුළු පංචාංගයම භාවිතා කරයි. දේශීය වෛද්‍යවරු බොහෝ විට බුරුල්ල ශාක කොටස් අමුවෙන් යොදා ගැනීම විශේෂත්වයකි. බුරුල්ල මුත්‍රකාරක, වණ රෝපණය කරන, පිලිස්සුම් විෂ සමනය කරන, සර්ප විෂ නාශක ආදී ගුණ සහිතයි. 

ලේ යන අර්ශස් සඳහා බුරුල්ල පංචාංගයේ ස්වරසය හෝ කෂාය පානය කිරීමට දෙයි. බුරුල්ල මුල් සැපීම දන්ත ආසාදනවලට ප්‍රතිකාරයකි. ශ්වේත ප්‍රදරයට බුරුල්ල මුල් තණ්ඩුලොදකයෙන් (හාල්පානු දිය) යොදයි. ප්ලීහා රෝගයට බුරුල්ල පංචාගය කෂාය කර සහිඳලුණු, සියඹලා බොර ප්‍රක්ෂේප කොට දෙයි. පිලිස්සුම් සඳහා බුරුල්ල ගසේ පංචාංගය සහ බඩය තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගන්නා තෙල් ආලේප කිරීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. බුරුල්ල කොළ, දලු කොටා මිරිකා ගත් යුෂට තලතෙල් දමා සිඳ ගෑමෙන්ද පිළිස්සුම් තුවල සුව වෙයි. බුරුල්ල මද, කොමාරිකා මද, තැඹිලි පොල් සමඟ කොටා මිරිකා සිඳ ගත් තෙල පිළිස්සුම් නිසා ඇතිවූ වණ වලට යොදයි. 

දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම් වැනි රළු බොහෙත් වර්ග බැඳීමට ප්‍රථම බුරුල්ල මද අතුරා ඒ මත බෙහෙත් බැඳීම සිදු කරයි. කැඩුණු ඇට සන්ධි ගැන්වීමට බුරුල්ල පොතු, කොටදිඹුලා පොතු සමඟ කොටා පොල් කිරෙන් මලවා බඳී. බුරුල්ල මඳ පැසුණු පොල් සමඟ කොටා මිරිකා බොන්නට දීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. බුරුල්ල පොතු, පුස්වැලේ පොතු, බෝ පොතු, නුග පොතු, අමුකහ සමව ගෙන අඹරා සියලු සර්ප දෂ්ටයන්හි කෑ මුඛයෙහි තැබීමෙන් විෂ සමනය වේ. බුරුල්ල මුල්, විෂ්ණුක්‍රාන්ති, අත්තන මුල් ඇල් දියෙන් නස්‍යය සියළු සර්ප විෂට ගුණදායක බව දක්වා ඇත. අම්බාදී තෛලය, පිළිස්සුම් තෛලය, අග්නිදග්ධ තෛලය බුරුල්ල යොදා නිපදවන ඖෂධයන් ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු සහ වෙනත් 
Share:

Monday, October 10, 2016

හීං නෙරෙංචි / ගොකටු [Heen Nerenchi / Gokatu] (Tribulus terrestris)

සෙම්බු නෙරෙංචි යනුවෙන්ද හඳුන්වනු ලබන මෙය ලෝකයේ උණුසුම් රටවල් බොහෝමයක හමුවන බිම දිගේ වැවෙන වැල් ශාකයකි. වැලක් පොළවට සමාන්තරව සෙ.මි. 60 පමණ දිගට වර්ධනය වේ. කඳේ සහ පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන් සියුම් බූවක් සහිතය. පත්‍රයක් සෙ.මි 5.5 දක්වා වර්ධනය වන අතර පත්‍රිකාවක් මි.මි. 3.5 පමණ වේ. පෙති පහක් සහිත මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්ත ය. ගැටිති සහ දිගු රෝම සහිත ඵලයෙහි තියුණු සෘජු කටු පිහිටා තිබේ. මෙම කටු ගවයින්ගේ කුරවල ඇනෙන හෙයින් හීං නෙරෙංචි ශාකයට සංස්කෘතෙන් ගෝක්ෂුර නම් පර්යායක්ද වෙයි. ඖෂධීය භාවිතාවන් රැසක් සහිත  නෙරෙංචි Zygophyllaceae කුලයට අයත් වාර්ෂික පැළෑටියකි. 

කුසගිනි මදිකම, සංග්‍රහණී, අර්ශස්, පණු රෝග, හෘද රෝග, රක්ත පිත්ත, ඉදිමුම්, ඇදුම, ක්ෂය රෝගය, ගබ්සාවීම, මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, නාඩි දුර්වලතා, වාත රෝග, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, වේදනා ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට හීං නෙරෙංචි ශාකයේ ගෙඩි, ඇට සහ සම්පූර්ණ ශාකය එකවිටමත් භාවිතයට ගනී. හීං නෙරෙංචි මුත්‍රකාරක, කුසගිනි වඩවන, පණුවන් නසන, ඉදිමුම් නසන, ගැභ ආරක්ෂා කරන ආදී ගුණයන් බෝමයකින් සමන්විතයි.

හීං නෙරෙංචි ඇට කෂාය මුත්‍ර ගල්, කැස්ස, ක්ෂණික මෝචනය, ඇස් රුදාව සහ මවුකිරි වර්ධනයට ගුණදායක බව සඳහන්. හීං නෙරෙංචි ඇට හාල් සමඟ තම්බා සම්මත ක්‍රමයකට සකසා ගන්නා පානය බෙහෙවින් මුත්‍රකාරක ය. රක්තහීනතාවයට, පාචනයට, දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන රැධිර වහනයට සහ ශාක්තිජනක පානයක් ලෙස මෙම කොළ සහ ඇට තම්බා ගත් කෂාය භාවිතා කරයි. විදුරුමස් පිළිකා, මුඛය ඉදිමීම සහ දැවිල්ල, ස්‍රාව ගලන කුඩා සුදුපාට මුඛ පිළිකා සහ උගුරේ ආබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස නෙරෙංචි ඇට තැබූ වතුරින් මුඛය සේදීමට නියම කර ඇත. වකුගඩු ආබාධ, ක්ෂණික මෝචනය, මුත්‍ර සමඟ වැඩිපුර පොස්පෙට් පහවීම, ගොනෝරියා, කලක් පවතින මුත්‍රාශයේ දැවිල්ල, මුත්‍ර ගල්, අපිලිවෙලට මුත්‍ර පහවීම, මුත්‍ර අඩස්සිය, කුඩා සන්ධිවල ඇතිවන වේදනා, ලිංගික බෙලහීනතාවය, දරුප්‍රසූතියෙන් පසුව ඇති වන ගර්භාෂගත රෝග ආදියට හීං නෙරෙංචි පැළෑටිය සම්පූර්ණයෙන් තම්බා ගත් කෂාය දීම ගුණ වේ. වකුගඩු විශාල වීම (වෘක්ක වෘද්ධි) සඳහා නෙරෙංචි සහ නීරමුල්ලිය කෂාය යොදයි. ඵලය ඉවත් කරන ලද නෙරෙංචි පැළෑටියේ මැලියම් බඳු සාරය රසායන ඖෂධයක් ලෙස භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය


Share:

Monday, October 3, 2016

කුඩු මිරිස්ස [Kudu Mirissa] (Toddalia asiatica)

කුඩු මිරිස්ස වියළි කළාපයේ සුලභව හමුවන කුඩා කටු සහිත කාෂ්ඨීය වැලකි. ඇතැම් විට පඳුරක් ලෙසද දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 3ක් දරයි. ලංසාකාර හැඩයෙන් යුත් පත්‍රිකාවල යටි පැත්තෙහි සියුම් කටු පිහිටා තිබිය හැකිය. උස් බිම්වල සහ  සහ පහත් බිම්වල වැවෙන කුඩු මිරිස්ස ශාකවල පත්‍ර අතර පැහැදිළි වෙනස්කම් දක්නට ලැබේ. කක්ෂීය හෝ අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල කහ හෝ සුදු පාට මල් පොකුරු ලෙස හට ගනී. කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පැහැයක් ගනී. කුඩු මිරිස්ස Rutaceae කුලයට අයත් ශාකයකි. 

දේශීය වෙදකමේ මහඟු ඖෂධයක් වන මෙය මොළයේ ධමනි හා හෘදයේ කිරීටක ධමනි ගත ලේ කැටි හිරවීම්, තදවීම් හා පිපිරීම්, ලේ ගැලීම්, හෘද රෝග, සන්නි රෝග, කෝළ රෝග, මැලේරියා උණ, සන්නිපාත උණ, ආමවාත, බාලක පක්ෂාගාත, බිළිඳු රතගාය, තැල්ම, සර්ප විෂ, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනී. ඖෂධ පිණිස ගැනීමේදී කුඩුමිරිස්ස ශාකයේ කොළ, දළු, පොතු, මල්, ගෙඩි ආදී සියලුම අංග භාවිතා කරයි. සූතිකා සන්නියට විශේෂයෙන් යොදා ගන්නා බව සඳහන් කර ඇත. සුලභව භාවිතයට ගනුයේ එවේලෙහිම නෙලා ගත් ශාක කොටස් වීම විශේෂත්වයකි. ඊට හේතුව කුඩු මිරිස්ස දේශීය චිකිත්සාවෙහි එන දළු අනුපාන හා අනුපාන වර්ග, ක්වාත සඳහා බහුලවම යොදා ගනු ලබන ශාකයක් වීමයි. මල්, ගෙඩි ආදිය පිරිසිදුව වියළා සුලං නොවදින බඳුන්වල අසුරා තැබිය හැකි වුවත් කල් නොයවා ප්‍රයෝජනයට ගත යුතුය. 

කුඩු මිරිස්ස වා, සෙම් නස යි. අග්නිය වඩයි. ආහාර රුචිය උපදවයි. අතීසාර, ඉදිමුම්, වණ, උණ සමනය කර යි. ලේ වහනය නවත්වයි.  තුන් දොස් සමනය කරන කුඩු මිරිස්ස දිව්‍යාංගනාදී තෛලයට, රත තෙලට, සන්නිරාජ තෛලයට සහ කුඩුමිරිස්ස තෙලට ගනු ලැබේ. මෙම මුලේ පොතු චූර්ණය, මැලේරියාව, වැනි උණ රෝගවලට ගුණදායකය. කුඩු මිරිස්ස ස්වරසය, මාත්තු පහ සීතාරාම ආදී ගුලි අනුපානයහි යෙදේ. මෙම දළු දේශීය ගුලි වට්ටෝරුවල මූලික ඖෂධයකි. කුඩු මිරිස්ස ස්වරසය උණ රෝගවලට යොදයි. අස්ථි භග්නයේ දී කුඩු මිරිස්ස කොළ, කහට කොළ හා‍ පොතු, කහ දමා කොටා මලවා බැඳීමෙන් ඇට පෑස්සෙන බව සඳහන්. කුමාර ගුලියට හා ජීවානන්ද ගුලියට ද යොදන අනුපානුවට කුඩු මිරිස්ස දළු, පාවට්ටා දළු, නික දළු, බට කිරිල්ල දළු කොටා කෙසෙල් කොළේ ඔතා උණු අළුයට තබා තම්බා මිරිකා යුෂට ගුලි ලා දිය කර දීම පැරණි ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන්


