දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Wednesday, July 9, 2014

කටුකරෝසන (picrorhiza kurroa)

මුහුදු මට්ටමින් අඩි 9000-15000 ක් පමණ උස් වූ ප්‍රදේශවල වැවෙන ඇල්පයින් (alpine) ඖෂධ ශාකයකි. ඉන්දියාවේ කාශ්මීරයේ සහ සීඛීම් රටෙහි බහුලව වැවේ. “කටුකරෝහිනී“ යන නම්න්ද හැඳින්වෙන මෙම ශාකය බූව සහිත, අඩි 6-8 පමණ උසැති පැළෑටියකි. අඟල් 8 ක් පමණ දික්වූද මිනිසෙකුගේ සුළැඟිල්ල පමණ මහත් වූද රෛසෝමයක් මේ ශාකයට ඇත. වියළි පත්‍ර පාදවලින් රෛසෝමය වැසී ඇත. ශාකයේ පත්‍රයක් අඟල් 3 ක් පමණ දිගු වන අතර තරමක් චර්මලය. පත්‍ර නටුවට කොපුවක් ඇත. අක්ෂ පත්‍රවලට වඩා දිගය. ශුකියක් අඟල් 3 ක් පමණ දිගය. මේ ශුක්වල බොහෝ මල් පිපේ. මල් ද්වී-ඕෂධීය. ද්වීරූපය. කෙටි රේණු මෙන්ම දිග රේණු ඇති මල්ද දක්නා ලැබේ. රේණු 4 ක් පමණ පිහිටා ඇත. ඩිමිබ කෝෂය ද්වීකෝෂ්ඨය හෙවක් කොටස් දෙකකින් සමන්විතය. එහි බොහෝ ඩිම්බ ඇත. කටුකරෝසන ඵලය ස්ඵෝටිකාවකි. එය අඟල් 1/2 පමණ දිගය. මෙම ශාකයේ බොහෝ ඵල හට ගනී. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කටුකරෝසන “කටුකා“, “අන්ජානි“, “කටුකරෝහිනී“ සහ “මහෞෂධී“ ආදී නම්වලින් හැඳින්වේ. කටුකරෝසන තිත්තය, කටුකය, බොහෝ ගුණ ඇත්තේය. මල බැඳීම කෙරෙයි, කුසගිනින වඩයි, හෘදයට හිතකරය, රුධිර දෝෂ නසයි. කටහඬෙහි විකෘතීන්, කුරුමිණි රෝග, පෙනහලු රෝග, ක්ෂ්ට, දැවිල්ල, තුන්දොස් කිපීමෙන් ඇති වන උණ හා ඉක්කාව යන රෝග නසයි. උදර රෝග, පණු රෝග, සෙම හා පිත කිපීම නිසා ඇතිවන උණ හා ඉක්කාව යනාදියට අන්‍ය ඖෂධ සමග කටුකරෝසන දෙනු ලැබේ. සර්ප විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ ආදියේදී දිය යුතු ඖෂධයක් ලෙස පැරණි වෛද්‍ය ග්‍රන්ථවල සඳහන්වේ. කුසගිනි අඩු වීම, ආමාශයේ සහ අන්ත්‍රවල වේදනා ආදියට කටුකරෝසන ඉතා ගුණදායක බව සඳහන්වේ. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන් 





Share:

Monday, July 7, 2014

කංසා (Cannabis sativa)

ලෝකයේ සෞම්‍ය හා නිවර්තන දේශගුණික ප්‍රදේශවල හොඳින් වැවෙන ශාකයකි. එයින් ලබාගන්නා කෙඳි හා මාදක ඖෂධ කීපයක් නිසා කංසා ආර්ථික වශයෙන් වැදගත් ශාකයක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ මෙම ශාකය විශාල වශයෙන් වගා කරනු ලැබේ. කංසා ශාකය "භංගා", "විජයා", "කාරාස්", "සිද්ධි", "ජියා", "ගන්සායි", "කල්පම්-වෙට්ටු", "බංගි" හා "මරුවානා" ආදී භාෂා කීපයක නම් රාශියකින් හැඳින්වේ.

කංසා ශාකය අඩි 4-12 දක්වා උසට වැඩේ. එයට ෂෘජුකෝණික කඳක් ඇත. පාණිවත්ව බෙදී ගිය පත්‍ර ඇත. කංසා පුෂ්ප පලාවන් කහ පැහැයක් දරයි. පුරුෂ මල් හට ගන්නේ දිගට නැමී වැටුණ සංයුක්ත ඒකාක්ෂියකයි. ජායංගී පුෂ්ප කෙටි අක්ෂීය ෂුකියක හට ගනී. ඵලය අණ්ඩාකාර වැනි හැඩයක් සහිත චර්මලයකි. මෙම ශාකයෙන් ප්‍රබල සුවඳක් වහනය වේ. ශාකය මුළුමනින්ම බූවකින් වැසී ඇත. ශාකයේ පත්‍ර මතද, ජායංගී පුෂ්ප මංජරියේ නිපත්‍ර මතද අති ග්‍රණ්ථික රෝම විශාල සංඛාවක් මඟින් ඇලෙන සුලු දුම්මල වර්ගයක් නික්මෙයි.

බටහිර මධ්‍යම ආසියාව මෙම ශාකයේ නිජබිම සේ සැලකේ. එහෙත් එය දැන් ඉන්දියාවේ හිමාල අඩවියේ ස්වභාවික ශාකයක් බවට පත්ව තිබේ. පන්ජාබයේ සිට බෙංගාලය හා බිහාර් ප්‍රදේශ දක්වා දකුණු දිගින් ඩෙකෑත් ප්‍රදේශය දක්වා කංසා ශාකය පුළුල්ව පව්‍යාප්තව ඇත.

