දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, October 8, 2017

හීං මිදි [Heen Midi] (Premna obtusifolia)

හීං මිදි අග්නිමන්ත නම් පර්යාය නාමයකින් හඳුන්වා ඇති නිසා අතීතයේදී ගිනිගානා දඬු හෙවත් ලී දඬු දෙකක් එකිනෙක ඇතිල්ලීමෙන් ගින්දර උපදවා ගැනීමට භාවිතා කරන්නට ඇති බවට විශ්වාස කරයි. මෙම ශාකය මිදි යනුවෙන් හැඳින්වුව ද පළතුරක් ලෙස ගෙඩි කෑමට ගන්නා ප්‍රකට මිදි වැල් සහ මෙය අතර සම්බන්ධයක් නැත. හීං මිදි මීටර් 8 පමණ උසට කුඩා ගසක් හෝ පඳුරක් ආකාරයට වැවෙන දේශීය ශාකයකි. ශාකයේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. සරල පත්‍ර ද්වීකාන්තරික-සම්මුඛ ය. පත්‍ර තලය අඳුරු කොළ පැහැයක් ගනී. පත්‍ර හැඩය ආයත, ඉලිප්සාකාර වැනි විවිධ හැඩයන්ගෙන් යුක්ත ය. අග්‍රස්ථීය පුෂ්ප මංජරිය සංයුක්ත බහු අක්ෂයකි. ළා කහ පාටට හුරු මල් අප්‍රසන්න ගන්ධයක් සහිතයි. ඵලය උපගෝලාකාර අෂ්ටිලයකි. ගැමි ව්‍යවහාරයේ වල්මිදි යනුවෙන්ද හඳුන්වන හීංමිදි  Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් දශමූලයන් අතරින් මහ පස් මුල්වලට අයත් එක් වර්ගයක් වන්නේ හීං මිදි මුල් ය. ඉදිමුම්, වාත රෝග, ආමවාත, ප්‍රමේහ, හෘද රෝග, ස්නායු දුර්වලතා, අර්ශස්, තරබාරු බව, පණු රෝග, ඉක්ෂුමේහ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් හීං මිදි මුල් සහ අවශේෂව පොතු සහ කොළත් භාවිතා කරයි. 

වේදනා සහිත අර්ශස්වලට හීං මිදි කොළ තැම්බූ කෂාය අවහාහනය කරයි. මේහ රෝග අවස්වථාවලට පොතු කෂාය යොදයි. අධික තරබාරුවට පොතු කෂාය ශිලාජතු සමඟ දෙයි. මුල් කෂාය ආමවාත වේදනාවන්ට ද ගුණදායක ය. වේදනා සහිත ඉදිමුම් අවස්ථාවන්ට මිදි කොළ රත්කර බැඳීම හෝ තැවීමත්, අඹරා තම්බා එම කෂාය වතුරින් මඳ උණුසුමින් තෙමීමත් සිදු කරයි. වාත රෝග සහ නාඩි ව්‍යුහයෙහි දුබලතාවන්ට හීං මිදි ශාකයේ පංචාංගය කෂාය යොදා ප්‍රතිකාර කරයි. පණු රෝග සඳහා පත්‍ර ස්වරසය දෙයි. ශීත පිත්තයට කොල තම්බා සේදීම කරයි. 

මෙම කොළ පොල්තෙල් සමඟ කලවම් කර හිස සෝදනයක් සාදා ගත හැකිය. තාවකාලික නිවෙස් සෑදීමේදී, ලී බඩු, විවිමේ උපකරණවල හරස් දඬු, ලිය පට්ටල් වැඩ, හබල්, පිහියා මිටි, විසිතුරු බඩු ආදිය සෑදීමට මෙම ලීය යොදා ගනී. මෙය පඳුරක් ලෙස කප්පාදු කර විසිතුරු ශාකයක් ලෙස ද වැවිය හැකි වටිනා ඖෂධ ශාකයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය

Share:

Sunday, October 1, 2017

ජයපාල [Jayapala] (Croton tiglium)

ජන වහරේ ජාපාල යනුවෙන් ප්‍රකට ජයපාල මීටර් 7 ක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. සිනිඳු කඳෙහි පොත්ත දුඹුරු පැහැතිය. ළපටි අතුවල තාරකාකාර බූවක් පිහිටා තිබේ. දිගු නටුවක් සහිත සරල පත්‍රවල පිහිටීම සාමාන්‍යයෙන් ඒකාන්තර වන අතර කඳෙහි අග්‍රස්ථයට වන්නට සුළු වශයෙන් සම්මුඛ විය හැකිය. පත්‍රයක් දිගින් සෙ.මි. 15 හා පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය වේ. පත්‍ර හැඩය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාර ය. තිවෘ අග්‍රයක් සහිත පත්‍රවල පත්‍ර දාරය ඇතැම්විට කඩතොලු සහිත ය. පුෂ්ප මංජරිය අග්‍රස්ථ හෝ කක්ෂීය වේ. මල් ළා කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ඉලිප්සාකාර-තුන්තල හැඩයෙන් යුත් අළු පැහැයට හුරු දුඹුරු පැහැති බීජ පිහිටා තිබේ. ජයපාල Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ජයපාල ඉතාම උග්‍ර විරේචක ද්‍රව්‍යයක් ලෙස ඉතා ප්‍රකටය. ජාපාල ගහක් යට සිටියත් බඩ බුරුල්වන්නේ යැයි ගැමියන් කියන්නේ නිකමට නොවේ. දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සහ ඖෂධ වට්ටටෝරුවල "නෙරුවාල" යනුවෙන් හඳුන්වා ඇත්තේ ද ජයපාල ය. දේශීය ගුළි කල්කවල බොහෝ විට පත්තියම් පංගුව හා විරේක පංගුව ලෙස එකම බෙහෙත කොටස් දෙකකට අඹරා ගැනෙන අතර විරේක පංගුවට නිරතුරුව යෙදෙනුයේ ජයපාල ය. පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය, කුසගිනි මදිකම, අජීර්ණ, විබන්ධ, කෘමි රෝග, ජලෝදර, මොළයේ ලේ වහනයවීම්,  සංන්‍යාස, විෂ ශරීරගත වීම, සර්ප විෂ, උඳුගොව්වා කෑම, ආමවාතය, ග්‍රන්ථිගත රෝග, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ජයපාල ශාකයේ බීජ සහ බීජ තෛලයත්, අමතරව කොළ, පොතු, මුල් හා දඬුත් භාවිතයට ගනී. ජයපාල හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ඖෂධ නිපදවීම සඳහා ද භාවිතා කරන ඔසුවකි. කුඩා කුමාර ගුලිය, වලිප්පු ගුළිය, මාන්දම් වජ්‍රකාන්ති ගුළිය, මාන්දම් සන්නි ගුළිය, පිප්පල්‍යාදී ගුළිය ආදී ජයපාල යොදා නිපදවන ඔසු රැසක්ද ඇත. 

සර්ප විෂට ජයපාල ඇට දෙහි ඇඹුලෙන් අඹරා ඇස්වලට අඳුන් යොදයි. උඳුගොව්වන් කෑමට ඇට දෙහි යුෂින් ගලගා අදාල ස්ථානයේ ආලේප කරයි. ජලොදර සහ සංන්‍යාසයට විරේකය සඳහා යොදා ගනී. පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වයට විෂ ඉවත්කරගත් ජයපාල ගිතෙලින් බැද අඹරා ලිංගයේ ආලේප කරයි. ආමවාත, ග්‍රන්ථිගත ආබාධ, ඉඳිමුම් ආදියට ප්‍රතිකාර කිරීමේදී බීජ තෛලය බාහිර අලේපනය සඳහා යොදා ගනී. 

ජයපාල උග්‍ර විරේචක සහ විෂ සහිත ද්‍රව්‍යයක් බැවින් ඖෂධ සඳහා භාවිතා කිරීමට පෙර විෂ ඉවත්කර ශෝධනය කර ගැනීම අනිවාර්ය කටයුත්තකි. පිරිසිදු අළුත් ගොම දියකරගත් ජලය හා ගව මුත්‍ර දෙහි යුෂ පිළිවෙලින් එකිනෙකින් තම්බාගෙන පිට පොත්ත හා ඇතුලේ මොටෙයියාද ඉවත්කර ගිතෙල්වල බහා තබා එයින්ම බැදගත යුතුය. මෙහිදී බැදීමට මැටි බඳුනක් යොදා ගැනීමට නිර්දශ කර ඇත. 

ජයපාල ශරීරගත වීමෙන් ජලය මෙන් වන තුරු බොහෝ වාරයක් මලපහ පිටවීම, වමනය, මුඛයේ අමිහිරිතාව, අන්ත්‍රවල වණ ඇතිවීම, කෙල වැගිරීම, මුඛය වියළීම, ඇස් ගිලීයාම, ක්ලාන්තය, අධික දහදිය දැමීම, මස්පිඩුවල ගැස්ම, සිරුරෙන් අධික තාපයක් පිට වෙන්නා සේ දැනීම, ඇසේ දෘෂ්ටිය අඳුරු වීම ආදී සංකූලතාවයන් මෙන්ම ඇතැම්විට මරණය ද සිදුවිය හැකිය. මෙවැනි විටෙකදී එළකිරි  තැඹිලි වතුර, අලුපුහුල් යුෂ, කූරතම්පලා යුෂ, බිත්තර සුදු මද, කෝපි, මුංඇට තැම්බූ ජලය යන මේවා දීම ගුණදායක ය. විෂ දුරුකිරීම සඳහා වදකහ පුලුස්සාගත් අළු, සියඹලා රොඩු දැවූ අළු යන මේවා සමව ගෙන ජලයට දියකර බාගයට සිඳුවා පැය දෙකකට වරක් පෙවිය යුතුය. එවිට වමනය සහ විරේකය නවතී. පසුව සුදුලූණු කලං 3 ක්ගෙන වතුර පතක් දමා තම්බා පෙරා මී පැණියෙන් දිය යුතුය. 

ජයපාල ඖෂධිය ද්‍රව්‍යක් ලෙස භාවිතා වනවාට අමතරව පැරැන්නන් විවිධ සාමාජීය අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. එහිදි විවිධ ‍‍‍කෙම් ක්‍රම සඳහා ‍මෙන්ම සතුරන් මර්ධනයටද, කිතුල් මල් කැපීමේදී මල් ‍‍බෙ‍හෙත් තැබීම ආදිය සඳහා ද භාවිතා කර ඇත.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Sunday, September 24, 2017

වැල් රුක්අත්තන [Wel Rukattana] (Cryptolepis dubia)

වැල් රුක්අත්තන පොළවෙහි හෝ ආධාරක ශාකයක් මත පැතිරී වැඩෙන කිරි සහිත දේශීය වැල් ශාකයකි. වැලේ ළපටි කොටස් කොළ පැහැති වන අතර වඩාත් මේරු කොටස් දුඹුරු පැහැයක් ගනී. ඉලිප්සාකාර හැඩැති පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රවල උඩු පෘෂ්ඨය දිලිසෙන සුලු වන අතර යටි පෘෂ්ඨය සුදු පැහැයට හුරුය. පත්‍රයක් දිගින් සෙ.මි. 18 සහ පළලින් සෙ.මි. 7.5 දක්වා වර්ධනය වේ. පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත කුඩා මල් ළා කහ පැහැතිය. ඵලය වරාවකි. බූමණියක් සහිත බීජ සුළඟ මඟින් ව්‍යාප්ත වේ. වැල් රුක්අත්තන Periplocaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. ඇතමුන් Allamanda නම් උද්භිද ගණයට අයත් විශාල කහ පැහැති මල් හට ගන්නා විදේශීය විසිතුරු ශාක විශේෂ කීපයක් වැල් රුක්අත්තන නමින් හඳුන්වා ඖෂධ පිනිස යොදා ගනු දැක ගත හැකිය. එහෙත් එය සපුරාම වැරදි භාවිතයක් බව අවධාරණය කළ යුතුය. 

වැල් රුක්අතන දේශීය සර්පවිෂ වෙදකම සඳහා සුලබව යොදා ගන්නා ඔසුවකි. එමෙන්ම කුසගිනි මදිකම, අරුචි, අතීසාරය, ජ්වර (උණ), ක්ෂය රෝගය, කුෂ්ට ඇතුළු සමේ රෝග, ඉදිමුම්, දැවිල්ල, තුවාල, අංශභාගය, මාන්දම, ආතරයිට්ස්, බරවා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, දඬු, කිරි ආදිය භාවිතා කරයි.

සමේ රෝග සඳහා ගුණදායක රසායන අඩංගු වැල් රුක්අත්තන පොතු කොළ හා මල් කුෂ්ට රෝග සඳහා ප්‍ර‍තිකාර සඳහා භාවිත කරනු ලැබේ. මේවා යෙදූ කෂාය ප්‍රමේහ රෝග සඳහා ද ඉතා ගුණදායක බව පැවසේ. මුඛ දුර්ගන්ධය සහ දේහ දුර්ගන්ධය යන අවස්ථා දෙකටම මින් කදිම ආලේපන දියරයක් සාදා ගත හැකිය. මෙම ශාකයේ කොටස් අඩංගු කෂාය මගින් ශරීරය පිරිසිදු වේ. දරුවන්ගේ මාන්දම් තත්ත්ව, රිකට්සියාව නම් අස්ථි විකෘති කරවන මාන්දම සඳහා භාවිත කරන ඔසුවකි. අංශභාගයට ප්‍ර‍තිකාර කිරීම සඳහා නටු කෂාය යොදා ගැනේ. මුලෙහි පොත්ත රූමැටික ආබාධ සඳහා කෂායවල දී ගැනේ. ආහාර අරුචිය, උණ සහ සමේ රෝග සඳහා මුලේ සාරය ඉතා ප්‍රයෝජනවත්ය. ලේ පිරිසිදු කරන අනගි ඖෂධයක් වන මෙය බරවා සෑදුන අයගේ රුධිරය පිරිසිදු කරන ඔසුවක් ලෙස දීර්ඝ කාලීන පාවිච්චියට සුදුසුය.

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
Share:

Sunday, September 17, 2017

කොතුරුබැද්ද [Kothurubedda] (Geophila repens)

මීකන්පලා, ආබුකරණී, ආඛුපර්ණී මකුනුවැන්න ආදී නම්වලින්ද හඳුන්වන කොතුරුබැද්ද භූගත ධාවකයක් සහිත කුඩා පැළෑටියකි. තෙත් කලාපීය වවනාන්තරවල හමුවන දේශීය ශාකයක් වන මෙහි බොහෝ විට පත්‍ර දෙකක් පමණ පිහිටා තිබෙනු දැකගත හැකිය. පත්‍ර හැඩය ඕවලාකාර හෝ හෘදයාකාරය. මෙම පත්‍ර මීයකුගේ කනෙහි හැඩයට සමාන හෙයින් මීකන් පලා යනුවෙන් හඳුන්වා ඇත. පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් සුදු පැහැතිය. තැඹිලි පැහැති ගෝලාකාර ඵලය මාංසල ස්වභාවයක් ගනී. ඵලයක් තුල කහ පැහැති කුඩා බීජ කීපයක් පිහිටයි. ඒවා කෑමට ගත හැකිය. කොතුරුබැද්ද Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

කොතුරුබැද්ද පණු රෝග සඳහා ප්‍රකටව භාවිතා කරන ඖෂධයකි. එමෙන්ම ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, මාන්දම්, තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. වෙත් රටවල මෙම කොළ කෂාය කැස්ස සඳහාත්, ගෙඩි සමෙහි හට ගන්නා දිලීර රෝග සඳහාත්, මුහුණේ සුදු පැහැති ලප ආදිය සඳහාත් ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. දේශීය වෙදකමේදී මීකන්පලා, කොතරුබැද්ද, මකුණුවැන්න යන නම් ගොටුකොළ වැනි වෙනත් ශාක විශේෂ සඳහා ද භාවිතා කර ඇත. 

පණු රෝග සඳහා කොතුරුබැද්ද, කරාබුනැටි, ඉඟුරු තම්බාගත් වතුර සුරංවිදුර වටී හෝ ජීවානන්ද වටී වැනි ක්‍රිමි නාශක ඖෂධ සඳහා අනුපාන ලෙස යොදයි. කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගාමුල් කෂාය තිපිපිලි - වලඟසාල් චූර්ණය සමඟ දීමෙන් කලක් පැවති පණුවන් හා පණුවන්ගෙන් හට ගන්නා රෝග නැසෙන බව සඳහන්. ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, පණුරෝග ආදියට කොතුරුබැද්ද, කරබුනැටි, අරළු, මුරුංගා පොතු, කුඹුරු ඇට, සුදුලූණු, වළඟසාල් කෂාය දෙයි.  කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගා පොතු, කුකුරුමාන් ගෙඩියේ ලෙලි, පිලමුල්, වෙනිවැල් කෂාය දීම විශේෂයෙන් පණු රෝග සඳහාත්, උණ, මාන්දම් ආදියටත් ගුණදායක බව සඳහන්. 

