දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, July 30, 2017

වරා [Wara] (Calotropis gigantea)

වරා මීටර් 1.5 පමණ උසට වැඩෙන පඳුරුමය කුඩා දේශීය ශාකයකි. ශාකයේ සෑම කොටසක්ම කිරි සහිතය. නොමේරූ කඳේ, පත්‍රවල සහ පුෂ්ප මංජරියෙහි සුදු පැහැති පුළුන් වැනි බූවක් දක්නට ලැබේ. ආයත, ප්‍රත්‍යණ්ඩාකාර හෝ රවිකිඤ්ඤාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි.18 සහ පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය විය හැකිය. හොඳින් මේරූ පත්‍රවල බූව ඉවත්ව ගොස් පත්‍ර තලය සිනිඳු වේ. බහු අක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් හෝ සුදු පැහැතිය. සුදු පැහැති මල් හට ගන්නා ප්‍රභේදය එළ වරා යනුවෙන් හඳුන්වයි. ඵලය වරාවකි. පරිනත ඵලය පැලී බූමණියක් සහිත බීජ සුලඟින් ව්‍යාප්ත වේ.  වරා Asclepiadaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

පීර්ණ ජවර, හිසේ කැක්කුම, ඇදුම,  සුදු කබර ඇතුළු චර්ම රෝග, බරවා, වණ, ප්ලීහා රෝග, ගුල්ම රෝග, ගෘධ්‍රසි ඇතුළු වාත රෝග, සර්ප විෂ, ගල් තැළුම් ආදියට ප්‍රතිකාර කිරීමට වරා ශාකයේ කොළ, මල්, ඇට, මුල්, අංකුර, කිරි සහ වරා ගස්වල දක්නට ලැබෙන අර්කටිඩ්ඩා නම් කෘමියා ද ඖෂධ සඳහා භාවිතා කරයි. ඖෂධ පිණිස ගැනීමේදී කිරීමේදී සුදු මල් පිපෙන එළවරා ප්‍රභේදය ගුණයෙන් ඉහල බව සලකා ඇත. එළවරා සොයා ගැනීමට නොමැති විට දම් පැහැති මල් පිපෙන වර්ගය භාවිතා කිරීමට සුදුසු බව දක්වා ඇත. එමෙන්ම පැරණි වරා ගසක කොටස් ඖෂධීය ගුණයෙන් වැඩි බව ද සඳහන් වේ. මෙම දේශීය ප්‍රභේද දෙක සහ මෙරටදී හමු නොවන Calotropis procera නම් විශේෂය ද ඇතුළුව වරා වර්ග පොදුවේ "අර්ක" යන පර්යාය නාමයෙන්ද හඳුන්වා ඇත. වරා ශාකයේ කිරි ඇස්වලට සහ සමට විෂය සහිත ස්වභාවයකින් යුක්ත හෙයින් බොහෝ විට බාහිරව ප්‍රතිකාර සඳහා යොදා ගන්නා අතර අභ්‍යන්තරව යොදන්නේ නම් සම්මත ක්‍රමයන්ට අනුව ශෝධනය කර විෂ ඉවත්කර ගත යුතු වේ. වරා අල්ප මාත්‍රාව රසායන හා බලකාරක ගුණයෙන් යුක්ත බවත් අධික මාත්‍රාව වමනය හා විරේචනය ඇති කරන බවත් දක්වා ඇත.

චර්ම රෝගවලට වරා මුල් පොතු චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. ජීර්ණ ජවර සහ මැලේරියා ආදියට වරා මුලේ පොතු පාණ්ඨය ලෙස සාදා භාවිතා කරයි. එමෙන්ම අක්මා, ප්ලීහා රෝගවලදීත්, පිත ස්‍රාවය වීම මඳ අවස්ථාවලදීත් වරා මුල් පොතු පාණ්ඨය යොදා ගනී. දරණු හිසරදයට වරා මුල් කැබලි කපා, ඉරා, වියළා අළුවන තෙක් බඳුනක ලා දවා එම අළු වරා කිරට දියකර වේලා සුනු කොට නාසයට ඉරිය යුතුය. ඇදුමට වරා කොළ පවනේ වියළා දූම පානය කරයි. වරා කොළ වියළා සුනු කොට ඉසීමෙන් වණ සුව වෙයි. ඉදිමුමට වරා කොළ කහ සමඟ අඹරා ආලේප කරයි. වමනය කරවීමට උදෑසන අළුත් පොල් බෑයකට වරා කිරි එකතු කර වියළා සුනු කර භාවිතා කරයි. වාතකණ්ඨක රෝගයේදී විලුඹෙහි පිණ්ඩ තෙල් ආලේප කර වරා කොළ රත්කර තැවිය යුතුය. රත්වූ පසු ගඩොලක් මත පිණ්ඩ තෙල් තැවරූ වරා කොළ තබා, ඒ මත විලුඹ තබාගෙන සිටිය යුතුය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

Sunday, July 23, 2017

පතඟි [Patagi] (Caesalpinia sappan)

පතඟි මීටර් 10 පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. මේරූ කඳ දුඹුරු පැහැති වන අතර පොතු ගැලවෙන ස්වභාවයක් දක්නට ලැබේ. අතුවල තියුණු කටු පිහිටා තිබේ. සෙ.මි. 25-40 පමණ  දිග ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත ය. ඵලය තියුණු තුඩක් සහිත පැලෙන කරලකි. එක් කරලක් තුල කළු දුඹුරු පැහැති බීජ 2-4 සංඛාවක් පිහිටයි. පතඟි Fabaceae  උද්භිද කුලයට අයත් ශාකයකි.

අතීසාර, සංග්‍රහණි, ප්‍රවාහිකා, රක්තප්‍රදර, ශ්වේතප්‍රදර, චර්ම රෝග, ආහාර දිරවීමේ දෝෂ, ළදරු අතීසාරය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් පතඟි ශාකයේ අරටුවත් අවශේෂව කොළත් භාවිතා කරයි. පතඟි අරටුව පිත නසන, ග්‍රාහී, රක්ත සංග්‍රාහක, ගර්භාෂය උත්තේජනය කරන, වණ රෝපණය කරන, රුධිර දෝෂ නසන ගුණ සහිතයි. පතඟි කොළ විෂබීජ නාශක ගුණයෙන් යුක්තය. රත් හඳුන් නොමැති විට එ් වෙනුවට ඖෂධ සඳහා භාවිතා කිරීමට සුදුසුම ශාකය පතඟි ය.  

පෙනහැල්ලෙන්, ගර්ශාෂයෙන් සහ අන්ත්‍රවලින් සිදුවන රුධිර වහනය වැලැක්වීම සඳහා පතඟි අරටුව කසාය කර බීමට දෙයි. අලුත් සහ කල්ගතවූ වණ සඳහා ඉතා සියුම්ව සකසාගත් පතඟි අරටුවේ චූර්ණය ඉසීමෙන් වහා වණ රෝපණය වෙයි. ලේ ගැලීමද වහා නවතී. පතඟි අරටුව ගලගා ආලේප කිරීමෙන් ඇතැම් චර්ම රෝග සුව වෙයි. චර්ම රෝග, ළදරු අතීසාරය, අහාර දිරවීමේ දෝෂ ආදී රෝග සඳහා පතඟි ක්වාතය භාවිතා කරයි. අතීසාර, සංග්‍රහණි, ප්‍රවාහිකා, රක්තප්‍රදර, ශ්වේතප්‍රදර ආදී රෝග සඳහා පතඟි අරටුවේ කෂාය සහ චූර්ණය බෙහෙවින් ප්‍රතිඵලදායකය. 

පතඟි ශාකයේ අරටුවෙහි ඇති වර්ණක නොයෙක් කාර්යක් සඳහා භාවිතයට ගනී. පෙර කළ මෙරට බෞද්ධ භික්ෂූන්වහන්සේලා සිවුරු පඬු පෙවීම සඳහා පතඟි අරටුව තම්බාගත් ජලය භාවිතා කර ඇත. අද ද ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා එම කාර්යය සඳහා වෙනත් ශාක කොටස් සමඟ පතඟි අරටුව යොදා ගනී. මෙරට විහාර කර්මාන්තයේදී භාවිතා කළ ස්වභාවික වර්ණක ලබා ගනීමටත්, පන් කර්මාන්තයේදී පැදුරු සහ විසිතුරු නිමැවුම් වර්ණගැන්වීමටත් පතඟි අරටුව භාවිතා කර ඇත. ඉන්දියාවේ ඉතා ප්‍රකට "හෝලී" උත්සවයේදී ඔවුනොවුන් අතර ඉසගන්නා වර්ණවත් සායම් වර්ග සෑදීමටත් පතඟි අරටුව භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 
Share:

Sunday, July 16, 2017

වද / පොකුරු වද [Wada] (Hibiscus rosa-sinensis)

වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි. සුඹුළු සහිත පිට පොත්ත තරමක් රළුය. කෙඳි බහුල ඇතුලත පොත්ත පට්ටා වැනි ස්වභාවයත් ගනී. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 10-15 පමණ දිගුය. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ ලංසාකාර විය හැකිය. පත්‍ර තලය සිනිඳු වන අතර පත්‍ර  දාරය දැතිවන් කඩතොළු සහිතයි. පුනීලාකාර මල් තනි තනිව හට ගනී. පොකුරු වද මල් කළු පැහැයට හුරු රතු පැහැයක් ගන්නා අතර සුදු, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයන්ගෙන් මල් පිපෙන වද ප්‍රභේද රාශියක් දැකගත හැකිය. බොහෝ විට විසිතුරු ශාකයක් ලෙස ද වවන වද ශාක Malvaceae උද්භිද කුලයට අයත්ය.

පපුවෙ සෙම ඇතුළු පෙනහළු ආශ්‍රිත රෝග, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ආසාදන, අධිරුධිර පීඩනය, අකලට හිසකෙස් පැසීම සහ වැටීම, හිස්හොරි ඇතුළු හිසේ රෝග, මුහුනේ ලප කැළැල්, සමෙහි ඇතිවන බිබිලි ලප දද ආදිය, හිසරදය, හන්දිපත් වේදනාව, අහාර අරුචිය, කැස්ස, අක්මා රෝග, හෘද රෝග, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, අධික ආර්තවය, තුවාල, ළදරු රතගාය, අක්මාවේ මේදය තැන්පත් වීම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධානවශයෙන් වද මල්, කොළ සහ මුල් යොදා ගත හැකිය. 

මැලේසියාවේ ජාතික පුෂ්පය ලෙස සලකන වද මල ඉන්දියාවේ දුර්ගා දේවියට පුද දෙන පූජනීය පුෂ්පයකි. ඊජිප්තුව වැනි රටවල වද මල් භාවිතයෙන් ජෑම්, සෝස් සහ රසවත් පාන වර්ග සාදා ගනී. වදමල් පැණිය පාසල් යන දරුවන්ගේ මතක ශක්තිය වඩවන ඖෂධයකි. වද මල් පෙති උණුවතුරේ තම්බා පෙරාගෙන ඒ ද්‍රාවණයට සීනි ස්වල්පයක් දමා ළිපේ තබා උකු පැණියක් පදමට එනතුරු හොඳින් මිශ්‍ර කරන්න. පැණි පදමට ආපසු ළිපෙන් බාගෙන වාතාශ්‍රය නොයන බෝතලයකට දමා තබාගෙන දිනපතා තේ හැඳි 2 බැගින් දරුවන්ට දිය හැකිය. අධික රුධිර පීඩනයට වියළි පොකුරු වදමල් පෙති උණුවතුර බඳුනකට දමා වසා තබා පෙරා පානය කළ යුතුය. අධික ලෙස හිසේ රුදාවක් හට ගත් අවස්ථාවකදී ළපටි වද මල් දලු, වද මල් පෙති කොටා තලපයක් ලෙස නළලේ ආලේප කරන්න. හන්දිපත් වේදනාවට වද මල් කොළ මිටක් බඳුනකට දමා වතුර පත 8ක් දමා පත එකක් වන තුරු සිඳ උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කරන්න. කෑම අරුචියට වද ගසේ මුල් කැබැලි කිහිපයක් වියළා අරගෙන මුට්ටියකට දමා වතුර පත 8ක් එයට වත් කර පත එකට සිඳුවා උදේට පත භාගයක් හවසට පත භාගයක් බැගින් පානය කිරීම ගුණය. අධික ආර්තවය ඇති කාන්තාවන්ට වද මල් පෙති එළඟිතෙලින් බැද ආහාරයට ගැනීම ගුණදායකයි. තුවාල සඳහා වද මල් පෙති පොල් තෙල්වල හෝ තල තෙල්වල රත් කර මඳ වේලාවකට පසුව තුවාලයේ ආලේප කරන්න. දින කිහිපයක් ආලේප කළහොත් පැසවූ තුවාලයක් වුණත් ඉක්මනින් සුව වෙයි. ළදරු රතගායට වද මල් කැකුළු, රත් මල් කැකුළු, කොහොඹ කොළ, රත් හඳුන් සහ කළුදුරු කළං 6 බැගින් ගෙන බඳුනකට දමා එයට වතුර පත 4ක් මිශ්‍ර කර ළිපේ තබන්න. පත භාගයක් වන තුරු සිඳගෙන පත කාල බැගින් උදේ සවස දින 5ක් දරුවාට මේ කෂාය දෙන්න. රතගාය වැලඳී නැති දරුවන්ට සතියකට එක් දිනක්වත් මේ කෂාය දීමෙන් රත ගාය රෝගය වැලඳීමෙන් වළක්වාගත හැකිය. අක්මාවේ මේදය තැන්පත් වී ඇතිවිට  පොකුරු වද මල් පෙති පවනේ වියළාගෙන සිහින් කැබැලි ලෙස කුඩු කර දිනපතා උදේ ඒ කුඩු ස්වල්පයක් උණු වතුරෙන් තම්බා තේ පානයක් ලෙස බොන්න.