ඖෂධීය වටිනාකම

සංස්කෘත භාෂාවෙන් පර්යයාය නම් රාශියකින් මෙම ශාකය හඳුන්වා ඇතත් චරක හා සුශ්‍රැත ආදී පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මෙම ශාකය ගැන සඳහන් නොවේ. පසු කාලීන ග්‍රන්ථයල සඳහන් ආකාරයට මේ ශාකයේ බීජ, පත්‍ර, දලු හා පුෂ්ප යන සෑම කොටසක්ම ඖෂධ පිණිස ගැනේ. කංසා කුසගිනි වඩයි. ආහාර රුචිය ඇති කරයි. තිත්තයි, පිත හා කාමාග්නිය වඩවයි. වාත, සෙම් දෙක නසයි. උත්තේජකයි. වේදනා පහ කරයි. ප්‍රීතිමත් ප්‍රබෝධජනක තත්වයට පත් කරයි. සොම්නස හා නින්ද ගෙන එයි. ස්ත්‍රීන්ගේ ගර්භාෂය හකුළුවයි. මුත්‍ර වැඩි කරයි, බල ශක්තිය, තරුණ ශක්තිය, නැවත ලබාදෙන ගුණයෙන් යුතුය. අතීසාර, රක්තාතීසාර, කල්ගිය වණ, අමාශගත පීඩා, ඔසප් දෝෂ, අණ්ඩවෘද්ධිය, අර්ශස්, වමන හා ප්‍රමේහ රෝගවලට දෙන ඖෂධවලට කංසා එක්කරනු ලැබේ. 

කල් ගිය දරුණු වණවල ආලේප කිරීමට තනනු ලබන බෙහෙත් තෙල්වලට කංසා මිශ්‍ර කෙරේ. සර්ප විෂට දෙන ඖෂධවලටද එය මුසු කෙරේ. "විෂරාජ", "ඊශ්වර", "ගරුඩ රාජ" යන බෙහෙත් ගුලි සෑදීමටත් "විෂනීල" තෛල සිඳීමටත්, පිසිසු බලු ආදී සතුන් විසින් සපන ලද විට කෙරෙන ප්‍රතිකාරවලටත් අන්‍ය ඖෂධ සමග කංසා යොදනු ලැබේ. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන්

Share:

Saturday, July 5, 2014

කලාඳුරු [Kladuru] (Cyperus rotundus)

වම්මුතු යනුවෙන් ද හඳුන්වන කලාඳුරු ඉලිප්සාකාර හෝ වටකුරු-අණ්ඩාකාර භූගත කඳක් (ආකන්දයක් / අලයක්) සහිත බහු වාර්ෂික පැලෑටියකි. අලය මි.මි. 12 පමණ දිගු වන අතර මි.මි. 3-7 පමණ පළලින් යුක්ත වන අතර සුඟන්ධවත් ය. අලය වටා සිහින් තන්තු මුල් දක්නට ලැබේ. අලයෙන් ඇතිවන ශඛා මඟින් නව පැළෑටි බිහි කරයි. ආකන්දයෙ මූලයෙන් ඇති වන සිහින් දිගැටි පත්‍ර සෙ.මි. 10-40 දක්වා දිගට වැඩේ. පත්‍රයක පළල මි.මි. 2-5 පමණ වන අතර ත්‍රිකෝණික හැඩයක් ගනී. සංයුක්ත ඒකාක්යෂක් වන පුෂ්ප මංජරිය ශුකිකා 3-10 සංඛාවකට බෙදී පවතී. ශුකිකාවක මල් 8-28 දක්වා සංඛාවක් පිහිටයි. මල් දුඹුරු පැහැති ය. ඵලය ආයත හෝ ආයත ප්‍රත්‍යණ්ඩාකාර චර්මලයකි. කලාඳුරු  Cyperaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද මූලාශ්‍රවල නාගර මුස්ත (Cyperus scariosus) , භද්‍ර මුස්ත (Cyperus rotundus) සහ කෛවර්ත මුස්ත (Cyperusesculentus)  යනුවෙන් කලාඳුරු වර්ග තුනක් ගැන සඳහන් වන අතර ලංකාවේ හමුවන්නේ භද්‍ර හෙවත් මෙම ලිපියෙහි විස්තර වන වර්ගය පමණි. එමෙන්ම හීං කලාඳුරු, මහ කලාඳුරු සහ දිය කලාඳුරු නමින් තවත් වර්ගීකරණයක්ද වෙයි. 

පිපාස, අරුචි, අතීසාර, අජීර්ණ, වමන, කැස්ස, ඇදුම, රුධිර දෝෂ, උණ, අපස්මාර, අක්ෂි රෝග, චර්ම රෝග, පාණ්ඩු, මුත්‍ර අඩස්සිය, විද්‍රධි, ළදරු උදරාබාධ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කලාදුරු අල භාවිතා කරයි. කලාඳුරු උණ සහ පණුවන් නසන, කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, පිත සමනය කරන, මුත්‍රකාරක, ගර්භාෂය සංකෝචණය කරන, මව්කිරි වඩවන සහ ශෝධනය කරන ආදී ගුණ සහිතයි. 

අතීසාරයට කලාඳුරු අල අමු ඉඟුරු සමඟ යොදා ප්‍රතිකාර කරයි. එයටම කලාඳුරු අල කසායට මී පැණි දමා බීමට දෙයි. අපස්මාරයට කලාඳුරු අල කල්කය එළකිරි සමඟ බීමට දෙයි. කැසීම් ආදී චර්මාබාධ සඳහාත්, පියයුරු හා තනකිරි වැඩීමටත් කලාඳුරු අල ප්‍රලේපය ආලේප කරයි. ඇස් රෝගවලදී ප්‍රලේපය අදුන් ලෙස යොදයි. මුත්‍ර අඩස්සියට කලාඳුරු අල තම්බා බොන්නට දෙයි. ඔසප් චක්‍රය නැවතීමේ දී හා වෙදනාකාරී මාස් ශුද්ධියෙදී කලාඳුරු අල පාණ්ඨය යොදා ප්‍රතිකාර කරයි. ගෙඩි පැසවීමට අල ගලගා ආලේප කරයි. ළදරුවන්ගේ උදර වේදනාවට කලාඳුරු අලයක් පිට පොත්ත හැර සොදා උතුරන වතුරට එක්කර තම්බා පෙවීම හෝ කිරිපිටි දෙන්නේ නම් එම කිරි සාදන උණු වතුරට එක් කිරීම සිදුකළ හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Thursday, July 3, 2014

කතුරු මුරුංගා (Sesbania grandiflora)

