ඖෂධයකට වඩා අහාරමය වටිනාකම් අතින් ඉතා ප්‍රකට බිලිං අර්ශස්, උණ, සීතාද රෝගය ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. බිලිං කුසගිනි වඩවන, ආහාර රුචිය ඇතිකරවන, ආමාශයට හිතකර ගුණ සහිතයි. කටු ඇණුනු විට බිලිං ගෙඩි උණු අළුවේ තම්බා බැඳීම සරල ප්‍රතිකාරයකි. විවිධ රටවල උපදංශය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, උගුරේ ආසාදන, හොරි වැනි චර්ම රෝග, ගෙඩි, ගුද මාර්ගයේ රෝග, ආතරයිට්ස්, කම්බුල් ගාය, කැස්ස ආදී රෝග අවස්ථා සඳහා බිලිං කොළ සහ ගෙඩි භාවිතා කරන බව අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත.
බිලිං විටමින් සී බහුල පළතුරක් ලෙස මෙන්ම ව්‍යංජන, චට්නි, අච්චාරු, ජෑම් ලෙසද සකසා ආහාරයට ගත හැකිය. බිලිං ගෙඩි දෙකෙලවර කපා හුණු ස්වල්යක් දැමූ ජලයේ පැය 12 ක් පමණ ගිල්වා තබා රත්කර ගත් සීනි ද්‍රවණයක විටින් විට දින කීපයක් තැබීමෙන් වියළි මිදි වැනි ද්‍රව්‍යයක් සාදා ගත හැකිය. ඒවා රස කැවිලි සැදීමට වියළි මිදි වෙනුවට යොදා ගැනීමට පුලුවන. ව්‍යංජනවලට ඇඹුල් රස එකතු කිරීමටද බිලිං ගෙඩි භාවිතා කරයි. බිලිං යුෂ පානය පිපාසය සංසිඳුවයි. ළපටි බිලිං ගෙඩි ලුණු දමා තම්බා විටින් විට එකතුවන ජලය ඉවත්කර වේලා ගෙන එයට කෑලි මිරිස්, රතුළූණු, කරපිංචා ආදිය දමා තෙම්පරාදු කරගත් පසු කාලයක් තබාගෙන බත් සමඟ කෑමට ගත හැකිය.
බිලිං ගෙඩියක් පොඩිකර දත් මැඳීමෙන් දත්වල අවපැහැය ඉවත්වී යයි. බිලිං ගෙඩිවල යුෂ පිත්තල භාන්ඩ ඔප දැමීමට, ඇදුම්වල පැල්ලම් ඉවත් කිරීම ආදියට භාවිතා කරයි. ගැමියන් කෙසෙල් කැන් ඉදවීම සඳහා බිලිං කොළ යොදා ගනී.
1 comments:
THANKS
Post a Comment