හිස ආශ්‍රිතව හට ගන්නා අකලට හිසකෙස් පැසීම, වැටීම, හිස්හොරි ආදියට පොල් තෙල් හෝ තල තෙල් ස්වල්පයක් බඳුනකට දමා වද මල් පෙති සහ ළපටි වද කොළ ස්වල්පයක් එයට මිශ්‍ර කර මද ගින්නේ පැහෙන්න තබන්න. ඉන්පසුව තෙල් සමඟ මල්, කොළ සාරය මිශ්‍ර වු පසු ළිපෙන් බා පෙරාගෙන ඒ තෙල් හිසේ ගා පැයක් පමණ හිඳ හිස සෝදන්න. හිරු එළියෙන් සම පිලිස්සීම,   මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් ආදියට ළපටි වද මල් සහ කොළ තළා ගත් යුෂ මුහුණේ ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. අධික උණුසුමට නිරාවරණය වීම නිසා සමෙහි හටගන්නා දාඩිය, බිබිලි, දද, කුෂ්ඨ ආදියට උණු වතුර බඳුනකට නැවුම් වද මල් පෙති දමා වසා තබා පෙති සාරයෙන් වතුර රත් පැහැ වු විට එය නැවැතත් ළිපේ තබා පොල් තෙල් සමඟ කකාරන්න. ඉන්පසුව තරමක උකු පදමක් (ආලේප කළ හැකි පදම) ආ පසුව ළිපෙන් බාගෙන හොඳ ඇසුරුමකට දමා විටින් විට දාඩිය, බිබිලි, දද, ලපවල  ආලේප කරන්න. වද මල් පෙති කිහිපයක් ගෙන සිසිල් දිය බඳුනකට දමා පැය භාගයක් පමණ තබන්න. ජලය රත් පැහැ වූ පසු පෙරා ගන්න. එයට සීනි ස්වල්පයක්, දෙහි යුෂ ටිකක්, මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර (අවශ්‍ය නම් අයිස් කැට කීපයක් දමා) හොඳින් කලවම් කර සාදා ගන්නා පානය රසවත් මෙන්ම මුත්‍රා අඩස්සිය, මල බද්ධය, හදවත් රෝග, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු අතුළු රෝග රැසකට ගුණදායක ය. 

මූලාශ්‍ර_ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී වෛද්‍ය එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්.
Share:

Sunday, July 9, 2017

පුපුල [Pupula] (Vernonia zeylanica)

පුපුල වැල් යනුවෙන්ද හඳුන්වන මෙය මීටර් 2.5 පමණ දුරට පැතිරී වැඩෙන පඳුරු අකාර ශාකයකි. ළපටි කඳේ බූවක් දක්නට ලැබේ. රවිකිඤ්ඤාකාර හෝ අණ්ඩාකාර හැඩැති පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 8 හා පළලින් සෙ.මි. 3 දක්වා වර්ධනය වේ. පත්‍ර දාරය කඩතොළු සහිතය. රළු පත්‍ර තලය දෙපසම බූව පිහිටන අතර උඩු පෘෂ්ඨයේ බූව ක්‍රමයෙන් නැතිවී යයි. ශාඛාවල අග්‍රස්ථයෙන් ඇති වන පුෂ්ප මංජරිවල සුදු පැහැති මල් රාශියක් හට ගනී. විසිතුරු ශාකයක් ලෙස වැවීමට ද සුදුසු ශ්‍රි ලංකාවට ආවේනික ශාකයක් වන පුපුල Asteraceae උද්භිද කුලයට අයත් ය.

පුපුල අපේ රටට රටට ආවේනික ශාකයක් හෙයින් දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ. කැඩුම් බිඳුම්, ගෙඩි, වණ, වාතරක්ත, ඇදුම, ආහාර විෂවීම, ක්ෂත, සර්ප විෂ, ගඩු, පිලිකා, මුඛ තුවාල, අර්ශස්, භගන්දරා, දරුවන්ගේ සන්නි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට පුපුල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. පුපුල අස්ථි සංධාන, ක්ෂත ශෝධන හා රෝපණ, ඉදිමුම් නසන, වේදනා සමනය කරන, රැධිරය පිරිසිදු කරන ආදී ගුණ සහිතයි. බාලකුමාර වැල්මී කල්කය, ඔඩු තෛලය, උල්ලෝගම් තෛලය පුපුල යොදා නිපදවන ඖෂධයන් ය. 