ලංකාවේ සෑම පළාතකම පාහේ දැකිය හැකි අඩි 25 ක් පමණ උසට ඉන්මනින් වැවෙන ශාකයකි. මේ ශාකයේ ලීය මෘදුය. කොළ සංයුක්තය. අඟල් 10 ක් පමණ දිගය. ඒකාන්තරය, පක්ෂවත්ය, උප පත්‍රද සහිතය. අලංකාර වූ සුදුපාට මල් ලොකුය. ඒවා එල්ලෙන ඒකාක්ෂ පුෂ්ප මංජරිවල හටගනී. රතු පැහැති මල් හටගන්නා කතුරු මුරුංගා ප්‍රභේදයක්ද තිබේ. මල යුගරූපීය. පංචාංකය. කණ්ඩ දෙකකින් යුක්තය. දල පහෙන් අපර දලය පතාකය වේ. එය විශාලතමය. මලේ රේණු 10 කි. අපර රේණුව නිදහස්ව තිබියදී අනෙක් රේණු නවය ඒකාබද්ධව ඩම්බකෝෂය වටා නළයක් සාදයි. උත්තර වූ ඩිම්බකෝෂය ඒක කොෂ්ඨීය. එක් අණ්ඩපයක් ඇත. ඩිම්බ සවි වී ඇත්තේ දාරයෙහිය. කරලක් අඩියක් පමණ දිගය. එහි ඇට බොහෝය. කතුරු මුරුංගා ශාකය ලංකාවේ සහ වෙනත් නිවර්තනික ප්‍රදේශවල වැවේ. බීජ මගින් මෙහි ප්‍රචාරණය සිදුවේ. කතුරු මුරුංගා මල් සහ කොළ ආහාරයට ගැනේ. කතුරු මුරුංගා ශාකය FABACEAE  කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම 

සංස්කෘත ග්‍රන්ථවල කතුරු මුරුංගා ශාකය “වක්‍රපුෂ්ප“ “අගස්ති“ හා “මූනිද්‍රැම“ යන නම්වලින් හැඳින්වේ. කතුරු මුරුංගා මිහිරිය, සිසිල්ය. වා, පිත්, සෙම් යන තුන් දොස් පෙනහලු රෝග හා තුන් දොස් කිපීමෙන් හට ගන්නා උණ නසයි. කතුරු මුරුංගා මල් සිසිල්ය, කසටය, මල බඳියි. ආහාර රුචිය ඇති කරයි. මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරයි.

කතුරු මුරුංගා කොළ අනුභව කිරීමෙන් රාත්‍රී අන්ධභාවය සුව වන බව යුනානී වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ. රතු කතුරු මුරුංගා මල් ඇල් දියෙන් අඹරා ගෑමෙන් සන්ධි ප්‍රදාහය බඳු රෝග සුව වන බව එහිම දැක්වේ. කතුරු මුරුංගා කොළ යුෂ පීනසට හා හිසරදයට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඉන්දියාව හා කාම්බෝජය ආදී රටවල අතීසාරයට ඔසුවක් වශයෙන් කතුරු මුරුංගා පොතු භාවිතා කරයි. ලංකාවේ හිසට දමන ප්‍රධාන බෙහෙත් තෙලක් වූ “මූනිශාක තෛලය“ සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කතුරු මුරුංගා කොළයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Sunday, June 29, 2014

කරපිංචා (Murraya koenigii)

ලංකාවේ බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන අඩි 10-20 අතර උසැති සුලභ ශාකයකි. ඖෂධයක් සේම ආහාර රස ගන්නවන්නක් සේද ඉතා වැදගත්ය. අළු පාට පොත්තක් සහිත මෙම ශාකයේ ළපටි දලුවල යාන්තමින් බූව ඇත. මෙහි පත්‍ර ලං ලංව පිහිටා තිබේ. පත්‍ර පිහිටීම අසමපක්ෂය. පත්‍රයක් හෙවත් කිනිත්තක් අඟල් 5-10 දක්වා දිගය. පත්‍රයේ ප්‍රාක්ෂය මදක් බූව සහිතයි. එක කිනිත්තක පත්‍රිකා 15-25 අතර සංඛාවක් ඇත. පත්‍රිකාවක් අඟල් 1 1/2 පමණ දිගය. ඒවායේ නටු කෙටි වන අතර හැඩය අයතලංසාකාරය. පත්‍රිකාවල උඩ පැත්ත සිනිඳුය. මල අඟල් 1/2 ක් පමණ වේ. සුදු පාට මල් සුවඳවත්ය. මල් පිහිටා ඇත්තේ බෙදුනු අග්‍රස්ථ බහු-අක්ෂවලයි. නිපත්‍රිකා ඉතා කුඩාය. දල විවෘතයි. ඒවයේ තැන් තැන්වල තිත් වැනි ගැට ඇත. මාංසල මඩලක් මත රේණු තිබේ. ඩිම්බ කෝෂය ද්වීකෝෂ්ඨය. ජායංගදරයක් නොමැත. දිගු කීලයක් සහිත වන අතර කලංකය විශාලය. ඵලය අඟල් 1/3 පමණ වු කළු පාට බදරියකි. එහි බීජ දෙකක් ඇත. 

කරපිංචා කොළවල හා නටුවල ප්‍රබල සුවඳක් ඇත. ව්‍යංජන රසවත් නිරීම පිණිස කරපිංචා කොළ හා නටු ගනු ලැබේ. කරපිංචා ගසේ ලීය තදය. දුඹුරු පාටට හුරු ළා කහ පාටය. එය කල්පවත්නා ලීයකි. කරපිංචා බහුවාර්ෂික ශාකයක් වන අතර RUTACEAE  කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම 

කරපිංචා සිසිල්ය. කසටය. අර්ශස්, දාහ, පණු හා කුරුමිණි රෝග, දැවිල්ල, කුෂ්ට, ලේ දෝෂ, ඉදිමුම්, වණ ආදී රෝග සමනය කරයි. 

හෘදයාබාධ හට ගන්වන කොලෙස්ටරෝල් අඩුකරලීමට කරපිංචා ඉවහල් වන බව අනාවරණය වී තිබේ. එහෙයින් දේශීය වෛද්‍යවරු හෘදයාබාධ වළක්වා ගනු කැමති අයටත්, හෘද රෝගීන්ටත් කරපිංචා කොළ ඉස්ම යෙදූ කැඳ බීමට නිර්දේශ කරති. කරපිංචා දලු සම්බෝල වශයෙන් හෝ මැල්ලුම් වශයෙන් කෑමට ගැනීමද ගුණදායකය. දේශීය වෛද්‍යවරුන්ට අනුව ව්‍යංජනවලට දමන කරපිංචා ව්‍යංජනය සමගම ආහාරයට ගත යුතුය. කරපිංචා කොළ හීනියට ලියා හෝ අඹරා ව්‍යංජන ආදියට යෙදූ විට ආහාර සමග ශරීර ගත වන නිසා එයින් ලැබෙන ගුණය මහත්ය.

