දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Wednesday, May 14, 2014

ඇඹුල් ඇඹිලිය [Ebul Ebiliya] (Oxalis corniculata)

ඇඹුල් පලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය පොළොව මතුපිට හෝ පස් යට දුවන හීන් කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති සන්ධිවලින් පොළවට මුල් ඇදේ. කඳෙන් විහිදී ඉහල නඟින අතුවල ඇති ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පුෂ්ප මංජරිවල හට ගන්නා පෙති පහක් සහිත මල් කහ පැහැතිය. ඵලය තුඩක් ඇති අඟල් 3/4 පමණ දිග ස්ඵෝටිකාවකි. මෙම උද්භිද ගණයටම අයත් මහ ඇඹුල්ඇඹිලිය (Oxalis latifolia) නමින් කොල කරමක් විශාල මෙවැනිම ශාකයක් ඇති අතර එහි මල් දම් පැහැතිය. එමෙන්ම විසිතුරු ශාක ලෙස වගා කරන Oxalis විශේෂ කීපයක් ද අප රටින් හමු වෙයි. මෙම ශාක ලංකාවේ තෙතමනය ඇති බොහෝ තැන්වල මෙන්ම ලෝකයේ නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශ සියල්ලක ම පාහේ වැවේ. ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වා දී ඇති ඇඹුල් අඹිලිය විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය.

සංස්කෘතෙන්  “අම්බෂ්ඨා“ සහ "වාංගේරි" යනුවෙන් හඳුන්වන ඇඹුල් ඇඹිලිය නමේ සඳහන් ආකාරයට ම ඇඹුල් රසැති ය. කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, අජීර්ණය, අර්ශස්, ප්‍රවාහිකා, ගුදභ්‍රන්ශ, චර්ම රෝග, අක්ෂි රෝග, රුධිර වහනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතා කරයි. ඇඹුල් ඇඹිලිය කුසගිනි වඩවන, ආහාර ප්‍රිය කරවන, ඉදිමුම් නසන, වේදනාවන් පහ කරන ගුණ සහිතයි.

ලේ අඩුකම හා මාන්දම යන රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ට ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය සමඟ බත් කෑමට දීම ගුණය. ග්‍රහණියට ඇඹුල් ඇඹිලිය යොදා නිපදවන වාංගේරි සෘතය දෙයි. අර්ශස් සහ ගුදභ්‍රන්ශ රෝග සඳහා ඇඹුල් ඇඹිලිය කොළ යුෂ ගිතෙල් මීකිරි සමඟ මිශ්‍රකර පැසවා බීමට දෙයි. තුවාල පිරිසිදු කිරීමට, ගෙඩි පැසවීමට සහ පිපිරීමට ඇඹුල් ඇඹිලිය පත්‍ර ප්‍රලේපය යොදා ගනී. අත්තන විෂට සහ වඳ බවට ප්‍රතිකාර කිරීමට ද ඇඹුල් ඇඹිලිය භාවිතා කරයි. මෙම කොළ පලාවක් සහ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය කෘති
Share:

පාවට්ටා [Pawatta] (Justicia adhatoda)


ආඩතෝඩා, වං ඇපල, අගල්ආධාර යන නම්වලින්ද හඳුන්වන පාවට්ටා මීටර් 4 ක් දක්වා උසට වැඩෙන දේශීය බහු වාර්ෂික පඳුරු ශාකයකි. මෙම ශාකයට අයුර්වේදයේ යෙදෙන "වාසක" නම් ප්‍රකට පර්යාය නාමයක්ද වෙයි. පාවට්ටා ශාකයේ ළපටි අතුවල හරස්තඩ චතුරස්‍රාකාර සිට වටකුරු දක්වා වෙනස් විය හැකිය. සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක් සෙ.මි. 11 සිට 35 දක්වා පරාසයක් දිගකින් යුක්ත විය හැකිය. පත්‍ර හට ගන්නා ගැට ආසන්නයෙන් නව ශාඛා සහ පුෂ්ප මංජරි හට ගනී. බොහෝ විට නටුවක් රහිත සුදු පැහැති මල් එක විට පිපුණු පසු අලංකාරවත් ය. ඵලය බීජ 4 ක් සහිත ස්ඵෝටිකාවකි. මල රතු පැහැයට හුරු වර්ගයක් ද ඇති බවත්, එ අනුව ශ්වේත සහ රක්ත යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති බවත් පොතපතෙහි සඳහන්ව ඇත. පාවට්ටා Acanthaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අතීසාර, ප්‍රවාහිකා, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දාහය, පිත්ත ප්‍රමේහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්තාර්ශස්, රක්ත ප්‍රදර ඇතුළු රක්තජ රෝග, ඇදුම ඇතුළු ස්වසන රෝග, ආමවාතය හෙවත් ආතරයිට්ස්, වණ ශෝත, කුෂ්ඨ, ගුද කීල, පණු රෝග, චර්ම රෝග ආදී රෝග අවස්ථා බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, නැටි සහිත පංචාගයම භාවිතයට ගනී. පාවට්ටා කුෂ්ඨ සහ විෂබීජ නසන, හෘදයට හිතකර, රුධිරය පිරිසිදු කරන, සෙම පහ කරන, ස්වසනය පහසු කරවන ආදී ගුණයන් රැසකින් සමන්විතයි. වාසාවලේහය, වාසාරිෂ්ටය, වාසා පානය, වාසක පැණිය, වාසක සෘතය ආදීය  පාවට්ටා යොදා නිපදවන ඖෂධයන් ය. 