කැඩුම් බිඳුම් සඳහා පුපුල කොළ සහ පොතු යොදා සිඳගත් තෙල් වර්ග භාවිතා කරයි. ගෙඩි වණ සඳහා කොළ අඹරා ආලේප කරයි. කොළ යුෂ ස්වල්පයක් බීමට දීමෙන් ඇදුම රෝගය සමනය වෙයි. වාතරක්තයට පුපුල කොළ, කහ සමඟ කබලේ පුලුස්සා අඹරා ආලේප කරයි. ආහාර විෂ වූ විට වමනය කරවීම සඳහා කොළ යුෂ බීමට දෙයි. ක්ෂතවලට පුපුල කොළ මලවා ගෑම සහ බැඳීම සිදු කරයි. තුවාලවලට නික, එරබදු, පුපුල, හැල කොළ ආදියෙහි යුෂ ගෙන මී පැණියෙන් අනා ආලේප කරයි. කැඩුම් බිඳුම් සඳහා පුපුල කොළ, කොබ්බෑ කොළ පොතු, සේරු කොළ, හාතාවරිය කොළ සමව ගෙන කහ, ලුණු හා අමු පොල් ස්වල්පයක් දමා කොටා මලවා බඳී. ඔඩුවණ හා කැපුම් තුවලවලට පුපුල කොළ, පොඩිඅරසි කොළ, ඉල්ල දළු සමව ගෙන කපා ලුණු දමා කොටා මලවා බඳී. පොළොං විෂට පුපුල දළු මුත්‍රයෙන් නස්න කරයි. ක්ෂත ශෝධනයට සහ රෝපණයට පුපුල දළු, ඉල්ල දළු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳී. දරුවන්ගේ සන්නි රෝග, වලිප්පු, ඇදුම, කැස්ස සඳහා පුපුල දළු අනුපානයෙන් යොදයි. අපට රටෙහි පමණක්ම හමුවන මෙම වටිනා ඖෂධ පැළෑටිය ගෙවත්තෙහි විසිතුරු ශාකයක් ලෙස හෝ වවාගෙන සුරක්ෂීත කිරීම දේශීය වෙදකමට හිතැති සැමගේ යුතුකමකි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Sunday, July 2, 2017

රත්කෑල [Rathkela] (Butea monosperma)

ගස් යට වැටුණු කෑල මල් රතු පලසක් මෙන් දිස්වන හෙයින් ඒ දකින සිවළුන් මස් කැබලි යැයි රැවටෙන බව ජනප්‍රවාදවල සඳහන් වේ. සිංහලෙන් කෑල, ගස් කෑල, ගස් කෑලිය ආදී නම්වලින්ද සංස්කෘතෙන් පලාශ යනුවෙන්ද හඳුන්වන රත්කෑල මීටර් 15 පමණ උසට අක්‍රමවත්ව අතු පැතිරි වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ගණකම් රළු පොත්ත පතුරු ගැලවෙන ස්වභාවයක් ගනී. දිගු නටුවක් සහිත ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. අග්‍රස්ථ පත්‍රිකාව විශාල වන අතර දිගින් සෙ.මි.12 හා පළලින් සෙ.මි.10 පමණ විය හැකිය. පුෂ්ප මංජරිය ඒකාක්ෂයකි. කලාතුරකින් බහුඅක්ෂ ද වේ. කෑල මල් දීප්තිමත් රතු තැඹිලි පැහැතිය. මලක් සෙ.මි. 4-5 පමණ දිගුය. එරබදු මලට සමානකමක් දක්වයි. ඵලය සෙ.මි. 15 පමණ දිග කරලකි. පැතලි බීජ උපවෘක්කාකරය. කෑල Fabaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

වාත රෝග, පිත්ත කෝප, ශ්ලේෂ්මල දෝෂ, වටපණු ආදී පණු රෝග, ග්‍රහණි, ශාරීරික අපහසුතා, නයි විෂ, ප්‍රදර රෝග, මූල රෝග, ගුද රෝග, චර්ම රෝග, ප්‍රවාහිකා, ගෙඩි, ගඩු, මුත්‍ර රෝග ආදියට ප්‍රතිකාර කිරීමට රත්කෑල ශාකයේ කොළ, පොතු, ඇට, මැලියම් ආදිය භාවිතා කරයි. රත්කෑල කොළ ශක්තිජනක, කාමෝද්දීපක, වණ ශෝධනය කරන තාපය හා දූෂිත වායු හරණය කරන ගුණ සහිත බවත් රත්කෑල මල් ධාතුවල උෂ්ණය සමනය කරන, කාමෝද්දීපක, රුධිය පිරිසිදු කරන සහ කැටි කරන ගුණ සහිත බවත් සඳහන් වේ. 

උදර රෝග අතීසාර ආදියට රත්කෑල කොළ කෂාය හෝ යුෂ යොදා ප්‍රතිකාර කරයි. ගෙඩි පැසවීමට, ගඩුවලට සහ අණ්ඩවාතයට කොළ අඹරා ගෑමත්, මල් ජලයෙන් තම්බා අඹරා ගෙඩිමත තබා බැඳීමත් සිදු කරයි. අර්ශස්, කුසගිනි මදිකම සහ කාන්තා ලිංගාශ්‍රිත රෝග සඳහා කෑල පොතු කෂාය ගුණය. මුත්‍ර මාර්ගයෙන් ලේ පිටවන විට කෑල පොතු තැම්බූ වතුර බොන්නට දෙයි. පණු රෝග සඳහා කෑල ඇට ජලයේ බහා පිපුණු පසු පිට සිවිය ඉවත් කර ඇතුලත මඳය වියළා මී පැණියෙන් අනා දිනකට තුන් වරක් බැගින් දින තුනක් දී 4 වන දින උදයේ විරේචනය සඳහා එඬරු තෙල් දිය යුතුය. ගොනුසු විෂට කෑල ඇට වරා කිරෙන් අඹරා ආලේප කරයි. 

විශාල කෑල ගසක් මීටර් 2 ක් පමණ උසින් කපා එහි වංගෙඩියක් මෙන් කුහරයක් සාදා එයට ඇට ඉවත් කළ නෙල්ලි ග්‍රෑම් 3840 පමණ පුරවා, කෑල ලීයකින්ම ඇබයක් සකස් කර කට වසා, එම කඳ වටා ගොම වැරටි ගොඩ ගසා ගිනි තැබූ පසු සෑදෙන සාරය යොදා ගෙන මිනිසකු අවුරුදු 300 ක් පමණ ජීවත්කර විය හැකි ඖෂධයක් සාදා ගන්නා අකාරය ගැන මහනුවර රජ සමයේ විසූ ශ්‍රි රත්නසේකර රාජ නම් වෛද්‍යවරයා විසින් රචිත අත්වෙද පොතක සඳහන්වේ. මෙය අතහදා බැලූ කෙනෙක් ගැන තොරතුරක් දැන ගන්නට නැත. කෙසේ වෙතත් මෙය වාජීකරණ රසාන ගුණ සහිත ඖෂධයක් විය යුතු බවයි විද්වත් අදහස.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Sunday, June 25, 2017

ආයාපාන [Ayapana] (Ayapana triplinervis)

ආයාපාන ශාකය නිවර්තන ඇමරිකාව නිජබිම කරගත්, මෑත කාලයක අප රටට හඳුන්වාදෙන ලද කුඩා බහු වාර්ෂික පැළෑටියකි. රතු පැහැති කඳ පොළවට සමාන්තරව වැලක් ආකාරයෙනුත් ශඛා සෙ.මි. 20-30 පමණ පොළවෙන් ඉහලට එසවීත් වර්ධනය වෙයි. අඳුරු කොළ පැහැති රේඛීය සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 5-8 පමණ දිගු ය. පත්‍රවල සුගන්ධකාරක දුව්‍ය අංඩගුය. ඡත්‍රාකාර පුෂ්ප මංජරියක හට ගන්නා මල් රෝස හෝ සුදු පැහැතිය. මෙම ශාකය කලකට පෙර Eupatorium triplinerve යන උද්භිද නාමයෙන් හඳුන්වා තිබුණි. ආයාපාන Asteraceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

දේශීයව ආයාපාන ශාකයේ භාවිතයක් ගැන තොරතුරු දැන ගන්නට නැති අතර මෑතක සිට ඉන්දියානු අයුර්වේදයේ ඖෂධ සඳහා යොදා ගන්නා බව සඳහන් වේ. උණ, ප්‍රතිශ්‍යා, පාචන සහ අධික ලෙස දහදිය වැගිරීමට ප්‍රතිකාර කිරීමට පිලිපීන වැසියන් මෙය භාවිතා කරයි. ඔවුන් මෙම ශාකය කෂාය කර වමනකාරකයක් ලෙසද ප්‍රයෝජනයට ගනී. එමෙන්ම කෂාය සහ අමු යුෂ බාහිර සහ අභ්‍යයන්තර වණ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. අඩු මාත්‍රා වෙන් දෙන කෂාය උත්තේජක සහ ස්මෘති කාරක (සිහිය වඩවන) ගුණ සහිත බව සඳහන්. ගයානා, බ්‍රසීල, පිලිපීන සහ ඉන්දියානු වැසියන් නාග විෂට ප්‍රතිකාර කිරීමට ආයාපාන ශාකය යොදා ගනී. අජීර්ණය සඳහා ප්‍රතිඵලදායක ඖෂධයක් ලෙසද චර්ම රෝයන්හිදී තැවිලි සඳහා ද ආයාපාන ශාකය භාවිතයට ගන්නා බව සඳහන් වේ. විදේශීයව මෙම සම්පූර්ණ ශාකයම නිදන්ගත පාචනය, වමනය, උණ, හිසරදය, නින්ද නොයාම, පෙනහළු රෝග, ඉන්ෆ්ලුවෙන්සා, නිව්මෝනියා, බඩවැල්වල රෝග, සර්ප විෂ, ඔසප් රෝග, කැස්ස, උගුරේ ආබාධ,  ආදි රෝග රැසක් සඳහා ද ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, June 18, 2017

ගිනි සපු [Gini Sapu] (Michelia champaca)

ගිනි සපු මීටර් 30 පමණ උසට සෘජු කඳක් සහිතව වර්ධනය වන අප රටට හඳුන්වාදෙන ලද ශාකයකි. සිනිඳු පොත්ත අළු පැහැතිය.  දිග සෙ.මි. 35 ක් සහ පළල සෙ.මි. 10 පමණ වන සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයේ යටිපස ළා පැහැති වන අතර සියුම් බූවක් සහිතය. පුෂ්ප මංජරියක හට ගන්නා කහ හෝ තැඹිලි පාට මල් අලංකාවත් මෙන්ම ඉතා සුවඳවත් ය. එල්ලෙන පොකුරක් ලෙසට හට ගන්නා කොළ පැහැති ගෙඩිවල ගැටිති සහිතයි. පරිණත ගෙඩි පැලී රෝස පැහැති ඇට පිටතට විවෘත වේ. මෙම උද්භිද ගණයටම අයත් වල් සපු (Michelia nilagirica) නම් මීටර් 15 පමණ උසට වැඩෙන දේශීය ශාකයක් ඇති අතර එහි මල් සුදු පැහැතිය. සපු Magnoliaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.

උණ, අක්ෂි රෝග, සමේ රෝග, ලාඳුරු, වණ, තුවාල, පිලිස්සුම් තුවාල, ඉදිමුම්, දැවිල්ල, ආතරයිටීස්, රක්තවාතය, දියවැඩියාව, ලිංගික දුර්වලතා, අජීර්ණය, වමනය, පණු රෝග, මුත්‍ර ආබාධ, ආහාර අරුචිය, මලබද්දය ඔසුප් වීමේ දෝෂ, උදරාබාධ, ඉරුවාරදය ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සපු ශාකයේ කොළ, පොතු, මුලේ පොතු, මල්, ඇට ආදිය භාවිතා කරයි. සපු උත්තේජක, විරේචක, මුත්‍රකාරක, ශුක්‍ර වඩවන, විෂබීජ නසන ආදී ගුණ සහිතයි.

සපු ශාකයේ පොත්ත උණ රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගනී.   මල් ඇස් සහ පිළිස්සුණු තැන්වලට සහනය ගෙනදෙයි. සමේ රෝගවලදී මුලෙහි පොත්ත බහුලව භාවිතා කරයි. සපු ශාකයේ විවිධ කොටස් ධාතු වර්ධනීය ඔසු ලෙස භාවිත කෙරෙන අතර සමෙහි සෛල වඩවන බැවින් ආලේප ලෙස ද භාවිතා කරනු ලබයි. මලෙන් සාදන ටොනික් වර්ග ආමාශගතව ආහාර රුචිය උපදවයි, එය ආමාශගත වාතය සමනය කරන ඔසුවකි. අජීර්ණ, වමන හා අරුචි, උණ සඳහා ප්‍රතිකාරවලදී බහුලව යොදා ගැනේ. වකුගඩු සම්බන්ධ අසාමාන්‍ය තත්වවලදී මූත්‍රකාරක ඔසුවක් ලෙස ද භාවිත වේ. සපුමල් තෙල සාමාන්‍ය හිසරදය සහ ඉරුවාරදය වැනි කල්පවත්නා හිසේ ආබාධ සඳහා හොඳ ඔසුවකි. පිත සහ සෙම පහළ දමන අතර වාතය ඉහළ දමයි. කදිම සිසිලනකාරකයකි. සපු කොළ වලින් ගන්නා සුගන්ධ තෙල අධික ලෙස වාෂ්පශීලී ගුණ දරයි. එය තුවාල සහ ඉදිමුම් සඳහා ඉක්මන් සහනය ගෙන දෙයි. මී පැණි සමග ගත්විට කොළ යුෂය ශරීරයේ අභ්‍යන්තර වේදනා සඳහා සහනය ගෙනෙයි. සපු කෂාය කර ගත් විට ආතරයිටිස්, උරස් කුහරයේ ආබාධ, හෘද නාල පටුවීමෙන් සෑදෙන වේදනා සඳහා සහනය ගෙනෙයි. එඬරු තෙල් සමග මිශ්‍ර කර ගත් සපු කොළ යුෂ සන්ධිවල ආලේපනයට ඉතා සුදුසු බැවින් එය ආතරයිටිස් රෝගයට ඔසුවක් ලෙස ගැනේ. 

ඉමිහිරි සුවඳකින් යුක්ත සපු මල් පූජාකිරීමට ඉතා අගනේය. මෙරට විහාර චිත්‍රවල සපුමල ඇසුරෙන් කළ නිර්මාණ දක්නට ලැබේ. සපු මල් උතුරු ඉන්දීය පෙදෙස්වල ශිව දෙවියන් සහ කෘෂ්ණා පූජාවල දී බහුලව භාවිත කෙරේ. සිංහල කවිය හා ගීතය තුළ ද සපුමලට හිමිවන තැන වැදගත් කමින් අනූනය. සපු මලෙන් ලබා ලන්නා සුගන්ධ තෙල් සුවඳ විලවුන් නිශ්පාදයේදී යොදා ගැනේ. රීප්ප සහ ලෑලි සඳහා සුලබව භාවිතා කළද සපු ලී වටිනාකමින් අඩු දැවයක් ලෙස සැලකේ. ගෘහ භාන්ඩ සෑදීමට භාවිතා කරනුනේ කලාතුරකිනි. සපූ ලීය වියළි කාලවලදී හැකිලීමත් වර්ෂා කාලයේදී ප්‍රසාරණය වීමත් ලොකු පරාසයක සිදුවීම එහි වටිනාකම අඩු වීමට එක් හේතුවකි. 

මූලාශ්‍ර_ දේවගේ දොං ප්‍රියන්ත කුමාර මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, June 11, 2017

හෙන්දිරික්කා [Hendirikka] (Mirabilis jalapa)

හෙන්දිරික්කා සෙ.මි. 30 සිට මීටරයක් දක්වා උසට බෙහෙවින් අතු පැතිරී වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි.  ශීග්‍ර වර්ධනයක් සහිත අකාෂ්ඨමය ශාකයක් වන මෙහි පොළවෙන් උඩ කොටස කෙටි කලකින් මිය ගියද අලය හෙවත් ආකන්දීය මුල නොනැසී පවතී. දිග සෙ.මි. 5-15 සහ පළල සෙ.මි. 3-4 පමණ වන හෘදයාකාර සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. ක්‍රමවත්ව පිහිටන ද්වී ලිංගික පුෂ්ප අලංකාරවත්ය. දම්, සුදු, රතු, කහ ආදී විවිධ වර්ණයන්ලෙන් යුත් මල් හට ගන්නා හෙන්දිරික්කා ප්‍රභේද රාශියක් දක්නට ලැබේ. ඵලය දාර සහිත චර්මලයකි. සැඳෑ සමයේ මලින් බර වන හෙන්දිරික්කා ගෘහ අලංකරණය සඳහා විසිතුරු මල් පැළෑටියක් ලෙස ද වැවිය හැකිය. සන්ධ්‍යා කාලයේ 4ට පමණ මෙහි මල් පිපීමට පටන් ගැනීම ශාක ලෝකයේ සුවිශේෂි වූ රිද්මයානුකුල සංසිද්දියක් ලෙස සැලකේ.  හෙන්දිරික්කා Nyctaginaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

මලබද්ධය, වණ, සැරව ගෙඩි, ඉදිමුම්, ශාරීරික දුබලතා, තැලුම්, ගෙඩි, පිලිස්සුම් ආදියට ප්‍රතිකාර කිරීමට හෙන්දිරික්කා ශාකයේ කොළ, මුල්, අල සහ ඇට භාවිතා කරයි. හෙන්දිරික්කා රේචන, ශාමක, ශක්තිජනක හා බලකාරක ගුණ සහිතයි. 

පිලිස්සුම් තුවාල සඳහා සම්පූර්ණ ශාකය කොටා යුෂ ගෙන තුවාලයේ ආලේප කිරීම හෝ එම යුෂ තල තෙල් සමඟ කකාරා ආලේප කිරීම සිදු කරයි. සැරව ගෙඩි සඳහා මුල් අඹරා ප්‍රලේපයක් ලෙස යොදයි. ශාරීරික දුර්වලතාවයන්ට හෙන්දිරික්කා මුල් එළඟිතෙලෙන් බැද එළකිරි සමඟ වැලඳිය යුතුය. තැල්මට මුල් ඇල් දියෙන් ගලගා ආලේප කරයි. කොළ යුෂ රත්කර ආලේප කිරීමෙන් ගෙඩි පැසවා යයි. ආසාත්මිකතාවයක් නිසා ඇති වන කරප්පන්වලට පත්‍ර ස්වරසය ආලේප කරයි. හෙන්දිරික්කා අල මෘදු විරේචන ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. හෙන්දිරික්කා මුල් සහ ඇට යම් විෂ සහිත බවකින් යුක්ත බව සඳහන්. 

හෙන්දිරික්කා මල්, පූජකිරීමටත්, ගුප්ත විද්‍යා කටයුතු සඳහාත්, ආහාර වර්ණකයක් ලෙසත් යොදා ගන්නා අතර කොළ පළාවක් ලෙස කෑමට ගත හැකිය. සවස 4 ට පමණ මල් පිපෙන බැවින් පැරැන්නෝ වේලාව දැන ගැනීමට මෙම ශාකය භාවිතා කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, June 4, 2017

කුරුඳු [Kurundu] (Cinnamomum verum)

පත් කුරුඳු නමින්ද හඳුන්වන කුරුඳු මීටර් 20 ක් දක්වා උසට වැඩෙන අප රටට ආවේනික මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. සදාහාරිත ශාකයක් වන මෙහි තරමක් ඝණකම් පොත්ත ඇතුලතින් රතු පැහැතිය. දිළිසෙන සුලු සරල පත්‍ර  සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 15 දක්වා දිගු විය හැකි අතර පත්‍රය දික් අතට පිහිටන පැහැදිළි නාරටි 3-5 ක් දක්නට ලැබේ. දල්ල දඹුරු පැහැයට හුරු රතු පැහැතිය. බහුඅක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් ළා කහ පැහැතිය. කොළ පැහැති ගෙඩි ඉදුණු පසු අඳුරු දම් පැහැයක් ගනී. කුරුඳු ශාකය කලකට පෙර Cinnamomum zeylanicum යන උද්භිද නාමයෙන් හඳුන්වා තිබුණි. මීට අමතරව Cinnamomum උද්භිද ගණයට අයත් කපුරු කුරුඳු, පැඟිරි කුරුඳු, සෙවෙල් කුරුඳු, වැලි කරුඳු, පැණි කුරුඳු, වල් කුරුඳු ආදී ලෙස අප රටට ආවේනික තවත් කුරුඳු වර්ග රැසක් ඇති අතර ඒවාද අඩුවැඩි වශයෙන් ඖෂධ සහ අහාර සඳහා භාවිතා කරයි. කුරුඳු විශේෂ Lauraceae උද්භිද කුලයට අයත් ය. 

හෘද රෝග, ආතරයිට්ස්, මුත්‍ර රෝග, පිත්ත රෝග, රුධිරයේ මේදය අධික බව, ප්‍රතිශ්‍යාව, හිසරදය, අහාර අරචිය, කුසගිනි මදිකම, ආහාර දිරවීමේ දෝෂ, ග්‍රහණි, අරශස්, උදරාබාධ, පාචනය, කුරුලෑ, චර්ම රෝග, පිළිකා, මුඛ රෝග, කර්ණ රෝග, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය, පීනස, මුත්‍ර අඩස්සිය, පූයමේහ ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කුරුඳු ශාකයේ කොළ, කොළ, පොතු, මුල්, ඇට, සහ තෙල් ආදිය භාවිතා කරයි. කුරුඳු කොළ, ඇට, පොතු, මුල් ආදියෙන් වෙන වෙනම සිඳ ගන්නා තෙල් විවිධ වර්ණයෙන් සහ ගුණයන්ගෙන් සමන්විතය. කුරුඳු අක්මාව උත්තේනජය කරන, කෘමින් නසන, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, වාජීකරන ආදී ගුණ සහිතයි. 

කුරුඳු හා මී පැණි මිශ‍්‍ර කොට ආහාරයට ගත් විට බොහෝ රෝග සුවපත් වන බව නූතන පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇත. මීපැණි හා කුරුඳු කුඩු කලවම් කර බටර්, ජෑම්, ජෙලි මෙන් වෙනත් ආහාරයක් සමඟ උදෑසන කෑමට ගැනීමෙන් ධමනිවල මේදය තැන්පත් වීම අඩු කොට හෘද ආබාධ වැලැක්වීමට සමත් ය. එමෙන්ම එය ස්වසන අපහසුතා සඳහා ද ප්‍රතිකාරයකි. ආතරයිටිස් රෝගය නිසා සන්ධි ඉදිමීමට ලක්වූ රෝගීන්ට දිනපතා උදේ, සවස හා රාති‍්‍රයට මී පැණි මේස හැඳි දෙකක් හා කුරුඳු කුඩු තේ හැන්දක් මිශ්‍රකර කෑමට ගැනීම බෙහෙවින් ප්‍රතිඵලදායක ය. මුත‍්‍රාශය සහ පිත්තාශය වැනි ආශවල සිදුවන ආසාදන සඳහා පිළියමක් ලෙස කුරුඳු කුඩු මේස හැඳි දෙකක් හා මී පැණි තේ හැන්දක් මඳ උණුසුම් වතුර වීදුරුවකට දිය කර බීමෙන් ආශවල ඇති විෂ බීජ විනාශ වී ආසාදන තත්වය සුව වෙයි. සාමාන්‍ය හෝ දරුණු ප‍්‍රතිශ්‍යා තත්වයන්ගෙන් පෙළෙන අයට හා සෙම ඇවිස්සීම් ඇති අයට කුරුඳු කුඩු මේස හැඳි කාලක් මඳක් උණුසුම් කළ මී පැණි මේස හැන්දකට මුසු කොට දින තුනක් ආහාරයට ගැනීම ගුණ දායකය. එය දිගු කලක් පැවති කැස්සක්, සෙම්ප්‍රතිශ්‍යාව වුව ද සුව වීමට උපකාර වෙයි. කුරුඳු කුඩු හා මීපැණි දිනපතා ආහාරයට ගැනීමෙන් සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය සවිබල ගන්වයි. සිරුරට බැක්ටීරියා හා වෛරසවලින් ඇති විය හැකි හානිය වළක්වයි. මීපැණි මේස හැඳි දෙකකට කුරුඳු කුඩු ඉස, ආහාර ගැනීමට පෙර වැලඳීමෙන් උදරයේ අම්ල ගතිය ඇති වීම වළක්වා  ඕනෑම බර ආහාරයක් දිරවා ගැනීමට පහසු කරයි. මී පැණි මේස හැඳි තුනක් කුරුඳු කුඩු තේ හැන්දක් එකට අනා නින්දට යාමට පෙර මුහුණේ ආලේප කර පසුදා උදේ උණුසුම් වතුරෙන් සේදීමෙන් කුරුලෑ ඉවත් කර ගත හැකිය. මෙය දිනපතා ම සති දෙකක් නොකඩවා කිරීමෙන් කුරුලෑවලින් වන හිරිහැරයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට පුළුවන. සමේ ඇති වන දද, කුෂ්ඨ හා වෙනත් දිලීර ආසාදනවලට ප‍්‍රතිකාරයක් ලෙසත් මී පැණි හා කුරුඳු කුඩු යොදා ගත හැකිය. මේ සඳහා මී පැණි හා කුරුඳු කුඩු එක හා සමාන කොටස්වලින් ගෙන එකට අනා සමේ ආසාදනය ඇති තැන්වල ආලේප කළ යුතුය. ජපානයේ හා ඕස්ටේ‍්‍රලියාවේ මෑතදී කරන ලද පර්යේෂණවලින් කුරුඳු මී පැණි මිශ‍්‍රණය ආමාශයේ හා අස්ථිවල පිළිකාවලට ප‍්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව හෙළිවී තිබේ. මෙවැනි පිළිකාවලින් පෙළෙන අය දිනකට තුන්වරක් මී පැණි මේස හැන්දක් හා කුරුඳු කුඩු තේ හැන්දක් බැගින් දිනපතාම මාසයක් ආහාරයට ගත යුතුය. එමෙන්ම කුරුඳු කුඩු හා මී පැණි ආහාරයට ගැනීමෙන් මුඛ දුර්ගන්ධය පහව යයි. කන් ඇසීම වර්ධනය වෙයි. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, ආරම්භක තත්වයේ පවතින උදරගත තුවාල ආදිය සුව වෙයි. 