කරකැවිල්ල හා වමනය ආදිය ඇති අයටත්, විෂ ශරීරගත වූ අයටත්, කුසගිනි නොමැති, අජීර්ණාබාධ නිතර වැලඳෙන අයටත්, සුළු උමතු ගති ඇති පුද්ගලයින්ටත් කරපිංචා කැඳ ප්‍රශස්ථ ඔසුවක් බව දේශීය වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන්


Share:

Friday, June 27, 2014

ඔලිඳ [Olinda] (Abrus precatorius)

ඔලිඳ මීටර් 6 පමණ දිගට අධාරක ශාකයක් මත පැතිරී වැවෙන බහුවාර්ෂික වැලකි. සෙ.මි. 5 සිට 12 දක්වා දිගු විය හැකි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක සම්මුඛව පිහිටන පත්‍රිකා යුගල් 5 සිට 15 දක්වා සංඛාවක් තිබිය හැකි ය. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. ද්වී ලිංගික මල් ළා දම් පැහැතිය. ඵලය පැතලි කරලකි. මේරූ කරල පුපුරා බීජ විසිරී යයි. එක් කරලක් තුල බීජ 12 දක්වා සංඛාවක් තිබිය හැකි ය. දිලිසෙන සුලු ඕවලාකාර හැඩැති බීජවල එක් පසක් කළු පැහැති වන අතර අනෙක් පස දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත ය. බීජය සම්පූර්ණයෙන්ම කළු පැහැති ප්‍රභේදයක් ඇති අතර එය කළු ඔලිඳ සහ ඇතැම්විට පැණි ඔලිඳ නමින් ද හඳුන්වයි. මෙම උද්භිද ගණයටම අයත්  Abrus melanospermus නම් උද්භිද නාමයෙන් හඳුන්වන සුදු පැහැති මල් සහ සුදු පැහැති බීජ හට ගන්නා ඔලිඳ වර්ගයක් ඇති අතර ඒවා එළ ඔලිඳ නම් වේ.  ඔලිඳ විශේෂ Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ඔලිඳ වර්ග සමඟ පටලවා ගන්නා ශාකයක් වන්නේ වැල්මී ය. ඔලිඳ වර්ගවල කොළ, දඬු සහ විශේෂයෙන් මුල් පැණි රසින් යුක්තය. ඉහත සඳහන් කළ සම්පූර්ණයෙන්ම කළු පැහැති බීජ හට ගන්නා කළු ඔලිඳ සහ පැණි ඔලිඳ යන නම්වලින් හඳුන්වන ප්‍රභේදයේ මෙම පැණිරස ස්වභාවය තරමක් වැඩිය. එම නිසා ගැමියන් පමණක් නොව ඇතැම් වෛද්‍යවරු ද මෙම කළු ඔලිඳ ශාකය වැල්මී නමින් හඳුන්වා හෝ වැල්මී වෙනුවට ඖෂධ සඳහා භාවිතා කරනු දක්නට ලැබේ. එය වැරදි භාවිතයක් බව අවධාරණය කළ යුතුය. වැල්මී යනු Glycyrrhiza glabra නම් උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය වන අතර එය ලංකාව තුල හමු නොවෙයි.  ආරෝහකයක් ලෙස නොව පඳුරක් ලෙස වැවෙන වැල්මී කලාතුරකින් ඔසු උයනක හෝ දේශීය වෛද්‍යවරයකු ලඟ තිබීමේ ඉඩකඩක් ඇති මුත් මෙරට ඇති බවක් වාර්ථා වී නැත. 

සමේ රෝග, පිත්තාශ රෝග, වණ, කෘමි රෝග, කුෂ්ට, විෂ, සෙම් රෝග, අක්ෂි රෝග, මුඛ රෝග, උණ, කැස්ස, ඇදුම, මුත්‍ර අඩස්සිය, පිටගැස්ම, ජලභීතිකාව, උදරගත රෝග, ජීර්ණ පද්ධතියේ දෝෂ, සයටිකා, අකලට හිසකෙස් වැටීම, අර්ශස් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් ඔලිඳ ශාකයේ කොළ, මුල්, ඇට ආදියත් පොදුවේ පංචාංගයමත් භාවිතා කරයි. එළ ඔලිඳ විශේෂයෙන් සර්ප විෂ, වකුගඩු ආබාධ සහ ස්නායු රෝග සඳහා භාවිතා කරන බව සඳහන්. ක්වාථ, තෛල, සෘත, ලේප, රසායන ආදී වශයෙන් යෙදන ඖෂධ යෝග රැසකද ඔලිඳ ඇතුත්ව ඇත. ඔලිඳ හෘදය සහ ගර්භාෂය උත්තේජනය කරන, රුධිරය පිරිසිදු කරන, වාතය සහ පිත සමනය කරන, වාජීකරණ, කුෂ්ඨ නසන, වණ රෝපණය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසකින් සමන්විතයි. ඔලිඳ ඇටවල අබ්රින් (Abrin) නැමැති විෂ රසායනිකයක් අඩංගු වන හෙයින් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ශෝධනය කර ඔෟෂධ සඳහා භාවිතා කළ යුතු වේ. ඔලිඳ ඇට විනාකිරෙන් හෝ එළකිරෙන් තම්බා ගැනීම, උතුරන වතුරෙහි බහා පැය කීපයක් තම්බා ගැනීම එවැනි ශෝධන ක්‍රම දෙකකි. තවත් මතයකට අනුව ඔලිඳ මුල් ද විෂ සහිත බව සඳහන්. 

මුත්‍ර අඩස්සියට ඔලිඳ කොල කොටා තැඹිලි ගෙඩියක බහා රැයක් පින්නෙහි තබා උදයට මිරිකා පානය කළ යුතුය. අක්ෂිරෝගවලදී ඔලිඳ කොළ කොටා මඳ උණුසුමින් ඇස මතුපිට තැවීම ගුණය. දරු ප්‍රසූතිය පහසු කිරීමට ඔලිඳ මුල් ක්වාතය යොදා ගනී. වණවල මස් දලු ආ විට  ඔලිඳ ඇට ප්‍රලේපය යෙදීමෙන් මල් දල්ල කැපී යයි. කොළ අඹරා සීනි සමඟ චූෂණය (උරාබීම) මඟින් උගුර බැරැන්ඩිය සමනය වෙයි. ගෘධ්‍රසි, නාඩි ශූල හා සුදුකබර රෝගයන්ට බීජ අඹරාගත් ප්‍රලේපය යොදා ප්‍රතිකාර කරයි. උඳුගොව්වා කෑමට අදාල ස්ථානයේ සේපාලිකා කොළයකින් පිරිමැද අඹරා ගත් ඔලිඳ කොළ ආලේප කළ යුතුය. මුඛය වණවූ විට ඔලිඳ කොළ ක්වාතය මුඛයේ තබාගෙන සිටිමෙන් සුවය ලැබෙයි. වාජීකරණයට ඔලිඳ කිරි කෂාය ප්‍රතිඵලදායක ය. ඔලිඳ කොළ යුෂට නිවුඩු හාල් යොදා පිස ගන්නා කොළ කැඳ හෘද රෝග, ඇස් රෝග ආදියට ගුණදායක ය. ඔලිඳ ඇට චූර්ණය වැඩිපුර භාවිතා කිරීම නිසා විෂ අවස්ථාවක් ඇති වුව හොත් කූරතම්පලා යුෂ සීනි සමඟ දීමෙන් විෂ නැසෙන බව සඳහන්. 

ඔලිඳ ඇට ඇතැම් රටවල මාල වර්ග වැනි විසිතුරු භාන්ඩ නිපදවීම සඳහා සුලබව භාවිතා කරයි.  සිංහල අවුරුදු සමයෙහි ඔලිඳ ඇටවලින් ඔලිඳ කොලොම්ඹ යොදාගෙන සිදුකරන ඔලිඳ කෙලිය පෙර කළ මෙරට ජනප්‍රිය ගැමි ක්‍රීඩාවකි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු, ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Wednesday, June 25, 2014

එඬරු [Edaru] (Ricinus communis)

තෙල් එඬරු සහ බෙහෙත් එඬරු යනුවෙන්ද හඳුන්වන එඬරු මීටර් 3.5 ක් පමණ උසට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික ශාකයකි. ඇතැම් විට බෙහෙවින් අතු බෙදෙමින් පඳුරක් අකාරයට වර්ධනය වේ. මැද සිදුරක් සහිත දුර්වල කඳෙහි ළපටි කොටස් අළු පැහැතිය. දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ඇඟිලි ආකාරයෙන් බෙදී ඇති පත්‍රයේ දාරය දැති වැනි කඩතොළු සහිතයි. එ්කාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් ළා කහ පැහැතිය. ඵලය තුනට බෙදුනු ස්ඵෝඨිකාවකි. ඵලාවරණයේ කටු වැනි ව්‍යුහ දක්නට ලැබේ. ඵලයක් තුල දිලිසෙන සුලු බීජ තුනක් පිහිටයි. වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල තෙල් එඬරු ශාකයේ ප්‍රභේද කිහිපයක් ගැන සඳහන් වේ. සුලබව හමුවන වර්ගය සුදු එඬරු ලෙසත් එහිම මහ එඬරු සහ හීං එඬරු ලෙස උප ප්‍රභේද දෙකක් ඇති බවත් දක්වා ඇත. හීං එඬරු ශාකයේ තෙල් හා මුල් ඔසු පිණිස ගන්නා බව සඳහන් කර ඇත. මෙයට අමතරව පත්‍ර, කඳ සහ ගෙඩි රතු පැහැයට හුරු ප්‍රභේදයක් ඇති අතර එය රත් එඬරු යනුවෙන් හඳුන්වයි. මහ එඬරු සහ රත් එඬරු ශාකවල සියළු කොටස් ඔසු පිණිස භාවිතා කරයි. එඬරු ශාක ඇතැම් මූලාශ්‍රවල එරඬු නමින්ද හඳුන්වා ඇත.

තෙල් එඬරු ශාකයට අමතරව Jatropha උද්භිද ගණයට අයත් එඬරු නාමය සහිත ශාක විශේෂ කීපයක්ද මෙරටින් හමුවෙයි. ඒ අතර මයුරපාද එඬරු (Jatropha multifida), හීං එඬරු (Jatropha gossypiifolia) සහ වැට එඬරු (Jatropha curcas) නම් විශේෂ තුනක් වෙයි. හීං එඬරු සහ මයුරපාද එඬරු ශාකවල දේශීය භාවිතාවක් ගැන ප්‍රකට තොරතුරු හමු නොවන අතර වැට එඬරු ගැන වෙනම ලිපියක් පල කිරීමට අදහස් කර ඇත. එඬරු වර්ග Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන්ය. 

වාත රෝග, වාතරක්ත, ඉදිමුම්, ගුල්ම රෝග, කැස්ස, ඇදුම, පණු රෝග, අර්ශස්. පාන්ඩු රෝග, කරකැවිල්ල, ආහාර අරුචිය, ආමවාත, කාන්තාවන්ගේ ගර්භාශ සහ ඔසප් රෝග, මුත්‍ර අඩස්සිය, අක්මා සහ ප්ලීහා රෝග, අණ්ඩ වෘද්ධිය, කටීශූල, ගෘධ්‍රසි, කුෂ්ඨ රෝග ආදියට ප්‍රතිකාර කිරීමට තෙල් එඩරු ශාකයේ කොළ, දළු, මුල්, පොතු, ගෙඩි, ඇට සහ ඇටවලින් සිඳ ගන්නා තෙල් භාවිතා කරයි. එඬරු වාතය හරණය කරන, ශුක්‍ර ශෝධය කරන, ඉදිමුම් නසන, වේදනා ස්තාපනය කරන, ස්වේද ජනක ආදී ගුණ රැසක් සහිතයි. එඬරු යොදා නිපදවන ඒරණ්ඩ නාමය සහිත තෛල, ක්වාත, ප්‍රලේප ආදී ඖෂධ රැසක්ද ඇත. 

කාන්තාවන්ගේ මාස් ශුද්ධිය අපහසුවකින් තොරව සිදු වීමට එඬරු කොළ තම්බා යටි බඩේ එලීම සිදු කරයි. මව්වරුන්ගේ කිරි තදවීම නිසා පයෝදර ඉදිමුනු විට එඬරු කොළ තලතෙලින් අඹරා රත්කර මඳ උණුසුමෙන් ආලේප කිරීමෙන් හා විනාකිරෙන් අඹරා ආලේප කිරීමෙන් කිරි වැගිරී සුවය ලැබෙයි. එමෙන්ම එඬරු කොළ තම්බා ගත් ජලයෙන් හෝ කොළවලින් පයෝදර තැවීමෙන් සුවසේ කිරි එරේ. ඇසට හුණු වැටුන විට එඬරු තෙල් බිංදුවක් ඇස තුලට ගැල්වීමෙන් දැවිල්ල පහව ගොස් සුවය ලැබෙයි. බඩවැලේ වේදනා ඇති විට එඬරු තෙල් ඉඟුරු යුෂ සමඟ පානය කිරීමෙන් වහා සුවය ලැබේ. වාතය අධික වාතරක්තයේදී වේදනාව සමනය කිරීමට එඬරු ඇට මද එලකිරෙන් තම්බා අඹරා ආලේප කරයි. රාත්‍රියට ඇස් පෙනීම දුර්වල විට එඬරු දළු ගිතෙලින් මලවා කෑමට ගත යුතුය. ස්ථූලතාවයට ළපටි එඬරු මුල් හොඳින් සෝදා පිරිසිදු කර රාත්‍රියෙහි මී පැණිවල ගිල්වා තබා උදෑසන මුල් ඉවත්කර පානය කළ යුතුය.  

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 
Share:

Monday, June 23, 2014

නික [Nika] (Vitex negundo)

වාත රෝග සඳහා බහුලව භාවිතා කරන ප්‍රකට ඖෂධයක් වන නික මීටර් 8 ක් දක්වා උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. පරිනත ශාකයෙහි පොත්ත රතු දුඹුරු පැහැති වන අතර තුනී පටලමය පටි ලෙස පොතු ගැලවී යයි. ළපටි අතු සුදු පැහැති බූවක් සහිතය. පහලින් පිහිටන අතු පොළව සමඟ ස්පර්ෂවූ විට මුල් අදී. පත්‍රිකා 3 ක් හෝ 5 ක් සහිත සංයුක්ත පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. නික කොළ කීක්ෂණ සුවඳකින් යුක්ත ය. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා නිල්, දම්, රෝස හෝ සුදු පැහැති කුඩා මල් සුවඳවත් ය. දම් හෝ කළු පැහැති මාංසල ඵලය තුල බීජ 4 පමණ පිහිටයි. නික Verbenaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

ඇතමුන් මෙම උද්භිද ලක්ෂණම පිහිටන දම් හෝ දුඹුරු පැහැයට හුරු කොළ සහිත නික ශාකයක් කළු නික ලෙස හඳුන්වයි. එහෙත් එය නික (Vitex negundo) ශාකයේම ප්‍රභේදයක් මිස කළුනික නොවේ. කළුනික ශාකයේ උද්භිද නාමය Litsea iteodaphne වන අතර එය දවුල්කුරුඳු ශාකයට තරමක් සමාන සරල පත්‍ර සහිත Lauraceae කුලයට අයත් ශාකයකි. එම නිසා කළුනික සොයන අය වෙත්නම් ඔවුන් තවත් නික (Vitex) විශේෂයක් සෙවීම නිශ්ඵලය කාර්යයක් බව කිව යුතුය.

වාත රෝග, ඉදිමුම්, ආමවාතය හෙවත් ආතරයිට්ස්, ගෘධ්‍රසි, නාසාරන්ධ්‍ර ශෝථය, නාග විෂ, දද කුෂ්ඨ, ඇස් රෝග, කර්ණ රෝග, ප්ලීහාව ඉදිමීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී නික ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි ආදිය භාවිතා කරයි. නික වාතය සහ වේදනාවන් සමනය කරන, ඉදිමම් නසන, ආර්තවය ජනනය කරන, මුත්‍රකාරක, කුෂ්ඨ සහ පණු රෝග නසන, වණ ශේධනය සහ රෝපණය කරන ගුණ සහිතයි. නිර්ගුණ්ඩ්‍යාදී තෛලය, නිර්ගුන්ඩි කෂාය නික යොදා නිපදවන ඖෂධයන්ය. 

වාත රෝග අවස්ථා සහ වේදනාවන්ට නික මුල් හෝ මුලේ පොතු යෙදූ කෂාය දීම සහ නික කොළ පොට්ටනියෙන් තැවීම සිදු කරයි. ආමවාතය නිසා හටගත් ඉදිමුම් සඳහා නික කොළ කොටා මලවා මඳ උණුසුමින් බැඳීම හා මුල් හෝ කොළ කෂාය යොදා ප්‍රතිකාර කරයි. ගෘධ්‍රසියට කොළ කෂාය දෙයි. දද, වණ සහ චර්ම රෝගවලට කොළ තම්බා සේදීම, යුෂ ආලේප කිරීම, ගෙඩි ස්වරසය ප්‍රලේප කිරීම, මල් ප්‍රලේපය තැවරීම ආදිය ගුණදායකය. නික කොළ තම්බාගත් ජලය ඇස් රෝගවලදී ඇස් සේදීමටත්, චර්ම රෝගවලදී අදාල ස්ථානය සේදීමටත් භාවිතා කරයි. නික පත්‍ර ස්වරසය කල්ගතවූ පණුවන් සහිත වණ යෙදීමට යොදා ගනී. වණ නිසා හටගත් ඉදිමුම් සහ ගෙඩි ඉහිරවීමට නික මල් ප්‍රලේපය යොදයි. කොළ යුෂ යොදා සිඳ ගත් තෙල් කණේ රෝගවලදී භාවිතා කරයි. 

නික කොළ තැම්බූ වතුරින් නෑම සහ ඇඟ තැවීම අලුත දරුවන් ලැබූ මව්වරුන්ට මෙන්ම වාත රෝගවලින් පෙලෙන අයට ඉතාමත් ගුණදායකය. නික මුල් කලං 12 කෂාය හන්දිපත් වේදනා, අතපය රුදා, තුනටිය අමාරු වැනි රෝග පීඩාවලින් පෙළෙන අයට මහඟු ඔසුවකි. නික, පාවට්ටා, එඬරු කොළ, ඉඟුරු, සුදුළුනු කොට්ට පොල් සමව ගෙන පොට්ටනි බැඳ තම්බා මඳ රස්නෙන් ඇඟ තැවීමෙන් තුනටිය වේදනා, හන්දි අමාරු සහ ඉදිමුම්වලට සහනදායී ප්‍රතිකාරයකි. දරුවකු බිහි කළ මවක් ප්‍රසූතියෙන් පසුව අධික උණ වේදනාවකින් පීඩා විඳින විට අහු, කොහොඹ, කරපිංචා නැටි, ආඩතෝඩ, සුදුළුනු, නික මුල්, ඉඟුරු කළං එකයි මංචාඩි 14 බැගින් ගෙන පත 8 එකට සිඳුවා කෂායක් සාදා උදේ භාගයයි සවස භාගයයි බීමට දීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. ඇඟ සීතල කරන උණටත් මේ කෂාය ගුණදායක ය. කුඩා දරුවන්ගේ කටේ දත් එන කාලයෙදී ඇති වන වේදනාවන් සහ නොසන්සුන් බවට නැඟෙනහිර දිශාවට වැඩුණු අත්තක් ඇති සුදු මල් පිපෙන නික ශාකයක මුල් කැබැල්ලක් සුරයක් සේ දරුවගේ බෙල්ලේ එල්ලීම අතීතයේ බහුලව භාවිත කළ කෙම් ක්‍රමයකි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:

Saturday, June 21, 2014

දුම්මෑල්ල [Dummella] (Trichosanthes cucumerina)

කෙම්වැල් යනුවෙන්ද හඳුන්වන දුම්මෑල්ල දාර සහිත සිහින් කඳකින් යුත්, පතෝල වැලට බෙහෙවින් සමාන වාර්ෂික ආරෝහකයකි. හෘදයාකාර සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 12 සහ පළින් සෙ.මි 11 දක්වා වර්ධනය විය හැකිය. පාණිවත් පත්‍ර ඛණ්ඩිකා 3/5/7 සංඛාවන්ට බෙදී පවතී. ඛණ්ඩිකා රවුම් හෝ මඳ තීවෘ වන අතර පත්‍ර දාරය දන්තූර ය. පත්‍ර නටුව අසලින් පැන නඟින පහුරු දැක ගත හැකි අතර පහුරක් තුනට බෙදී පවතී. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා පෙති 5 ක් සහිත මල් සුදු පැහැතිය. ඒක ලිංගික ඒක ගෘහී හෙවත් ස්ත්‍රී සහ පුරුෂ මල් එකම ශාකයේ පිහිටා තිබේ. ගෝලාකාර හෝ දිගටි හැඩක් ගන්නා ඵලය බදරියකි. නොමේරූ පලයෙහි දික් අතට සුදු පැහැති ඉරි පිහිටා තිබේ. ඵලය මෝරණවිට ඒවා රතු පැහැයට හැරේ. ආයත හැඩැති බීජ අළු දුඹුරු පැහැයට හුරුය. දුම්මෑල්ල Cucurbitaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

පටෝල යන ආයුර්වේද ඖෂධය සඳහා ශ්‍රි ලංකේය ව්‍යවහාරය ලෙස දුම්මෑල්ල හැඳින්විය හැකි අතර දුම්මෑල්ල දේශීය නාමයකි. ඇතමුන් පටෝල සඳහා දුම්මෑල්ල වැනිම Trichosanthes dioica නම් ඉන්දියාවෙ වැවෙන ශාකයම භාවිතා කරතත් මෙම ශාක දෙකෙහිම තික්ත රසයේ සමානත්වය වැනි ගුණ සලකා පටෝල සඳහා දුම්මෑල භාවිතා කිරීම වඩා තර්කානුකූල සහ විද්‍යානූකූල බව පෙන්වා දී ඇත. ඇතැම් වීට දේශීයව මේ සඳහා පතෝල ද යොදා ගත හැකි බව සඳහන්. නවතව උද්භිද විද්‍යා වර්ගීකරණවලට අනුව දුම්මෑල්ල සහ පතෝල එකම විශේෂයක්  ලෙස ද සලකා ඇත. 

අජීර්ණ, කුසගිනි මදිකම, උදරාධිමාන, සෙංගමාලය, උණ, අප්‍රාණිකතා, කාලීන ස්වාලනාළ ප්‍රදාහය, ස්වසනක ජ්වර, රක්තහීනතාවය, පීනස, පිත්තජ්වර, ශීතපිත්ත, වණ, වාතරක්ත, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, කිටීහ, මධුමේහය, ළදරු ග්‍රහණි රෝග, අහාර අරුචිය, අර්ශස්, උදර රෝග, මුඛ රෝග, ඉදිමුම්, වමන, විසර්ප, විද්‍රධි, ප්‍රමේහ, පාණ්ඩු රෝග, කෘමි රෝග, රුධිර දෝෂ, රකතපිත්ත, කැස්ස ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කිරීම සඳහා දුම්මෑල්ල ශාකයේ කොළ, මල්, මුල්, දඬු, ඇට අතුළු සියලූම කොටස් භාවිතයට ගනී. දුම්මෑල්ල වණ ශෝධනය හා රෝපණය කරන, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, දීපන, පාචන, වමනකාරක, විෂ නසන ආදී ගුණයන් සහිතයි. ක්වාත, ස්වරස, ඵාණ්ට, චූර්ණ, අරිෂ්ට, ආසව ආදී ලෙස  දුම්මෑල්ල යොදා නිපදවන ඖෂධ රැසකි.  