Share:

Monday, September 26, 2016

කරවල කැබැල්ල [Karawala Kebella] (Antidesma bunius)

දේශීයව එකම උද්භිද ගණයට අයත් කරවල කැබැල්ල යනුවෙන් හඳුන්වන ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ සහ ඖෂධ සඳහා භාවිතා කරන බවට විස්තර වන්නේ Antidesma bunius නම් විශේෂයයි. රතු දත්ත පොතට අනුව එය අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇත. Antidesma puncticulatum යන උද්භිද නාමයෙන් හඳුන්වන ශාකයද කරවල කැබැල්ල ලෙස නම් කර ඇති අතර රතු දත්ත පොතට අනුව එය තර්ජනයට ලක්විය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. පොදුවේ Antidesma විශේෂ සියල්ලම පාහේ ඇඹිල්ල යනුවෙන් ද හඳුන්වයි. 

කරවල කැබැල්ල බෙහෝසේ අතු බෙදෙමින් මීටර් 8 ක් පමණ උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳ අළු පාටට හුරු දුඹුරු පැහැතිය. ළපටි කොටස් දුඹුරු පැහැති සියුම් බූවක් සහිත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර අග්‍රය උල් හැඩැතිය. පත්‍රයක් සෙ.මි 15 පමණ දිගු වන අතර සෙ.මි 6 පමණ පළල ය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් රතු පැහැතිය. මංසල ඵලය  කහ කොළ පැහැතිය. ඉදෙන විට රෝස, දිප්තිමත් රතු සහ කළු දක්වා වර්ණය ක්‍රමිකව වෙනස් වෙයි. කරවල කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. විටමින් C, කැල්සියම් සහ යකඩ බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් පළතුරක් ලෙස සැලකේ. මලබද්ධයට අධිරුධිර පීඩනයට ගුණදායකය වන අතර  ආහාර ජීර්ණ පද්ධතිය මනා සෞක්‍යයකින් පවත්වා ගැනීමට උපකාරී වේ.  කරවල කැබැල්ල ඇතැම් රටවල ව්‍යාපාරික මට්ටමින් වගා කරන අතර ඉදුණු ගෙඩි භාවිතා කර ජෑම්, වයින්, සෝස් ආදිය නිශ්පාදනය කරයි. 

තුවාලයකින් ලේ වහනය වන විට කරවල කැබැල්ල කොළ පොඩි කර තුවාලය මත තැබූ විට ලේ ගැලීම නවතී. කරවල කැබැල්ල දළු මැල්ලුම හෝ ඇඹුල ග්‍රහණි, අර්ශස් රෝග සඳහා යෙදේ. එමෙන්ම සර්ප විෂ, අැස් රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී කරවල කැබැල්ල ශාක කොටස් භාවිතා කරයි. විදේශීයව මෙම කොළ සිෆිලීස් නම් සමාජ රෝගයට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව සඳහන් වේ. 

මූලාශ්‍ර_  සිරි ලක ගස්කොළන් අත් පොත , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 


Share:

Tuesday, September 20, 2016

ඇට්ටේරියා [Etteriya] (Murraya paniculata)

ඇට්ටෙරියා අලංකාර පඳුරක් ලෙස වැඩෙන කුඩා දේශීය ශාකයකි. දිළිසෙන සුලු කොළ පොඩිකළ විට සුවඳක් නික්මේ. අතු පහලට එල්ලා වැටෙන ස්වභාවයකි. කඳ අඳුරු සුදු පැහැයක් ගනී. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති මල් ඉතා අංකාරවත් වන අතර මිහිරි සුවඳකින් යුක්ත ය. පොකුරක මල් කීපයක් දරයි. ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පය ලෙස නම් කර ඇත. ඇත් දළ පැහැයක් ගන්නා මෙම ලීය කෘතිම ඇත් දළ සෑදිමට මෙන්ම බස්තම් රුක්කලා ආදිය සඳහාත් බහුලව භාවිතා කරයි. ඇට්ටේරියා අත්ත තෙල් මැතිරීම, ගුරුකම් වැඩ ආදිය සඳහා යොදා ගන්නා අතර තෙල් වර්ග සුවඳවත් කිරීමට මෙම මල් භාවිතා කරයි. ගෙවතු අලංකරණය සඳහා විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඇට්ටේරියා ශාකය Rutaceae කුලයට අයත් ය. 

ඉදිමුම්, කුෂ්ඨ, සුදුකබර, වමනය, පණු අමාරු, වණ, මුත්‍ර ආබාධ, අජීර්ණය, අතීසාරය, උණ, ඉක්කා, කැඩුම් බිඳුම්, අක්ෂි රෝග, සර්ප විෂ, ආදී රෝග අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇට්ටේරියා ශාකයේ කොළ, දළු, පොතු, මුල් අැතුළු පංචාගයම යොදා ගනී. ඇට්ටෙරියා ගර්භස්‍රාවයන් ජනනය කරන, අරුචිය නසන කුසගිනි වඩවන ගුණ සහිතයි. 

දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී ඇට්ටෙරියා කොළ සහ පොතු අමුවෙන් භාවිතා කරන බව සඳහන් වේ. එහිදී වේදනා සමනය කිරීමට මුලේ පොත්ත අඹරා ආලේප කරයි. උලුක්කු භග්න ශෝතවලට කොළ, පොතු, අමුකහ ලුණු සමඟ කොටා මැල්ලුම් සකසා භාවිතා කරයි. හන්දි ඉදිමුමට ඇට්ටේරියා කොළ සහ යුෂ, එඬරු ඇට, අබ, තල අඹරා පත්තුව ලෙස යොදා ගනී. වාත රෝගවලදී වේදනාව නැසීමට ඇට්ටෙරියා පොතු වෙනත් ඖෂධ සමග යොදයි. සර්ප විෂට ප්‍රතිකාර කිරීමේදී නශ්‍ය කිරීමට ඇට්ටේරියා දළු යුෂ  යොදා ගනී. උළුක්කු, භග්න, ශෝථවලට ඇට්ටෙරියා කොළ පොතු අමුකහ සහ ලුණු සමග කොටා මැල්ලුම් සකසා ලෙස භාවිතා කරයි. වාත භංග චූර්ණයේ මෙම කොළ සහ පොතු අංගුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Monday, September 12, 2016

අශෝක / අසෝක [Ashoka / Asoka] (Saraca asoca)

පුරාණයේ වනිතාවන් අශෝක මල් නෙළා ගොතා ගෙල පැළැඳි බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. ස්ත්‍රීන්ට ප්‍රිය බැවින් අංගනප්‍රිය ලෙස ද හඳුන්වන අශෝක කාන්තා රෝග සඳහා බහුලව යොදා ගන්නා ශාකයකි. දිය රතඹල, දිය රත්මල් ආදී නම්වලින්ද හඳුන්වන අශෝක පහතරට වියළි කලාපයේ ඇළවල් ආශ්‍රිතව සුලබව දැකගත හැකි මධ්‍යම ප්‍රමාණයේ දේශීය  ශාක විශේෂයකි. කඩාහැලෙන සුලු විශාල සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල 4-6 සංඛාවක් සම්මුඛව පිහිටයි. ආයත - ලංසාකාර පත්‍රිකාවක් සෙ.මි. 25 දක්වා වර්ධනය වේ. සිනිදු පත්‍ර තලය දිළිසෙන සුලුය. පුෂ්ප මංජරිය ගොනු වූ සමතලීය සංයුක්ත ඒකාක්ෂයකි. කහ තැඹිලි පැහැති කුඩා මල් පොකුරට පිපුණු පසු ඉතා අලංකාරවත්ය. මල් පරවීමට ආසන්න වන විට රතු පැහැයට හැරේ. කරලක් වන ඵලය තුල බීජ 4-8 පමණ පිහිටයි. බීජ, දඩු හා මුල් මඟින් පැල සාදා ගත හැකිය. අලංකාර සඳහා විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි අශෝක ශාකය Fabaceae කුලයට අයත්ය. 

කාන්තාවන්ගේ ගර්භාෂ ගත ගෙඩි, ගර්භාෂස්‍රාව, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, කුෂ්ඨ, මුත්‍ර ගල්, මුත්‍ර දාහය, රක්ත පිත්ත, දාහ, දියවැඩියාව, මුඛය ආශ්‍රිත රෝග, අතීසාරය, පැරණි තුවාල ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේද අශෝක පොතු, ඇට, මල් ආදිය භාවිතා කරයි. අශෝක දාහය සමනය කරයි. කෘමින් නසයි. රුධිරය පිරිසිදු කරයි. ඉදිමුම් සහ වේදනාවන් නසයි. ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි. ගර්භාෂ ස්‍රාවයක් පාලනය කරයි. 

කාන්තාවන්ගේ රක්ත ප්‍රදර රෝගයට අශෝක පොතු කෂාය හෝ සෘතය යොදයි. අශෝක පොතු වතුර පත හතක් සහ එළකිරි පතක් සමඟ පත එකට සිඳුවා උදේ සවස පානය කිරීමෙන් කාන්තා රෝග සහ ආර්තව වේදනාවන් සමනය වේ. බීජ චූර්ණයෙන් මුත්‍ර ගල් දියවී යයි. අශෝක පොතු කිරි කෂාය ලෙස යෙදීම මුත්‍ර දැවිල්ලටද සහනය ගෙනෙයි. අශෝක මල් චූර්ණය උණු වතුරට දමා දවසට දෙවරක් පානය පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය වේ. මඳ පවනේ වියළා ගත් අශෝක මල් කෂාය කර පත හතර එකට සිඳුවා උදේ හවස සතියක් පානය කිරීමෙන් වැඩි වූ සීනි මට්ටම යථා තත්වයට පත් කර ගත හැකිය. අශෝක පොතු තැම්බූ කසාය රුධිරය පිට වන අතීසාර රෝගයට සහනය ගෙනෙයි. පොතු කෂාය අර්ශස් ගෙඩි සේදීමටද යෝග්‍ය වන්නේ එහි ගෙඩි හැකිලවීමේ ගුණයක් පවතින බැවිනි. පත අට එකට සිඳුවා සාදාගත් අශෝක කෂායට අවශ්‍ය පමණට සීනි දමා පැණියක් සාදාගෙන දිනකට තේ හැඳි දෙකක් පමණ පානය කිරීමෙන් දූෂිත වූ රුධිරය පිරිසිදු වී බිබිලි, කුෂ්ඨ ආදියට සුවය ගෙනෙයි. අමු අශෝක පොතු කල්කයක් මෙන් අඹරා ආලේප කිරීමෙන් සැරව සහිත පරණ තුවාල ඉක්මනින් සුව වෙයි. අශෝක පොතු මඳක් වියළා කුඩුකර ඇල් දිය ස්වල්පයක් මිශ්‍ර කර දත් මැදීම විදුරුමස් දියවීම, මුඛ දුර්ගන්ධය, සෙම් ගෙඩි ආදී මුඛය ආශ්‍රිත රෝග ගණනාවකට ගුණදාකය. අශෝක අරිෂ්ටය සහ අශෝක පානය යනුවෙන්ද හඳුන්වන අශෝක සෘතය අශෝක ශාක කොටස් යොදා නිපදවන ඖෂධයන් ය. මෙම ඖෂධ ද කාන්තා රෝග සඳහා සුලබව යෙදේ.  

නුවරඑලි අශෝක හෙවත් කුරවක නමින් මෙයට සමාන ශාකයක් ඇති අතර එය මීටර් 2000 පමණ උස් බිම්වල වැවේ. එය අශෝක මෙන් නොවුනත් ඖෂධීය භාවිතාවන් සහිත ශාකයකි. කුරවක ලේ ස්‍රාව සහිත ගර්භාෂයික රෝග සුවපත් කරන බවත්, ආමවාතයේදී එම කොළ තම්බා තැවීම ප්‍රතිඵලදායී බවත්, ස්‍රාවකාරී ආමාශයික රෝග සඳහා ගුණදායක බවත් දක්වා ඇත. ඇතැම් විට ඖෂධ අලෙවි කරන්නන්  එම ශාකයේ පොතු අශෝක පොතු ලෙස ව්‍යාජව අලෙවි කරයි. ආගමික කටයුතුවලදී, විශේෂයෙන් කතරගම දෙවියන් උදෙසා සිදුකරන පූජාවලදී පූජා වට්ටිවලට අශෝක මල් යොදා ගනී. මල්වර වූ දැරියන් නෑවීමේදී එම ජලයට අශෝක මල් එකතු කිරීම ගැමි චාරිත්‍රයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

Share:

Monday, September 5, 2016

නියඟලා [Niyagala] (Gloriosa superba)

ලියනඟලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වනු ලබන නියඟලා ශාකය පොළවෙහි හෝ අධාරක ශාකයක් මත මීටර් 4 - 5 පමණ වර්ධනය වන බහුවාර්ෂික වැලකි. පැහැදිළි නටුවක් රහිත, කෙලවර තීවෘ වන පත්‍රයක් සෙ.මි 15 පමණ දිගට වර්ධනය වන අතර පළල සෙ.මි 5 පමණ වේ. ඇතැම් පත්‍රවල කෙලවර පහුරක් ආකාරයට නිර්මාණයවී තිබීම විශේෂත්වයකි. එය ආධාරකයකට සම්බන්ධ වීමට උපකාර වෙයි. නියගලා වැලෙහි හට ගන්නා රතු කහ තැඹිලි මිශ්‍ර පැහැයන්ගෙන් යුක්ත මල් ඉතා අලංකාරවත් ය. මල් මේරීමත් සමඟ රතු වර්ණට හැරෙයි. නියඟලා අල දවල්ට විෂ සහිත බවටත්,  මල් රෑට විෂ සහිත බවටත් ජනප්‍රවාදයෙහි පැවති මතය මෑතකාලයේදී පර්යේෂණාත්මකව තහවුරු කරන ලද බව දැන ගන්නට ඇත. මලෙහි වචිත්‍රත්වය සහ අලවල පවතින විෂ සහිත බව නිසා වඩාත් කතාබහට ලක්වන නියඟලා ශාකය Colchicaceae කුලයට අයත් ය. 

උද්භිද විද්‍යාත්මකව නියඟලා ද්වීලිංගික ශාකයක් වුවත් අලයෙහි ස්වරූපය අනුව වෙදකමේදී ස්ත්‍රී සහ පුරුෂ ලෙස වර්ග කිරීමකට ලක් කර ඇත. ස්ත්‍රී අලය වටකුරු හැඩයෙන් යුක්ත බවත් පිරිමි අලය නඟුලක් වැනි (L) හැඩයකින් යුක්ත බවත් පොතපතෙහි සඳහන් වේ. ලාඳුරු, උපදංශ, කල්ගිය වණ තුවාල, උඳුගොව්වා කෑම නම් චර්ම රෝගය, සර්ප විෂ ගංඩමාල, ඉදිමුන්, අර්ශස්, ගෝනුසු විෂ ආදි රෝග අවස්වථාන්හිදී බාහිර වශයෙන් යොදනු ලබයි. නියඟලා අල විෂ සහිත බැවින් විෂ මරා ඖෂධ සඳහා භාවිතා කළ යුතුය. ඒ සඳහා හොදින් සෝදා පෙති කපා ගත් අල ගව මුත්‍රයේ පැය 24 බහා තබා ඉන්පසු උණුවතුරෙන් සොදා වියළා ගත යුතු ය. 