මූලාශ්‍ර_ පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර මහතාගේ ද්‍රව්‍ය ගුණ විඥානය , ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 10, 2017

දළුක් [Daluk] (Euphorbia antiquorum)

දළුක් කටුක පරිසර ලක්ෂණ සහිත ගල් තලාවන් වැනි ස්ථාන ආශ්‍රිතව හමුවන මීටර් 6 ක් පමණ උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. සෘජු කඳ තරමක් කාෂ්ඨීය වන අතර ත්‍රිකෝණික හෝ හතරැස් අතු බෙහෙවික් මාංසල ස්වභාවයක් ගනී. අතුවල පිහාටු ආකාරයෙන් පිටතට නෙරූ මාංසල කොටස් දැක ගත හැකිය. ඒවා දැඩි කඩතොළු සහිතය වන අතර දාර මත කටු පිහිටා තිබේ. ප්‍රත්‍යණ්ඩාකාර-ආයත හැඩයෙන් යුත් නිර්වෘන්ත පත්‍ර දරයි. පත්‍ර ඉතා කුඩා වන අතර මාංසලය. අතුවල බහු අක්ෂ පුෂ්ප මංජරි රාශියක් හට ගනී.  කුඩා මල් ළා කහ පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. එ් තුල සුදු පැහැති බීජ කීයක් පිහිටයි. දළුක් Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

වණ, කුෂ්ඨ, අර්ශස්, ඉදිමුම්, ගෙඩි, පැරණි තුවාල, යටි පතුල් පැලීම, ආදියට ප්‍රතිකාර කිරීමට දළුක් ශාකයේ කිරි, මුල් සහ ඇට භාවිතා කරයි. දළුක් වේදනාස්ථාපන, රේචන, විරේචක, ඉදිමුම් නසන ආදී ගුණ සහිත බව සඳහන්. අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ක්ෂාර සූත්‍ර නම් නූල් වර්ගය දළුක් කිරි යොදා නිපදවයි. පැරණි පොත්පත්වල "උක් කිරෙන් අඹරා" ගතයුතු ලෙස නියම කර ඇති අවස්ථාවල එහි සඳහන් වන්නේ දළුක් කිරෙන් අඹරා ගත යුතු බවයි. දළුක් කිරි ඖෂධ සඳහා භාවිතා කිරීමේදී සම්මත ක්‍රමයන්ට අනුව විෂ ඉවත්කර භාවිතා කළ යුතුය. පොල් ගෙඩියක ඇස්ස සිදුරු කර කිරි එ තුලින් බහා තැබීම දළුක් කිරි ශෝධනය කර ගන්නා එක් ආකාරයකි.

දළුක් කොළ තම්බා තැවීම සහ බැඳීම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයකි. ක්ෂය රෝගයට දළුක් ‍දඬු උණු අළුයෙන් තම්බා මිරිකාගෙන වරකට තේ හැඳි 1 ක් මී පැණි හා පුස්කර අනුපාන ලෙස දාමා බීමට දෙයි. අරශස් ගෙඩි, ගුද මාර්ගය ඉදිමීම සහ සූත්‍ර පණු ආදී රෝග සඳහා දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා මඳ උණුසුමින් ගුදමඟ පිටතින් තබා බැඳිය යුතුය. දළුක් කොළ කොටා වණ්ඩුවේ තම්බා බැඳීම පැරනි තුවාල සඳහා ද ප්‍රතිකාරයකි. ගෙඩි විදාරණයට කිරි සහිතව දළුක් දඬු-කොළ සහිඳ ලුනු ස්වල්පයක් සමඟ අඹරා රත්කර ගෙඩිය මත එළයි. සැරව සහිත කුෂ්ඨ සේදීමට දලුක් කොළ සහ දඬු තම්බා ගත් වතුර භාවිතා කරයි. අර්ශස් අංකුර හැකිලවීමට දළුක් කිරි ඒ මත ආලේප කරයි. දළුක් කිරි මිශ්‍ර හාල් පිටි වලින් කැවුම් තනා සත් දිනක් කැවීමෙන් ජලෝදර රෝගය සුව වන බව සඳහන් වේ. දළුක් කිරි හිස් මුඳුනේ ගෑම මුඩගර්භයට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා කෙමකි. 

දළුක් කිරි  ඇසට වැටුනහොත් ඇතිවන වේදනාව හා විෂ ස්වභාවය සමනය කිරීම සඳහා ළපටි දිවුල් ගෙඩියක මඳය තලාගත් යුෂ ඇසට යෙදිය යුතුය. එවිට දළුක් කිරි ඇසේ එක් පැත්තකට එක්රැස් වන බැවින් ඉවත් කිරීම පහසුවේ. දළුක් උද්‍යාන අලංකරණය සඳහා සුලබව යොදා ගන්නා ශාකයකි. ජවා රටේ වැසියන් ළපටි දළුක් අතු හොඳින් තම්බා ජලයේ පොඟවා සීනි තවරා පැණි රසැති ආහාරයක් ලෙස කෑමට ගන්නා බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, September 3, 2017

බිලිං [Bilin] (Averrhoa bilimbi)

