
හොරි, වණ තුවාල, දද, කුෂ්ඨ, සුළු කැපුම් සීරුම්, පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතුන්ගේ විෂ ආදියට ප්‍රතිකාර කිරීමටත් ග්‍රහණි, අතීසාර, මාන්දම්, සෙංගමාල වැනි රෝග අවස්ථාවන්ට අත් බෙහෙත් ලෙස යෙදීමටත් සම්පූර්ණ කඩුපහර ශාකයම භාවිතා කරයි. කඩුපහර විශේෂයෙන් විෂ නාශක ගුණයෙන් යුක්ත බව දක්වා ඇත.
කැපුම් තුවාල සඳහා කඩුපහර, අමුකහ, මැටිපලා (නොපීදුණු බුලත් කොළ), අමුඉඟුරු සහ සුදුලූණු සමව ගෙන කොටා තලතෙලින් මලවා බඳී. හොරි, වණ, දද, කුෂ්ඨ ආදියට කඩුපහර තැම්බූ ජලයෙන් සේදීම ගුණය. සුළු කැපුම් සීරුම් අවස්ථාවලදී ලේ නැවැත්වීමට කඩුපහර කොළ තලා තුවාලය මත එලයි. තුවාල පෑහීමට සහ ලේ වහනය නැවැත්වීමට කඩුපහර, දෙහි, මදු, ඔලිඳ, කරල්සැබෝ, කටුපිල, හාතාවාරිය යන ශාකවල දලු සමව ගෙන කහ, ලුණු සමඟ කොටා මලවා බඳී. පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතකු දෂ්ට කළ විට කඩුපහර හාල්පානු වතුරින් තම්බා අඹරා දෂ්ට මුඛයේ ගෑම සහ කඩුපහර ශාකය ඇල්දියෙන් අඹරා ආලේප කිරීම සිදු කරයි.
ගැමියන් කඩුපහර කොළ මැල්ලුමක් ලෙස හා කැඳ සඳහා භාවිතා කරයි. කුසගිනි මඳ විට මෙම කොළ ව්‍යංජනය ගුණදායක ය. කල්වම් පළා මැල්ලුමට සහ සලාදයක් ලෙස කොළ කෑමට ගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය