ඉන්දියානු ආයුර්වේදයෙහි සඳහන් "භාර්ගී" නම් ද්‍රව්‍ය සඳහා ශාක වර්ග කීපයක මුල් හෝ පොතු භාවිතා කරන අතර ඒ සඳහා ප්රකටව යොදා ගන්නා එක් ශාකයක් වන්නේ සිරිතේක්කු නම් පැළෑටියයි. Pygmaeopremna herbacea යන උද්භිද නාමයෙන් හඳුන්වන සිරිතේක්කු ලංකාවෙ දක්නට නොලැබෙන, ඉන්දියාවෙ වැවෙන ශාකයකි. මෙම ලිපියෙහි විස්තරවන කෙන්හිඳ මෙම භාර්ගී සඳහා යොදා ගත හැකි තවත් එක් ශාකයක් බව වෛද්‍ය මතයයි. ඇතැම් විට සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් කෙන්හිඳ ශාකය ද සිරිතේක්කු නමින් හඳුන්වා ඇත්තේ මෙම සම්බන්ධය නිසා ය. මෙම ශාකවලට අමතරව භාර්ගී සඳහා බංගලි පින්න / බ්රාහ්මනයෂ්ටි (Clerodendrum indicum), ගස් පින්න (Clerodendrum infortunatum) යන මෙරට වැවෙන ශාක දෙකේ මුල් ද සුුදුසු බව නිර්දේශ කර ඇත. මෙයට අමතරව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෛද්‍යවරු Ceriscoides turgida නම් ඉන්දියාවේ වැවෙන ශාකයක මුල් භර්ගී සඳහා භාවිතා කරයි. කෙසේ වෙතත් ඇතැම් ඉන්දියානු ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව භාර්ගී සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසු වන්නේ ලංකාවෙ වැවෙන කෙන්හිඳ ශාකයේ මුල් ය.
කෙන්හිඳ දේශීය වෙදකමේ භාවිතාවන ඖෂධ වට්ටෝරු රැසක ද යෙදෙන ඖෂධයකි. ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම, පීනස, ක්ෂය රෝගය, ග්‍රහණි රෝග, ආමවාතය, වාතරක්තය, සර්ප විෂ, ළදරු සෙම් රෝග, සුදුකබර, වණ, ගණ්ඩමාල රෝගය, හොරි, කුෂ්ඨ, කඩුවේගන්, පණුවණ, දියමිටියා කෑම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට කෙන්හිඳ ශාකයේ මුල්, කොළ, පොතු ආදිය භාවිතා කරයි. කෙන්හිඳ ඉදිමුන් නසන, වාතය සහ කඵ සමනය කරන, වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, දහදිය ගන්වන ආදී ගුණ සහිතයි. සම්පූර්ණ ශාකයේම චර්ම රෝග නාශක ගුණ පවතින බව සඳහන්.
වණ පැසවීමට සහ ගණ්ඩමාල ආදියට කෙන්හිඳ කොළ අඹරා ආලේප කරයි. පණුවන් සහිත වණ, දියමැටියා කෑම වැනි අවස්ථාවන්ට කොළ තැම්බූ වතුරෙන් සේදීම ගුණය. බාලක සෙම් රෝග සඳහා කෙන්හිඳ පොතු චූර්ණය තලතෙලින් ලේහ කරයි. කෙන්හිඳ මල් සහ මුල් බුලත් විටට උපයෝ කර ගනී. මෙම මුල් සමඟ බුලත් සැපීමෙන් දත්රෝග අඩුවන බවත් දත් ශක්තිමත් වන බවත් සඳහන්.
විශේෂ සටහන_ ඉහත සඳහන් කර ඇති උද්භිද නාමයන් මෙකලට පිළිගත් සම්මත උද්භිද නාමයන් වන අතර කලකට පෙර පලවූ වෙදකමට සම්බන්ධ ලිඛිත මූලාශ්රවල ඉහත සඳහන් ශාක සඳහා එකල භාවිතා කළ උද්භිද නාමයන් පහත පරිදි බව සැලකිය යුතුය. කෙන්හිඳ (Clerodendrum serratum) සිරිකේක්කු (Premna herbacea) බංගලි පින්න / බ්රහ්මණයෂ්ටි (Clerodendrum siphonanthus) Ceriscoides turgida (Gardenia turgida)
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය