දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Thursday, November 27, 2014

නීරමුල්ලිය / කටු ඉකිරිය [Neeramulliya / Katu Ikiriya] (Hygrophila schulli)

මෙය තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා ඇත. දිගැටි පත්‍රද බූව සහිතය. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇත. පෙති (දල) දම් නිල් පැහැතිය. ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවකි. මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබේ. මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත. සුලභව දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයයි. නීරමුල්ලි රසවත් පලාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. මෙය Acanthaceae කුලයට අයත් ශාකයකි.

නාඩි දුබලතාව, වාත රෝග, ආමවාත, පිත්තාතිසාරය, රත්පිත්, වාතරක්ත, සෙංගමාලය , මූත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීරමුල්ලිය ශාකයේ කොළ, මුල්, බීජ ඇතුළු පංචාංගයම භාවිතයට ගනී. මුත්‍රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම, පොල්පලා, නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය. වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි. රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි. මුත්‍ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්‍ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්

Share:

Friday, November 14, 2014

කොක්මොට [Kokmota] (Eriocaulon ceylanicum)

Eriocaulon උද්භිද ගණයට අයත් කොක්මොට යනුවෙන් හඳුන්වන දේශීය ශාක විශේෂ කිහිපයක් ඇති අතර එයින් ඖෂධීය ශාක සංග්‍රහයෙහි විස්තර කර ඇත්තේ අප රටට ආවේනික ශාකයක් වන Eriocaulon ceylanicum ගැනයි. එය 2012 රතු දත්ත පොතට අනුව වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස නම් කර ඇත. මෙයට අමතරව දේශීය උද්භිද විද්‍යා මූලාශ්‍රවල Eriocaulon quinquangulare නම් දේශීය ශාකය හීං කොක්මොට ලෙසත්  Eriocaulon setaceum, Eriocaulon sexangulare යන දේශීය විශේෂ දෙක කොක්මොට ලෙසත් හඳුන්වා ඇත. 

කොක්මොට ජලාශ්‍රිත පරිසරවල වැවෙන පඳුරු අකාර බහු වාර්ෂික ශාකයකි. බොහෝ විට ලංකාවේ කුඹුරුවල දක්නට ලැබේ. ජලය ප්‍රිය කරන ශාකයක් වූවද වගුරු බිම්වල හමු නොවේ. ඝනකම්, පටු රේඛීය ආකාර පත්‍රයක් දිග සෙ.මි. 12 දක්වා ද පළල සෙ.මි. 1-2 දක්වා ද වර්ධනය වේ. දිගු නටුවක් සහිත ඡත්‍ර අකාර පුෂ්ප මංජරිය ඉතා ප්‍රකටව දිස් වේ. අළු සුදු පැහැති පුෂ්ප මංජරියෙහි ජායාංගී සහ පූමාගී පුෂ්ප වෙන වෙනම පිහිටයි. එකම ශාකයෙන් පුෂ්ප මංජරි රාශියක් හට විට අලංකාරවත් ය. කුඩා පැළෑටියක් හෙයින් විසිතුරු ශාකයක් ලෙස බඳුනක වුවද වගාකර ගත හැකිය. කොක්මොට ශාක Eriocaulaceae උද්භිද කුලයට අයත් ය. 

කොක්මොට පුරාණයේ සිට ඖෂධ පිණිස භාවිතා කළ ශාකයක් බව පාරම්පරික වෛද්‍යවරු පවසති. අක්මා රෝග, පිලාව ඉදිමීම, සෙංගමාලය, මුත්‍ර දැවිල්ල, ශ්වේත ප්‍රදර, ශරීරයේ ඌෂ්ණාධිකබව, දැවිල්ල, රත්පිත්,පිපාසය, වාතරෝග, පාණ්ඩුව, පිත්රෝග, උන්මාද, අපස්මාරය, ප්‍රමේහ, ප්‍රදර, සෝමරෝග, ඇතුල්පතුල්වල දැවිල්ල ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණ කොක්මොට පැළෑටියම භාවිතයට ගනී. කොක්මොට ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, දැවිල්ල නසන, පණුවන් මර්ධනය කරන, අක්මාවට හිතකර ගුණයන් සහිතයි. 

සෙංගමාලට සහ පාණ්ඩු රෝගීන්ට කොක්මොට කැඳ බෙහෙවින් ගුණදායකය. කුඩා දරුවන්ගේ කුරුමිණි මාන්දම නම් රෝගයට කොක්මොට කොළ කැඳ උයා දෙයි. කුෂ්ට හා දද ආදිය නිසා ඇති වන දැවිලි සහිත තත්වයෙන් සහනය ලැබීමට වෙනත් ශාක යුෂ සමග මුසු කල කොක්මොට යුෂ ඉතා යහපත් ය. කොක්මොට තැම්බූ ජලයෙන් සේදීමෙන් දද හා කුෂ්ට ආදියේ දැවිල්ල පහව යයි. ඉන්දානිදේව්‍යාශරිෂ්ටය කොක්මොට යොදා නිපදවන ඖෂධයකි. කොක්මොට රසවත් ව්‍යංජනයක් සහ මැල්ලුමක් ලෙස සකසා ආහාරයට එක් කර ගත හැකිය. අවුරුද්දක් පමණ වයසැති කොක්මොට පඳුරු ගලවා මඩ ඉවත්වන තුරු හොඳින් සෝදා, අවශ්‍යතාවය අනුව අමුවෙන් හෝ වියළා ඖෂධ සඳහා භාවිතයට ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය , ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘති
සේයාරූ_ මෙහි පලව ඇත්තේ කොක්මොට යනුවෙන් හඳුන්වන Eriocoulon sexangulare නම් දේශීය ශාකයේ ඡායාරූපයකි. උපුටා ගැනීම අන්තර්ජාලයෙන් 


Share:

Thursday, November 6, 2014

කොහොඹ (Azadirachta indica)

කොහොඹ ශක්තිමත් කඳක් හා විහිදී යන අතු සහිත අඩි 50-60 පමණ උසට වැඩෙන ශාකයකි. එහි පොත්ත දුඹුරු පාටය. ළපටි අතුවල පොත්ත සිනිඳුය. පත්‍ර තරමක් ළං ළංව පිහිටා ඇත. එවා පක්ෂවත්ය. එක් එක් පත්‍රයක ළා කොළ පාට සිනිඳු පත්‍රිකා ජෝඩු 2-8 දක්වා ඇත. පත්‍රයක අග්‍රස්ථ පත්‍රිකාවක් සහිතය. පත්‍රිකාවල හැඩය ලංසාකාර-දාත්‍රාකාරය. ඒවායේ දාරය දන්තූර-කරපත්‍රිකය. කක්ෂීය පුෂ්පමංජරි සංයුක්ත ඒකාක්ෂියකි. පුෂ්ප හටගන්නේ මාර්තු-මැයි කාලයේ ය. මල සුදුපාටය, කුඩාය, සුවඳවත්ය. එවා ද්වීලිංගිකය. දල ආයතය, ඵලය අෂ්ටිලයකි. එය තරමක් ගෝලාකාරය, සිනිඳුය, මොටය. එක් එක් ඵලයෙහි තනි බීජයක් තිබේ.

කොහොඹ බහුලව වැවෙන්නේ ලංකාවේ වියළි ප්‍රදේශවලයි. යාපනය. වව්නියාව, පුත්තලම, අනුරාධපුරය, ත්‍රිකුණාමලය හා හම්බන්තොට කොහොඹ ගස් බහුලව වැවේ. කොහොඹ ගසේ පොත්ත තිත්තය. කහට සහිතය. එයින්ද බොහෝ ඔෟෂධ තනනු ලැබේ. කොහොඹ කොළවල යුෂයද ඉතා තිත්තය. කහට සහිතය. එයින්ද බොහෝ ඖෂධ තනාගනු ලැබේ. කොහොඹ කොළවල යුෂය කෘමිනාශකයක් හා විෂබීජ නාශකයක් සේ ද යොදා ගැනේ. කොහොඹ ගසේ ලීයට කෘමීන්ගෙන් හානි සිදු නොවන නිසා බොහෝ කල් පවතී. කොහොඹ ශාකය මෙලියාසේ (Melliaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කොහොඹ හැඳින්වෙන්නේ "නිමිඛ", "පිවුමන්ද" හා "අරිෂ්ට"  යන නම්වලිනි. නිමිඛ (කොසඹ) හා මහා නිමිඛ (මහා කොහොඹ) යයි කොහොඹ දෙවර්ගයකි. කොහොඹ තිත්තය, සිසිල්ය. සෙම් රෝග, රක්ත දෝෂ, පිත්ත දෝෂ, කුෂ්ට හා වණ නසයි. නොපැසුණු වණ පැසවයි. පැසුණු වණවල සැරව පිට කරයි. පෙනහලු රෝග, උණ රෝග, ආහාර අරුචිය, කුරුමිණි හා පණු රෝග, වමන රෝග හා ඉදිමීමේ රෝග සුවපත් කරයි. ක්ෂය, විෂ, පිත්, දැවිල්ල හා වාතය පහ කරයි. මල බඳියි. කොහොඹ කොල ඇසට හිතකරය. කෘමි විෂ දුරු කරයි. වාතය වඩයි. මහ කොහොඹ තිත්තය. කුෂ්ට. රක්ත දෝෂ, උණ හා මී විෂ නසයි. 

කොහොඹ ඇටවලින් සාදා ගනු ලබන තෙල් කහ පාටය. කටුකය, තිත්තය. එහි අප්‍රිය ගඳක් ඇත. ඉන්දියාවේ බෙහෙවින් කොහොඹ තෙල් නිශ්පාදනය කෙරේ. ඒ ඖෂධයක්, කෘමිනාශකයක්, පහන් දල්වන තෙලක් ආදී වශයෙන් ප්‍රයෝජනයට ගනු පිණිසයි. කොහොඹ තෙල් වෙනත් තෙල් හා මේද සමග මිශ්‍ර කොට සබන් සාදනු ලැබේ. ගව ආදී සතුන්ගේ ශරීරයෙහි වසන මැක්කන් බඳු කෘමීන් පහ කිරීම හා එම සතුන්ගේ තුවාලවල මැස්සන් ඉහඳ තැබීම වැළැක්වීම සඳහා කොහොඹ තෙල් ආලේප කරනු ලැබේ. වණ, කුෂ්ට, දද හා සමේ කැසීම් ආදියට ප්‍රතිකාර වශයෙන් භාවිතා කරන තෙල් හා ආලේපන රාශියකට කොහොඹ තෙල් එකතු කෙරේ.

කොහොඹ කොළවලින් හා කොහොඹ තෙල්වලින් සාදා ගත් මිනිසාට හෝ පරිසරයට හානි නොවන ශාකමය කෘමිනාශක ඇතැම් රටවල භාවිතා කෙරේ. කොහොඹ ඇට කොටා වණ්ඩුවේ තම්බා මිරිකා තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඩු (මුරුවට) දිය කොට හොඳින් කලතා පෙරාගත් තෛලෝදය ඉතා හොද කෘමිනාශකයකි. මෙහි ගුණය හිරු එළියෙන් විනාශවන නිසා හිරු නැගෙන්නට පෙර ඉසීම වඩාත් යෝග්‍යයි. මේ තෛලෝදයෙන් පළඟැටියන්, පණුවන්, පිටිමකුණන්, මඳුරු කීටයයන්, ගොළුබෙල්ලන්, ගෙමැස්සන්, කුරුමිණියන් හා ජපන් කුරුමිණියන් මර්දනය කළ හැක. 

ධාන්‍ය වර්ග ගබඩා කරන විට ඒවාට කොහොඹ කොළ මිශ්‍ර කිරීමෙන් ඒවා පුස්, ගුල්ලන් හා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගත හැකි බව සනාථ වී තිබේ. මේ වන විට බටහිර රටවල පවා කෘමිනාශකයක් ලෙස  කොහොඹ තෛලෝදය භාවිතා කරයි.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ_ අන්තර්ජාලයෙන් 



Share:

Tuesday, October 28, 2014

කිහිරි (Acacia chundra)

අඩි 8-12 අතර උසැති මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහි පොත්ත තද දුඹුරු පාටය. ළපටි රිකිලි දම් පාටය, සිනිඳුය, එහි කුඩා කටු ඇත. පත්‍රය සංයුක්තය. එක් එක් පත්‍රයේ පත්‍රිකා 40-60 දක්වා සංඛාවක් දක්නට ලැබේ. එම පත්‍රිකාවක් අඟල් 1/2 පමණ දිගය. ළං ළංව පිහිටා ඇත. සැප්තැම්බර් මාසයේ මෙම ශාකයේ මල් හට ගනී. එම මල් ළා කහ පාට හෝ රෝස පාටය. පුෂ්ප මංජරිය අඟල් 4 ක් පමණ දිගය. පුෂ්පය ද්වීලිංගිකය. එහි මණිය පුනීලාකාරය. ඵලය අඟල් 4 ක් පමණ දිග රනිලයකි. වේලුන විට එය පැළේ. රනිලයක බීජ 4-6 දක්වා ඇත. ඒවා ගෝලාකාරය. කොළ පාටට හුරු දුඹුරු පාටය. 

ලංකාවේ කිහිරි දක්නට ලැබෙන්නේ වියළි කලාපයේය. බලංගොඩට පහළින් තිබෙන බිම් තැන්න, උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව අතර ප්‍රදේශය යනාදියෙහි කිහිරි දක්නට ලැබේ. ඉන්දියාව, පාකිස්ථානය, බුරුමය හා නිවර්තනික අප්‍රිකාව යනාදී රටවල කිහිරි වැවේ. කිහිරි අරටුව රතු පාටය, ඉතා තදය, බරය, තිත්තය. කිහිරි Fabaceae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කිහිරි හැඳින්වෙන්නේ “ඛදිර“ යනුවෙනි. මෙම ශාකයේ ප්‍ර භේද 5 ක් ඇත. ඛදිර, සෝමවල්ක, තාමූකන්ටක, විටිඛදිර, හා අරී ඒවාය. ඛදිර තිත්තය, ශීත වීර්ය ඇත්තේය. වා, පිත්, සෙම් සමනය කරයි. කුෂ්ට, ආම හෙවත් ආහාර නොදිරවීම නිසා හටගන්නා වාත රෝග, ඉදිමුම්, වණ හා කෘමි දෝෂ නසයි. සෙම් වියළවයි. මල බුරුල් කරයි. සෝමවල්ක ප්‍රභේදය ශ්වේත වර්ණයෙන් යුතුය. තිත්තය, කටුකය, කසටය, ඌෂ්ණ වීර්ය ඇත්තේය. ශීතපිත්ත, කඵ, වාත, වණ, රක්ත දෝෂ හා කුෂ්ට නසයි. 

තාමූකන්ටක ප්‍රභේදයේ ලීය රතු පාටය. කටුකය, කසටය, තිත්තය, ඌෂ්ණය. ආමවාත, රුධිර දෝෂ, වාත, වණ හා උණ නසයි. විටිඛදිර ලංකාවේ ඇතැම් පළාත්වල “ගුරුන්ද“ නමින් හැඳින්වේ. එය දුගඳින් යුතුය, කටුකය, ඌෂ්ණය, තිත්තය, ලේ දෝෂ, වණ විසප්පු, උණ, කුෂ්ට, උන්මාද සමනය කරයි. දත් රෝග නසයි. අරි ප්‍රභේදය තිත්තය, කසටය, රුධිර දෝෂ හා පිත් නසයි. 

ඛදිර ප්‍රභේදයෙන් ලබාගන්නා ද්‍රව්‍යයකට ලංකාවේ ජනයා “කයිප්පු“ යැයි ව්‍යවහාර කරති. කයිප්පු කටුකය, තිත්තය, ඌෂ්ණ වීර්ය ඇත්තේය, ආහාර ප්‍රිය කරයි, කුසගිනි වර්ධනය කරයි. වා සෙම් නසයි. ගෙල ආශ්‍රිත පීඩා (කණ්ඨ රෝග) හා වණ සුව කරයි. මේ ද්‍රව්‍ය බුලත් විට සමග කෑමට පැරණියෝ පුරුදු වී උන්හ. ඒ එහි ඇති යට කී ගුණ නිසාය. 

මූලාශ්‍ර_  "ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘතිය 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Friday, October 24, 2014

කොටිකන් බැබිල (Sida rhombifolia)

අඩි දෙකක් පමණ උසට වැවෙන බහුවාර්ෂික ශාකයකි. ගස සෘජුය. බොහෝ අතු සහිතයි. අතුවල තාරකාකාර කේශර පිහිට ඇත. පත්‍රයක් අඟල් 1- 1 1/2 අතර දිගැතිය. පත්‍ර දාරයේ පහළ කොටස සම්පූර්ණය. ඉහළ කොටස දන්තූර කරපත්‍රිකය. පත්‍රයේ උඩු පැත්ත සිනිඳුය. යටි පැත්ත තරමක් බූව සහිතයි. මල් තනි තනිව කක්ෂවල පිපේ. නිපත්‍රිකා නොමැත. පුෂ්ප දිගින් අඟල් 0.75 පමණ වේ. කහ පාට පුෂ්ප පරවෙන විට සුදුපාට වේ. පුෂ්පයේ මණි පත්‍ර 5 කි. දල 5 කි. ඩම්බකෝෂය උත්තරය. බහුකෝෂ්ඨකය. ඵලය මේරූ විට පැළී ඵලිකා බිහිවේ. ඵලිකාවක තනි බීජයක් ඇත.  කොටිකන් බැබිල මල්වාසේ (Malvaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම 

මෙම ශකය ලංකාවේ පාරවල් අද්දර පාළු බිම්වල බහුලව වැවේ. ලෝකයේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල මේ ශාකය හමුවේ. සෙම්, පීනස් හා ප්‍රතිශ්‍යා ආබාධවලදී ප්‍රතිකාර වශයෙන් යෙදෙන ඖෂධ පිළියෙළ කිරීමට කොටිකන් බැබිල ගනු ලැබේ. මේ හැර ගඩු, පිළිකා, ක්ෂයරෝගය, රක්තවාතය, අධික උණ, උදරාබාධ, ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව, පැපොල, දත් කැක්කුම සහ කැඩුම් බිඳුම් ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට කොටිකන් බැබිල යොදා ගනී. මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගැනේ. තවද පත්තු, මැල්ලුම්, කෂාය හා තැවුම් පොට්ටනි හඳහා මේ ශාකයේ කොටස් භාවිතා කෙරෙයි. මෙරට වියළි පළාත්වල හමුවන තවත් කොටිකන් බැබිල විශේෂයක් වූ සීඩා රෙටූසා (Sida retusa) ශාකයෙන් හොඳ සවිමත් කෙඳි ලැබේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ අනුග්‍රහය_  www.esc.nsw.gov.au lepidoptera.butterflyhouse.com.au 



Share:

Monday, October 20, 2014

කිරිපළු (Buchanania axillaris)

මෙය මධ්‍යම ප්‍රමාණයේ දේශීය බහුවාර්ෂික ශාකයකි. සාමාන්‍යයෙන් අඩි 10-15 අතර උසැතිය. මෙම ශාකයේ ළපටි කොටස් සිනිඳුය. පත්‍ර සරලය. අඟල් 3-6 දක්වා දිගැතිය. ඒවායේ හැඩය ආයතය. පත්‍ර චර්මලය, සිනිඳුය, දිලිසෙන ස්වභාවයෙන් යුක්තය. පත්‍ර අග්‍රය තීව්‍රය. සම්පූර්ණය. පුෂ්ප කුඩාය, ද්වීලිංගිකය, සුදු පාටය, කුඩා කක්ෂීය සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප තදබතව පිහිට ඇත. පුෂ්පයක දල පහකි. රේණු දහයකි. කීලය කෙටිය. මේ පුෂ්ප හට ගන්නේ අප්‍රේල් මාසයේය. 

ලංකාවේ පහතරට ප්‍රදේශවල මේ ශාකය විරලය. යාපනය, හල්දුම්මුල්ල, මොරවක් කොරලය, හන්තාන හා උඩපේරාදෙණිය යනාදී ප්‍රදේශවල කිරිපළු හමුවේ. මේ ශකය දකුණු ඉන්දියාවේද දක්නට ලැබේ. මෙරට වැවෙන කිරිපළු ශාකය ඉන්දියාවේ වැවෙන කිරිපළු ශාකයේ පත්‍රවලට වඩා ඝනය. එසේම ඵලයද වඩා ලොකුය. මෙහි ඵලය අෂ්ටිලයකි. එය අඟල් 1/2 පමණ දිගය. කිරිපළු Anacardiaceae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල “රාජායතන“, “ක්ෂීරි“, “ක්ෂීරවෘක්ෂ“ යන නම්වලින් කිරිපළු හැඳින්වේ. කිරිපළු මධුරය, පැසීමේදී ඇඹුල් වෙයි. වා, පිත්, මේහ නසයි. ආහාර රුචිය වඩයි, තෘප්තිකරය, හෘදයට හිතකරය, සිනිඳුය. කිරිපළු ශීතය, ශරීරයේ විවිධාකාර දැවිලි, අවසිහිය, කරකැවිල්ල, ලේ දෝෂ, තුන් දොස් කිපීමෙන් ඇති වූ දෝෂ සමනය කරයි.

මූලාශ්‍ර_ “ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය (සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන් 







Share:

Thursday, October 16, 2014

කිරිඳි [Kiridi] (Coix lacryma-jobi)

මෙය අඩි 4 ක් පමණ උසට වැවෙන තෘණ පැළෑටියකි. මෙහි කඳ මෘදුය. බොහෝ අතු ඇත. පහළ ගැටවලින් මුල් ඇදේ. පත්‍රයක් අඟල් 5-18 දක්වා දිගැති වන අතර අඟල් 1 1/2 පමණ පළල්ය. පත්‍ර අග්ගිස්ස තීව්‍රය. පත්‍ර දාරය කරපත්‍රිකය. පුෂ්ප ඒකලිංගිකය. පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ඒකාක්ෂ පුෂ්ප මංජරියක පිහිටා තිබේ. ඵලය ගෝලාකාරය. අඟල් 1/4 පමණ දිගය. නිල් පාටට හුරු අළු පාටය. සිනිඳුය. ලංකාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අප්‍රිකාව හා ඇමරිකාව යන රටවල කිරිඳි වැවේ. ලංකාවේ නැතත් යටකී රටවල කිරිඳි වවනු ලැබේ. ඔවුන් එම ඇට ගෙන පොතු ඉවත්කර ආහාරයක් හා ඖෂධයක් ලෙස ප්‍රයෝජනයට ගනී. කිරිඳි බත් හා කැඳ දිළිඳු රටවල ජනයා විසින් පාරිභෝජනය කෙරේ. කිරිඳි Gramineae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

විවිධ රෝගාබාධ සදහා යොදන පත්තු, මැල්ලම්, බේත් පොට්ටනි හා ආලේප යනාදියටත්, බෙහෙත් තෙල් සිඳීමටත් කිරිඳි ගනු ලැබේ. කිරිඳි ඇට පොතු හැර ලබා ගත් කිරිඳි සහලින් පිසින කැඳ රෝගීව සිට සුවය ලබමින් සිටින අයට ගුණදායකය. ආමාශගත අජීර්ණ නසයි. දිරවීමට පහසුය. සැහැල්ලු ආහාරයකි. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
සේයා රූ_ davesgarden.com flowers.la.coocan.jp 



Share:

Sunday, October 12, 2014

කිඩාරම් [Kidaram] (Amorphophallus paeoniifoliu)

කිඩාරම්, කෝමය නමින් හඳුන්වන භුගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා දේශීය ශාකයකි.  ප්‍රකටව පෙනෙන විශාල පත්‍රයක පත්‍ර නටුව මීටර් 1.2 පමණ දිගට වර්ධනය වේ. කොළ පැහැති පත්‍ර නටුවෙහි සුදු පැහැති ලප දැකගත හැකිය. වරකට එක බැගින් වසරකට පත්‍ර එකක් හෝ දෙකක් පමණක් හට ගනී. පුෂ්ප මංජරිය තද දම් පැහැති ඡද ශුකියකි. එය කෙටි නටුවක් සහිත වන අතර ඵල හටගත් පසු මීටර් 0.5 දක්වා වර්ධනය වේ. ඝණ්ටාකාරය කොලපුවෙහි පිට පැත්ත ළා කොළ පැහැතිය. ඇතුලත තද දම් පැහැයක් ගනී. පුෂ්ප මංජරියෙන් දැඩි අප්‍රසන්න ගන්ධයක් වහනය වෙයි. ඵලය බදරියකි. මෙම උද්භිද කුලයටම අයත් වල් කිඩාරම් (Arisaema tortuosum) නමින් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය පෙනුමෙන් කිඩාරම් ශාකයට තරමක් සමාන නමුත් විශාලත්වයෙන් කුඩාය. එයද අහාර සහ ඖෂධ සඳහා භාවිතා කරයි. වර්ණය අනුව රතු කිඩාරම් සහ සුදු කිඩාරම් යනුවෙන් ද වර්ගීකරණයක් ඇත. සංස්කෘතෙන් සූරණ නම් පාර්යායකින් හඳුන්වන කිඩාරම් Araceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  

අර්ශස්, භගන්දර, ගුල්ම, ආර්ථව දෝෂ, ඉදිමුම්, ආහාර අරුචිය, කුසගිනි මදිකම, අක්මා රෝග, ප්ලීහා රෝග, පණු රෝග, කැස්ස. ඇදුම, මලබද්ධය, ඉරුවාරදය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කිඩාරම් ශාකයේ අලය භාවිතා කරයි. කිඩාරම් කුෂ්ඨ නසන, රුචිකාරක, අග්නි වර්ධක, පණුවන් නසන ආදී ගුණයන්ගෙන් යුක්ත ය. වෘහත් සිංහනාද ගුග්ගුළුව, කාඞකායන මෝදයකය, සුරුණ මොදකය, අර්ශස් ගූඨාර රසය, බහුශාල ගූඩය කිඩාරම් භාවිතා කර නිපදවන ඖෂධයන් ය.

කිඩාරම් අර්ශස් රෝගයට ඉතාම ගුණදායන බව සඳහන්. අර්ශස් අංකුරවල ඇති රුධිර නාල හැකිලවීමේ විශේෂ ගුණයක් කිඩාරම්වල සතුව පවතී. මේදස්ග්‍රන්ථි (ගෙලෙහි ග්‍රන්ථි ඉදිමීම)  නම් රෝගය සඳහා කිඩාරම් අල ඉඟුරු සමඟ ඇල් දියෙන් අඹරා ගෑම සිදු කරයි. අර්බුදවලට මේරූ කිඩාරම් අල දීකිරි, ගිතෙල්, උක් හකුරු සමඟ අඹරා ආලේප කරයි. කිඩාරම් අල ගිතෙල් හෝ මී පැණි සමඟ අඹරා ආලේප කිරීමෙන් තදබල ආමවාත (ආරයිට්ස්) තත්වයේදී ඇති වන වේදනාව සමනය වෙයි. වල් කිඩාරන් කටුක, ඌෂ්ණ, කෘමීන් නසන. බඩවැලේ රුජා හා ආහාර අරුචිය නැති කරන ගුණයන් සහිත බව දක්වා ඇත. කිඩාරම්වල පවතින තීක්ෂණ, ඌෂ්ණ ගුණ නිසා ලේ කුපිත කරවන ස්වභාවයක් ඇති හෙයින් රත්පිත් හා කුෂ්ඨ රෝගවලින් පෙළෙන අයට හිතකර නොවන බව සඳහන්.

කිඩාරම් ගොබය රසවත් ව්‍යංජනයක් ලෙස පිළිලෙ කර ගත හැකිය. එය අරුචිය, සෙම, වාතය සහ අර්ශස් නසන ගුණයෙන් යුක්තයි. පාත්‍රයක හැඩය ගන්නා කිඩාරම් අලය තම්බා හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට ගත හැකිය. මෙම අල ඉන්දියානුවන්ගේ ජනප්‍රිය ආහාරයකි. අල ගැලවූ විගස භාවිතා කිරීමෙන් හා හොඳින් තම්බා නොගෙන ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතාවයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවක දෙහි ඇඹුල් හෝ සියඹුලා යුෂ වැනි ඇඹුල් සහිත දෙයක් බීමට දීම, ඇහැල මල් යුෂ බීමට දීම වැනි ප්‍රතිකාරයක් කළ යුතුය. කිඩාරම් අල තම්බා කෑමට ගැනීම ගර්භණීන්ට සුදුසු නොවන බවට ගැමියන් අතර මතයක් පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
Share:

Wednesday, October 8, 2014

කුඩුවෙළඟ [Kuduwelaga] (Mallotus philippensis)

කුඩුවෙළඟ බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 15 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. මෙය හම්පිල්ලක / කම්පිල්ලක / හම්පරිල්ල ආදී නම්වලින්ද හඳුන්වයි. ගසේ රිකිළි, ළා දලු හා පුෂ්ප මංජරිය බූව සහිතය. රළු ස්වභාවයකින් යුක්ත පත්‍රයක් සෙ.මි. 7.5-15 අතර දිගැති ය. පත්‍රය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාරය. පත්‍ර දාරය සම්පූර්ණය. යාන්තමට දැති සහිතව හමුවන අවස්ථා ඇත. සුදු පැහැයට හුරු කහ පැහැයකින් යුත් පුෂ්ප කුඩාය. පුෂ්ප මංජරිය සෘජු ශුකියකි. පුෂ්පයක රේණු විශාල සංඛාවක් ඇත. ඵලය ස්ඵෝටිකාවකි. එය කුඩා රෝමවලිනුත්, රතු පාට රෙසින දුව්‍යකිනුත්, රතු පාට කුඩු විශේෂයකිනුත් වැසී ඇත. බීජ කළු පාටය. කුඩුවෙලඟ Euphorbiacae කුලයට අයත් ශාකයකි. 

කුඩුවෙළඟ ශාකයේ ඖෂධ සඳහා භාවිතා කරන ප්‍රධාන අංගය වන්නේ ගෙඩිය වටා පිහිටන රතු පැහැති කුඩු වර්ගයයි. ඒවා "කපිලි" යනුවෙන් හඳුන්වයි. ශාකයේ ගෙඩි හැර වෙනත් කොටස්වලින් ලබා ගන්නා රතු මිශ්‍ර කහ පාට කුඩු "කපිලා" යනුවෙන් හඳුන්වන අතර එයා ගුණයෙන් හීන බව දක්වා ඇත. මෙම කුඩු මධ්‍යසාරවල දියවන අතර ජලයෙහි දිය නොවේ. මේ කපිලා ඌෂ්ණ, සෙම හා වාත සමනය කරන, පිත වඩන ඖෂධයකි. ගුල්ම රෝග, උදරාබාධ, කුෂ්ඨ, ක්ෂත, වණ, අකලට හිසකෙස් හැලීම, මුත්‍ර ගල්, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී මෙම කුඩු මෙන්ම ශාකයේ වෙනත් කොටස්ද භාවිතයට ගනී. කුඩුවෙළඟ රුධිරය පිරිසිදු කරන, මුත්‍රගල් සිඳලන, කුෂ්ඨ නසන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සහ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Tuesday, September 30, 2014

කීකිරිඳිය [Keekiridiya] (Eclipta prostrata)

තෙතමනය සහිත ස්ථානවල සුලභව හමුවන කීකිරිඳිය පැලෑටිය පොළවට සමාන්තරව මීටර් භාගයක් දක්වා දිගට වැඩෙන දුර්වල කඳක් සහිත දේශීය ශාකයකි. භූමිය මතුපිටට ඇලී වර්ධනය වන රතු පැහැති කඳේ ගැටවලින් පොළවට මුල් ඇදේ. පත්‍ර සහ කඳ සියුම් බූවක් සහිතය. පත්‍ර ඉලිප්සාකාර සිට ලංසාකාර විය හැකිය. පත්‍රයක් සෙ.මි 5 දක්වා දිගු වන අතර මි.මි 15 දක්වා පළලට වර්ධනය වේ. පත්‍ර දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. සුදු පැහැති සංයුක්ත පුෂ්පයෙහි කුඩා පුෂ්පිකා රාශියකි. ඵලය චර්මලයකි. කේෂ කලාපයේ සහ හිසේ නිරෝගීභාවයට අදාලව වඩාත් ප්‍රකට කීකීරිඳිය ශාකය Asteraceae කුලයට අයත් ය. 

හිස කෙස් වර්ධනය කිරීමටත්, අකලට කෙස් හැලී යාම වැලැක්වීමටත් සමත් ගුණයන් සහිත බැවින් කේෂ කලාපයේ සහ හිසෙහි රෝග සඳහා කීකිරිඳිය සුලභව භාවිතා කරයි. එමෙන්ම පාණ්ඩු, පීනස, ඇදුම, ක්ෂය රෝගය, හෘද රෝග, යාකෘත් රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, සෙංගමාලය, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, පණු රෝග, වණ, අක්ෂි රෝග, මුත්‍ර දැවිල්ල ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කීරීමේදී මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. භෘංගරාජ චූර්ණය, භෘංගරාජ තෛලය කීකීරිඳිය යොදා නිපදවන ඖෂධයන් ය. බොහෝ විට කීකීරිඳිය අමු අවස්ථාවේදී භාවිතයට ගතයුතු වීම විශේෂත්වයකි. 

කීකිරිඳිය ස්වරස (අමු යුෂ) කෙස්වල ගැල්වීමෙන් අකලට හිසකෙල් හැලී යාම නවතී. එම ස්වරසය හිසෙහි ගැල්වීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. මුත්‍ර දැවිල්ලට ස්වරස තේ හැඳි එකක් ජලයට දියකර බීම, ඇට යොදා සකසා ගත් කිරි කෂාය දීම ගුණදාකය. කීකිරිඳිය ස්වරස එළු කිරි සමඟ බීමෙන් ගබ්සාවීම් වලක්වා ගත හැකිය. කීකිරිඳිය බටු දළු යුෂ මී පැණි සමග දීමෙන් සෙම සහිත කැස්ස සුව වේ. මෙම කොළ මලවා කෑම පණු රෝග සඳහා ප්‍රතිකාරයකි. කෘමි දෂ්ඨන ආදීයෙදී බාහිරව යුෂ ගැල්වීම හෝ ප්‍රලේපය තැවරීම සුදුසු ය. කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම අම්ලපිත්තයට ගුණ වේ. පාණ්ඩුව රෝගයේදී කීකිරිඳිය යොදා සකසා ගත් නොයෙක් ඖෂධ යෝග යෙදීමෙන් රක්තාණු වර්ධනය වීම සහ රුධිරය පිරිසිදු වීම සිදු වේ. කීකිරිඳිය ඇට චූර්ණය රසායන වාජීකරණ ගුණයෙන් යුක්ත ය. කීකිරිඳිය ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධ ඇති නොවන බව ගැමියෝ කියති. පෙර කළ ගැමි කතුන් කළුවන් නිරෝගී දිගු වරලසක් සඳහා ස්නානයට පෙර කීකිරිඳිය යුෂ හිස ගැල්වීමට අමතක නොකලේය. මෙම යුෂද කාල වර්ණය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support