බිලිං මීටර් 10 ක් දක්වා උසට වැඩෙන කුඩා ශාකයකි. ගසේ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. තරමක් විශාල සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. ප්‍රාක්ෂය සෙ.මි. 40 පමණ දිගු විය හැකිය. සංයුක්ත පත්‍රයක පත්‍රිකා 11-35 අතර සංඛාවක් පිහිටා තිබේ. පහලින් පිහිටන පත්‍රිකා දිගින් සෙ.මි. 3 හා පළලින් 2.2 දක්වා වර්ධනය වේ. අණ්ඩාකාර හෝ පුළුල් අණ්ඩාකාර හැඩැති වන අතර පිහිටීම බොහෝ විට උප සම්මුඛය. ඉහලින් පිහිටන පත්‍රිකා මීට තරමක් විශාල වන අතර හැඩයෙන් අණ්ඩකාර සිට ආයතය. බොහෝ විට ඒකාන්තරව පිහිටයි. පත්‍රිකාවල යටි පෘෂ්ඨයේ බෙහෙවින් හෝ මඳ වශයෙන් ඇලුණු බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරි කක්ෂීයව හෝ ප්‍රධාන කඳේ හා මේරූ අතුවල හට ගනී. මල් රතු තද දම් පැහැතිය. ඵලය සෙ.මි 5 ක් පමණ දිග ආයත හැඩැති මාංසල බදරියකි. එය කොළ පැහැති වන අතර ඉදීමේදී කහ පාටට හැරේ. තද ඇඹුල් රසය හේතුවෙන් වඩාත් ප්‍රකට බිලිං Oxalidaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ඖෂධයකට වඩා අහාරමය වටිනාකම් අතින් ඉතා ප්‍රකට බිලිං අර්ශස්, උණ, සීතාද රෝගය ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. බිලිං කුසගිනි වඩවන, ආහාර රුචිය ඇතිකරවන, ආමාශයට හිතකර ගුණ සහිතයි. කටු ඇණුනු විට බිලිං ගෙඩි උණු අළුවේ තම්බා බැඳීම සරල ප්‍රතිකාරයකි. විවිධ රටවල උපදංශය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, උගුරේ ආසාදන, හොරි වැනි චර්ම රෝග, ගෙඩි, ගුද මාර්ගයේ රෝග, ආතරයිට්ස්, කම්බුල් ගාය, කැස්ස ආදී රෝග අවස්ථා සඳහා බිලිං කොළ සහ ගෙඩි භාවිතා කරන බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

බිලිං විටමින් සී බහුල පළතුරක් ලෙස මෙන්ම ව්‍යංජන, චට්නි, අච්චාරු, ජෑම් ලෙසද සකසා ආහාරයට ගත හැකිය. බිලිං ගෙඩි දෙකෙලවර කපා හුණු ස්වල්යක් දැමූ ජලයේ පැය 12 ක් පමණ ගිල්වා තබා රත්කර ගත් සීනි ද්‍රවණයක විටින් විට දින කීපයක් තැබීමෙන් වියළි මිදි වැනි ද්‍රව්‍යයක් සාදා ගත හැකිය. ඒවා රස කැවිලි සැදීමට වියළි මිදි වෙනුවට යොදා ගැනීමට පුලුවන. ව්‍යංජනවලට ඇඹුල් රස එකතු කිරීමටද බිලිං ගෙඩි භාවිතා කරයි. බිලිං යුෂ පානය පිපාසය සංසිඳුවයි. ළපටි බිලිං ගෙඩි ලුණු දමා තම්බා විටින් විට එකතුවන ජලය ඉවත්කර වේලා ගෙන එයට කෑලි මිරිස්, රතුළූණු, කරපිංචා ආදිය දමා තෙම්පරාදු කරගත් පසු කාලයක් තබාගෙන බත් සමඟ කෑමට ගත හැකිය. 

බිලිං ගෙඩියක් පොඩිකර දත් මැඳීමෙන් දත්වල අවපැහැය ඉවත්වී යයි. බිලිං ගෙඩිවල යුෂ පිත්තල භාන්ඩ ඔප දැමීමට, ඇදුම්වල පැල්ලම් ඉවත් කිරීම ආදියට භාවිතා කරයි. ගැමියන් කෙසෙල් කැන් ඉදවීම සඳහා බිලිං කොළ යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, August 27, 2017

නියඳ [Niyadha] (Sansevieria zeylanica)

උල් නියඳ, ගජ දල, විෂහරණ ආදී නම්වලින්ද හඳුන්වන නියඳ කෙටි කඳක් සහ දැඩි මූල පද්ධතියක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. කඳ අප්‍රකට වන අතර දිගු පත්‍ර ප්‍රකටව පෙනෙන්නට තිබේ. මීටරයක් දක්වා දිගු විය හැකි සිලින්ඩරාකාර හැඩයට හුරු සරල පත්‍ර අරීයව සැකසී ඇත. එක පොකුරට 8-9 සේ පිහිටන කොළ පැහැති පත්‍රවල හරස් අතට තද කොළ පැහැති පැල්ලම් දැක ගත හැකිය. පත්‍රවල ඇතුළු පැත්ත අවතල වන අතර පිට පැත්ත වටකුරු ය. සෙ.මි. 60 ක් දක්වා දිගු විය හැකි බහුඅක්ෂ පුෂ්ප මංජරියෙහි සුදු පැහැති මල් රාශියක් හට ගනී. ගොලාකාර කොළ පැහැති ඵලය ඉදුණු පසු තද තැඹිලි පැහැයක් ගනී. ඵලයක් තුල එක බීජයක් පිහිටයි. කැලෑබදව ගල් පර්තව ආශ්‍රිතව සුලබව හමුවන දේශීය ශාකයක් වන නියඳ Dracaenaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයක්ව තිබී මෑතක සිට Asparagaceae කුලය යටතේ වර්ගීකරණය කර ඇත. 

හෘදයට සම්බන්ධ සෙම බැඳීම ඇතුළු හෘද රෝග, උගුරේ සෙම බැඳීම, මහෝදර, මූල රෝග, කැස්ස, කර්ණ රෝග, නයි විෂ, ගෙඩි, භගන්දර ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නියඳ ශාකයේ අලය හෙවත් මුල සහ කොළ භාවිතා කරයි. නියද මලමුත්‍රකාරක, කුසගිනි වඩවන, ශක්තිජනක සහ සෙම නසන ගුණ සහිතයි. නියඳ තෛලය, කොලශ්ලෙෂ්මා තෛලය, නියඳ අල මහාකෝල විනා ගුළිය, වලිප්පු කෝල තෛලය, ගරුඬරාජ තෛලය, යම දේවරාජ තෛලය නියඳ යොදා නිපදවන ඖෂධයන් ය. 

විද්‍රධි (ගෙඩි) සඳහා නියඳ අල යුෂ විනාකිරි සමඟ මිශ්‍රකර ආලේප කරයි. දරු ප්‍රසූතියෙන් පසු වේදනාවට නියඳ දලු අහුරක් සහ සුදුලූණු පලමක් ගෙන දෙවර්ගය කඩපිම්මේ තම්බා යුෂ මිරිකා, කුඹුරු ඇට මද කළඳක් පොඩිකර දමා පෙවිය යුතුය. කණේ ආබාධවලට නියඳ පත්‍රයේ කඳට සම්බන්ධවන තැන පිහිටි සුදු පාට කොටස ගෙන උණු අලුපල්ලේ තම්බා මිරිකා ගත් යුෂ කණට වත් කරයි. සර්ප විෂට නියඳ කොළ දෙහි ඇඹුලින් ගලගා දෂ්ඨ ස්ථානය වටේ ආලේප කරයි. මාපිල් විෂට නියඳ අල කැඳ බොන්නට දෙයි. ගොනුසු විෂට සහ ගෙමැඩි විෂට නියඳ අල, බලුදං කොළ සහ පොතු, අමුකහ, ලුණු සමඟ කොටා පොට්ටනි බැඳ කඩපිම්මේ තම්බා බඳියි. පිත නිසා හටගත් හිසරදයට බැබිල, නියඳ අල, වැල්මී, සුවඳ හොට, මානෙල් අල, සුදුහඳුන් එළකිරෙන් අඹරා ගණව හිස ගැල්විය යුතුය. උණු අලුවෙන් තැම්බූ නියඳ අල යුෂ දත මුල තැබීමෙන් දත් පණු රෝගය සුව වෙයි. වණ ශුද්ද වීමට නියඳ කොළ සහ සූදුරු එකට කොටා තලතෙලින් මලවා බැඳීම සිදු කරයි. 

දේශීය නියඳ ශාකය මෙන්ම පළල් පත්‍ර සහිත විදේශීය නියඳ විශේෂයක් වන Sansevieria trifasciata යන උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය ද ගෘහ අලංකරණය සඳහා විසිතුරු ශාකයක් ලෙස වැවීමට භාවිතා කරයි. පුරාණයේදී නියඳ පත්‍රවල ඇති ශක්තිමත් කෙඳි රෙදි වර්ග නිපදවීමටත් නූතනයේදී නොයෙක් විසිතුරු හාන්ඩ නිපදවීමටත් යොදා ගනී. එමෙන්ම වැදි ජනයාගේ දුණුවල සහ ඉනෙහි බඳින් නූල් සඳහාත් පෙරහර ආදී උත්සව අවස්ථාවන්වලදී භාවිතා කරන "කසය" සැකසීම සඳහාත් නියඳ කෙදි භාවිතයට ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Sunday, August 20, 2017

වැට එඬරු [Weta Endaru] (Jatropha curcas)

වල් එඬරු යනුවෙන්ද හඳුන්වන වැට එඬරු මීටර් 5 ක් දක්වා උසට වැඩෙන කිරි සහිත කුඩා බහු වාර්ෂික ශාකයකි. සිනිඳු අළු පැහැති කඳේ පිටද පොත්ත ගැලවී ඉවත්වන ස්වභාවයක් ගනී. දිගු නටුවක් සහිත සරල පත්‍ර සර්පිලාකාරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 18 සහ පළලින් සෙ.මි. 16 දක්වා වර්නධය විය හැකිය. පුෂ්ප මංජරියෙහි ගැහුණු සහ පිරිමි මල් වෙන වෙනම පිහිටන අතර ගැහණු මල් තරමක් විශාලය. මල් ළා කහ පැහැතිය. ඵලය සෙ.මි. 3 ක් පමන වන ගෝලාකාර හෝ ඉලිප්සාකාර ස්ඵෝඨිකාවකි. ඵලයක් තුල කළු පැහැති බීජ 3 ක් පිහිටයි. බීජයේ බරින් 40% දක්වා සංතෘප්ත සහ අසංතෘප්ත තෙල් අඩංගුය. යුරෝපය සහ ඇමරිකාව නිජබිම ලෙස සැලකෙන, අප රටට හඳුන්වාදී ඇති වැට එඬරු Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  

චර්ම රෝග, කල්ගතවූ ආමවාතය, ලේ වහනය, විදුරුමස් ඉදිමීම, විදුරුමසින් ලේ යාම, විදුරුමසෙහි හට ගන්නා ගෙඩි, මව්කිරි නිසිලෙස ස්‍රාවය නොවීම ආදියට ප්‍රතිකාර කිරීමට වැට එඬරු ශාකයේ කොළ, දඬු, මුල් සහ බීජවලින් ලබා ගන්නා තෙල් භාවිතා කරයි. 

කන්ඩු, දද, පාමා, නාඩිවිසර්පී (හර්පිස් / Herpes) ආදී චර්ම රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස වැට එඬරු බීජ තෛලය ආලේප කරයි. කල්ගතවූ අමාවාතයට වැට එඬරු ඇට තෙල් වෙනත් මෘදු තෙලක් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් ගුණ ලැබේ. එයටම මුලෙහි පොතු අඹරා ආලේප කිරීමද ගුණය. තුවාලයකින් ලේ වහනවීම වැලැක්වීමට වැට එඬරු කිරි ආලේප කිරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයක් ලෙස දක්වා ඇත. විදුරුමස් ඉදිමීම, විදුරුමසින් ලේ යාම, විදුරුමසෙහි හට ගන්නා ගෙඩි ආදී විදුරුමස් රෝග ඇති විට වැට එඬරු දඬුවලින් දත් මැදීම ප්‍රතිඵලදායකය. වැඩ එඬරු කොළ තම්බාගත් ජලයෙන් පියයුරු තැවීමෙන් මව්වරුන්ගේ කිරි වැඩි වෙයි. 

වැට එඬරු තෙල් ආහාර මාර්ගය තුලින් ශරීරගත වීමෙන් තියුණු උදර වේදනාව සහ වමනය ඇති විය හැකිය. ඇතැම් රටවල මෙම තෙල් ඉන්ධනයක් ලෙස භාවිතා කරන බවත්, ඒ සඳහා වානිජ වශයෙන් වැට එඬරු ශාකය වගාකරන බවත් අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, August 13, 2017

සස්සඳ [Sassada] (Aristolochia indica)

මරාටි භාෂාවෙන් සප්සඳ යනුවෙන්ද හඳුන්වන සස්සඳ ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන දේශීය වැල් ශාකයකි. රේඛීය-ආයත, ආයත-ප්‍රත්‍යණ්ඩකාර වැනි හැඩයන්ගෙන් යුත් පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි 10-12.5 පමණ දිගින් යුක්ත ය. කක්ෂීය පුෂ්ප මංජරිවල හට ගන්නා තාරාවකුගේ හැඩයක් ගන්නා මල් අලංකාරවත්ය. ඵලය කොටස් පහකට පැලෙන ස්ඵෝඨිකාවකි. ඵලයක් තුල පියාපත් සහිත බීජ රාශියක් පිහිටා තිබේ. මෙම උද්භිද ගණයටම අයත් Aristolochia bracteolata යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් දේශීය සස්සඳ විශේෂයක් ඇති අතර වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල එය "කීටමාරී" යනුවෙන් හඳුන්වා ඇත. සාපේක්ෂව තරමක් විශාල පත්‍ර සහිත එය, වැලක් ලෙස බිම දිගේ වර්ධනය වෙයි. සස්සඳ සොයා ගැනීමට නොමැති විට ඒ වෙනුවට ඖෂධ සඳහා මෙම කීටමාරී ශාකය භාවිතා කිරීමට සුදුසු බව පොතපතෙහි දක්වා ඇත. සස්සඳ විශේෂ Aristolochiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන්ය. 

සර්ප විෂ, වණ නිසා හටගත් ඉදිමුම්, සන්ධිවාත, ආමවාත, කුසගිනි මදිකම, උදර වේදනා, ග්‍රහණි, කෘමි රෝග, විසූචිකා, ළදරු දන්ත රෝග, ළදරු ප්‍රතිශ්‍යාවසහ කැස්ස, වෙදනාකාරී දරු ප්‍රසූතිය, සූතිකා උණ ඇතුළු උණ රෝග, හෘද දුර්වලත්වය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිස්සු බලු විෂ, මී විෂ, මුත්‍ර අඩස්සිය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරිමට සස්සඳ ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. සස්සඳ රුධිරය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, ඉදිමුම් නසන, ගර්භාෂය සංකොචනය කරන, මුත්‍රකාරක, ස්වේදජනක, විශබීජ නාශක ආදී ගුණයන් සහිතයි. 

උණ, ආමවාත, සන්ධි ඉදිමීම ආදියට සස්සඳ මුල් චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. සුදු කබර රෝගයට මුල් චූර්ණය මී පැණියෙන් අඹරා ආලේප කරයි. ළදරු මලබද්ධයට කොළ අඹරා යටි බඩේ ගෑ යුතුය. වේදනාකාරී දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය හැකිලවීම සඳහා තිප්පි සමඟ යොදා ප්‍රතිකාර කරයි. සර්ප, ගෝනුසු මී ආදී විෂ සඳහා මෙම මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂින් පොවනු ලැබේ. මෙම මුල් කැබැල්ලක් ලඟ තබාගෙන සිටීමෙන් වසංගත රෝග අවස්ථාවන් හිදී බෝවන රෝග වැලඳීමෙන් වැලකී සිටීමට හැකි බවත්, සර්පයින් අසලට ඒ මෙන් වැලකෙන බවත් දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත.

