කොබ්බෑ බොහෝ සේ අතු බෙදී පඳුරක් ආකාරයට වර්ධනය වන දේශීය ශාකයකි. වැලක් ආකාරයෙන්න වර්ධනය වන නිසා කොබ්බෑ වැල් ලෙසද හඳුන්වයි. ත්රිපත්රි සංයුක්ත පත්රවල සියුම් බූවක් පිහිටයි. ශාඛාවන්ගේ අග්රස්ථයෙන් හට ගන්නා පුෂ්ප මංජරිය කොළ පැහැතිය. ඉතා කුඩා මල් සුදු කොළ පැහැයෙන් යුක්ත ය. මාර්තු / මැයි හා සැප්තැම්බර් /ඔක්තොබර් මාසවලදී මල් පිපේ. කොළ පැහැති කුඩා ගෙඩි ඉඳුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. මෙය ලංකාවේදී සහ ඉන්දියාවේදී පමණක් හමුවන ශාකයකි. ඖෂධීය භාවිතාවන්ට අමතරව ගැමියන් ගොවිතැනේදී භාවිතා කරන උකුනුගස් ආදිය තැනීමට කොබ්බෑ ශාකය යොදා ගනී. කොබ්බෑ Sapindaceae කුලයට අයත් ශාක විශේෂයකි.
කොබ්බෑ දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී භවිතාවන ප්රකට ඖෂධයකි. එමෙන්ම සර්ප විෂ, තුවාල, ඉඳිමුම් ආදී රෝග අවස්ථා සඳහා ප්රතිකාර කිරීමේදීද කොබ්බෑ ශාකයේ කොළ, දළු, පොතු ආදිය භාවිතා කරයි. තුවාලයක ලේ නැවැත්වීමට කොබ්බෑ දළු කීපයක් කථා නොකර රෝගියාට පෙනෙන සේ අල්ලේ පොඩිකර තුවාලයට තබා බැඳීම පැරණි ප්රතිකාරයකි. පරණ තුවාලයක කොස්ස කැපීමට කොබ්බෑ දළු එළඟිතෙලින් තම්බා අඹරා තුවාලයට බඳියි. එම තුවාලය වියළීමට මඟුල් කරඳ පොත්තේ පිට සුඹුලු සමඟ තල තෙලින් තම්බා අඹරා බැඳිය යුතුය. ඇමැට්ටි, තැළුම්, ඉදිමුම්, ඇට පිපිරීම් ආදියේදී කොබ්බෑ කොළ පොතු, ඇට්ටමුරා කොළ පොතු, අමුකහ, දියලුනු දමා කොටා බැඳීමට නියම කර ඇත. කොබ්බෑ කොළ පොතු, ගස් රුක්අත්තන කොළ පොතු, දිවිකදුරු කොළ පොතු කොටා මලවා බැඳීම සර්ප විෂට ප්රතිකාරයකි.
මූලාශ්ර_ ඖෂධීය ශාක සංග්රහය