
ඉහත විස්තර කරන ලද දේවදාර ශාකය ඉන්දියාවේ හිමාලය සහ ඒ අවට උස් බිම්වල පමණක් වැව්න ද ලංකාවෙහි දේවදාර නමින් හඳුන්වන ශාක කිහිපයක් හමුවන නිසා ඖෂධ සඳහා භාවිතා කළ යුතු නිවැරදි දේවදාර ශාකය කුමක්ද යන්න පිළිබඳව යම් ව්‍යාකූල බවක් දක්නට ලැබේ. අප රටෙහි නිවෙස් අසල සහ වීදි අලංකරණය සඳහා වවන Annonaceae කුලයට අයත් දේශීය ශාකයක් වන ඕවිල / ඊ පෙත්ත / ඕමාර යන නම්වලින් හඳුන්වන Polyalthia longifolia ශාකයද ඇතැම් විට දේවදාර යනුවෙන් හඳුන්වා ඇතත් එහි ඖෂධීය භාවිතාවක් ගැන තොරතුරු දැන ගන්නට නැත. එමෙන්ම Erythroxylaceae කුලයට අයත් රට කිරිල්ල / ලංකා අගිල් යන නම්වලින් හඳුන්වන Erythroxylum monogynum නම් දේශීය ශාකයටද දේවදාර නම භාවිතා කරන අතර එය සුවඳ දුම් කුඩු වර්ග සෑදීමට භාවිතා කරයි.
මීට අමතරව පැළ අලෙවිකරුවන් විසින් මෑතදී හඳුන්වාදී ඇති විදේශීය විසිතුරු ශාක කීපයක්ද දේවදාර නමින් හැඳින්වීමට පටන් ගෙන ඇත. ඒ අතර Callistemon ගණයට අයත් Bottle brush යනුවෙන් ඉංශ්‍රිසි බසින් හඳුන්වන විදේශීය විසිතුරු ශාක කීපයක්, Melaleuca bracteata නම් කහ පැහැති කුඩා කොළ සහිත ශාකයක් හා Eugenia sprengelii නම් පැළෑටියක් ද වෙයි. දේවදාර යැයි සඳහන් ඖෂධ වට්ටොරුවක් සඳහා ඉන්දියානු දේවදාර ශාකය (Cedrus deodara) හැරුණු විට ඉහත සඳහන් කවර හෝ ශාකයක කොටස් භාවිතා කිරීම සපුරාම වැරදි බව අවධාරණය කළ යුතුය.
උණ, පාචනය, අතීසාරය, චර්ම රෝග, ක්ෂත, උදරාබාධ, ඉක්කා, ඇදුම, කැස්ස, හිසරුදා, ආතරයිටීස්, ඉදිමීම්, දැවිල්ල, වණ, ආසාදිත තුවාල, මුත්‍ර ආබාධ, තරබාරු බව, කම්බුල් ගාය ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් ඉන්දියානු දේවදාර ශාකයේ අරටුව සහ තෙල්ද, අමතරව පොත්තද භාවිතා කරයි. ආයුර්වේද වෙදකමෙහි එන ක්වාථ, චූර්ණ, ලේහ, තෛල, අරිෂ්ඨ, ආසව බොහෝමයක ප්‍රධාන ද්‍රව්‍යක් ලෙස දේවදාර ඇතුලත්ව ඇත. ඇදුම සහ ඉක්කා සඳහා දේවදාර කසාය යොදයි. එකීය ඖෂධයක් ලෙස ක්ෂත හා චර්ම රෝගයන්හි යෙදේ. දේවදාර කැබැල්ලක් ඇල් ජලයෙන් උරච්චි කර අලේප කිරීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. උදෑසන කාලයේ දේවදාර ගසක් යට වාඩිවී සිටීමෙන් ස්වසන රෝගවලින් සුවය ලැබීමට හැකි බව ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්ත වාසීන් විශ්වාස කරයි. දේවදාර ලීය සුගන්ඳ කුඩු වර්ග නිපදවීමටත්, දිලීර සඳහා හොඳින් ඔරොත්තු දෙන දැවයක් ලෙසත් ප්රකටය. ලීයෙන් ලබා ගන්නා රෙසින පොලිෂ් වර්ග, සබන්, සුවඳ විලවුන්, විෂබීජ නාශක ආදිය නිපදවීමටත් දැව ආරක්ෂකයක් ලෙසත් භාවිතා කරයි.
මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්