මෙම ශාකයෙහි ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංඝටකයක් ලෙස පවතින අරිස්ටෝලෝචික් අම්ලය (Aristolochic acid) අධිමාත්‍රාව වකුගඩු ආශ්‍රිතව අහිතකර ලෙස ක්‍රියාකරන බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. පසුගිය කාලයේ ඇතමුන් එම කරුණ හුවා දක්වමින් ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සස්සඳ හේතුවන බව කියමින් කෘෂි රසායන සමාගම් ගලවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙනු දක්නට ලැබුනි. කෙසේ වෙතත් එම රෝගය සඳහා සස්සඳ ශාකය වගකිවයුත්තෙක් නොවන බව පසුව හෙලි විය. විෂ සහිත ශාක හඳුනාගෙන ඒවා ඖෂධ සඳහා භාවිතා කරන විට සම්මත ක්‍රමයන්ට අනුව විෂ මරා හෝ වෙනත් ඖෂධ සමඟ සංයෝග කර විෂ ස්වභාවය දුර්වල කිරීමට දේශීය වෛද්‍යවරු පුරාණයේ සිටම දැන සිට ඇත. දේශීය ශාකයක් වන සස්සඳ චිරාත් කාලයක සිට මෙරට වෛද්‍යවරු ඖෂධ සඳහා භාවිතා කර ඇති අතර රජරට වකුගඩු රෝගය කෘෂි රසායන භාවිතය ඉහලට යෑමට සමාන්තරව දශක දෙකකට ආසන්න කාලයක සිට මෙරට ව්‍යාප්ත වන්නකි. 

දේශීය සමනල් විශේෂ කිහිපයක යැපුම් ශාකයක්ද වන, අලංකාර මලක් හට ගන්නා හෙයින් විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධීය සස්සඳ වැලක් ගෙමිදුලෙහි වවා ගැනීම අපහසු කටයුත්තක් නොවේ. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, August 7, 2017

දොඬම්පනා [Dodampana] (Glycosmis pentaphylla)

දොඬම්පනා මීටර් 3 ක් දක්වා උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වනු දැකගත හැකිය. දිගින් සෙ.මි. 6-24 පමණ වන ප්‍රාක්ෂයක් සහිත සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක තද කොළ පැහැති පත්‍රිකා 3-5-7 වැනි සංඛාවක් පිහිටන අතර පත්‍රිකාවක් දිගින් සෙ.මි 15 සහ පළලින් සෙ.මි. 6 පමණ වේ. පත්‍රිකා තරමක් ඉලිප්සීය හෝ ප්‍රතිලංසාකාර හැඩයන් ගනී. අග්‍රස්ථීය හෝ කක්ෂීය පුෂ්පමංජරිවල සුදු පැහැති මල් හට ගනී. ඵලය එක් බීජයක් සහිත මාංසල බදරියකි. කලාතුරකින් බීජ 2 ක් හෝ 3 ක් පිහිටා තිබිය හැකිය. ළපටි ඵලය කොළ පැහැති වන අතර ඉඳුණු විට සුදු රොස පැහැයක් ගනී. දොඬම්පනා Rutaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

තුවාල, ගඩු, අක්මා රෝග, අන්ත්‍රගත පණුවන්, චර්ම රෝග, කැස්ස, රූමැටික උණ, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීමට දොඬම්පනා ශාකයේ කොළ, මුල්, පොතු, ගෙඩි ආදිය භාවිතා කරයි. දේශීයව මෙහි එතරම් ප්‍රකට භාවිතයක් නැතත් වෙනත් ආසියානු රටවල සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල නොයෙක් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ශාකයකි. 

පත්‍ර‍ ස්වරසයෙන් සාදා ගන්නා තිත්ත රස දියරය උණ (ජ්වර), අක්මාවේ ඉදිමීම සහ අන්ත්‍ර‍ගත පණුවන් ඉවත් කිරීම සහා යොදා ගැනේ. මෙය කුඩා දරුවන්ට හිතකර ශාක යුෂයකි. නටු සහ මුල්වල සාරයෙන් නිස්සාරණය කරන ස්වරසය අර්ශස් සහ මූල රෝගවල දී වේදනා සමන ඔසුවක් ලෙස භාවිත කෙරේ. ඉඟුරු ස්වල්පයක් සමඟින් අඹරාගත් පත්‍ර‍ ප්‍රලේපය සමේ රෝග සඳහා සුදුසු ය. එය අන්ත්‍ර‍ගත පණුවන් හැලීමට අභ්‍යන්තර ඖෂධයක් ලෙසද දෙනු ලැබේ. දරුවන් ලැබීමෙන් පසු ආහාර රුචිය වැඩවීම සඳහා පත්‍ර‍ යුෂ නිස්සාරක භාවිත කෙරේ. අරටුව උරච්චි කර කෑ මුඛයේ තැබීමෙන් නාග විෂ සමනය වේ. කැස්ස, රූමැටික උණ, ඉදිමුම් සඳහා ද භාවිත කෙරෙන ඔසු රැසකට දොඩම්පනා එක් කර ගැනෙනු දැකිය හැකිය. දොඬම්පනා රැධිරගත සීනි අඩු කරන ගුණයකින් ද සමන්විතය ය.මෙහි ක්‍රිමි හාරක (පණුවන් හලන) ගුණය නැවත ද සඳහන් කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන් මුලෙන් ලබා ගන්නා සාරය ඒ සදහා භාවිත කරයි. මුල හොඳින් සෝදා කුඩා කැබලි කපා පිරිසිදු වතුරේ රැයක් තබා උදේට බොන්නට දිය යුතුය. එහි බැක්ටීරියා විරෝධී ගුණයක්ද ඇත. විශේෂයෙන් දොඬම්පනා පත්‍ර‍ සහ කොබෝලීල පත්‍ර‍ මද්‍යසාරයේ බහා නිස්සාරණය කරගත් යුෂය ඉහත කී රෝගවලට ඉක්මන් සුවය ගෙන දීමෙහි සමත් බව කියවේ.  දොඩම්පනා කෝටු දැහැටි දඬු ලෙස භාවිත කෙරෙන බැවින් ඒ නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වේ. 

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support