දරුන් බිහිවීම හෝ වැදෑමස වැටීම ප්‍රමාදවී වේදනා ගෙනදෙන අවස්ථාවන්හිදී නියඟලා අල අඹරා දෙපතුලෙහි හෝ යටිඩෙහි ගෑවිට වහා ප්‍රසූතිය හා වැදෑමස වැටීම සිදු වේ. නියඟලා පාචන ව්‍යුහය, රක්ත සංවහන ව්‍යුහය, ශ්වසන ව්‍යුහය, ප්‍රජනන ව්‍යුහය ආදීයේදී වඩාත් ක්‍රියාකාරී බව සඳහන් වේ. සිරුරේ ඇනුන කටුවක් වැනි යමක් ඉවත් කිරිමේදි අල ගලගා යෙදිමෙන් එය ඉවතට ඇදි එයි. උදුගොව්වන් කෑම නම් චර්ම රෝගයේදී නියඟලා අලයක් දෙහි ඇඹුලින් ගලගා අදාල ස්ථානයේ ආලේප කරයි. කිසිවෙකුට අනර්ථයක් කීරීමේ අදහසින් හෝ වශී කර ගැනීමේ අදහසින් කෑමට සැලැස්වූ යමක් විෂවූ විට, එම විෂ ඉවත් කිරීමට ආතුරයාගේ උසට සරිලන නියඟලා වැලක් ගෙන යාතුකර්මයක් සිදු කරයි. නියඟලා මාත්‍රනුකූලව වෙනත් ඔසු සමග යෙදීමෙන් ඉතා විශිෂ්ඨ ගුණ ලැබෙන හෙයින් දිගු කලක් ජීවත්වීමේ හැකියාව, කාර්යක්ෂමතාව, ශරිර ශක්තිය හා ආහාර දිරවීමේ හැකියාවද වැඩි දියුණු වන බව සඳහන්. අධි මාත්‍රව දිවි තොර කරන හෙයින් මාත්‍රව දැන අභ්‍යන්තර රෝගයනට යෙදිය යුතු ය. 

නියඟලා අනවශ්‍ය ලෙස ශරීගත වීමෙන් බඩේ කැක්කුම හා විවිධ අපහසුතාවයන්ට ගොදුරු විමටත්,  මරණය පවා සිදුවීමටත් ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදි වැල් පෙනල කොළ යුෂට උළුහාල් හා සුදු හඳුන් දමා උණුකර පෙරා ගිතෙල් සමග දිම හොඳය. එමෙන්ම පොල් කිරිවලට කළුදුරු කුඩු හා දෙහි ඇඹුල් දමා රත්කර දීමත් ඒ සඳහා ප්‍රතිකාරයකි. 

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය , ඔසුතුරු විසිතුරු කෘති සහ පාරම්පරික වෛද්‍ය සෙනරත් මුදලිගේ මහතාගේ ලිපියක් ඇසුරින් 
Share:

Monday, August 29, 2016

නාවා [Nawa] (Sterculia balanghas)


නාවා මීටර් 20 ක් පමණ උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. සෙ.මි. 12 දක්වා දිගට වැඩෙන සරල පත්‍ර සියුම් බූවක් සහිතය. පුෂ්ප මංජරියක හටගන්නා කොළ පැහැයට හුරු මල් කුඩාය. පොකුරු වශයෙන් පිහිටන බූව සහිත ගෙඩි ළා කොළ පැහැතිය. එක් පොකුරක ගෙඩි 4-5 දැක ගත හැකි අතර මේරූ ගෙඩි තැඹිලි පාටට හුරු රතු පාටක් ගනී. ඒවා කුහරමය වන අතර ගෙඩියක් තුල කලු පැහැති සිනිඳු බීජ කීපයක් පිහිටයි. ගෙඩිය පැලී බීජ පිටතට පෙනෙන සේ දර්ශනය වන විට අලංකාරවත් ය. නාවා Malvaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

නාවා ගෙඩි පැලුණු පසු ඉතිරිවන කෝප්පයක හැඩය ගන්නා ඵලාවරණය පහන් දැල්වීම සඳහා භාවිතා කරයි. නාවා ශාකයේ පොත්ත නාවා පට්ටය ලෙස හඳුන්වන අතර එයින් වෙන් කර ගන්නා කෙඳි ඉතා ශක්තිමත් ය. මෙම කෙඳි කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට කඹ ඇඹරීමටත්, මලු තොප්පි වැනි විසිතුරු භාන්ඩ නිපදවීමටත් යොදා ගනී. ගවයින් යොදාගෙන සීසෑමේ කටයුතු කරන අවදියෙහි ගවයින් ඈදීමටත්, නාස්ලණු දැමීමටත් සුලභව භාවිතා කලේ මෙම  කෙඳි යොදාගෙන ඇඹුරූ කඹ ය. නාවා ගසෙහි පොත්ත ගලවා සියුම්ව තැලීමෙන් හෝ ජලයෙහි බහා තැබීමෙන් කෙඳි වෙන් කර ගත හැකිය. 

දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී නාවා ශාකයේ පොත්ත භාවිතා කර සිදුකරන විශේෂ ප්‍රතිකාරයක් ගැන සඳහන් වේ. අස්ථි භග්නයක් වූ විට මුලින්ම අවහන්ධි වූ ස්ථානය සන්ධි ගන්වා යථා තත්වයට පත කර ගත යුතු ය. පසුව නාවා පට්ටයක් හොඳින් තලා පොල් ගෙඩියක කිරි දමා, ඊට අඹරාගත් කහ ස්වල්පයක් දිය කර ලිප තබා තෙල් ගතිය පෑදෙන තුරු තම්බා නිවුණු පසු භග්න ස්ථානයට තබා නොසෙල්වෙන පරිදි දින තුනක් බැඳ තබනු ලැබේ. එසේ කීප විටක් බෙහෙත් බැඳීමෙන් භග්න සංධානය සිදුවන බව සඳහන් කර ඇත.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ සිරි ලක ගස්කොළන් අත් පොත
සේයාරූ_ ඔසුපැල හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයෙන් 


Share:

Monday, August 22, 2016

කහට [Kahata] (Careya arborea)

කහට, මීටර් 20 ක් දක්වා වර්ධනය වන, නියඟයට හොඳින් ඔරොත්තු දෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. රළු, ඉතා ඝණකම් පොත්ත අළු දුඹුරු පැහැතිය. තරමක් විශාල සරල පත්‍රයක් සෙ.මි 30 දක්වා වර්ධනය වේ. අඳුරු කොළ පැහැති පත්‍ර තලය දිළිසන සුලු ය. පොකුරු වශයෙන් හට ගන්නා විශාල මල් අලංකාරවත් ය. මල් පිපෙන කාලයේදී කොළ මුලුමනින්ම පාහේ හැලී යයි. ගැමියන් මල් පිපෙන අවස්ථාවේ පවතින ළපටි කහට ඵලය රසවත් ව්‍යංජනයක් සහ මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගනී. ගෝලාකාර පරිනත ඵලය සෙ.මි. 8 පමණ විශ්කම්භයකින් යුක්ත ය. එය වල් ඌරන් වැනි වන සතුන්ට ආහාරකි. කහට ශාකය Lecythidaceae කුලයට අයත්ය. 

මුඛ රෝග, ප්‍රතිශ්‍යා, වණ, ශ්වේත ප්‍රදර, රක්ත ප්‍රදර, සර්ප විෂ, ලේ වහනය නැවැත්වීමට, ප්‍රමේහ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් කහට පොතුද අමතරව දළු, මල්, ගෙඩි ආදිය භාවිතා කරයි. වගපුල් යන්න ප්‍රකටව යෙදෙනුනේ තිප්පිලි සඳහා වුවත් මෙරට ඇතැම් වෙද පරම්පරාවල් වගපුල් ලෙස කහට ගෙඩි භාවිතා කරයි. 

යටිපතුල් තුවාල වූ විට කහට පොතු තම්බා බැඳීම, මුඛ රොගවලදී කහට පොතු තැම්බූ වතුරින් කට සේදීම, වණ සේදීමට සහ මස ලියලවීමට කහට පොතු හෝ දළු තැම්බූ වතුරින් සේදීම,  බාහිර ලේ වහනය නැවත්වීමට කහට දළු අඹරා තුවාලය මත ඇතිරීම, සර්ප විෂට කහට පොතු චූර්ණය දීම ආදිය සරල ප්‍රතිකාරයන්ය. බිබිලි මතුවන උණට කහට පොතු කෂාය ගුණදායකය. දරු ප්‍රසූතියෙන් පසු මව නාවන වතුරට කහට කොළ එක් කිරීමට පැරැන්නන් පුරුදුව උන්හ. එමෙන්ම මවක් දරුවන් ලැබූ අලුත කහට පොතු තැම්බූ වතුරින් යෝනී ප්‍රදේශය සේදීම සිදු කරයි. එමඟින් දරුවන් ලැබීමේදී ඇතිවූ තුවාල ආදීය සුවවී අපහසුතාවයන් මඟ හැරී යයි. ගැමියන් එවැනි මව්වරුන්ට කහට මල් යොදා සාදා ගන්නා ශක්තිජනක පානයක් ද පිළියෙල කර දෙයි. කාන්තාවන්ට වැලඳෙන ස්වේත ප්‍රදර සහ රක්ත ප්‍රදර රෝග අවස්ථාවන් හිදී කහට පොතු චූර්ණය මදටිය ඇට 6-12 අතර ප්‍රමාණයක් ගිතෙල් මී පැණි සමඟ දීමෙන් ගුණ වේ.  

හරකුන්ගේ කුර රෝග, ගෙඩි ආදිය සුව කිරීමට ගැමියෝ කහට පොතු යොදා ගනිති. අතීතයේදී කහට පොතු තම්බාගත් ජලය වර්ණකාරයක් ලෙස භාවිතා කර ඇත. රෙදි, පැදුරු, පාපිසි වැනි දෑ මෙමඟින් වර්ණ ගන්වා ඇත. අද ද ආරණ්‍ය සම්ප්‍රදායේ භික්ෂුන්වහන්සේලා සිවුරු පඬු පෙවීමේදී කහට පොතු තැම්බූ වතුර භාවිතා කරයි. කහට ලීයේ අරටුව නොදිරා කලක් පවතින නිසා කරත්ත රෝදවල වක් අතු සෑදීමට ද, සිල්පර කොට සඳහා ද, තුවක්කු මිටි සෑදීම සඳහා ද භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Monday, August 15, 2016

මස්බැද්ද [Masbedda] (Gymnema sylvestre)

ප්‍රාදේශීයව මස්බැද්ද යනුවෙන් හඳුන්වනු ලබන ශාක විශේෂ කීපයක් ඇතත් Gymnema sylvestre ශාකය ප්‍රධාන වශයෙන් මස්බැද්ද ලෙස සලකා ඔසු පිණිස භාවිතා කරයි. මෙය ආධාරක ශාකයක් මත වැඩෙන කාෂ්ඨීය වැලකි. පත්‍ර ඇතුළුව වැලෙහි බොහෝ කොටස් ද, විශේෂයෙන් ළපටි ශාඛා ද බූව සහිතය. සරල ඒකාන්තර පත්‍ර පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. පුෂ්ප මංජරිය ඡත්‍රයක් වැනි බහු අක්ෂයකි. මල් ළා කහ පැහැතිය. බූමණියක් සහිත බීජ සුලඟ මඟින් ව්‍යයාප්ත වේ. දේශීය වෛද්‍යවරු හීන් මස්බැද්ද සහ මහ මස්බැද්ද යනුවෙන් ප්‍රභේද දෙකක් හඳුනාගෙන ඇත. හීං මස්බැද්ද කොළ තරමක් අඳුරු පැහැති වන අතර කොළ සාපේක්ෂව කුඩාය. මස්බැද්ද Apocynaceae කුලයට අයත් ශාකයකි. 

මෑතකාලීනව දියවැඩියාව සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙස මස්බැද්ද ශාකය වඩාත් කතාබහට ලක්විය. දියවැඩියාවට එරෙහි ගුණයන් ඇත්තේ මස්බැද්ද කොළවල බවත් ශාකයේ අනෙක් කොටස්වල එවැනි ගුණයක් නැති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇති බව සඳහන් වේ. දියවැඩියාවට අමතරව විශේෂයෙන් මුත්‍ර සමඟ සීනි පිටවීම, ග්‍රන්ථි ඉදිමුම්, අක්මා රෝග, ප්ලීහා රෝග, මුත්‍ර රෝග, ප්‍රතිශ්‍යා, ඇදුම, ක්ෂය රෝගය, හෘද දුර්වලතා, ආදියට ප්‍රතිකාර කිරීමේදී මස්බැද්ද ශාකයේ කොළ, මුල්, ඇට ආදිය භාවිතා කරයි.

දියවැඩියාවට සහ මුත්‍ර සමඟ සීනි පිටවීමට (මධුමේහයට) මස්බැද්ද පත්‍ර චූර්ණය යොදයි. මස්බැද්ද බීජ චූර්ණය ප්‍රතිශ්‍යා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාරයකි. ඇදුම රෝගය සඳහා වියළාගත් මුලේ පොතු පිලිස්සූ දුම ආග්‍රහණය කිරීම සහ උණට කොළ කෂාය දීම සිදු කරයි. මුලේ පොතු අක්ෂි රෝග සඳහා ද භාවිතා කරයි. එමෙන්ම ගෙඩි ඉහිරීමට මස්බැද්ද කොළ පොතු, ගඳපාන කොළ, කහ, ලුණු දමා කොටා මලවා බැඳීම සහ ලුණුවරණ කොළ පොතු සහ මස්බැද්ද කොළ පොතු කහ, ලුණු දමා කොටා මලවා බැඳීම ආදී ප්‍රතිකාර රැසක්ද අත් වෙද පොත්වල සඳහන් කර ඇත.

මස්බැද්ද කොළ සැපීමෙන් දිවෙහි රසඥතාවය යම් කාලයකට වෙනස්වී යාම මෙම ශාකය ගැන දන්නා අයගේ අත්දැකීමකි. වඳ බව නැති කරන ඖෂධ යෝග කිහිපයකට මස්බැද්ද භාවිතාකරන බව දේශීය වෛද්‍යවරු ප්‍රකාශ කරති. වැරදීමකින් බුලත් විට කන හුණු කැවුණහොත් මස්බැද්ද කොළ කිහිපයක් හපා එම යුෂ ගිලීමෙන් හුණු සම්පූර්ණයෙන් විෂ ඉවත් වන බව කියැවේ. 

සහාය මහාචාර්ය පියල් මාරසිංහ මහතාට අනුව ඇතැම් ප්‍රදේශවල තුවාල, තැලුම් සහ මස්පිඩු ඉරීයාම ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන මස්බැද්ද ශාකය මෙය නොවන අතර එය Mallotus repandus නම් උද්භිද නාමයෙන් හඳුන්වන වල් කැප්පෙටියා නම් ශාකයකි.  එතුමාගේ අදහස වන්නේ Gymnema sylvestre ශාකයේ  ශක්තිමත් කාෂ්ඨීය වැල දඩයක්කරුවන් මස් බැඳගෙන යාම සඳහා භාවිතා කළ නිසා මස්බැද්ද ලෙස හැඳින්වූ බවත් වැල් කැප්පෙටියා ශාකයේ, ශරීරයේ ඉරීගිය මාංශපේෂී යථා තත්වයට පත් කිරීමට සමත් ගුණයන් පවතින හෙයින් එය මස්බැද්ද ලෙස හඳුන්වා ඇති බවත්ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්
මස්බැද්ද වැලේ සේයාරුව_ ආචාර්ය Siril Wijesundara වනස්පති ෆේස්බුක් සමූහයේ පලකරන ලද්දකි
වල් කැප්පෙටියා (Mallotus repandus)

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support