දුම්මෑල්ල කොළ කොත්තමල්ලි සමඟ කෂාය කර බීමට දීම, දුම්මෑල්ල ග්‍රෑම් 180 ගෙන කොත්තමල්ලි වතුරේ රැයක් පෙඟෙන්නට තබා තලා මිරිකා ලබා ගන්නා යුෂ මී පැණි සමඟ උදේ හවස බීමට දීම, දුම්මෑල්ල, යව (බාර්ලී) ක්වාතය දීම, දුම්මෑල්ල, කොහොෂ යුෂ දීම ආදිය උණ රෝග අවස්ථා සඳහා ප්‍රතිකාරයන් ය. ශරීර ශක්තියට සහ විරේචනයට දුම්මෑල්ල, වියළි ඉඟුරු කිරාත සමඟ මී පැණි ස්වල්පයක් දමා බීමට දෙයි. රක්ත පිත්ත, මදාත්‍යයට සහ වාතව්‍යාධියට දුම්මෑල්ල ක්වාතය යොදා ප්‍රතිකාර කරයි. ඌරුස්තම්භයට දුම්මෑල්ල තම්බා කෑමට දෙයි. හිසේ වේදනාවට දුම්මෑල්ල මුල් අඹරා නලලේ ආලේප කරයි. තිමිර නම් අක්ෂි රෝගයට දුම්මෑල්ල, මුං, නෙල්ලි, යව (බාර්ලී) යන මේවා නිතර තම්බා බීමට නියම කර ඇත. දුම්මෑල්ල ආහාර ලෙස කෑමට ගැනීමෙන් ඉදිමුම් නැසේ. විස්ප්පුවලට නෙල්ලි, දුම්මෑල්ල, මුං ඇට කලං 4 බැගින් සිඳගත් කෂාය බීමට දෙයි. ශීතපිත්ත, කණ්ඩුවලට නෙල්ලි, රසකිඳ, දුම්මෑල්ල කෂාය බීම යෝග්‍ය ය. වමනයට දුම්මෑල්ල, රසකිඳ, ත්‍රිපල්, කොහොඹ පොතු කෂාය මෑ පැණි දමා බීමට දෙයි. අර්ශස් රෝගයට දුම්මෑල්ල, වැලමී කෂායෙන් ගෙඩි තෙමීම හා එම ජලයේ වාඩිවී සිටීමට ප්‍රතිකාරයකි. අකලට හිසකෙස් පැසෙන විට දුම්මෑල්ල කොළ ඉස්ම ආලේප කරයි. නියපිරිත්තාවට දුම්මෑල්ල කොළ ගිතෙලන් අඹරා ආලේප කළ යුතුය. දුම්මෑල්ල වැල් සමීපයට සර්පයින් නොඑන බව ගැමි විශ්වාසයකි.   

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය

Share:

Thursday, June 19, 2014

කහ (Curcuma longa)

කහ ශාකයේ ඖෂධීය වටිනාකමක් සහිත කොටස වන්නේ භූගත කඳ (අලය) හෙවත් රෛයිසෝමයයි. මෙය කුළුබඩුවක් හා වර්ණකයක් ලෙස ද යොදා ගැනේ. අඟල් 18ක පමණ සාමාන්‍ය උසක් ඇති කහ ශාකයේ පත්‍ර අඟල් 10ක් පමණ දිගු වන අතර අඟල් 4ක් පමණ පළල් ය. එය සිනිඳු ය, උල් ය, ආයත ය, කොළ නටුව කොළ තලය තරමට ම දිග ය. ශුකිවල මල් හටගනී. ශුකිය අඟල් 6ක් පමණ දිගැතිය. ශුකියේ නටුව පත්‍ර කොපුවෙන් වැසී ඇත. ළා කහ පැහැති මල් ද්වීලිංගික ය. ඵලය ස්ඵෝටිකාවකි. දකුණු ආසියාව නිජභූමිය කොට ගත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ සහ ආසියාවේ වෙනත් නිවර්තන ප්‍රදේශ වල වානිජ බෝගයක් සේ වවනු ලැබේ. කහ ශාකය Zingiberaceae කුලයට අයත් ය.

ආදී කාලයේ සිට කහ ඖෂධයක්, කුළුබඩුවක් හා සායමක් ලෙස භාවිත වී ඇත. වියලි කහ මෙන්ම අමු කහද එ සේ යොදාගෙන තිබේ. අන් කිසි ශාකයකින් සපුරා නොලැබෙන ගුණයක් කහවලින් ලැබේ. එ නම් විෂබීජ නැසීමේ ශක්තියයි. කහ දියර අනාදිමත් කාලයක සිට එසේ භාවිත වී ඇත.

කහ ප්‍රභේද කීපයකි. ඒ ප්‍රභේද වලට නිජ බිම් මුල් වී ඇත. මදුරාසි කහ, බෙංගාලි කහ, කොචින් කහ, ජාවා කහ සහ චීන කහ එම ප්‍රභේදයි. කහ කැබැල්ලක් කැඩූ විට පෙනෙනෙන කහ පැහැය ඇති වන්නේ එහි ඇති කුර්කුමින් නම් රසායන ද්‍රව්‍ය නිසා ය. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල කහ හැඳින්වෙන්නේ හරිද්‍රා, රජනී, පිතා හා වරා යන නම්වලිනි. ඒවායේ හරිද්‍රා, කර්පුරහරිද්‍රා, ආමුගන්ධහරිද්‍රා හා වනහරිද්‍රා යයි ප්‍රභේද හතරක් දැක් වේ. හරිද්‍රා තිත්ත ය, රළුය, ඌෂ්ණ ය. විෂ, කුෂ්ට, වාත, ශ්ලේෂ්මල, රුධිර දෝෂ, ඉදිමුම්, පාණ්ඩු, පීනස, ආහාර අප්‍රිය වීම, වණ හා කෘමි රෝග නසයි. දේහ වර්ණය ගෙන දෙයි. වනහරිද්‍රා කුෂ්ට, වාත හා රුධිර දෝෂ නසයි. ආමුගන්ධහරිද්‍රා සිසිල්ය, වාතය වඩයි, පිත නසයි. මධුර තිත්ත රසයෙන් යුක්ත ය. ප්‍රමේහ, කුෂ්ට, මුත්‍රල පද්ධතියේ ගල් ආදී රෝග වලට ප්‍රතිකාර කිරීමේ දී වෙනත් ඖෂධ සමග කහ යොදනු ලැබේ. විෂ නාශකයක් ලෙස පෙරදිග වැසියන් නූතනයේ දීත් කහ භාවිත කරයි. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.
සරත් රණවීර සහ රේඛා රණවීර 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support