මස්තිෂ්ක දුර්වලතා, අපස්මාරය, පණු රෝග, ගුල්ම, අධ්මාන, අන්ත්රගත වේදනා, අජීර්ණ, කල්ගතවූ ආමවාත, හික්කා, අරුචි, උගුර බැරැන්ඩිය, ගණ්ඩමාලා, ගලගණ්ඩ, කැස්ස, ඇදුම, ශ්වාසනාළිකා ප්රදාහය, පක්ෂඝාත, ජලෝදර, පාචන, කොළරා, සර්ප විෂ, ජාපාල විෂ, මුත්ර ගල් ඇතුළු මුත්ර රෝග, බෝවන රෝග, ස්ථානීය වේදනා වැනි රෝග අවස්ථා රැසකට ප්රතිකාර කිරීම සඳහා විශේෂයෙන් වදකහ අල ද අවශේෂව සම්පූර්ණ ශාකය ද භාවිතා කරයි. විශේෂයෙන් මස්තිෂ්කය උත්තේජනය කරන ගුණ සහිත වදකහ බුද්ධිය, මතකය හා මානසික හැකියාවන් වර්ධනය කරන අතර හිත සන්සුන් කරන හා මනස පැහැදිලි කරන ඔසුවක් ලෙසද ප්රකටය. එමෙන්ම වාජීකරණ, ඇසට හිතකර, විෂ නසන, හෘදය උත්තෙජනය කරන, ආම දෝෂ නසන, වමනකාරක, සම හැපත් කරන අහාර රුචිය වඩවන ආදී ගුණයන් රැසක්ද සහිතයි.
අපස්මාරය, මස්තිෂ්ක රෝග සහ ස්වරභේද අවස්ථාවලදී වදකහ අල චූර්ණය ගිතෙල් හෝ තලතෙල් ලේහ කොට එළකිරි සමඟ පානය කිරීමට නියම කර ඇත. දරුවන්ගෙ උගුර කැසීම, දැවිල්ල සමඟ ඇතිවන කැස්සට පිරිසිදු වදකහ මුල් ස්වල්පයක් සපා ගිලීමෙන් සුවය ලැබෙයි. සර්ප විෂ හෝ ජාපාල විෂ සඳහා වදකහ චූර්ණය භාවිතා කරයි. පණු වමනයට උණු අළු පල්ලේ තම්බාගත් වදකහ අලයක් දෙහි ඇඹුල් සහ මී පැණි සමඟ ගලගා වරකට බිංදු 10-15 බැගින් බොන්නට දිය යුතුය. කුඩා දරුවන්ගේ පාචන, බඩ පිපුම, උදර වේදනා අවස්ථාවලදී අමු වදකහ අලයක් ගලගා පෙකනිය වටේ ආලේප කළ යුතුය. එමෙන්ම ඒ සඳහා අමු වදකහ අලයක් උණු අළු පල්ලේ තම්බා දෙහි ඇඹුල් හෝ තනකිරි සමඟ ගලගා බිදු කීපයක් පෙවිමද කළ හැකිය. ළදරු අතීසාර, ප්රවාහිකා (හීඳන් අතීසාරය) සහ ජලසන්නියට වදකහ අලයක් පිළිස්සූ අළු මී පැණියෙන් දියකර පෙවිය යුතුය. එමෙන්ම ළදරු අතීසාරය සඳහා වියළි වදකහ, වෙනිවැල් ගැට, කටුවැල්බටු, කෙලිද හාල්, වැල්මී සමව ගෙන කෂාය කර දිය යුතුය. ගල ගුණ්ධික හෙවත් සෙම්ගෙඩි ප්රදාහ වීමේදී වදකහ අලයක් ලුණුවතුරෙන් ගලගා ඇඹුල් දොඬම් යුෂින් අනා උගුරේ ආලේප කරයි.
ආසාත්මිකතාවයක් හේතුවෙන් වමනය, හිසරදය, ඇඟේ පලු මතුවීම, කැසීම, ඇස් රතුවීම, උණ හටගැනීම, හුස්ම ගැනීම අපහසු වීම ඇතිවූ විට වදකහ දෙහි ඇඹුලින් ගලගා බීමට දෙයි. වදකහ අල විනාකිරෙන් අඹරා ආලේප කිරීමෙන් වාත රෝග නිසා ඇතිවන වේදනාවන් සමනය වෙයි. හිසරදයට වදකහ සහ හීං අරත්ත අල උණුවතුරෙන් අඹරා නළලේ පැලැස්තර දමයි. වියළි වදකහ කුඩුකර වරකට මදටිය ඇටයක ප්රමාණයක් දිනපතා උදයට එළකිරි සමඟ බීමට දීම බුද්ධි වර්ධනයට උපකාරී වෙයි. මෙය කුඩා දරුවන්ට නම් 125 mg පමණ විය යුතුය.
අලුත උපන් දරුවන්ට වදකහ ඉස්ම ස්වල්පයක් මව්කිරි සමඟ දීම ගැමියන් අතර පවතින පුරුද්දකි. එය අජීර්ණ සහ පණු රෝගවලින් ආරක්ෂා වීමටත් දරුවාගේ බුද්ධිය සහ සමෘතිය වර්ධනයටත් ශරීරය පැහැපත් වීමටත් උපකාරී වෙයි. එමෙන්ම ගම්වල මව්වරු අලුත උපන් දරුවා විෂබීජවලින් ආරක්ෂාකර ගැනීමේ අරමුණින් කුඩාවට කපන ලද වදකහ අල කැබලි නූලක අමුනා අතේ හෝ ඉනේ බැඳීම සිදුකරයි.
වදකහ සුවඳවිලවුන් සහ දන්ත චිකිත්සා ඖෂධ නිශ්පාදනයටත්, මිනිස් සිරුරට අහිතකර නොවන කෘමිනාශක නිපදවීමටත් යොදා ගනී. ගෘහස්ථ කෘමීන් පාලනය සඳහා වියළි වදකහ කුඩු කපු පුලුන් සමඟ මිශ්රකර බෝල සාදා භාවිතා කළ හැකිය. චර්ම රෝග හා රුධිර ගමනාගමනය සඳහා හොඳින් ක්රියාකරන බැවින් ජපන් වැසියක් නෑමේදී වදකහ තෙල් ඇඟ ගැල්වීමට යොදා ගනී. මෙවන් වටිනාකම් රැසක් සහිත ඖෂධ පැළෑටියක් වන වදකහ බඳුනක හෝ වවා ගැනීම ඉතා ප්රයෝජනවත් බව හැඟී යා යුතුය.
මූලාශ්ර_ ඖෂධීය ශාක සංග්රහය
පහල සේයාරුව_ අන්තර්ජාලයෙන්