පාවට්ටා පෙණහලු රෝග බොහෝමයකට සුවය සලසන ඔසුවක් බව ප්‍රකටය. පාවට්ටා මල් කැකුළු මඳක් වියළා උණු වතුරට මිශ්‍ර කර බීම පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම ගුණදායක ය. එය අධික සෙම නැති කිරීමටත්, කැස්ස, ඇදුම, උගුරේ වේදනාව නැති කිරීමටත් උපකාරී වෙයි. ඇදුම රෝගීන්ට පාවට්ට කොළ ඉස්ම ගෙන, සූදුරු, ඉඟුරු සහ රතු ලූනු යුෂ මිශ්‍රකර හොඳින් ළිපේ කකාරන්න. එය පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසුව බෝතලයකට දමා දිනපතා උදේ සවස තේ හැඳි දෙක බැඟින් පානය කරන්න. වාසාවලේහය නම් ඖෂධය කැස්ස, පීනස, සෙම වැනි පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණදායක බව සඳහන්. එමෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම, පීනස සහ ඇදුම වැනි රෝග සුව කරන්න පාවට්ටා පැණිය ඉතාමත් ප්‍රයෝජනවත්. වාසක පැණිය ලෙසත් හඳුන්වන මෙය නිවසේදීම සදා ගැනීමට, පාවට්ටා පංචාංගයම සමව ගෙන වතුර පත හතරක් දමා හොඳින් තම්බා කෂායක් සාදා ගන්න. පත හතර පත එකට සිඳුණු පසුව හොඳින් පෙරා ඒ පත එකට සීනි ඇති පදමට මිශ්‍රකර පැණි සාදා ගන්න. පැණි පදමට ආ පසුව ළිපෙන් බා නිවුනාට පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා වසා තබා භාවිතයට ගත හැකිය. තවද ආඩතෝඩා කොළ ස්වල්පයක් ගෙන හොඳින් කපා එයට අරලු, මුද්දරප්පලම් ග්‍රෑම් 20 බැගින් මිශ්‍ර කර සියල්ලම මුට්ටියකට දමා ගන්න. ඉන් පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳවා සීනි, මී පැණි සහ සූකිරි ස්වල්පය බැගින් දමා උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් බොන්න. එය සෑම පෙණහලු ආශ්‍රිත රෝගයකටම ඉතාම ගුණදායක ඔෟෂධීය පානයකි. 

ආමවාතය නිසා හට ගත් සන්ධි ඉදිමුමට පාවට්ටා කොළවලින් තැවීම සිදු කරයි. කුෂ්ඨවලට පාවට්ටා කොළ අමුකහ සමඟ අඹරා ආලේප කරයි. මුත්‍ර දාහය, මුත්‍ර ආඩස්සිය ආදීයේදී පාවට්ට්ටා මල් චූර්ණය හෝ ක්වාතය හෝ පංචාගයෙන් සැකසූ ක්වාතය පානය කිරීම සුදුසුයි. රත්පිත් සෙංමාලය, අම්ලපිත්ත ආදියට පංචාග කෂාය හෝ ස්වරසය මී පැනි හෝ සීනි සමඟ බීමට දෙයි. පවට්ටා කෂාය මී පැණි සමඟ බීම සාමාන්‍ය කැස්‌සට ගුණය. කල්ගතවූ කැස්සට පාවට්ටා කොළ ඉස්ම රැගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගනී. වරකට තේ හැඳි දෙක බැඟින් දිනපතා උදේ සවස දින අටක් පමණ මේ ඔෟෂධය පානය කළ යුතුය. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපානයට වෙනත් ඖෂධීය දලු වර්ග කීපයක්ද සමග පාවට්ටා දලු යොදා ගනී. හන්දිපත් ඉදිමීම, තුනටිය අමාරුව, සන්ධි වේදනා ආදී රෝගවලදී ආඩතෝඩ කොළ හොඳින් අඹරා එය හන්දි වේදනාවල, තුනටියේ වේදනා සහිත ස්ථානයේ ආලේප කළ යුතුය. වාත වේදනාවලදී පාවට්ටා කොළ කොටා පොට්ටනියේ තම්බා මඳ රස්නය පිට තැවීමෙන් වාත රෝග නිවාරණය කර ගත හැකිය.

මී මුරේ වැසියන් කුරක්කන් පිට්ටු සමග පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. දකුණු පලාතේ විශ්‍රාමික පාසැල් ගුරුවරියක් වන හිනිදුමවිතානගේ සෝමවතී මහත්මිය පවට්ටා කොළවලින් ව්‍යංජනයක් සකසා ගන්නා ආකාරය සඳහන් කර තිබුනි. මුලින්ම මැටි වලඳක පාවට්ටා කොළ සහ සියඹලා කොළ මාරුවෙන් මාරුවට අසුරා, හට්ටිය පිරෙන්ට වතුර දමා තම්බාගත යුතුය. පසුව සියඹලා කොළ සියල්ල ඉවත් කර පාවට්ටා කොළ හොඳින් සෝදා, සිහින්ව ලියා ව්‍යයංජනයක් සාදා ගත හැකිය. සියඹලා කොළ සමඟ තම්බා ගැනීමෙන් පාවට්ටා කොළවල ඇති තිත්ත රස ඉවත්වී යයි. මෙය රාජ භෝජනවලින් එකක් බව සඳහන්.

පාවට්ටා ශාකයේ පවතින විෂබීජ නාශක ගුණය නිසා කුඹුරට ජලය ගෙන යන ඇල මාර්ග අසල වැවීමෙන් කුඹුරෙහි පළිබෝධ පාලනය වන බව කියැවේ. පාවට්ටා කොළ, දුම් කොළ , අනෝදා ඇට ආදිය කොටා යුෂ ගෙන ස්වභාවික පළිබෝධනාශයක් සදා ගත හැකිය. මෙම කොළ දුම්කොළ වෙනුවට බුලත් විටට ගැනීමටත්, ඔතා ඔෟෂධීය දුම් වැටියක් ලෙස භාවිතයට ගැනීමටත් පුලුවන.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ.හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් 

Share:

අඟුණ

කිරි අඟුණ
(1) කිරි අඟුණ - Tylophora pauciflora
(2) තිත්ත අඟුණ - Wattakaka volubilis 
(3) රුක් අඟුණ - Alangium salvifolium

අඟුණ ශාකයේ ඉහත දැක්වෙන ප්‍රභේද ලංකාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට ප්‍රදේශයේත්, වියලි කලාපයේත්, ඉන්දියාව, මලයාව, දකුණු චීනය, පිලිපීන දූපත් හා නැගෙනහිර අප්‍රිකාව යන රටවලත් මෙම අඟුණ ප්‍රභේද වැවේ. මෙම ශාකය ගසක හෝ වෙනත් ආධාරකයක එල්ලී එතී වැඩේ. පත්‍ර අණ්ඩාකාරය තරමක් ලොකු ය. පහලට නමා වැටෙන ජත්‍රීය බහුඅක්ෂ වල මල් බොහෝ ඇත. සුවඳවත් මල් ලා කොල පාට ය. ඵලය අඟල් තුනක් පමණ දිග සිලින්ඩරාකාර වරා (follicle) දෙකකින් යුතු සමුච්චයකි. එය තුළ ඇට බොහෝ ඇත. එම ඇටවල සුලඟින් ගසාගෙන යාමට උපකාර වන අවයවයක් තිබේ. මේ වර්ග තුනේ ම කොල කෑමට ගනු ලබයි. සාමාන්‍යයෙන්න අඟුණ වැලක් අඩි 8-12 අතර දිගට වැවේ. කිරි අඟුණ සහ තිත්ත අඟුණ Apocynaceae කුලයට අයත් අතර රුක් අඟුණ Cornaceae කුලයට අයත් ය. 

ඖෂධීය වටිනාකම
රුක් අඟුණ

තිත්ත අඟුණ ආහාර රුචිය උපදවයි. දේශීය විෂ චිකිත්සාවෙහි රුක් අගුණ පිස්සු බලු රෝගයට සහ සර්ප විෂට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. රුක් අඟුණ ඇට වලින් සිඳගන්නා අංකෝල තෛලයෙහි විශ්මයජනක ගුප්ත බලයක් ඇතැයි ඉන්ද්‍රජාල විද්‍යා සංග්‍රහයෙහි සඳහනි. ඒ නිසා රුක් අඟුණ වලට "ගුප්ත ස්නේහ" යනුවෙන් ද භාවිත කරයි. කිරි අඟුණ කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩිකරන ඖෂධයකි. එය විෂ නාශකයක් ද වේ. ළදරුවන්ගේ පණු රෝග හා උණ ආදියට කිරි අගුණ දලු යෙදූ ඖෂධ භාවිත කෙරේ. බිළිදු දරුවන් සිටින මව්වරුන්ගේ කිරි හා රුධිරය පිරිසිදු කිරීම සඳහා කිරි අඟුණ කොළ ක්ෂාය කොට දෙනු ලැබේ. බුද්ධරාජ කල්කය හා බාලකුමාර තෛලය යන ඖෂධ සෑදීම සඳහා කිරි අඟුණ විශේෂයෙන්ම භාවිත කෙරේ. අගුණ විශේෂ සියල්ල ම මධුරයි. පිත පහ කරයි. විෂ හා ජවර නසයි.

(ඇතැම් අවස්ථා වල උද්භිද විද්‍යත්මක නාමකරණයෙ දී කිරි අඟුණ සහ තිත්ත අඟුණ වල නම් මාරුකර තිබුන ද ඒ ඒ ශාකයන්හි මෙහි සඳහන් වන ලක්ෂණ හා සමපාත වනුයේ මෙහි දක්වා ඇති නාමකරණයයි)

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර 
තිත්ත අඟුණ 
Share:

ගොනුකෑ / ගොනිකා වැල් [Gonuke / Gonika] (Psychotria sarmentosa)

මෙරට උද්භිදවිද්‍යා මූලාශ්‍රවල ගොනුකෑ ලෙස නම් කර ඇත්තේ සිංහලෙන් ඉටිමල් ලෙස හඳුන්වන Hoya ovalifolia නම් දේශීය වැල් වර්ගයකි. ගොනුකෑ / ගොනිකා නම් මෙම වැල් වර්ගය එවායෙහි වල් ගොනිකා (Psychotria sarmentosa) ලෙස හඳුන්වා ඇත. ගොනුකෑ තරමක් මාංසල පත්‍ර සහිත දේශීය වැල් ශාකයකි. පත්‍ර සම්මුඛව පිහිටයි. බිම දිගේ හෝ ඇතැම් විට ආධාරක ශාකයක් මත වැඩේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු කොළ පැහැතිය. ප්‍රපාතයකින් පහලට ඇද වැටී ආබාධිත වූ ගවයකු මෙම වැළේ කොල අනුභව කිරීමෙන් සුවපත් වූ කථා පුවතක් ජනප්‍රවාදයේ එයි. මෙම ඖෂධීය ශාකය "ගොනුකෑ" නමින් හැඳින්වීමට එය ද හේතුවක් වන්නට ඇත. ගොනුකෑ වැල් Rubiaceae කුලයට අයත් ශාකයකි.

වයස්ගත වීමේ දී සන්ධි වල (විශේෂයෙන් කාන්තාවන්ගේ) ඇති වන වේදනා සඳහා ඔසුවක් ලෙස භාවිත කරයි. විශේෂයෙන් පාදයේ සන්ධි වල පවතින ශ්ලේෂ්මල ස්වභවය වයසට යාමත් සමග අඩු වී සන්ධි වියළීමට ලක්වීම නිසා වේදනා ඇති වේ. මෙම වැලේ ‍කොළ භාවිත කර සකසා ගත් කැඳ හෝ කොල වලින් සකසා ගත් සලාදයක් විටින් විට ආහාරයට ගැනීමෙන් මෙම ආබාධයට සහනය ලැබෙයි. දකුණු පළාතේ අස්ථි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට ද මෙම කොළ යොදා ගනී. තැලීම්, උළුක්කුවීම්, මස්පිඩු පෙරලීම් වැනි ආබාධයක් ඇතිවූ විට මෙම කොළ යොදා සෑදූ කැඳ පානය කිරීම ගුණදායක ය. 
Share:

අංකෙන්ද [Ankenda] (Acronychia pedunculata)

අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය. සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය ඉලිප්සාකාර සිට උප ආයත හෝ උප ආයත අණ්ඩාකාර වේ. අංකෙන්ද කොළ අඹ කොළවලට තරමක් සමාන සුවඳකින් යුක්ත ය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු සුදු පාටකි. මල් හට ගැනීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ලෙස සඳහන්ව තිබුන ද, මහනුවර ප්‍රදේශයේ මැයි ජූනි මාසවල ද මල් දැකගත හැකි විය. කහ පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු  ඵලය නෙපෙැලෙන ගෝලාකාර අෂ්ටිලයකි. අංකෙන්ද Rutaceae කුලයට අයත් ශාකයකි. 

කැඩුම් බිඳුම්, උපතින් ඇතිවන අස්ථි ආබාධ, ඉදිමුම්, ආමවාතය නිසා ඇති වන සන්දි ඉදිමුම්, තැලීම්, ළදරු රත රෝගය (රත ගාය) ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී අංකෙන්ද කොළ, පොතු, මුල් ආදිය යොදා ගනී. ආමවාතය (ආතරයිට්ස්) නිසා ඇතිවන ඉඳුමුම් සඳහා අංකෙන්ද කොළ පොතු භාවිතාකර සාදාගත් පත්තුව ආලේප කරයි. දරුණු තැලීම් ආදිය සිදුවූ විට අංකෙන්ද කැඳ පානය නිර්දේශ කර ඇත. අංකෙන්ද ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, වණ රොපණය කරන ආදී ගුණ සහිතයි. 

කිතුල් කර්මාන්තයෙදී තෙලිජ්ජ පැසී රා බවට පත්වීම වැලැක්වීමට කොළ ද, පැණි උකු බවට පත්ව වඩාත් ඉක්මනින් ඝන වී වැලි හකුරු බවට පත්වීමට අංකෙන්ද පොතු ද යොදා ගැනේ.  ගවයින්ට වැලඳෙන ගෙඩි, තුවාල, ඉඳිමුම් චර්ම රෝග හා කුර ලෙඩ ආදියේ දී කොහොඹ තෙල් හා දෙල් කිරි ආදිය සමඟ අංකෙන්ද ගසේ කොටස් තලා මිරිකා ගත් යුෂ ඔසු වශයෙන් භාවිතා කරන බව සඳහන් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘති  
Share:

අබ (Brassica juncea)

Brassica ගණයට අයත් ශාක විශේෂ කීපයක් ඇත. ඒ අබ, කළු අබ, එළ අබ යන ඒවායි. අබ අතු ඉති විහිදුවමින් අඩි 2-4 දක්වා උසට වැවෙන වාර්ෂික ශාකයකි. පත්‍ර තද කොල පැහැ වන අතර පහතින් ඇති පත්‍ර වීණාකාර ය. කුඩා කහ පාට මල් දිවීලිංගික ය. ඵලය අඟල් දෙකක් පමණ දිග කරලකි. ව්‍යාපාරික භෝගයක් වශයෙන් ඉන්දියාවේ බිහාර්, උත්තර ප්‍රදේශ හා බෙංගාල යන ප්‍රාන්තවලත් ලංකාවේ හේන් වලත් අබ වවනු ලැබේ. අබ BRASSICACEAE  කුලයට අයත් ශාක විශේෂයන් ය.

ඖෂධීය වටිනාකම


ආයුර්වේදයේ අබ වලට විශේෂ තැනක් හිමිවන අතර එහි දී "සර්ෂප" හා "සිද්ධාර්ථ" යන නම් වලින් අබ හැඳින් වේ. අබ වර්ග හා ඒවායේ ගුණ මෙ සේ ය.

  • ගෞර සිද්ධාර්ථ (එළ අබ) - ඌෂ්ණය වාතය හා සෙම පහ කරයි. කුරුමිණි රෝග, ආමාශයේ සහ බඩවැල්වල හරි හැටි ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාත, කුෂ්ට, කණේ රෝග හා හිසේ රෝග නසයි.
  • රක්ත සිද්ධාර්ථ (රතු අබ) - ඉතා සැර ය. සෙම් හා පිත් නසයි. රත් පිත් උපදවයි. කුසගින්න වඩයි. කුෂ්ට රෝග හා කුරුමිණි රෝග නසයි.
  • කෘෂ්ණ රාජිකා (කළු අබ) - ඉතා සැර ය. සෙම් හා පිත් නසයි. රත් පිත් උපදවයි. කුසගින්න වඩයි. කුෂ්ට රෝග හා කුරුමිණි රෝග නසයි.
  • රාජිකා (සාමාන්‍ය අබ) - තිත්ත ය. ඌෂ්ණය, කුරුමිණි රෝග හා සෙම් රෝග පහ කරයි. බඩගින්න හා පිත් වඩයි. වාතය, දැවිලි ගතිය, ප්ලීහාවේ රෝග, කුෂ්ට හා වණ සුව කරයි.

අබ තෙල් ඌෂ්ණය.සෙම හා වාතය දුරු කරයි. කුෂ්ට රෝග හා පණු රෝග සුව කරයි. අබ ඇට අඹරා සාදාගත් කල්කය බෙහෙත් තෙල් සෑදීමේ දී යොදා ගැනේ. සිද්ධාර්ථ තෛලය එ වැන්නකි. මහා සිද්ධාර්ථ තෛලය තැනීමට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යය අබ ය. ශ්වස දුර්වලතා සහ හුස්ම ගැනීමේ අපහසුකම් ඇති අයගේ පපුවට යොදන පැලැස්තර් සඳහා අබ ගනු ලැබේ. අබ කුඩු ජලයේ දිය කොට පෙවූ විට වමනය උපදවයි. එළ අබ ශුද්ධ වස්තුවකි. "ලද පස් මල්" අතුරින් එකකි. ඉවුම් පිහුම් කටයුතු වල දී කෑම රසවත් කිරීම සඳහා ද අබ බහුල ව භාවිත කරයි. අබ ආහාරයට එකතු කිරීම මඟින් දිරවීම පහසු කරයි.


ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

Share:

අහු [Ahu] (Morinda citrifolia)

අච්ජුක යන ප්‍රකට පර්යාය නාමයෙන් හඳුන්වන අහු, කහ පැහැයට හුරු සුදු පැහැති පොත්තක් සහිත, මීටර් 9 ක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. විශාල දිලිසෙන සුලු සරල පත්‍ර සම්මුඛව පිහිටයි. ඉලිප්සාකාරය පත්‍රයක දිග සෙ.මි. 20 සහ පළල සෙ.මි. 12 පමණ වේ. පුෂ්ප මංජරිය කක්ෂීයව තනිව පිහිටන ශීර්ෂකයකි. පෙති 5 ක් හෝ 6 ක් සහිත කුඩා මල් මල් සුදු පැහැතිය. මාංසල සංයුක්ත ඵලය කොල පැහැති වන අතර ඉදුණු පසු ළා කහ හෝ සුදු පැහැති විය හැකිය. මෙම උද්භිද ගණයටම අයත් හීං අහු (Morinda coreia) නමින් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය  සුලභව දක්නට ලැබෙන්නේ වියළි කළාපයේ ය. අහු Rubiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ගෙඩි වණ වෙදකමේදී යොදා ගන්නා ප්‍රධාන ඖෂධීය ශාකයක් වන අහු බහුලවම බාහිර ප්‍රලේප වශයෙන් භාවිතා කරයි. එමෙන්ම අජීර්ණ, අක්මා, ප්ලීහා සහ වකුගඩු රෝග, අතීසාර, පාචන, මධුමේහ, රක්ත පිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය, සූතිකා උණ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා අහු ශාකයේ කොළ, දළු, පොතු, මුල් හා ගෙඩි භාවිතා කරයි. අහු මුල් විරේචක සහ ස්‍රාව වියළන ගුණයෙන් යුක්තය. අහු ගෙඩි හා කොළ අාර්ථතවය ජනනය කරන, අවරෝධාතා නසන, බලකාරක සහ උණ නසන ගුණ සහිතයි. ඉදුනු අහු ගෙඩි මෘදු විරේචක ගුණැතිය. 

ගෙඩි වණ වෙදකමෙහි ක්ෂත ශෝධන, රෝපණයෙහි පැසවීමට අහු භාවිතා කරයි. එහිදී පත්‍ර තලා ලබා ගන්නා යුෂ ආලේප කරයි. පත්‍ර අඹරා සාදාගත් ප්‍රලේපය තුවාල ශෝධන සහ රෝපණය සඳහා යොදා ගනී. ඊටම ළපටි කොළ අඹරා ගත් පත්තුව , ඉඟුරු තෙල් යම් ප්‍රමාණයක බහා රත්කර ප්‍රලේප වශයෙන් යොදා ගනී. විදුරුමස් ශක්තිමත් කිරීමට අහු ගැට තම්බාගත් ජලයට ලුණු මිශ්‍රකර කට සේදිය යුතුය. එයටම අහු ගැට පුලුස්සා ගත් අළු ලුණු කුඩු මිශ්‍රකර විදුරුමස්වල ආලේප කළ යුතුය. අහු දළු පුටපාකය මී පැණි සමඟ ළදරු අතීසාරට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. මව්වරුන්ට දරුවන් වැදූ අලුත වැලඳෙන සූතිකා උණට අහු නැටි කසාය යොදා ගනී. එය මැලේරියා වැනි වෙනත් උණ රෝග සඳහා ද ප්‍රතිපලදායක ය. විෂහරණ තෛලය නිපදවීම සඳහා ද අහු භාවිතා කරයි. 

අප රටෙහි ඈත අතීතයේ සිටම හදි හූනියම්, අණවින, කොඩිවින ආදී ගුප්ත විද්‍යා කටයුතු සඳහා අහු භාවිතා කර ඇත. ඒ හේතුව නිසා අහු විෂ සහිත ශාකයක් ලෙස සමාජගතවී තිබුන ද වෙනත් රටවල අහුගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනී. සැකසූ අහුගෙඩි යුෂ එම රටවල ජනප්‍රිය පානයකි. Noni Fruit සහ Noni Juice ලෙස අන්තර්ජාලයේ සෙවූ විට මේ පිළිබඳ බොහෝ තොරතුරු ලබා ගත හැකිය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
හීං අහු (Morinda coreia)
Share:

අළු පුහුල් (Benincasa hispida)

ඉතා ඉක්මනින් වැඩෙමින් පඳුරු වල ආධාරයෙන් ඉහල නගින වැල් වර්ගයකි. හෘදයාකාර පත්‍ර ඛන්ඩිකා 5 කට බෙදී ඇත. අඟල් 12 - 18 දක්වා වැඩෙන ඵලය සිලින්ඩරාකාර මාංශල බදරියකි. එහි පිට පොත්තේ සුදු පැහැති ඇලෙන සුලු කුඩක් ඇත. ඵලය තුළ ලා කහ පැහැති ඇට බොහෝ ය. ලංකාව, ඉන්දියාව, මලයාව, චීනය, ජපානය හා නිවර්තන අප්‍රිකාව යන රටවල වවනු ලැබේ. ලංකාවේ හේන් වල වගාකරන අතර ගෙවතු වල ද දක්නට ලැබේ. අළු පුහුල් ව්‍යාංජනයක්, ඖෂධයක් සහ රස කැවිලි සෑදීම සඳහාත් භාවිත කෙරේ. අළු පුහුල් Cucurbitaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම
සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල අළු පුහුල් හැඳින්වෙන්නේ “කුෂ්මාන්ඩ“ යන නමිනි. කඩා මාස කිහිපයක් ගත වූ අළු පුහුල් ශරීරය නිවා තර කරයි. ශක්තිය ලබා දෙයි. රත්, පිත් හා වාත දෝෂ නසයි. කුසගිනි වඩයි. අන්ත්‍ර හෙවත් බඩවැල් ශුද්ධ කරයි. පිත් දෝෂ සමනය කරයි. අළු පුහුල් ඇට මූත්‍රා අඩස්සිය හෙවත් හරිහැටි මූත්‍ර පහ නොවීමට ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එම ඇට අඹරා යටි බඩේ ආලේප කිරීමෙන් මූත්‍රා අඩස්සිය පහව යයි.
 

අළු පුහුල් යුෂ ක්ෂය රෝගය, සිහි විකල් වීම, මීමැස්මොරය, පෙණහලුවල වණ, පීනස හා ඇඳුම ආදියට ප්‍රතිකාර වශයෙන් යොදනු ලබන ඔසු තැනීමට ගනු ලැබේ. අළු පුහුල් කොළ හා දඬු යොදා තනා ගන්නා කෂාය විෂ පෙවුන විට මාහැඟි ප්‍රතිකාරයකි. යුනානි වෙදකමේ අළු පුහුල් ඇට වලින් සිඳින තෙලක් හිස සිසිල් කිරීමට නිර්දේශ කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇති වන ලේ ගැලීම් නැවත් වීමට අළු පුහුල් යුෂ යොදා ගනී. තවත් ඖෂධ හා මිශ්‍ර කොට ප්‍රධාන වශයෙන් අළු පුහුල් වලින් තනනු ලබන “ඛණ්ඩකුෂ්මාණ්ඩය“, “වාසකුෂ්මාණ්ඩඛණ්ඩය“ සහ“කුෂ්මාණ්ඩසෘතය“ ශරීරය තරකොට දාහය හෙවත් දැවිල්ල නිවා බලවර්ධනය කරන ඖෂධ රසායනයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර


Share:

බෙහෙත් අනෝදා [Beheth Anoda] (Abutilon indicum)

කුඩා බහුවාර්ෂික ශාකයක් වන මෙය ගම්බද පළාත්වල මහ බැබිල, වල් අනෝදා, කොක්ස් අච්චු ආදී නම්වලින්ද හඳුන්වයි. ආයුර්වේදයේ මෙය "අතිබලා" සහ "මහබලා" යන නම් වලින් හඳුන්වා ඇත. අඳුරු කොළ පැහැයක් සහිත මෙහි සරල පත්‍රවල යටි පැත්ත බූව සහිතය. තනි තනිව හට ගන්නා මල් කහ තැඹිලි පාටය. ඵලය ආවේනික හැඬයක් සහිත ස්ඵෝඨිකාවකි. ඖෂධීය වටිනාකම් රැසක් සහිත දේශීය ශාකයක් වන බෙහෙත් අනෝදා Malvaceae කුලයට අයත් ය.

අර්ශස්, ගුදමාර්ගය පහත් වීම, රක්තප්‍රදර, රක්තපීනස, මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම, දත් කැක්කුම, ගෙඩි, වණ, කුෂ්ඨ, අභ්‍යන්තර තුවාල ආදියට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් මෙම ශාකයේ කොළත් අමතරව පොතු, මල්, මුල් , ඇට ආදියත් භාවිතා කරයි. දේශීය වෙදකමේදී විසප්පු හා ගෙඩි පැසවීම පිණිස යොදන පත්තු හා පැලැස්තර් සෑදීමට අනෝදා භාවිතා කරයි. මෙය දරුවන් ලැබූ ආසන්නයේ මවුවරුන්ට වැලඳෙන උණ සහ ප්‍රතිශ්‍යාව නසන ඔසුවකි. පිත් රෝග වලට සහ දත් රෝග වලට ද අනෝදා ප්‍රශස්ත ඔසුවකැයි පැවසේ. අනෝදා කොළ තැම්බූ වතුරට සීනක්කාරං මංචාඩි 10 ක් දිය කර සේදීමෙන් පැරණි තුවාල ඉක්මනින් සුව වන බව සඳහන්.

අර්ශස් රෝගය සඳහා බෙහෙත් අනෝදා කොළ කැඳ බීම සහ ව්යංනජනය සාදා කෑමට ගැනීම ද ඉතාම ගුණදායකය. එමෙන්ම බෙහෙත් අනෝදා කොළ කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව පහ වේ. බෙහෙත් අනෝදා කොළ කොටා ගත් යුෂ ගෙන පොල් කිරි දමා හීනටි සහල් හෝ කැකුළු සහල් කැඳ පිස බීම ද, අනෝදා කොල සහ කොහිල අල තම්බා එම වතුරෙන් නවරත්න කල්කය කෝපි ඇට 2 ක්‌ පමණ තල තෙලින් අනා ගිලීම ද අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාරයන්ය.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්  
Share:

අරත්ත (Alpinia sp.)


රාස්නා හෙවත් අරත්ත වර්ග දෙකකි. එ් මහ අරත්ත සහ හීන් අරත්ත වන අතර වැඩිපුර බේතට ගනු ලබන්නේ හීන් අරතත ය. පෙළොව යට පිහිටි තරමක් සුඳැති රයිසෝමක් සහිත ශාකයකි. අඩි 3-4 උසැති ශාකයේ පත්‍ර අඩියක් පමණ දිග ය. සුදු පැහැති මල් පිපෙන අතර ඵලය කුඩා ය, තැඹිලි පාට ය. මෙය ලංකාව, ඉන්දියාව හා මලයා දූපත් වල වැවේ. අරත්ත Zingiberaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ඖෂධීය වටිනාකම

මෙය සර්ප විෂ නසන ප්‍රශස්ත ඔසුවකි. වනයේ දී නාගයා සමග සටන් වදින මුගටියා විටින් විට අරත්ත ගස සපා තමන්ට නාගයාගෙන් වැදුන විෂ සමනය කරගනිතැයි මතයක් ඇත. නකූල හෙවත් මුගටියාට ආරක්ෂාව සපයන බැවින් නකුලී යන නාමය ද මෙම ශාකයට යෙදේ. අරත්ත විෂ නසනා ඔසුවක් මෙන්ම වාතය නසන්නකැයි ආයර්වේදය කියයි. පක්ෂගාත රෝගයට ප්‍රතිකාර වශයෙන් දෙන ඖෂධ වලට අරත්ත මුසු කෙරේ. අරත්ත රත්තවාතයට, බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාතයට ප්‍රබල ඔසුවකි. අරත්ත අල කටුකය, කුසගිනි වඩයි, කටහඬ යහපත් කරයි. අරත්ත අල යොදා තනා ගත් කෂාය උණ, වාත රෝග, පීනස් රෝග හා උදර රෝග සුව කරයි. "රාස්නා සප්තකය" "රාස්නා පංචකය" "මහා රාස්නා කෂාය" හා "රාස්නාදී තෛය" යන ඔෂධවල ප්‍රධාන අමුද්‍රව්‍යය අරත්තයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර 

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support