ඖෂධයක් මෙන්ම සූපවේදයේ  මූලික රසකාරක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන, ලෝකයේ ඉතා පැරණි හා ප්‍රකට කුළුබඩුවක් වන කුරුඳු නිශ්පාදනයේ ප්‍රමුඛයා ශ්‍රි ලංකාව වීම විශේෂත්වයකි. ලෝක වෙළඳපලේ කුරුඳු අවශ්‍යතාවයෙන් 80%-90% පමණම සපුරාලන්නේ අප රටයි. දිවයිනේ දකුණු පලාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාවගේ එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ කුරුඳු නිශ්පාදනයයි. සුදුසු වයසට පැමිනි කුරුඳු ගස් කපා පිට පොත්ත ඉවත් කර ආවේනික ක්‍රමයකට සියුම්ව තලා ගන්නා පොත්ත හානිය අවම වන සේ ඉවත් කර වියළා ගනී. කැපූ ගස්වල කොළ හුමාල ආසවනය කිරීම කුරුඳු තෙල් ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය වේ.  
මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ජාතික විද්‍යායතනයේ ආචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
පහල සේයාරුව_ අන්තර්ජාලයෙන්
Share:

Sunday, May 28, 2017

තොටිල [Totila] (Oroxylum indicum)

ඇතැම් ප්‍රදේශවල තොටිල්ල යනුවෙන්ද හඳුන්වන තොටිල මීටර් 8 පමණ උසට වැඩෙන දේශීය ශාකයකි. අළු පැහැති ගණ පොත්තන් දරයි. පොත්ත ඇතුලත කහ පැහැතිය. මීටරයක් පමණ දිග විශාල සංයුක්ත පත්‍ර ත්‍රිපක්ෂවත් ය. පත්‍රිකා ඩෙල්ටාකාර හෝ අණ්ඩාකාර ය. ශාඛාවන්ගේ කෙලවරින් ඉහලට තරමක් විශාල පුෂ්ප මජරියක් හට ගනී. ගණකම් මණිපත්‍ර සහිත මල්වල පිටත කළු පැහැයට හුරු දම් පැහැති වන අතර ඇතුලත කහ පැහැති ය. ඵලය දිග සෙ.මි. 75 සහ පළල සෙ.මි. 9 දක්වා දිගු විය හැකි විශාල කරලකි. පියාපත් සහිත බීජ සුලඟ මඟින් ව්‍යාප්ත වේ. තොටිල Bignoniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

තොටිල මුල් දශමූලයට අයත් මහා පස්මුලේ එක් මුල් වර්ගයකි. වාත රෝග, උණ, සෙම නිසා හටගත් පීනස, ඇදුම, කැස්ස, කුෂ්ඨ, සන්ධි වාත, මුඛ රෝග, අතීසාර, විසූචිකා, ස්නායු රෝග, විෂවායු නිසා හටගත් රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මුල්, මල්, පොතු, ඇට, කොළ, මල් පොහොට්ටු ආදී තොටිල ශාකයේ සෑම කොටසක්ම පාහේ යොදා ගනී. තොටිල ශක්තිජනක, කුසගිනි වඩවන, වේදනාවන් සමනය කරන, ඉදිමුම් නසන, කාමෝද්දීපක, කෘමිනාශක, මුත්‍රකාරක ආදී ගුණයන් සහිතයි. දශමූලාරිෂ්ටය තොටිල මුල් යොදා නිපදව ප්‍රකට ඖෂධයකි. ගර්භණී මව්වරුන්ට තොටිල යොදා නිපදවන කෂාය නොදෙන්නේ එය ගර්භයට අහිතකර විය හැකි බැවිනි.  

දරු ප්‍රසූතියෙන් පසු ගට ගන්නා උණට තොටිල මුලේ පොතු, අමු ඉඟුරු, සුදුලූණු, කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් යුෂට මී පැණි දමා බීමට දෙයි. විසූචිකාවට තොටිල මුලේ පොතු හා කලාඳුරු අල උණු අළු පල්ලේ දමා තම්බා මිරිකා මී පැණි දමා බීමට දෙයි. ආමවාතයට තොටිල ගසේ පොතු හෝ මුලේ පොතු වියළා කුඩුකර පත 8-4 ට සිඳවා පැය 12ක් වසා තම්බා මිරිකාගත් පාණ්ඨය (යුෂ) බීමට නියම කර ඇත. තොටිල පොතු තම්බාගත් වතුර නෑමද ආමවාතයට ගුණදායක ය. තොටිල මුලේ සුඹුලු කෂාය  වාත උපද්‍රව නිසා හටගත් වේදනාවන්ට සහනය ගෙනෙයි. අතීසාරයට තොටිල පොතු පුටපාක කර බීමට දීම හෝ තනිකර පොතු කෂාය යොදයි. කණේ වේදනාවට තොටිල පොතු යුෂ සහ රාබු අල යුෂ මඳක් රත්කර කණට වත් කරයි. තොටිල මුලේ පොතු සහ කොළ තැම්බූ වතුර නෑම සහ එයින් හුමාලය ඇල්ලීම ඉදිමුම් සහ වේදනාවන් සමනය කිරීමට උපකාරී වෙයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support